එක්දහස් නවසිය තිස් ගණන්වලදී අපේ රටේ මතුව ආ ප්‍රධාන ප්‍රශ්න අතරින් එකක් වූයේ දේශීය නිෂ්පාදනවලට මිනිසුන් තුළ පැවැති උනන්දුව ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගෙන තිබීමය. රටේ තිබූ වෙළෙඳ ව්‍යාපාර සියල්ලකම වාගේ හිමිකරුවන් බවට පත්ව සිටියේ මලයාලම් කාරයන්ය. රටේ සෞඛ්‍ය සේවයට එකදු සිංහලයකු ඇතුළත්ව නොපැවතිණි. මෙය ඉදිරියේදී ජාතික ව්‍යසනයක් බවට නිසැකවම පත්වන බව සර් ජෝන් දැන සිටියේය.


මේ සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ ජන හමුවක් ගාලු මුවදොර පිට්ටනියේ පැවැත්වීමට අදහස් කළ සර් ජෝන් තමන්ගේ මෝටර් රථයේ ඉදිරිපස “සිය රටටමයි කවදත්” යනුවෙන් කොඩියක් රඳවාගෙන ගමන් යන්නට විය. කාලයේ හැටියට මෙය අපූරු දෙයක් ලෙස කාටත් පෙනිණ.


ජනතාව ගාලු මුවදොර පිටියට රැස්වී සර් ජෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු උද්ඝෝෂණයට ඒකරාශි වූහ. මේ රටේ ව්‍යාපාරික කටයුතුවලදී පමණක් නොව මුළුමහත් සමාජය පුරාම විහිද පැතිර ගිය මලයාලම් ජාතිකයන්ගේ ක්‍රියාවලිය ගස් මැදීමේ සිට සිංහල කාන්තාවන් විවාහ කර ගැනීම දක්වා දුරදිග ගොස් තිබිණි. රජයේත්, ව්‍යාපාරිකයන්ගේත්, වතු ආශ්‍රිත ප්‍රදේශවලත් සෑම කටයුත්තකදීම මෙම පිරිස සිංහලයන් අභිභවා සිය අණසක පතුරුවාගෙන සිටියහ. ඔවුන් විසින් පිටරටින් ගෙන්වූ සහල් සේරුවක් එකල ශත දහයක් වූ අතර සියලුම ආපනශාලාවල භාවිතයට ගැනුණේ ඔවුන් විසින් ගෙන්වන ලද පිටරට ආහාර ද්‍රව්‍යයන්ය.

ආපනශාලා හිමියන්ට මෙරට සහල් යොදා ගන්නා ලෙස බල කරමින් කොළඹ නගරයේ වීදි ඔස්සේ ගිය පෙළපාළිය ගාලු මුවදොර පිටියේදී පැවැති මහජන රැස්වීමට එක්විය. සුළු කලක් ඉක්ම යත්ම මෙහි ප්‍රතිඵල පෙනෙන්නට විය. මෙහි දිගුකාලීන ප්‍රතිඵල වශයෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධිය වන විට දේශීය ගොවියා තම නිෂ්පාදන ඉලක්කයන් මුළුමනින්ම සපුරා තිබීම නිසා කුසගින්න පිළිබඳ ප්‍රශ්නයකට මුහුණදීමට ඔවුන්ට සිදුවූයේ නැත.


ප්‍රසිද්ධ වැඩ ඇමැතිවරයා වශයෙන් තමාට අයත්ව තිබූ දුම්රිය සේවය ගැන වඩාත් අවධානයක් යොමු කරද්දී ඒ වන විට දුම්රිය සේවාව හා සම්බන්ධව සිටි කම්කරු පිරිස මුළුමනින්ම ඉන්දීය ජාතිකයන් වූ හෙයින් නිසැකවම ඉදිරියේදී මේ රටට මෙම අංශයෙන් බලගතු ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවන බව සර් ජෝන් කල්තබාම දැන ගත්තේය.


රත්මලානේ දුම්රිය වැඩපොළට සම්බන්ධව සිටි ඉන්දියානු ජාතිකයන් වෙනුවට සිංහලයන් සේවයෙහි යොදා ගැනීමට නම් ඔවුනට ඒ සඳහා නිවාස ලබා දිය යුතුව තිබිණි. දුම්රිය සේවකයන් සඳහා නිවාස 1500ක් සෑදීම සඳහා ප්‍රසිද්ධ වැඩ අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලැබීය. මේ සඳහා ඉල්ලුම්කරුවෝ විසිපස් දෙනෙක් ඉදිරිපත් වූහ. වසරක් ඇතුළත නිවාස 1500ක් සෑදීම එක් අයෙකුට හෝ දෙදෙනෙකුට කළ නොහැකි නිසා ටෙන්ඩර් ඉදිරිපත් කළ විසිපස් දෙනාටම එකට වැඩ කටයුතු පැවරීය.


නිසැකවම නුදුරු අනාගතයේදීම තමන්ට රැකියා අහිමි වන බව දැනගත් ඉන්දීය පිරිස සිය හිතවත් ව්‍යාපාරිකයන්, මැරවරයන් සමග මේ ගැන කතා බහ කරන්නට වූහ. මේ ව්‍යසනයෙන් මිදිය හැකි එකම මග ලෙස ඔවුන් කල්පනා කළේ සර් ජෝන් සමග මේ ගැන පළමුව කතා බහ කොට පිළියමක් නොලදහොත් බිය ගන්වා තීරණය වෙනස් කර ගැනීමටය. එසේ කළ නොහැකි වුවහොත් සර් ජෝන් මරා දැමීමට ඔවුහු තීරණය කළහ.


සියයක් දෙසියයක් පමණ සිටි ඉන්දීය කම්කරුවන් තැති ගත්තේ අලුතින් ඉදිවන දුම්රිය නිවාස එක්දහස් පන්සියයම සිංහලයන්ට හිමි වන හෙයින් නිසැකවම තමන්ට ඉදිරියේදී රැකියා අහිමි වී යන බවයි. සර් ජෝන් සමග සාකච්ඡාවෙන් මෙය කිසිදාක විසඳාගත නොහැකි බව දැනගත් ඔවුහු දිනය වේලාව සහ ස්ථානය දක්වා එදිනට සර් ජෝන් මරා දමන බවට තර්ජනය කර මන්ත්‍රණ සභාවට ලිපි කිහිපයක් එවූහ. වරින් වර දුරකථන ඇමතුම් ද දෙන්නට වූහ. නියමිත දිනය වේලාව මතක තබාගත් සර් ජෝන්ට සිය පියා කළ වීර වික්‍රමාන්විත ක්‍රියාවන් සිහිපත් විය. කුඩා කාලයේ සිට ප්‍රගුණ කළ කරාටේ ජූඩෝ මල්ලව පොර ක්‍රීඩා සිහිපත් විය. යුද හමුදාවේ දී ඉලක්කයට වෙඩි තැබීමෙන් ලද පදක්කම් සිහිපත් විය.


“කර්තේලිස්, කාර් එක නවත්තපන්”
ගාලු පාරේ සිට කඳවලට හැරෙන වංගුවේ සිටින හැඩිදැඩි පිරිසක් දුරතියාම සර් ජෝන් දුටුවේය. දෙදෙනෙකු අත තුවක්කු දෙකක් ද අනෙකුත් අය අත කැති, පිහි, මන්නා, පොලු, මුගුරු ද තිබිණි. ස්වාමියාගේ අණට කීකරු වූ රියැදුරු කර්තේලිස් රථය මහ මග නතර කළත් ඔහු බියෙන් ගැහෙමින් සිටියේය. පෞද්ගලික ආරක්ෂාවට සාක්කුව තුළ රිවෝල්වරයක් තිබුණ ද එයට අත නොතැබූ සර් ජෝන් හෙමින් සීරුවේ ඉදිරියටම ගියේය. සන්නද්ධව සිටි පිරිසේ එකෙකු දෙන්නකු පැන දුවන්නට වූහ. සර් ජෝන් ඔවුන් සිටි තැනට යන විට කිසිවෙකුත් එහි නොසිට පැන දුවන්නට වූහ. ගාලු පාරේ සිට කඳවල සිය නිවෙස දක්වාම සර් ජෝන් පා ගමනින් ගමන් කරන්නට විය. මැරවර බලයෙන් කොතලාවල බිය ගැන්වීමට නොහැකි වූ ඉන්දියන් කාරයෝ ශ්‍රී නේරු මෙහි පැමිණි අවස්ථාවේ දුක් ගැනවිල්ලක් ලෙස දුම්රිය සේවයෙන් ඔවුන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන සහනයක් බලාපොරොත්තු වූහ. එහෙත් සිංහල ජනතාව සතු උරුමය සුරක්ෂිත කිරීම තම අරමුණ බව යළි ඔහු අවධාරණය කළේය.


ලෝක මහා සංග්‍රාමයට 1939 අවුරුද්දේදී මහා බි්‍රතාන්‍ය එක්වීමත් සමගම බි්‍රතාන්‍ය යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාව ද නිරායාසයෙන්ම යුද්ධයට එක්වූ රටක් බවට පත්විය. යුද්ධය යුරෝපාකරයට සීමා වුවද ඒ වන විට මෙරටට ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවූ හෙයින් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ බලවත් ගැටලුවකට රජය මුහුණ දුන්නේය. යුද්ධයේ ස්වරූපය ලංකාවට වඩාත් බිහිසුණු සේ දැනෙන්නට වූයේ ජපානයත් වසර දෙකකට පසුව යුද්ධයට එක්වීම නිසාය. බි්‍රතාන්‍යයට අයත්ව තිබූ මලයාව සහ බුරුමයත් ජපනුන්ට අත්පත් වීම නිසා ලංකාවට ද ජපන්නුන් ප්‍රහාර එල්ල කරනු නියත බව බි්‍රතාන්‍යයට වැටහිණි.


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද්මිරාල් සර් ජෙෆ්රි ලේටන් ලංකාවේ සේනාධි නායකයා ලෙස පත්කර එවීය. යුද්ධ කටයුතු පිළිබඳව තීරණ ගැනීමේ බලය අද්මිරාල්වරයාට පැවරීමත් එක් අතකින් ආණ්ඩුකාරවරයාට ඉහළින් තනි තීරණයක් ගැනීමටත් තිබූ බලතලත් නිසා ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකෝට් කොතරම් සිත් වේදනාවට පත්වී ද යත් තනතුරෙන් අස්වී නැවත මව් රටට යාමට පවා උත්සාහ ගත්තත් ඇමැතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට ඔහු සිය අදහස අත්හැර ගත්තේය. සුපුරුදු පරිද්දෙන් ආණ්ඩුකාරවරයා සහ ඇමැති මණ්ඩලය පාලන කටයුතුවල යෙදුණි. යුද නිලධාරියකු වශයෙන් ලේටන් සාමිවරයා ඉතා කර්කෂ ගතිගුණ හා වර්යාවන් ඇති පුද්ගලයෙක් විය.


මුලින්ම සර් ජෝන් හමුවීමට පැමිණි දිනයේම ලේටන් සාමිවරයාට මුහුණ දෙන්නට සිදුවූයේ ඔහු නොසිතු අවස්ථාවකටය. කිසිම දැනුම්දීමකින් තොරව සර් ජෝන්ගේ කාර්යාලයට කඩා වැදුණු ඔහු “ගමනාගමන හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමති තමුසෙද?” යැයි ඇසීය. “ඔව් මොකද කියන්නේ?” යැයි වේගවත් හඬින් දුන් පිළිතුරත් සමඟ ලේටන් සාමිවරයා කාමරයෙන් ඉවතට විසි වුණි. සැර පරුෂ ගතිගුණ තිබුණ ද ලේටන් සාමිවරයා තරමක සමාජශීලී සහ මිනිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් තිබූ පුද්ගලයෙකු විය. ජපනුන් සිංගප්පූරුව ද තම අණසකට යටත් කර ගැනීමෙන් පසු පෙරදිග යුද්ධ කටයුතු මෙහෙයවීම සඳහා හොඳම ස්ථානය වූයේ ලංකාවය.

කොළඹ වරායේ දුර්වලකම් සොයා බලා එයට පිළියම් යෙදීම මේ අතර ප්‍රධාන ස්ථානයක් ගත්තේය. වරාය, ගුවන් තොටුපොළ පමණක් නොව සෑම ගමනාගමන මාර්ගයක්ම සර් ජෝන්ගේ පාලනය පිට පැවතීම නිසා යුද සමයේ විශාල වගකීමක් සර් ජෝන් පිට පැවරුණි. මේ අතරතුර කොළඹ නගරය මැද පිහිටි රේස් පිට්ටනියේ කුඩා ගුවන් තොටුපළක් ඉදි කළේ ද සර් ජෝන් විසිනි.