“අලුත් අලුත් දෑ නොතනන
ජාතිය ලොව නොනගී


හිඟා කෑම බැරිවුණු තැන -  ලගී ගයා මර ගී”


මහ ගත්කරු මුනිදාස කුමාරතුංගයන් එදා රටේ පැවැති තත්ත්වය සාහිත්‍ය තුළින් දුටුවේ එසේය. සාහිත්‍යකරුවා එදා තම අදහස් ජනතාවට ඉදිරිපත් කළේ දේශපාලන වේදිකාවට නැගී නොව නිර්මාණ කාර්යය තුළිනි. එතුමා කී අනාවැකිය අද සමාජයේ වඩාත් සත්‍ය වී ඇත.


එදා සිට අද වනතුරු රටේ සංවර්ධනය රැඳී පවතින්නේ විදේශ ණය ආධාර මතය. විදෙස් තාක්ෂණයෙන් අපට හඳුන්වා දුන් රූපවාහිනිය ඇතුළු මෙවලම් අපේ රටේම නිෂ්පාදනය කර ගැනීමට ශ්‍රම බළකායක් තනා ගැනීමට අපට නොහැකි වී ඇත. අපට පහළින් තිබූ සිංගප්පූරුව ශ්‍රී ලංකාව පසුකර දියුණුව කරා ගොස් ඇත්තේ අලුත් අලුත් දෑද තැනූ හෙයිනි.
මෙරට සාහිත්‍යවේදීන් දෙන ඉඟි තේරුම් ගැනීමට තරම් අපේ දේශපාලනඥයන් මෝරා නැත. සාහිත්‍යයත් දේශපාලනයත් සමබරව ගෙන ගිය රාජ්‍ය පාලකයන් අතරින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එතුමා දෙස් විදෙස් හි උසස් අධ්‍යාපනය ලැබූ සමයේ සාහිත්‍ය කෘති රැසක් පරිශීලනය කළ බව කියැ වේ.
“මාහේනේ රීරි යකා” වැනි ග්‍රන්ථ රැසක් එතුමා සාහිත්‍යයට දායාද කළේ එබැවිනි. එය සිනමාවටත් වේදිකා නාට්‍යයකටත් පෙරළිණි. චරකය හා ගොයම් කෙත කෘතියෙන් එතුමා කෘෂිකර්මාන්තය පිළිබඳ පර්යේෂණාත්මක ක්‍රමවේදයක් පළ කළ අතර “සිය රට දේ සිරි සැපදේ” යන උදාරණයෙහි පිහිටා චරකය තුළින් තමන්ට අවශ්‍ය වස්ත්‍ර තමන්ම වියාගන්නා ක්‍රමය රටට හඳුන්වා දුන්නේ මහත්මා ගාන්ධි පිළිවෙතට නව මුහුණක් දෙමිනි.


බණ්ඩාරනායක අගමැතිඳුන් ඇතැම් දේශපාලන ගිරවුන් මෙන් නොව තමා කියන දේ කර පෙන් වූ දේශපාලනඥයෙකි. ඔහු තමා සතුව තිබූ අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ කලිසම්, කෝට් බෑ, පැලඳුම් සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා දේශීය ඌරුවට චරකයෙන් මසා ගත් ආර්ය ඇඳුමෙන් ඇඳ රජ සබයට ගියේය.
රාජ්‍ය නායකයා ආදර්ශවත්ව හැසිරෙන විට ඔහු  අනුගමනය කිරීම සඳහා අනුගාමික පරපුරක් බිහිවිය. ආරිය ඇඳුම හැඳ සරල දිවි පැවැත්මක යෙදී පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරමින්  සිංහල කතා කරන බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු කවියන් ලේඛකයන් පමණක් නොව නාට්‍යකරුවෝන් හා සිනමාකරුවෝ රැසක් ද ඒ සමග වූහ.
ඔවුන් උදෙසාම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බිහි විය. සංස්කෘතික අමාත්‍යංශය, කලා මණ්ඩලය, අනුමණ්ඩල, රාජ්‍ය ලේඛනාගාරය, පුස්තකාල නාට්‍ය හා සිනමාශාලා, සාහිත්‍ය සම්මාන උත්සව වැනි සංකීරණාත්මක වැඩපිළිවෙළක් රට පුරා දියත් විණි.


සෝමවීර චන්ද්‍රසිරි, පතිරාජ තෙන්නකෝන්, ටී.බී. තෙන්නකෝන් ආදී කවීයෝ රජ සබය අරක්ගත්හ. අරුත් බර, විරිත් බර, සරල ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් 1956 - 1959 යුගයේ බිහි වූ අතර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද එම කෘති බාල, තරුණ, වැඩිහිටි පරපුර කියවූයේ අමන්දානන්දයෙනි.
අද මෙන් සැඟ වූ යටි අරුත් අසම්මත ලිංගික විෂබීජ, අවිද්‍යාව, පර ගැති චින්තනය, අරුත්සුන් වදන්, දේශපාලන මතිමතාන්තර ඒ කෘති තුළ නොවිණ.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ ද මෙවැනි වටිනා සාහිත්‍ය කෘති ගණනාවක් ලක්වැසි පාඨකයන් අතට පත් වූ අතර එම කෘති ඇගයීම සඳහා උගතුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලු නම් කිරීමත් සමග උණුසුම් සාහිත්‍ය සංවාද ඇති වී රට පුරා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති විය.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි විශ්වවිද්‍යාලවල උගතුන්ගේ නිර්මාණ මෙන්ම ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන ආදී ජාතික තලයේ නිර්මාණකරුවන්ගේ අත්හදා බැලීම් තුළින් දේශපාලනයට වඩා යමක් සාහිත්‍යයට කළ හැකි බව රසික ජනතාවට පෙනී ගියේය.
“හුණුවටයේ කතාව”, “සිංහබාහු”, අපට පුතේ මගක් නැතේ, හරිම බඩු හයක්, කැලණි පාලම වැනි නාට්‍ය තුළින් කියැවුණු දේශපාලන අර්ථකථන ජනතාවට සමීප විය. එබැවින් රටේ දැවෙන ප්‍රශ්න දේශපාලනඥයන්ගේ දුර්වලතා විප්ලවවාදී හැඟීම් පිළිබඳව ජනමතය දැනුම්වත් කිරීමේ අරමුණින් විප්ලවීය ජයග්‍රහණය ලැබූ එතෙර විශිෂ්ට නාට්‍ය සාහිත්‍ය කෘති සිංහලයට අනුවර්තනය හා පරිවර්තනය කෙරිණි.


“නිදිමතේ පුළුවන් ද යකෝ රටක් පාලනය කරන්න.” සයිමන් නවගත්තේගම තම සුබ සහ යස නාට්‍ය කෘතිය තුළින් ප්‍රේක්ෂකයන්ගෙන් ඇසීය.
1977 න් පසු පැමිණි ජයවර්ධන යුගයේදී හා ප්‍රේමදාස යුගයේදී සාහිත්‍ය කලාවට පෙර පරිදි හිතුමනාපේ ජනතාව ඇමැතීමට හෝ හපන්කම් පෑමට තහංචි වැටුණේය. 
ඒ වෙනුවට බටහිර හා ඉන්දීය සංස්කෘතිය, පිළිබිඹු වන නිර්මාණ හා මෙරට ජන හද ගැහෙන රිද්මයට පටහැනි වේග හා අතිධාවනකාරී සංගීත රටා හා නර්තන ලීලා මෙරටට ආනයනය කරනු ලැබිණ.


අලුත් අලුත් දෑ තැනීම කෙසේ වෙතත් නොමිලේ ලැබෙන “ජොලිය” නිසා රසවින්දන ශක්තිය බින්දුවටම හිඳී ගියේය.
වඩාත්ම භයානක තත්ත්වය උදා වූයේ ජනතාවට සරල සාහිත්‍ය රසවින්දනය හඳුන්වා දී එතුළින් ඔවුන් දැනුම්වත් කළ කලාකරුවන් හා සාහිත්‍යධරයන් පාලකයන්ට වහකදුරු වීමය.


1971 දී මෙන්ම 1980 දී මෙරට ඇවිළුණ කැරලි කෝලහාල, රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය, නාඳුණන තුවක්කුරුවන්ගේ ප්‍රහාර ආදිය නිසා රටට අහිමි වූ කලාකරුවන් හා සාහිත්‍යවේදීන්ගේ ගණන බොහෝය. පුවත්පත්වල තීරු ලිපි විශේෂාංග රචනය කළ උසස් අධ්‍යාපනය ලැබූ පිරිසක් ද ඒ අතර වූහ. 1988 - 90 අතර යුගයේදී මෙම තත්ත්වය බිහිසුණු විය.
විකල්ප දේශපාලන අදහස් ප්‍රකාශ කරන අය ලෙස සලකන අහිංසක කලාකරුවෝ රැසක් ද භීෂණයේ මර උගුලට අසු වූහ. ගුවන් විදුලියේ පෙරළිකාර නිවේදකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්, උසස් ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ රිචඞ් ද සොයිසා, ජ්‍යෙෂ්ඨ ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යවේදියකු වූ තේවිස් ගුරුගේ. මහාචාර්ය ජේ. පටුවන විතාන වැනි මධ්‍යස්ථ මතධාරීහු රැසක් ද මෙම මර උගුලට අසුවූහ.
“සාහිත්‍යය කන්ඩ ද” මෙසේ ඇසුවේ මේ රටේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්. කීවේ ඉතිහාසය බලා නව පරපුර නොමග යන බව තමාට හැඟී ගිය බවකි.
ජනපති ප්‍රේමදාස යුගයේදී සිද්ධ වූ සංවේදී පුවත් අතර සිංහල බල මණ්ඩල රැස්වීම අමතමින් සාහිත්‍ය කලාවට හා සංස්කෘතියට සිදුවී ඇති විපත පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් සිටි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට  මැර පිරිස් යොදවා පහර දීමය.
අතින් පයින් පහර දී එතුමා බිම දිගේ ඇදගෙන ගොස් කානුවට දමන ලදී. ඊළඟට මාදුළුවාවේ සෝභිත හිමියන්ට යකඩ පොලු පහරක් එල්ල කළ අතර උන්වහන්සේ ගිලන් අසුනක තබා රෝහලට ගෙන යන අයුරු දක්නා ලදී.
සිංහල බලමණ්ඩලයට එල්ල වූ යකඩපොලු, බයිසිකල් චේන්, පොලු ප්‍රහාරවලින් කලාකරුවන් පමණක් නොව මාධ්‍යවේදීන් ද තුවාල ලැබූ අතර එම ප්‍රහාරය පිළිබඳව ඇඟිලි දිගු වූයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ සිරිල් මැතිව් මහතාටය. එහෙත් තමා එම අවස්ථාවේ උතුරු - නැගෙනහිර නටබුන් බලන්නට ගොස් සිටි බවට කළ ප්‍රකාශය නිසා සැකයේ වාසිය විත්තියට ලැබිණ.
ප්‍රේමදාස පාලන සමයේදී නව රැල්ලේ සාහිත්‍යකරුවන් පිරිසක් බිහි වූ බව සමහරු කියති.


ඒ කෘති සරල සම්භාව්‍ය කෘති නොව නවකතා රැල්ලක් පමණක් බවට සමහරු පෙන්වා දෙති. අගමැති සමයේ රණසිංහ ප්‍රේමදාස මහතා ද නවකතා කිහිපයක්ම ලියා පළකර තිබිණ. ඒවා සිනමාවට ද නැඟිණ. කෙසේ වෙතත් කලාකරුවන් සමග සමීප ඇසුරක් පැවැත් වූ රාජ්‍ය නායකයකු ලෙස එකල එතුමා ප්‍රසිද්ධියට පත්ව තිබිණ.
කලාකරුවන්ට දෙවැනි ප්‍රහාරය එල්ල වූයේ බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැති කලාකරු එකමුතුවටය. රටේ පවතින නිල ලත් හා නිල නොලත් භීෂණය නිසා කලාකරුවන්ට මෙන්ම ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට ඇති බාධා පිළිබඳව පක්ෂ භේදයකින් තොරව කවුරුත් රැස්වූහ.
මුලසුන ගෙන සිටියේ අංකුර කලාකරුවන් රැසක් දැයට දායාද කළ සිනමා අධ්‍යක්ෂ සාහිත්‍යධර කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සූරිහුය. 
ටී.බී. ඉලංගරත්න ඇතුළු විද්වතුන් රැසක් මුල්පෙළ සිටි අතර සාහිත්‍යධරයන්ගෙන්  ශාලාව පිරී පැවතිණ.
“සාහිත්‍යය ජනතාවගෙන් ඈත්වන කලියුගයක් මේක. අපි එකමුතු නොවුණොත් ඉදිරි පරම්පරාව වල්මත් වෙනවා නිසැකයි. ඒ නිසා පටු අදහස් අත් හැරලා පාලකයන් දැනුම්වත් කිරීමට එක්වෙමු.”


කේ. ඒ. ඩබ්. පෙරේරා එසේ පුරෝකථනය කරත්ම ශාලාවේ විදුලිය ක්‍රියාවිරහිත වුණි.
යළි විදුලිපහන් දැල්වුණු විට එහි සිටියේ එතුමාගේ ගෝලයකු වූ සිනමා නළු ඔස්වල්ඞ් ජයසිංහය. ඔහුගේ චෝදනාව වූයේ මෙම රැස්වීමට අගමැතිවරයාට ආරාධනා නොකිරීම ගැනය.
“මේක විවෘත රැස්වීමක්. විශේෂ ආරාධනා නැහැ. එතුමාත් සාහිත්‍යයට ආදරේ නම් දැන් වුණත් එන්න පුළුවන්.”
සංවිධායකයෝ පැවැසූහ. නමුත් දේශපාලනය මතම යැපෙන නළුවාගේ හැසිරීම් විලාසය එන්න එන්නම දරුණු විය. අන්තිමේදී ගුරුවරයාටවත් මෙල්ල කරගත නොහැකි වූ ඔහුට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ ලොකු හූ වැලකි.


ඔස්වල්ඞ් කෝපයෙන් පුපරමින් එළියට ගිය අතර යළි සාහිත්‍ය එකමුතු රැස්වීම ඇරඹිණි. දෙවැනිවරට යළි විදුලිය විසන්ධි විය. එවර මතු වූයේ නාඳුනන පුද්ගලයන් රැසකි. ඔවුන්ගේ සිරුරවල පචච කොටා තිබූ අතර දැල් බැනියම්, සරොම් හා කොට කලිසම් ඇඳ අත්වලින් මුගුරු, බයිසිකල් චේන් හා කඩු කිණිසි දරා සිටියහ.
සාහිත්‍යකරුවන් හා කලාකරුවන් වෙතට පිනූ ඔවුහු දිගට හරහට ඔවුන්ට බැටදෙන්නට වූ අතර මූලාසනය පෙරළා දමා පුන්කලස් බිඳ දැමූහ.
සාහිත්‍යධරයන්ගේ එකමුතුව එදා අවාසනාවන්ත ලෙස බිඳ වැටුණේ දේශපාලන උණ නිසාය. අද සියල්ල යථාතත්ත්වයට පත්ව ඇතැයි බොහෝ දෙනා සැනසුම් සුසුම් හෙළති. පොත්පත් ලියති. ප්‍රකාශනය කරති. සම්මාන දෙති. විචාර කරති.


නමුත් දේශපාලනය අළුයට ගිනි මෙන් ඇවිළීමට මානබලමින් අද සමාජයේ ද පවතී. 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි