IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත් බදු පනත තවත් අර්බුදයක්ද ?

රටේ බදු ක්‍රමය සංශෝධනය විය යුතුය යන අදහස පිළිබඳව ආර්ථික විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සෙසු පාර්ශවකරුවන් අතර ඒකමතික භාවයක් ගොඩනැගී ඇතැයි සිතමි. එයට හේතුව පසුගිය කාලපරිච්ඡේදය පුරාම රටේ බදු ආද‌ායම දිගින් දිගටම පහළ වැටීමයි. 1990 දශකයේදී රටේ මුලු ආද‌ායමෙන් (දළ දේශීය නිෂ්පාදිතයෙන්) සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් බදු ආද‌ායම වශයෙන් ලැබුණි. එහෙත් 2016 දී බදු ආද‌ායම වශයෙන් ලැබුණේ රටේ මුළු ආද‌ායමෙන් සියයට 12.4කට සමාන මුදල් ප්‍රමාණයකි. රට ආර්ථික වශයෙන් ඉහළට ගමන් කරද්දී බදු ආද‌ායම පහළට යෑම තුළින් පැහැදිළි වෙන්නේ අපේ බදු ක්‍රමය රටේ සංවර්ධන අවශ්‍යතාවලට අනුකූලව සකස් වී නැති බවත් එය අසාර්ථක බවත් වහාම එම ක්‍රමය සංශෝධනයට ලක් කළ යුතු බවත්ය.  


රජය විසින් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආද‌ායම් බදු පනත රටේ එම අවශ්‍යතාව ඉටු කරන්නක්ද යන්න විමසා බැලිය යුතුව ඇත.  


රටේ බදු ක්‍රමය සම්බන්ධයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යයන කිහිපයක්ම සිදු කර තිබේ. 2011 දී ජනාධිපති බදු කොමිසම සකස් කළ වාර්තාව එවැන්නකි. එවැනි පූර්ව අධ්‍යයන සහ යෝජනාවල අදහස් ද රටේ බදු ක්‍රමය අද‌ාළ වන විවිධ වාණිජ හා ව්‍යාපාරික සංවිධාන, විද්වතුන් සහ බදු පරිපාලන ආයතනවලට සම්බන්ධ නිලධාරීන්ගේ අදහස් සහ යෝජනාවන්ද තියුණු සංවාදයකට ලක් කර රටට අවශ්‍ය බදු ක්‍රමයක් සකස් කරගත යුතුව ඇත. එය ඉක්මණින් ඉටුකර ගතයුතු එහෙත් වඩා තීක්ෂණව කල්පනා කර තීරණය කළ යුතු ක්‍රියාවලියකි.  


එසේ වුවද නව බදු පනත ප්‍රකාශයට පත් වූ පසු හෙළි වූයේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් බවත් එය මෑතකදී ඝානා රජය විසින් සම්මත කර ගන්නා ලද බදු පනතකට අනුව සකස් කරන ලද්දක් බවත්ය. ඇතැම් විද්වතුන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා රජයේ පනත ඝානා රජයේ පනතේ කාබන් කොපියක් බවයි. මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පත මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා අංශ ප්‍රධානී ජේ. ලී මහතාගේ ඊමේල් මඟින් විමසීමක් කර තිබූ අතර ඔහු පිළිතුරු දී තිබුණේ “නව බදු පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා පාලනය සමඟ පසු ගිය වසර තුළ පැවැත්වූ පුළුල් සහයෝගීතාවක ප්‍රතිඵලයක් බවත් ඒ සඳහා දේශීය විශේෂඥයන්ගේ ද ප්‍රතිචාර ඇතුළත් කල බවත්”ය. මෙම පනත ඝානා පනතේ කාබන් කොපියක්ය යන්න ඔහු විසින් ප්‍රතික්ෂේප කර නොතිබුණි.  


ශ්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය මුදලේ තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 166ක මුදල පසුගිය අප්‍රේල් මස නිකුත් කිරීමට නියමිතව තිබුණද එය නිකුත් නොකෙරුණි. එයට හේතු වූයේ ශ්‍රී ලංකා රජය විසින් ආද‌ායම් බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබීමයි. එහෙත් මේ වන විට පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බැවින් ළඟදීම ණය මුදලේ තෙවැනි වාරිකය නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  


ප්‍රශ්නය පැණ නගින්නේ අපේ රටේ ආර්ථික සංවර්ධනයට අද‌ාළ ඉතා වැදගත් ක්‍රියාවලියක් සම්පූර්ණ කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත මෙයද යන්න පිළිබඳවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනත සකස් කිරීමේදි දේශීය විශේෂඥයින්ගේ ප්‍රතිචාර ලබාගත් බව ප්‍රකාශ කරන නමුදු බදු ක්‍රමය අද‌ාළ වන ව්‍යාපාරික ප්‍රජාවගෙන් හෝ ආයතනවලින් හෝ බදු ක්‍රමයට සම්බන්ධ විද්වතුන්ගෙන් හෝ පාර්ශවකරුවන්ගෙන් විවෘතව අදහස් විමසීමක් කිසිදු අවස්ථාවක සිදු වූයේ නැත. අප ණය මුදලක් ලබාගත් පමණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ තරම් බලපෑම් කරන්නට ඉඩ හළ යුතුද? රටේ ආර්ථිකය පාලනය කෙරෙන ආකාරයේ කොන්දේසිවලට රට යටත් විය යුතුද?  


රටේ මහජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවිතවලට අතිවිශාල බලපෑමක් කරනු ලබන බදු පනතක් සම්මත කරගත යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලබන දින වකවානුව අනුව නොවේ. එය අද‌ාළවෙන සියලු පාර්ශවකරුවන්ට මෙන්ම මහජනතාවටද එම පනත පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දීමෙන් පසුවය. දැනට සිදුවන්නේ ණය වාරිකයක් පෙන්වා එය නොදෙන බවට තර්ජනය කර රජය ලවා බදු පනත සම්මත කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කිරීමයි.  


නව බදු පනත පිළිඳව නිරීක්ෂණය කිරීමේදි පැහැදිළි වෙන්නේ බදු පදනම පුළුල් කිරීම, විවිධ බදු නිදහස් කිරීම් අවම මට්ටමකට ගෙන ඒම, බදු පැහැර හැරීම් වැළැක්වීම වැනි ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් පවත්නා සමහර මූලික ගැටලුවකට පිළියම් යෙදීම අරමුණු කරගෙන එම පනතට සමහර වගන්ති ඇතුළත් කර ඇති බවයි. උද‌ාහරණයක් ලෙස රටේ විවිධ ආයතන විසින් ආයෝජන උනන්දු කරවීම ​හෝ යම් යම් අංශවලට සහන ලබාදීම වැනි අපේක්ෂාවන් මත බදු නිදහස් කිරීමේ විවිධ ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් මෙම පනත මගින් ඒවා අහෝසි කිරීමට කටයුතු කිරීම අගය කළ යුත්තකි.  


ව්‍යාපාර අංශවල බදු වර්ග අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග මගින් බදු ක්‍රමය සරල කිරීම සඳහා කටයුතු කර ඇත. බදු ක්‍රමය සරල කිරීම යන්නෙහි අදහස විවිධ බදු අනුපාත, විවිධ ගෙවීම් ක්‍රම, විවිධ ගණනය කිරීමේ ක්‍රම ආදිය වෙනුවට පහසුවෙන් අවබෝධ කර ගත හැකි සහ පහසුවෙන් ගෙවිය හැකි බදු ක්‍රමයක් ඇති කිරීමයි. නව පනත මගින් එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ආරම්භයක් ලබාදී ඇති නමුත් සමහර බදු ක්‍රම තවදුරටත් සංකීර්ණ වී ඇති බව ප්‍රකාශ කළ යුතුය.  


එසේ වුවද නව පනත නිරීක්ෂණය කරන විට පැහැදිළිවෙන කරුණක් වෙන්නේ රජය විසින් බදු පදනම පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති බොහෝ ක්‍රියාමාර්ග ව්‍යාපාරික අංශවලට වඩා මෙරට මධ්‍යම පන්තිය අරමුණු කරගෙන සකස් කර ඇති බවයි. උද‌ාහරණයක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආද‌ායම යන්නට මීට පෙර ගණනය නොකළ බොහෝ දේ අඩංගු කර ඇත. ඒ අනුව වැටුප්, පඩිනඩි, නිවාඩු පඩි, අතිකාල දීමනා, විශ්‍රාම වැටුප්, කොමිස් මුදල්, පාරිතෝෂික, ප්‍රසාද දීමනා සහ වෙනත් සමාන ගෙවීම් සියල්ලම ආද‌ායම ලෙස සැලකේ. එසේ ජීවන වියදම් දීමනා, යැපුම් දීමනා, ගෙවල් කුලී, සංග්‍රහ වියදම් දීමනා හෝ ගමන් වියදම් දීමනා ඇතුළු පුද්ගලික දීමනා ගෙවීම්ද ආද‌ායම ලෙස සැලකේ. උද‌ාහරණයක් ලෙස රජයේ නිලධාරීන්ට සහ පෞද්ගලික අංශයේ සේවය කරන විවිධ තරාතිරමේ අයට ගෙවන ප්‍රවාහන දීමනාව සහ ඉන්ධන දීමනාද ආද‌ායම ලෙස සැලකෙනු ඇත. ඒ නිසා රජයේ සහ පෞද්ගලික අංශයේ මැදි මට්ටමේ සිට ඉහළ නිලධාරීන් දක්වා වූ අතිවිශාල පිරිසක්ද වෘත්තිකයන් දහස් ගණනක් ද අලුතින් බදු ගෙවිය යුතු තත්ත්වයට පත්වේ.  


ඉහතින් දැක්වූ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැටුප් ලබන්නන් සහ වෘත්තිකයන්ට එවැනි සියලු දීමනා ගෙවනු ලබන්නේ ලේඛනගත කිරීම මගින් වන අතර එම ගෙවීම් කිසිවක් සැඟවීමට නොහැකිය. ඒ අතරම ආද‌ායම ගණනය කිරීමේදී මේ දක්වා අඩු කිරීමට ඉඩ තිබූ වියදම් ද ඉවත් කර තිබේ. ඒ අනුව එම තැනැත්තා විසින් දරනු ලබන ගෘහස්ත වියදම්, ගෙවන ලද බදු, විශ්‍රාම ද‌ායක මුදල්, සංග්‍රහ කටයුතු සඳහා දරන වියදම් අඩු කළ නොහැකිය. මේ සියල්ලේ ප්‍රතිඵලය වෙන්නේ මේ දක්වා බදු නොගෙවූ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ වැටුප් ලබන බොහෝ පිරිසකට බදු ගෙවීමට සිදු වීමයි.  


මෙම පනත මගින් ප්‍රථම වරට බදු අය කිරීම සඳහා ජනවාර්ගික පදනමක් සලකා බැලීම අතිශය කනගාටුද‌ායක තත්ත්වයකි. පනතේ දෙවැනි කොටසේ ආයෝජන දිරිදීම යටතේ උතුරු පළාත හැර අනෙක් පළාත්වල ආයෝජකයන්ට සියයට සියයක ක්ෂයවීම දීමනාවක් ලැබෙන අතර උතුරු පළාතට එය සියයට 200කි. මෙය කුමන පදනමකින් සකස් කර තිබේද යන්න වටහා ගත නොහැකිය. අඩුම තරමින් එය නැගෙනහිර පළාතට හෝ ලබාදී නැති අතර යුද්ධයෙන් පීඩාවට පත් උතුරුමැද වැනි පළාත්වලටද ලබා දී නැත. මෙය නිසැක වශයෙන්ම ජතිවාදී පදනමක සිට කරන ලද වෙනස්ව සැලකීමක් බව පැහැදිළිය. ඩයස්පෝරාවේ බලපෑම් රටේ බදු ක්‍රමය තුළට ද රිංගවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.  


පනතේ එම කොටසේම අටවැනි වගන්තිය අනුව රටේ අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ විශ්‍රාම වැටුප් අරමුදල්වලින් සියයට 14ක මුදලක් අයකර ගනු ලැබේ. එයට අමතරව විශ්‍රාම යෑමේදී ලැබෙන පාරිතෝෂිත මුදල්වලින් ද සියයට 14ක බද්දක් අයකර ගනු ලැබේ. මීට පෙර පාරිතෝෂික අරමුදල් සඳහා කිසිදු බදු පැනවීමක් සිදු වූයේ නැත. එහෙත් මෙම පනත අනුව වැඩකරන ජනතාවගේ අර්ථ සාධක, සේවක භාරකර, විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික දීමනා යන සියල්ලන්ටම බදු ගෙවීමට සිදු වේ.  


පුණ්‍යායතන විසින් සියයට 14ක බදු මුදල් ගෙවිය යුතුය. ඊට අමතරව එම ආයතන ඉතුරුම් ආදිය මගින් ආද‌ායමක් ලබන්නේ නම් ඒ සඳහා ගෙවිය යුතු බද්ද සියයට 10කි.   


බදු පරිපාලන සම්බන්ධයෙන් ද මෙම පනත මගින් වෙනස්කම් හඳුන්වා දී තිබේ. බදු නිලධාරීන්ට තිබූ බලතල මෙම පනත මගින් ආද‌ායම් බදු කොමසාරිස් ජෙනරාල්වරයාටම පමණක් පවරාදී තිබේ. එසේම බදු කටයුතු සඳහා දේශීය ආද‌ායම් දෙපාර්තමේන්තුවට පිටස්තර පුද්ලයන් යොදවා ගැනීම සඳහා ද අවස්ථාව සැලසී තිබේ. මේ රටේ බදු පරිපාලනය භාරව ඇත්තේ ආද‌ායම් බදු දෙපාර්තමේන්තුවට, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතනවලටය. බො​ෙහා් අඩුපාඩු තිබුණද රාජ්‍ය ආයතන වශයෙන් එවැනි ආයතන රජයට ආද‌ායම් ලබාදීමේ වගකීම දශක ගණනාවක් තිස්සේ ඉටුකර තිබේ. ඒවායේ යම් යම් දුර්වලතා තිබේ නම් ඒවාට පිළියම් යෙදීම මිස එම වගකීම පෞද්ගලික අංශයට පැවරීම නොකළ යුතුය.  


දැනට ක්‍රියාත්මක වන බදු ක්‍රමයෙහි දුර්වලතා ඇති නමුදු ඒවාට පිළියම් යෙදිය යුත්තේ ඝානාව වැනි රටවල බදු ක්‍රම කොපි කිරීමෙන් නොවේ. බදු ක්‍රමයට සම්බන්ධ සියලු පාර්ශව අතර පුළුල් සංවාදයකට ඉඩ සලසා එමගින් ඇති කර ගන්නා එකඟතාවන් මත රටට යෝග්‍ය බදු ක්‍රමයක් සකස් කර ගත යුතුව ඇත. එසේ නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත වෙනත් රටවල ක්‍රම ගණනය කිරීමට යෑම හේතුවෙන් සිදුවෙන්නේ රට තුළ තවත් අර්බුදයක් නිර්මාණය වීමත් ආර්ථික සංවර්ධනය ඇණ හිටීමත්ය.



අදහස් (0)

අලුත් බදු පනත තවත් අර්බුදයක්ද ?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3733 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 40 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1473 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site