විදුලි කප්පාදුව, සාම්පූර් බලාගාරයේ කතාව, ජාතික ආණ්ඩුව, අයවැය දත්ත, 20 වැනි සංශෝධනය, දෙමුහුන් අධිකරණය, දෙමළ ජාතික සන්ධාන චෝදනා හා රාජපක්ෂවරුන්ගේ දේශපාලන අභියෝග ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතායි.

ප්‍රශ්නය - අලුත් අවුරුදු උදාවේ පැය හතරකටත් වැඩි විදුලි කප්පාදුවකට මුහුණදීමට පොදු ජනතාවට සිදුව තිබෙනවා. විදුලිය විෂයය භාරව සිටි ඇමැතිවරයකු හැටියට මේ තත්ත්වය ගැන ඔබට කියන්න තිබෙන්නේ කුමක් ද?

පිළිතුර - අප අතිශයින්ම කනගාටුවට පත්වෙනවා. මෙය කළමනාකරණය කරගත හැකිව තිබූ තත්ත්වයක්. 2017 මීටත් වඩා විශාල නියඟයක් තිබිලත් විදුලිය කැපුවේ නෑ. මේක හදිසියේ මතු වූ තත්ත්වයක් නෙවෙයි. කල් තියලා දකින්න හැකිව තිබූ දෙයක්. මෙයට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, අමාත්‍යාංශයේ නිලධාරීන් ඉංජිනේරු විද්‍යාව අනුව නිසි ලෙස තක්සේරු කරගත යුතු පියවර කීපයක් තිබෙනවා. එහි පළමු පියවර විදුලි උත්පාදන ජලාශවල ජලය කළමනාකරණයයි. දෙවැන්න අවශ්‍ය හදිසි විදුලි බලය මිලදී ගැනීමයි. මහා පරිමාණ බලාගාර ඉදිකරන තුරු මේ ප්‍රතිකර්මය අවශ්‍යයයි. මෙය කළ හැකියි. ඒ වගේම කල් තියලා මේ තීරණ ගන්නවා නම් රටේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට එය කරන්න පුළුවන්. අපි ඒක මීට කලින් කරලා තියෙනවා. 

ප්‍රශ්නය - ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාම්පූර් විදුලි බලාගාරය නතර කිරීමට එකඟ වුණත් අලුත් බලාගාර ඉදිකෙරුවේ නැති බවත් මේ ආණ්ඩුව ඉතිහාසයට යන්නේ අලුත් බලාගාර කිසිවක් ඉදිනොකළ ආණ්ඩුවක් හැටියට බවට විදුලිබල ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් නගන චෝදනාව බොරු ද?

පිළිතුර - මෙහෙමයි. නොරොච්චෝල බලාගාරයෙන් පස්සේ පහුගිය අවුරුදු දහයටම ප්‍රධාන බලාගාරයක් ඉදිකර අවසන් කර නෑ. එනිසා මේක අවුරුදු හතරක ප්‍රශ්නයක් නෙවෙයි. සාම්පූර් බලාගාර යෝජනාවට එකඟ වෙලත් රාජපක්ෂ ආණ්ඩුව එය ඉදිකිරීම සම්පූර්ණයෙන් අතහැර දමා තිබුණා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පසුව සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ වගකීම විෂය භාර නියෝජ්‍ය ඇමැතිවරයා හැටියට ඇමැතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි වගන්තිය අනුව ගැසට් පත්‍රයකින් නීත්‍යනුකූලවම පවරලා දුන්නා. මමයි ඒ වගකීම දැරුවේ. මම නියෝජ්‍ය ඇමැති ධුරයට පත්වුණේ 2015 සැප්තැම්බර් මාසෙ. 2016 අප්‍රේල් මාසෙ 25 වැනිදා වෙනකොට බලාගාරයට අදාළ සියලු තාක්ෂණික, පාරිසරික, නීතිමය කාරණා සියල්ල විසඳාගෙන ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකට පුවත්පත් දැන්වීම් පවා පළ කළා. ඊට දවස් දෙකකට කලින් තමයි ජනාධිපතිතුමා විසින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා මින්මතු ගල් අඟුරු බලාගාර ඉදිකරන්නේ නැත යන තේමාව ඉදිරිපත් කළේ. ඒ අනුව සාම්පූර් නතර වුණා. මට හොඳට මතකයි. මේ තීරණය මට දැනුම් දුන්නාම මගේ දැසට කඳුළුත් ආවා. ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ සිද්ධිය පුවත්පතකට ලියලත් තිබුණා. මේ නැවැත්වීමට ඉදිරිපත් කළ සත්‍ය හේතුව දේශපාලනයයි. ඒ ගැන මම ඊට වඩා කියන්න යන්නේ නෑ. එනිසා සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේ ජනාධිපතිවරයාගේ නියෝගය පිටයි. ඔහුගේ විධායක බලය අනුවයි. තම ඉන්දීය සංචාරයේ දී ඔහු ඒ බව ඉන්දීය අගමැතිවරයාට පෞද්ගලිකවම කියා තිබුණා. රාජ්‍ය නායකයකු එවැනි ස්ථාවර ප්‍රකාශයක් කළාට පසුව තමන්ට කළ හැකි දෙයක් නැති බවත් තමාත් ඒ ගැන කනගාටු වන බවත් ඉන්පසුව මුණගැසුණු අවස්ථාවක ඉන්දීය අගමැතිවරයා මට කිව්වා. 

ප්‍රශ්නය - සාම්පූර් කියන්නේ ඉන්දීය ව්‍යාපෘතියක්?

පිළිතුර - නැහැ. ඒක වැරදියි. එහි අයිතියෙන් 50%ක්ම තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට. 50%ක් ඉන්දීය රජයේ සමාගමකටයි. අපට සමාන අයිතියත් බලයත් තිබෙන බලාගාරයක්. 2016 දී ඒක කළා නම් 2022 දී අපට මෙගාවොට් 500ක් ලැබෙනවා. හැබැයි ඒක මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. ඒක මුල් අවස්ථාවේදීම රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉදිකළා නම් අද ප්‍රශ්නයට විසඳුමක් වෙන්න තිබුණා. සාම්පූර් බලාගාරය අත්හැරීමට සීයට සීයක් වගකිවයුත්තේ ජනාධිපතිවරයායි. 

ප්‍රශ්නය - එහෙත් මේ කෙරෙන විදුලිය කප්පාදුවේ කිසි මිම්මක් නෑ. නිවේදන අනුව වැඩ සිද්ධවෙන්නේ නෑ. ජනතාවට ලංවිමෙන් ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. මැතිවරණ වසරක් අබියස එ.ජා.ප ආණ්ඩුවකට ලිස්සලා යන්න පුළුවන් ද?

පිළිතුර - මෙවැනි අවස්ථාවක සිදුවන හානිය අවම කරගැනීමට කළමනාකරණය හරහා විදුලිබල මණ්ඩලය ක්‍රියා කළ යුතුයි. ලංවිමෙහි වර්තමාන ක්‍රියාකාරිත්වයට මට මැදිහත්වීමට හැකියාවක් නෑ. 

ප්‍රශ්නය - නව ආණ්ඩුව ජාතික ආණ්ඩුවකට පරිවර්තනය කරගැනීමට එක්සත් ජාතික පෙරමුණ විශාල පරිශ්‍රමයක් දරනවා. ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගේ නම් ඇමැතිධුර සඳහා යොමුකළත් ජනපති අනුමැතිය ඊට ලැබෙන්නේ නෑ. මේ දේශපාලන වියවුලට එ.ජා.ප.ය මොකද කරන්නේ?

පිළිතුර - මෙතන දේශපාලන වියවුලක් නෑ. අපට සහාය දෙන්න තව මන්ත්‍රීවරු සූදානමින් ඉන්නවා. ජාතික ආණ්ඩුව පිළිගෙන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර ලබාගැනීමට ඉඩදෙනවාද නැද්ද කියන එක ජනාධිපතිවරයාගේ පක්ෂයේ තීරණයක්. එහෙම නැති වුණත් අපට වැදගත් පනතක් කිසිදු බාධාවකින් තොරව සම්මත කරගැනීමට හැකි බව පසුගිය අයවැය ඡන්ද විමසීම අනුවත් අනෙකුත් දේශපාලන ක්‍රියාකාරකම් අනුවත් කාටත් පේනවා. අපට බොහොම පැහැදිලි බහුතරයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හය අඩු කළාට පසුව මහින්ද රාජපක්ෂ මහත්තයට විශ්වාසවන්තව ඉන්නේ හැත්තෑවකටත් අඩු පිරිසක්.  

ප්‍රශ්නය - අයවැය දත්ත වැරැදි බවට පැවැති රාජපක්ෂ ආණ්ඩුවට එවක එ.ජා.පය චෝදනා කළා. අද රාජ්‍ය මූල්‍ය කාරක සභාව එම චෝදනාව එල්ලකරන්නේ එ.ජා.ප රජයකටයි. එ.ජා.පය ඊට දෙන පිළිතුර කුමක් ද?

පිළිතුර - රාජ්‍ය මූල්‍ය කාරක සභාව සියලුම පක්ෂවල නියෝජිතයන් සිටින කමිටුවක්. මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කරන ඇතැම් තොරතුරුවල අඩුපාඩු තිබෙන බව එමගින් ප්‍රකාශ කර තිබෙනවා. මට එතැනින් ඔබ්බට විස්තරාත්මකව යමක් කීමට ලොකු අවබෝධයක් නෑ. නමුත් එය සුදුසු තත්ත්වයක් නොවෙයි. මෙය දිගින් දිගටම තිබෙන තත්ත්වයක්. මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාලනය වැඩිකිරීමට වෙනමම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් නිර්මාණයට යෝජනාවක් තිබෙනවා. එය තරමක් ප්‍රමාද වී තිබෙන්නේ. එම කාර්යාලය ස්ථාවර කළොත් අපට සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ට එම ගිණුම්වල සත්‍ය තත්ත්වය විමසීමට අවකාශයක් ලැබෙනවා. මීට විසඳුමක් වශයෙන් කඩිනමින්ම පාර්ලිමේන්තු අයවැය කාර්යාලය බිහි කළ යුතු යැයි මාත් හිතනවා. 

ප්‍රශ්නය - විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම 2015 දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සටන් පාඨයක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ වැනි බාහිර පාර්ශ්වයක් 20 වැනි සංශෝධනයකින් එයම කියද්දී එ.ජා.පයට එදා පැවැති උද්‍යෝගය අද නැත්තේ ඇයි?  

පිළිතුර - නෑ. ඒ උද්‍යෝගය අපට තාමත් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ තේමාව ඉදිරියෙන් ගෙනයද්දී අපට නැවත කතාකරන්න දෙයක් නෑ. සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයයි. ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කිරීම පමණක් ප්‍රමාණවත් කියලයි. ඔය විශ්වාස දෙක අතරේ තිබෙන පරස්පරය හැරුණුවිට මූලධර්මයක් විදියට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අපි සූදානම්. 

ප්‍රශ්නය - දෙමුහුන් අධිකරණයක් පත්කිරීමට ජිනීවා යෝජනාවට ඉඩක් නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඊට අවස්ථාවක් දී නැති බැවින් යැයි තිලක් මාරපන මහතා ප්‍රකාශ කළා. මේ අතරේ තිලක් මාරපන මහතාගේ අදහස් දැක්වීම් සාවද්‍ය බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. නීතිඥවරයකු හැටියට මේ චෝදනා ගැන ඔබේ අදහස කුමක් ද?

පිළිතුර - තිලක් මාරපන මහතාගේ ප්‍රකාශය නිවැරැදියි. කිසිසේත්ම දෙමුහුන් අධිකරණයක් ලංකාවේ හදන්න බෑ. ලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට ලංකාවේ අධිකරණයක් විනිශ්චයකාර ධුරයක් දරන්න බෑ. ලංකා භූමියේ නඩු අහන්න බෑ. ඒ අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය තුළ කිසිසේත් විදේශීය අධිකරණමය මැදිහත්වීමක් කරන්නත් බෑ. හදන්න ඕනෙත් නෑ. අපේ රටේ අධිකරණය ඕනෑම ගැඹුරු කරුණක් ස්වාධීනව හා නිවැරැදිව විසඳීමට සමත් බව පසුගිය දිනවල ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කළා. 

ප්‍රශ්නය - එහෙත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරන්නේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ලංකාවේ ආණ්ඩුවට බැඳියාවක් ඇති බවත් එය කඩකරන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටීමට සිදුවන බවයි. එවැනි තත්ත්වයක් නිර්මාණය වුණොත් ආණ්ඩුව මොකද කරන්නේ? 

පිළිතුර - ද්‍රවිඩ සන්ධානය කියන හැමදේටම අපි එකඟ නෑ. ඔවුන් ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලන අවශ්‍යතා සඳහා යම් යම් කරුණු ප්‍රකාශ කරනවා වියහැකියි. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය සමඟ අපේ කිසිම එකඟතාවයක් නෑ. එකඟ වෙන්නෙත් නෑ. 

ප්‍රශ්නය - සංහිඳියාව වෙනුවෙන් දෙපාර්ශ්වයම සමාව භජනය කරමු යැයි එ.ජා.ප නායකයා කියද්දී ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවැසුවේ දෙමළ ජනතාවට යුක්තිය අවශ්‍ය බවයි. සිවිල් සමාජය මේ ගැන එ.ජා.පයට චෝදනා කළේ දේශපාලනිකව ස්ථාවර මාරු කිරීමක් කියලයි. ඇත්තටම එ.ජා.පය යන්නෙ අලුත් පීල්ලකද?

පිළිතුර - එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවේම ප්‍රශ්න සමථකරණය හා යුක්තිය ඉටුකරගැනීම යන කාරණා දෙක කෙරෙහිම විශ්වාසය තබා තිබෙනවා. යුක්තිය ඉටුවෙන්න ඕනෑ කියන එක වගේම ජාතින් අතර සමගිය ගොඩනැගෙන්න ඕනෑ කියන එකත් ඇත්ත. මේ දෙක අතර සමතුලිතතාවයක් ඇතිකර ගැනීමට දේශපාලන නායකත්වය බුද්ධිමත්ව හා දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුයි. 

ප්‍රශ්නය - එහෙත් දෙමළ ජාතික සන්ධාන සහාය රැඳී තිබෙන්නේ ආණ්ඩුවේ පොරොන්දු මතයි. මෙය ඉදිරි ජනාධිපතිවරණයකදී සුළු ඡන්ද පදනම කෙරෙහි බලපෑ හැකියි නේද?

පිළිතුර - මම හිතන්නේ නෑ. මොකද මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දී බුද්ධිමත්. කරන්න පුළුවන් හා බැරි දේවල් ගැන ඔවුන්ටත් ප්‍රායෝගික හැඟීමක් තිබෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් එහෙම ගැටලුවක් පැනනැගින්නේ නෑ කියලයි. මොකද ජාතින් අතර සමගියට අපි සැලකිය යුතු පියවර රැසක්ම ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වගවීම කියන කාරණයේදී සැලකිය යුතු වශයෙන් ආණ්ඩුව පෙරමුණට විත් ක්‍රියා කර තිබෙනවා. 

ප්‍රශ්නය - මේ මොහොතේ විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූර අපේක්ෂකත්වය ගැන පළමු වරට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට ඇති මහජන කලකිරීම විසින් තමාව එතැනට තල්ලු කරනු ලැබූ බවයි. ගෝඨාභය රාජපක්ෂ වැනි චරිතයක් එක්ක හැප්පෙන්න සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ද? 

පිළිතුර - ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන්නෙත් අර සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයම තමයි. ඔහු ඉන්න තැන කිසිසේත්ම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අපේක්ෂකයා කවුද යන්න රාජපක්ෂ පවුලේ අය විසින් තීරණය කරනවා යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තැනට පත්වෙච්ච ඉතාම පටු ගෝත්‍රවාදී ව්‍යුහයක තමයි ඔහු හිරවෙලා ඉන්නේ. ඔහු නැවුම් අපේක්ෂකයෙක් නෙවෙයි. ඔහුට නැවුම් ප්‍රතිපත්ති නෑ. සුප්‍රකට ෂැංග්‍රිලා දේශනයේ දී ඔහු වදාරන්නේ ලිබරල් ධනවාදයයි. එක්සත් ජාතික පක්ෂය පවා එම ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔහු පසුගිය දූෂිත රාජපක්ෂ රෙජිමයේ ප්‍රධාන නායකයෙක්. ඔහු ඇමැතිවරයකුටත් වඩා විශාල බලයක් දැරුවා. මානව හිමිකම් උල්ලංඝනය හා දූෂණය සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්වූවෙක්. අද ඔහුට විරුද්ධව බරපතල ගණයේ අපරාධ නඩු ගණනාවක් විභාග වෙමින් පවතිනවා. ජනතාවට පිළිකුල් වී සිටින දේශපාලන පක්ෂ ක්‍රමයේ ඔහු සිටින්නේ නරකම කොනේයි. අපට පහසුවෙන්ම පරාජය කළ හැකි තැනැත්තා ඔහුයි.

ප්‍රශ්නය - වංචා, දූෂණ, අපරාධ චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවුල් සමාගමක් හැටියට අර්ථකතනය කළත් අද ඔවුන් පෙරළා විමසන්නේ තමන්ට එරෙහිව එක හෝ චෝදනාවක් ඔප්පු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළාද කියලයි. වසර හතරකට පස්සෙත් පරණ සටන් පාඨම උස්සන්න එ.ජා.පයට පුළුවන් ද?

පිළිතුර - රාජපක්ෂ යුගයේ සිදු වූ මිනී මැරුම් හා දූෂණ පිළිබඳව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි පරීක්ෂා කළා. ගෝඨාභයට, බැසිල්ට, යෝෂිතට, නාමල්ට සහ ඔවුන්ගේ ප්‍රධාන හවුල්කාරයන්ට විරුද්ධව නඩු විස්සකට වැඩි සංඛ්‍යාවක් ස්වාධීන නිලධාරියකු වූ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙනවා. මෙම නඩු මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතිනවා. ඔවුන්ට වාසියක් වී තිබෙන්නේ ඒ වැරැදි ඔප්පු කිරීමට යන කාලයයි. නීතිපතිවරයා මේ නඩු පවරා තිබෙන්නේ බැලූ බැල්මටම දූෂණ හා බැඳුණු චෝදනාවලට සාක්ෂි තිබෙන නිසයි. මේවා බරපතල නඩු. ඒවා ගැන ඉදිරියේ දී විනිශ්චයක් ලැබේවි. අපේ ආණ්ඩුව යටතේ සිදු වූ එකම බරපතලම දූෂණය මහ බැංකු සිදුවීමයි. ඒ සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙනවා. නීතිපතිවරයා තම අධිචෝදනා පත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට ආසන්නයි. එනිසා අපේ රජය යටතේත් නිලධාරින් කළ වැරැදි ගැන පරීක්ෂණ කර තිබෙනවා. කොහොම නමුත් අපි ඉදිරි පියවරක් තබා තිබෙනවා. මේ ආණ්ඩුව මේ අවුරුදු හතරට කිසිදු ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කළේ නෑ. කිසිදු ජනමාධ්‍ය ආයතනයක් ගිනි තිව්වේ නෑ. කිසිම විරෝධතාකරුවෙකු මරාදැම්මේ නෑ. එනිසා ජනතාවට මේවා විනිශ්චය කිරීමට කිරාබලන්නට සිදුවෙනවා. මේ වෙනස රටේ මිනිස්සුන්ට නම් තේරෙනවා. 

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ