පාර්ලිමේන්තුව තරම් දේශපාලන පුවත් මවන වෙනත් ස්ථානයක් නොමැති තරම්ය. එය ආරම්භයේ ශාන්තදාන්තය. ඊළඟ මොහොතේ හැඟීම්බරය. දවල් වෙන්නට වෙන්නට ගිනියම්ය. සවස්වන විට ප්‍රහාරාත්මකය. රාත්‍රිය වනවිට තීරණාත්මකය. ඊළඟට හමුවන්නේ කවදාදැයි කිසිවකුට සිතාගන්නවත් බැරි තරම්ය. ඒ හිටිහැටියේ සභාවාරය කල්දැමීම නිසාය.


අද මෙන් නවීන පන්නයේ පහසුකම්, සුපිරි ආහාර පාන, යාන වාහන, නව තාක්‍ෂණික කැමරා උපකරණ හෝ මරාගෙන මැරෙන ප්‍රහාර, විනය නීති කඩකිරීම් එදා නොවිණ. වෙන එකක් තබා පාර්ලිමේන්තුව තුළ හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට පෙර සූදානමක් ද නොවීය.


1963 මුල් භාගයේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු සමයේ විදුලි සේවකයෝ වැටුප් වැඩිවීම් ඉල්ලා දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් ඇරඹූහ. දිවයින පුරා විදුලිය අත්හිටුවන ලදී.


එදා පාර්ලිමේන්තුව තුළ විදුලි උත්පාදක යන්ත්‍ර සවිකර තිබුණේ නැත. හදිසි සූදානමක් ද නොවිණ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව එදින පස්වරු 2ට ඇරඹි සභා වාරය පැවැත්වෙද්දි වායු සමීකරණ යන්ත්‍ර සියල්ල ද ක්‍රියාත්මක විය. විදුලිය විසන්ධි විය. සභාගර්භයේ සෑම දොරක්ම විවෘත කරනු ලැබුවේ දැඩි රස්ණය නිසාය. ඉටිපන්දම් සහ ලාම්පු සොයා සේවකයෝ වහ වහා දිව ගියහ. කෙමෙන් අන්ධකාරය සභා ගැබ ගිලගන්නට විය.
‘විදුලි අර්බුදය වෙච්චර දුර ගියේ ආණ්ඩුවේ දුර්වලකම හින්දයි’ විපක්‍ෂනායක ඩඞ්ලි සේනානායක අන්ධකාරය මැදින් ගිගිරුවේය. ‘ජනතාව අඳුරට දැමීම ගැන අද එළිවෙනකම් විවාදයක් ඕනෑ’ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු හඬ නැගූහ.


ද්‍රවිඩ පෙඩරල් පක්‍ෂය, දෙමළ කොන්ග්‍රස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවල මන්ත්‍රීවරු ඩඞ්ලිගේ කතාවට අත්පොළසන් දුන්හ.
අගමැතිනියත්, ආණ්ඩුවත් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ශ්‍රීලනිපයේ බලවත් නායකයකු වූ ඉඩම්, වාරිමාර්ග විදුලිබල අමාත්‍ය සී.පී. ද සිල්වාය.
‘හරි විවාදයට අපිත් ලෑස්තියි’


පාර්ලිමේන්තු විවාදය ඉටිපන්දම් හා ලන්තෑරුම් එළියෙන් පැවැත්වෙද්දි සී. පී. රාත්‍රියේම ගොස් වෘත්තීය සමිති නිලධාරීන් හමුවී ඉල්ලීම් ලබාදීමට එකඟ වූයෙන් වර්ජනය නිමා විය. පාලකයන්ට ජෙනරේටරයක අගය වැටහුණේ එදින වූ අතර ඊළඟ සතියේම අලුත් දැවැන්ත ජෙනරේටරයක් පාර්ලිමේන්තුවට ලැබිණ.
මෙරට ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මාධ්‍යවේදියකු වූ දිවංගත එස්. නිල්ලෙයිනාදන් තම 50 වසරක ඇත්දැකීම් ඇතුළත් කළ “පනස්වසරක පාර්ලිමේන්තු වාර්තා කරණය” ග්‍රන්ථයේ ද මෙවැනි අපූරු කතා දක්නට ලැබේ. 


සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ මනා නිපුණතාවක් තිබූ ඔහු පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය තුළින් තම කුසලතාව ප්‍රකට කළේය.


“සේනානායකලාගේ, බණ්ඩාරනායකලාගේ යුග මෙන්ම චෙල්වනායගම් සිට සම්බන්ධන්ලාගේ යුග දක්වා ද බදියුද්දීන් මහමුද් සිට රාවුෆ් හකීම්ලාගේ යුග දක්වා ද ඔහුගේ මාධ්‍ය මෙහෙවර ප්‍රචලිත වූ බව බී.බී.සී. ලෝක සේවයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක නන්දන වීරරත්න පවසා තිබිණ.
මැතිනියගේ සමයේදීම පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගිය විට ද විපක්‍ෂය ඇවිස්සුණේය. තමන්ට වාහනවලින් ගමන් ගැනීමට වත්කම් නොමැති බවට මන්ත්‍රීවරු ඝෝෂා කළහ.


ඉනුත් නොනැවතී ඩඞ්ලි, ජේ. ආර්., ඇන්. ඇම්. ඇතුළු විපක්‍ෂ ප්‍රධානීහු ගොන් කරත්තවල නැගී පාර්ලිමේන්තු සංකීර්ණයට ආහ. ඔවුන් හැඳ සිටියේ සරම සහ බැනියමය. මෙය ජනතාවට රසඳුනක් විය. අනතුරුව ගොන් කරත්ත ආපසු යවා පාර්ලිමේන්තු කාමරවලට ගොස් තමන් අඳින සාම්ප්‍රදායික ඇඳුම් හා පැලඳුම්වලින් සැරසී විවාදයට එක්වූහ.
‘හැබැයි අද වගේ නොවෙයි එදා විරෝධතාකරුවන්ට වතුර, කඳුළු ගෑස් එල්ල කරලා බැටන් ප්‍රහාර දුන්නේ නෑ. ආණ්ඩු විරෝධී පෙළපාළි සරසවි සිසු පෙළපාළි වුණත් ගැටලුවකින් තොරව අවසන් කර සාමකාමීව විසිර ගියා’ පැරැන්නෝ කියති.


1956 දී බණ්ඩාරනායක මැතිදුන් සිංහල රාජ්‍ය භාෂාව ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කළ දින පෙඩරල් පක්‍ෂයේ මන්ත්‍රීවරු ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට ගාලු මුවදොරපිටියේ දී මහා සත්‍යග්‍රහයක් පැවැත්වූ දින සිදුවූයේ වෙනත් විදියේ අත්දැකීමකි.


පෙඩරල් පක්‍ෂනායක එස්. ජේ. වී. චෙල්වනායගම් නායකත්වය දුන් මෙම සත්‍යග්‍රහයට පෙඩරල් පක්‍ෂයේ නල්ලුර් ආසනයේ මන්ත්‍රී මෙන්ම අගමැති බණ්ඩාරනායක මහතාගේ පවුලේ වෛද්‍යවරයා වූ දොස්තර ඊ. එම්. වී. නාගනාදන් ද එක්විය.

 


මතු සම්බන්ධයි.


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි