ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය.

ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැතැයි ද ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

“ජනරජයේ ජනාධිපිතවරයාට ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇතැයි අද දැනගන්නට ලැබුණා” යැයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බව ද එහි සඳහන් විය.

මේ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං-නිරෝධායනයට යොමු වන බවත් දුරස්ථව සිට රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා ලබන 22 වැනිදා ලෙබනනයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඇතුළු සියලු සංචාර අවලංගු කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වනවිට සොයා බලමින් සිටින බව ද වාර්තා වේ.

දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වී තිබිණි.

මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ෂෝ කැස්ටෙක්ස් ද ස්වයං-නිරෝධායනයට යොමු වී ඇතැයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ප්‍රධානී ජෙහාර් ලාචෙක් පැවැසීය.

(රොයිටර්)

055