ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”09

ශ්‍රී නේරුතුමාගේ අවමඟුල් උත්සවයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රධාන ලංකා දූත පිරිස නවදිල්ලියේ අගමැති මැදුරේදී ශ්‍රී නේරුතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු. වම් කෙළවරේ ඉන්දිරා ගාන්ධි මැතිනියත් සොහොයුරිය වන විජයලක්‍ෂ්මී පණ්ඩිත් මැතිනියත් වෙති. අගමැතිනිය සමග ඇගේ පුත් අනුර, සොහොයුරු දොස්තර සීවලී රත්වත්තේ, නවදිල්ලියේ ලංකා මහ කොමසාරිස් ෂර්ලි අමරසිංහ මහතා සහ රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශයේ නිත්‍ය ලේකම් ඇන්. කිව්. දියෙස් මහතා ද වෙති.

 

බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව නිදහස් සටනට පිවිසුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දිගු කාලීන සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකාවේ දේශප්‍රේමීන්ට ද ඉන්දීය දේශප්‍රේමීන් සමග එක්ව නිදහස් සටනට අවතීර්ණ වීමට ඉඩ සැලසුණි.

භුගෝලීය හා වාණිජමය වශයෙන්ද දෙරට අතර ඇති සම්බන්ධය ඉතා දැඩි වූ අතර නිදහස් අරගලය නිසාම දෙරට නායකයන් අතර දේශපාලනික සම්බන්ධය ද දැඩි විය. 1947 දී ඉන්දියාවටත් 1948 දී ශ්‍රී ලංකාවටත් රාජ්‍යයන් පවරා බි්‍රතාන්‍යයෝ සියරට ගියහ. එතැන් සිට වඩ වඩාත් සමීප වූ දෙරටේ සහසම්බන්ධතා පෞද්ගලික මිත්‍රත්වයන් තරමටම ළං වූ කාලයක් ලෙස 1956 දී බිහි වූ අගමැති බණ්ඩාරනායක යුගය නම් කළ හැකිය.
“දිවංගත බණ්ඩාරනායක මැතිදු සහ දිවංගත ජවහර්ලාල් නේරු තුමා සහජීවනය පිළිබඳ සමාන අදහස් දැක් වූ බව එදා ජනමාධ්‍ය සඳහන් කළේය. 1956 වර්ෂයේ බුද්ධ ජයන්ති උත්සවයට සහභාගි වීමට ද ශ්‍රී නේරු මෙහි පැමිණියේ ආගමික සහජීවනය නිසා විය යුතුය.


ශ්‍රී නේරු පළමුවරට මෙහි පැමිණියේ 1931 දී සිය බිරිඳත් සමඟ නිවාඩුවක් ගත කිරීමටය. ඊට පසු පස් වතාවක් රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලට නේරු මෙහි පැමිණියේය. 1939 දී ඔහු පැමිණි අවස්ථාවේ සොහොයුරිය වූ හනීසිං මැතිනිය සමඟ පාවහන් ගලවා කැලණි විහාරය වැඳීමට පියගැට පෙළ නැගි අයුරු මාධ්‍යවල පළවිය.


බණ්ඩාරනායක යුවළ මෙරට අගමැති තනතුර දැරූ වකවානුවේ ඔවුන් වෙනුවෙන් මිත්‍රත්වයේ නාමයෙන් පෙනී සිටි ශ්‍රී නේරු බරපතළ රාජ්‍යතන්ත්‍රික ගැටලු, යුද වාතාවරණ හා මතභේද නිවාරණය කර ගැනීමට ඔවුන්ට සහය විය.


ශ්‍රී නේරු අවසන් වරට මෙරටට පැමිණියේ 1962 ඔක්තෝබර් මාසයේදීය. ඔහුගේ ගමනේ වැදගත් කරුණු අතර නාවින්නේ ආයුර්වේද පර්යේෂණාගාරය විවෘත කිරීමද විය. තම කල්‍යාණ මිත්‍රයා වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් සැතපෙන හොරගොල්ලේ සමාධිය නැරඹීමට මහවැස්සේම ගිය ශ්‍රී නේරුගේ පරිවාර ඇමැතිවරයා වූයේ පී. බී. ජී. කළුගල්ලය. මිතුරාගේ සමාධිය දෙස නොසැලී බලා සිටි ඉන්දීය නායකයාගේ දෙනෙතින් කඳුළු ගලා එනු දුටු බව ජනමාධ්‍ය පැවසීය.


සැමියාගේ වියෝවින් අහිමි වුණු රාජ්‍යතාන්ත්‍රික උපදෙස් බණ්ඩාරනායක මැතිනියට ලබා දුන්නේ ශ්‍රී නේරු අගමැතිඳුන් විසිනි. ශ්‍රී නේරුගෙන් පසු එම කිරුළ දරන්නට වාසනාව ලැබුණේ ඉන්දිරා ගාන්ධි දියණියටය. ඇය ලොව දෙවැනි අගමැතිනිය ලෙස දිවුරුම් දීම ජාත්‍යන්තර විශේෂ සිදුවීමක් විය. ෂීක් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි කා අකාලේ මියයන තුරුම බණ්ඩාරනායක මැතිනියගේ ළඟම යෙහෙළිය වූයේ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධිය.


ගාන්ධි පවුල හා බණ්ඩාරනායක පවුල අතර පැවැති මෙම මිත්‍රත්වය නිසා දෙරට අතර පැවති භූගෝලීය ගැටලු, කච්චතිව් දූපත පිළිබඳ අර්බුදය, ඉන්දු සයුරේ ධීවර නිදහස, ඉන්දු - චීන අර්බුදය, ආසියානු කලාපයේ සාමය හා සංහිදියාව, නොබැඳි ජාතින්ගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යතාන්ත්‍රික ගැටලු හා තීරණ පිළිබඳ ධනාත්මක පියවර රැසක් ගැනීමට ශක්තිය ලැබිණි.


1963.11.14 දින 74 වන උපන් දිනය සැමරූ ශ්‍රී නේරුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව වෛද්‍යවරු සහතික කළහ. ඒ අනුව ඊළඟ නායකත්වයට ඉන්දිරා දියණිය පත්වේ යැයි බොහෝ දෙනා සිතුහ. මහත්මා ගාන්ධිගේ දේශපාලන සගයා වූ නේරු තරුණ වියේදී කීර්තිමත් බැරිස්ටර්වරයකු වූ අතර මැදිවියේ දී ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රබලයකු ලෙස නිදහස් සටන් මෙහෙය විය.


1964.03.27 වැනි ශ්‍රී නේරුගේ අවමංගල උත්සවයට සිරිමාවෝ අගමැතිනිය සුදෝ සුදු සාරියකින් සැරසී සහභාගි වූවාය. ඉන්දිරා ගාන්ධි දියණිය සමග නේරුගේ සොයුරිය වූ විජය ලක්‍ෂ්මි පණ්ඩිත මැතිනිය සමඟ ශෝකය බෙදාගත් අතර මැතිනියගේ සොයුරු සීවලි රත්වත්තේ, පුත් අනුර බණ්ඩාරනායක නව දිල්ලියේ ලංකා මහ කොමසාරිස් ෂර්ලි අමරසිංහ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඇන්. කියු. දියෙස් යන මහත්වරු එහි වූහ.
ගැහැනිය තොටිල්ල පාලනය කිරීමට පමණක් නොව ලොවම පාලනය කිරීමට තරම් කුසලතා ඇති භූමිකාවක් ලෙස සිරිමාවෝ මැතිනිය ලෙසම ඉන්දිරා ගාන්ධි මැතිනියද ඔප්පුකර පෙන්වූහ. රට තුළත් ඉන් පිටතත් පැන නගින අරගලවලට සාමකාමීව මෙන්ම ආයුධ සන්නද්ධව මුහුණ දුන් අයුරු ඔවුන්ගේ දේශපාලන ජීවිත තුළින් පෙනීයයි.


රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා 71 තරුණ කැරැල්ලට සිරිමාවෝ මුහුණ දුන් ආකාරයට ඉන්දිරාට ද මුළුමහත් ඉන්දියාව පුරා ඇවිළුණු ජනවාර්ග, ආගමික හා ජාත්‍යන්තර අර්බුදවලට මුහුණපෑමට සිදුවූ අතර සියලු බාධා ජයගත් සිරිමාවෝ වියපත්ව දිවියෙන් සමුගනිද්දී ඇගේ යෙහෙළිය ඉන්දිරා රන්දෙවොලේ මහ සටනේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ෂීක් සොල්දාදුවකු අතින් මරණය වැලඳගත්තාය.


එසේ ගාන්ධිවරුන්ගේ හා බණ්ඩාරනායකවරුන්ගේ සමකාලීන දේශපාලන යුගය නිමවෙද්දී එම සම්බන්ධය ඉදිරි කාලයටත් ගෙනයාමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මෙන්ම රජීව් ගාන්ධි අගමැතිවරයාට භාර වූයේ දෛවයේ බලපෑමක් වන්නට ඇත. තම මුත්තා වූ ශ්‍රී නේරුත් මව වූ ඉන්දිරා ගාන්ධිත් මුහුණ දුන් අර්බුදය රජීව් ගාන්ධි වෙත වෙස්වළාගෙන පැමිණියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ළඟ වූ ඡායාරූපයක් පිළිබඳව නිරූපමා සුබ්‍රමනියම් සමාජ ක්‍රියාකාරිනිය විසින් තබන ලද සටහනක් මට සිහිවෙයි.


1956 දී ගත් එම ඡායාරූපයේ දකුණු ආසියාවේ අගමැති ධූරයට පත් වූ සිව් දෙනෙකුගේ රූප ඇතුළත්ව තිබිණි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඉන්දිරා ගාන්ධි හා චන්ද්‍රිකාය. එදා ඉන්දිරා ගාන්ධි තමනුත් රජීව් ගාන්ධිද කැඳවාගෙන ගියා නම් පසුව අගමැති වූ ඔහුගේ රුවද ඊට ඇතුළත් වීමට ඉඩ තිබිණි.


ඉන්දු - ශ්‍රී ලංකා දේශපාලන නායකත්වය එකම පවුලේ අය අතර දෝලනය වීම පිළිබඳ ඇතැමුන් වපර ඇසින් බැලුව ද දේශපාලන බුද්ධියත්, එය මනාලෙස හැසිරවීමේ පරිඥාණයත්, ස්ථානෝචිත ප්‍රඥාවත්, තම සංස්කෘතික නැමියාව තුළ තීන්දු තීරණ ගැනීමේ හැකියාවත්, පූර්වාදර්ශයත් තුළින් පෙනී යන්නේ මෙම දෙරටේ නායකකාරකාදීන් පවුල් පසුබිම මතම දේශපාලන නායකත්වයට සුදුසුකම් ලැබූවන් නොවන බවයි.


එදා ඔවුන් තමන්ට එල්ල වූ අභියෝග සහ ගැටලුවලට මුහුණ දුන් ආකාරය කොතරම් නිවැරදි ද යන්න අද ඇති වන ඇතැම් ගැටලුවලට විසඳුම් සොයන ආකාරය දෙස බලන විට පෙනීයාම අරුමයක් නොවේ.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි