IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මව්පියන්ගෙන් උරුම වූ ඉඩකඩම් පන්සලට පූජා කළ දානපතියෙක්

 

බුලත්සිංහල පොලේගොඩ ප‍්‍රකට ඉඩම් හිමියෙකු වූ සුනිල්් බෙනට් අතුකෝරාල මහතාට සිය මව වූ පත්මා අතුකෝරාල මහත්මිය මරණ මංචකයේ සිට පවසා ඇත්තේ හිමිකම් කියන්නට කෙනෙක් නැතිනම් මේ ඉඩම සහ දේපළ පන්සලට පූජා කරන ලෙසයි.  


මව මිය ගොස් වසර කීපයකට පසු ඇයගේ ඉල්ලීම ඉටුකරන්නට සූදානම් වන බවට ලද තොරතුරක් ඔස්සේ මේ අපූර්වතම මිනිසා සොයා අගලවත්ත පිඹුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගොඩ වැදුනෙමු. අප යන විටත් ඉඩමේ ඔප්පු තිරප්පු බාහාලූ කවරය දෝතට ගෙන ධර්මශාලාවට වී දෙනෙත් විවර කොට බලා සිටින්නේ විහාරාධිපති බදුරලියේ සීලරතන හිමියන් වඩින තුරුය. මුවපුරා සිනාවකින් අප පිළිගත් ඔහු. පොඩ්ඩක් ඉන්න දැන් ලොකු හාමුදුරුවෝ වඩිනවා කියා තවත් මොනවදෝ කීවේය. එය අපට තේරුණේ නැතත්. විහාරාධිකාරී ඕවිටිගල මහින්ද හිමියන් පැවසුවේ මෙවන් වදනකි.  


 මේ මහත්තයා කාලයක පටන් පන්සලට නිතර එනවා යනවා. එයාට සිදුවූ හදිසි අනතුරක් නිසා කතා කරන්නේ ටිකක් අපහසුවෙන්. මහත්තයාට කාත් කවුරුත් නැහැ ඒත් ලොකු දේපළක් තියනවා. මහත්තයගේ අම්මත් මේ පන්සලට හරිම ලැදියි. එයා අවුරුදු අනූහතරක් ආයුෂ විඳලා මියගියා. දවසක් මහත්තයා කීවා. මම මේ දේපළ සියල්ල පන්සලට පූජා කරනව ඒක අම්මාගේ අවසන් ඉල්ලීම කියල. ඒ උතුම් කටයුත්ත එතුමා ඉටුකළා. අද ඔප්පුව භාරදෙන්න ඇවිත් ඉන්නේ.  


බෙනට් මහත්තයාට අයත් අක්කර දහඅටක් වූ ඉඩමත්, නිවසත්, ඉඩමට අයිති ගහකොළත් පන්සලට පූජා කළා. මේ අයගෙන් පස්සෙ මේ ඉඩමේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒක ඒ මවගේ ඉල්ලීමක් නිසා හැකි ඉක්මනින්ම ඉටුකරනවා. 


අප කතා බහ කරන අතරතුර ලොකු හාමුදුරුවෝ වැඩියහ. කෝටි ගනණක දේපල පූජා කරනවා කියා ලොකු උත්සව නැත. පන්සලට පැමිණි කීප දෙනකු තැන තැන සිටියත් සිදුවන්නේ කුමක්ද කියා ඔවුන්ටද හැඟීමක් නැත.  
දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කළ බෙනට් මහත්තයා සිය ඔප්පුව විහාරාධිපති බදුරලියේ සීලරතන හිමියන්ට පිරිනමා යන්නට සූදානම් විය. 


යන්නද මහත්තයා මහින්ද හාමුදුරුවෝ ඇසුවෝය. 


එහෙමයි හාමුදුරුවනේ. ලීලාට කෑම දෙන්න තියනවා. බෙනට් මහත්තයා පිටවීගියේය.   


අපිද ඔහු හා එක්වීමු. කලවැල්ලාව පාර මතුගම හොරණ මාර්ගයේ ටික දුරක් ගොස් පොලේගොඩ ග‍්‍රාමයේ පිහිටි ඩයස්වත්ත නම් වූ මනරම් කඳුශිඛරයට අප පිවිසෙන විටත් හිරු බැසගොස්් බිම් කළුවරද වැටෙමින් තිබිණ. කොච්චර ළඟ සිටියත් මම කවදාවත් මේ වත්තට ඇතුළුවෙලා නැහැ. එහෙම කීවේ අපේ සගයා සමන් තිලකසිරිය. රූස්ස ගස්කොළන් පිරි විශාල වන පෙතක් බදු වූ අක්කර දහඅටකින් යුත් මේ ඉඩමේ කෙළවරක පිහිටි පාළුවට ගිය බෙනට් මහත්තයාගේ නිවස විය.  


නිවසට පැමිණි බෙනට් මහත්තයා අප පිළිගෙන බිත්තියේ එල්ලා තිබූ පැරණි ඡායාරූප එකින් එක ගෙනවිත් අපට පෙන්නුවේය. තම ආදරණීය බිරිඳත් මවත් පියාත් ඒ අතර විය කඳුළු පිරි දෙනෙතින් යුතුව අසුනක් මතට බර වූ ඔහු අපහසුවෙන් වචන පිටකළේය.  


‘‘මම විවාහකයි. දැන් වයස අවුරුදු 65 ක් වෙනවා. බිරිඳ වසන්තා අතුකෝරාල ඇය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ගුරුවරියක්. වසර 10කට පෙර හදිසි හෘදයාබාදයකින් මියගියා. අපට දරුවන් නැහැ. මේ සියලූ දේපළ දොන් සයිමන් අතුකෝරාල නම් වූ මගේ පියාගෙන් මට උරුම වුණා. ඔහු මහනුවර ප‍්‍රදේශයේ කෙනෙක් පසු කලෙක මේ ප‍්‍රදේශයේ පදිංචියට ඇවිත් තියෙන්නේ.   


 මම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සාමාන්‍යාධිකාරිවරයෙක් විධියට සේවය කළේ දෙනියායෙ. එවකට මමත් බිරිඳත් මගේ මවත් පියාත් මේ ඩයස්වත්තේ පදිංචිව සිටියා. බිරිඳත් පියාත් මිය ගියාට පසුව මගේ මව අවුරුදු 96 ක් ආයුෂ විඳ මියගියා. ඇය මිය යනවිට කළ අවසන් ඉල්ලීම ඉටුකරන්න තමයි අද මම පන්සලට ගියේ.   
එතකොට කවුද මේ...?  


පාලූවට ගිය නිවසේ ඇඳක් මත වැතිර සිටින වයෝවෘද්ධ කාන්තාව ගැන අපි ඇසීමු 
මේ තමයි ලීලා. මැය අපේ නිවසේ සේවිකාව. වයසයි. ඇඳට වෙලා ඉන්නේ. තනිව නැගිටලා ඇවිදින්න බැහැ. කතාබහ කරන්න පුළුවන්.  


ඒත් මෙයාට කාත් කවුරුත් ඉන්නවාද කියලා කියන්න මම දන්නේ නැහැ. ඇයට පුළුවන් කාලේ අපිට රැකවරණය දුන්නානෙ. ඒ නිසා දැන් මම ඇයව ආදරයෙන් බලා ගන්නවා. ඇයට කවන්නේ, පොවන්නේ, නාවන්නෙ, වැසිකිළි කැසිකිළි සඳහා එක්ක යන්නේ මම. ඒ සඳහා වෙනත් අයකු යොදවන්න මම කැමති නැහැ. ඇය වැටුණොත් කියලා බයක් දැනෙනවා.  


ගෙදර උයන්න පිහන්න මම දන්නෙ නැහැ. අපි දෙන්නටම කෑම ගේන්නේ අසල කඬේකින්. කොච්චර දේපල තිබුණත් අද මම තනිවෙලා. ගමන් බිමන් යන්නෙ බස් එකේ. මගේ කාර් රථය වසර ගණනකට පෙර නතර කළ ගමන් පිටුපස ගරාජයේ. මම මේ කිසිදෙයක් ගැන දැන් සොයන්නෙ නැහැ. පන්සලේ හාමුදුරුවෝ අපි ගැන සොයල බලනවා. අදත් මේ පන්සලෙන් කට්ටිය දමලා අපේ වත්ත සුද්ද කළා.  


 අපි නිවස පිටුපසට ගි​ෙයමු. ඔහු කීවා හරිය. වොක්සෝල් වික්ටෝ වර්ගයේ පැරණි කාර් රථයක් ගාරාජයේ දිරාපත්වෙමින් තිබිණ. ඔහු එය අතගා බලා සිනාසුනේය. යම් මතකයක් ඔහුගේ සිතට නැගෙන්නට ඇත. කුමක්ද කියා අපි නොවිමසමු. 


මට වතුර ටිකක්. ඒ ලීලාගේ හඩය. ඔහු දුවගොස් ලීලාට වතුර පොවන්නට විය. 


රාත‍්‍රිය ළඟාවී තිබිණ. තොරතෝංචියක් නැති රැහැයියන්ගේ හඬ මුළු ඩයස්වත්තම ගිලගනිමින් තිබිණ. අපි මේ ගුණයහපත් මිනිසාගෙන් සමුගතිමු. 


සටහන සහ ඡායාරූප  
බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි



අදහස් (0)

මව්පියන්ගෙන් උරුම වූ ඉඩකඩම් පන්සලට පූජා කළ දානපතියෙක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3751 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site