ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) පළමු වරට 20,000ඉක්මවා ගියේය.

අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී ආසාදිතයන් 20,903ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,25,544ක් දක්වා ඉහළ ගියේය.

ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.

ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 2,27,439කි. සුවය ලබා පිටව ගිය ගණන 3,79,892කි. අවසන් පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 379ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 18,213ක් දක්වා ඉහළ ගියේය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,86,626කි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 98,392දෙනකු, දිල්ලියෙන් 92,175 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 33,913දෙනකු අද පස්වරු වනවිට වාර්තා වී තිබිණි.

එන්.ඩී.ටීවී.

055