IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලියා මැරූ පාපය ඇත්ගොව්වාට පළදුන් හැටි

 

ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

අලව්වේ, රාගල සේනාරත්න ගම්ලත් මහතා ලියා එවූ කතාවකි.


අලියා මැරූ පාපය 


වනජීවි ලොවේ සතුන් අතර අලියාට සහ ඇතාට හිමිවෙන්නේ සුවිශේෂී තැනකි. ලොව වෙසෙන සතුන්ගෙන් විශාලම සත්වයා වන්නේද අලියා සහ ඇතා ය. ප්‍රාග් බෞද්ධ ඓතිහාසික යුගවල සිටම මේ සත්වයා මිනිසාට ඉතා සමීපව සිටියෙකු බව බෞද්ධ සූත්‍ර දේශනා තුළින් මොනවට පැහැදිළි වේ. පෙර රජවරුන් පාලනතන්ත්‍රයේදී යුද කටයුතු සඳහා මූලිකත්වය දී ඇත්තේ අලි ඇතුන්ට බව චතුරංගනී සේනාව නම් වූ ඇත්, අස්, රිය, පාබල යනුවෙන් යුද බලඇණි නම් කර තිබීමෙන්ම වටහාගත හැකිය.


මෙකල වුවද ඇතිවී තිබෙන නවීන තාක්ෂණය මත යන්ත්‍රෝපකරණ භාවිතයට පැමිණියද අලි ඇතුන් මිනිසාගෙන් ඉවත්කළ නොහැකි වී ඇත. එසේම රට තුළ අඛණ්ඩව පැවත එන පෞරාණික චාරිත්‍ර විධි සඳහාද අලි ඇතුන් නැතිවම බැරිය.


වර්තමානයේ ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් සංඛ්‍යාව ලේඛන අනුව ඉතා අවමයක පවතින අතර හීලෑ කරගෙන ඇති සංඛ්‍යාවද අතළොස්සකි.


හීලෑ අලි ඇතුන්ගෙන් වැඩ ගැනීම අලි භාෂාව අනුව එක්තරා කාරුණිකත්වයකින්, ඉවසිලිවන්තව සහ උපක්‍රමශීලිව කළ යුත්තක් වන්නාසේම, එසේ නොවූ විට, දරදඬු පාලනයෙන් ඇතැම් ඇත්ගොව්වන් කනගාටුදායක සිද්ධීන්වලට මුහුණ පෑ අවස්ථාද අසන්නට ලැබී ඇත. එසේම එහිම අනිත් පැත්ත වෙන්නේ අලි ඇතුන් වැඩවල යෙදවීමේදී අලි ඇතුන් තලා පෙලා, බැරි බර අද්දවා, සුදුසු නුසුදුසු වේලාව නොබලා කටයුතු කිරීම නිසා අකාලයේ මරුමුවට පත්වූ අවස්ථාද නැත්තේ නොවේ.


මේ එවැනි සත්ත්ව කරුණාව නොදත් අකාරුණික, කෘර ඇත්ගොව්වෙකු පිළිබඳ කතාවකි. ඔහු අලි ඇතුන් බැලීමේ රැකියාව කළේය. අයිතිකරු විසින් තමා වෙත භාරදුන් අලියා ලවා බර ඇද්දවීම, ගස් ගල් පෙරළවීම සහ වෙනත් බර වැඩද කරවීය. බොහෝ විට ඉසිලිය නොහැකි බර එසවීමටත්, ඇදීමටත් අණ කළේය. එවිට අලියා දණ ගසා හොඬය කරකවා හිස පහත් කර උත්සාහ කර පසුපසට යයි. එවිට ඇත්ගොව්වා කෑගසමින් බලකරමින් කෙවිටෙන් තලයි. තම අලියාට වද දිදී වැඩ ගැනීම ගැන දැනගත් අයිතිකරු ඇත්ගොව්වා ඉවත් කළේය.


ඉන් නොනැවතුණු ඔහු වෙනත් අලියෙකු බැලීමේ රැකියාවට ගියේය. දරදඬු ලෙස අලියා ලවා වැඩගන්නා බව දැනගත් අයිතිකරු ඇත්ගොව්වා ගෙන්වා අවවාද කළත් පලක් නොවූ හෙයින් රැකියාවෙන් ඉවත් කළේය.


ඔහු එයින් පසුව තවත් තැනක එම රැකියාවටම ගියේය. එහෙත් “කැලේ වෙනස් වුවත් කොටියාගේ පුල්ලි වෙනස් නොවෙන්නා සේ” ඔහුගේ ගති පැවතුම් එසේම විය. අලියාට කළ නොහැකි වැඩවල යෙදවීය. නොසෑහෙන බර ඇද්දවීය. කෙවිටෙන් තලා හෙණ්ඩුවෙන් ඇනීම නිසා දෙපාවල තුවාල ඇතිවී අලියා ලෙඩ ගානට වැටුණි. 


හොඳට වැඩ කරමින් සිටි පුෂ්ටිමත් සිරුරකින් හෙබි තරුණ පෙනුමැති අලියා ඇවිද යන්නේ අපහසුවෙනි. ශරීරය කෙට්ටු වී තුවාල පැසවා සැරව ගලන්නට විය. අයිතිකරුට අලියා ලෙඩ වී ඇතැයි අත්ගොව්වා කී විගස වෛද්‍ය ප්‍රතිකාර කළත් ඔහුගේ නොමනා ක්‍රියා කලාපය නිසා අකාලයේ අලියා මියැදුණේය.


කවදත් මතින් මත්වී මසින් සප්පායම් වී සිටි ඔහු රැකියාව අහිමිව අසරණව සිටියේය.


“බිජු වට වපුල සැණින් පළ හට නොගන්නා සේ” ටික කලක් ගත විය. ඇත්ගොව්වාගේ දෙපාවල බිබිලි දමා කසන්නට විය. බිබිලි තුවාල බවට පත් විය. එම තුවාල පැසවා සැරව ගලන්නට පටන් ගෙන ප්‍රතිකාර කළත් එතරම් සුවයක් නොලබා කලක් දුක් විඳ මියැදුණේ අප බුදුන්වහන්සේ දේශනා කොට වදාළ “දිට්ඨධම්මවේදනීය කර්මය” පළදෙන අයුරු පසක් කරමිනි.


බණ්ඩාරගම කේ. ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.


හිච්චි හාමිනේ යන නමින් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන ඕ සැබැවින් එතරම් උස්මහත් නැති ගැහැනියකි. ප්‍රදේශයේ කුප්‍රකට කාන්තාවක වූ ඕ පෙනුමෙන් ශාන්තදාන්ත වුවද ඉතාමත් සැර පරුෂ එකියක වූවාය. තමන්ට වඩා වයසින් බාල පොලිස් නිලධාරියකු සමග විවාහ වී සිටියාය. දරු සුරතල් බැලීමේ වාසනාව අහිමිව සිටි ඔව්හු නුදුරු ගමක විසූ ඇඟලුම් කම්හලක සේවයෙහි නියුතුව සිටි අවිවාහක තරුණියක විසින් ප්‍රසූත කරන ලද ළදරුවකු දරුකමට හදාගත්හ.


පොලිස් නිලධාරියකු වූ සිය සැමියා මඩකළපුවේ සිට මසකට වරක් ගෙදර එනවිට ඔහු ලවා කරවාගත යුතු වැඩ ලැයිස්තුවක් ලියාගැනීමට ඇය පුරුදුව සිටියාය. ඔහු ඒ සියල්ල අනිවාර්යෙන්ම කළ යුතු විය.


සිය සුවිසල් නිවසෙහි දඩබ්බර පුත්‍රයා සමග විසූ ඕ එහි නේවාසිකාගාරයක් හෙවත් බෝඩිමක් පවත්වාගෙන ගියාය. ඇය අය කළ ගාස්තුව ඉතා ඉහළ වුවද ඊට සරිලන ආහාර පාන හා අනෙකුත් පහසුකම් ඇගෙන් නොලැබීම හා ඇය විසින් ඔවුනට පනවා තිබූ දස නීති නිසාවෙන් කිසිම බෝඩිංකරුවෙක් මාස දෙකකට තුනකට වඩා එහි විසුවේ නැත.


වරක් එක්තරා විශ්‍රාමික ගුරුවරයෙක් ඇගේ බෝඩිමේ නේවාසිකව සිටියේය. ඇගේ ආහාරපාන හා පහසුකම් සීමිත වූයෙන්ද ඇගේ දස නීති දඩබ්බර වූයෙන්ද සෙසු අය සේම ඔහුද එහි විසුවේ දෙමසකි. නුදුරෙහි තිබූ වඩා හොඳ බෝඩිමක් සොයාගත් හේ එහි පදිංචියට ගියා පමණක් නොව සිය පැරැණි බෝඩිමේ සිටි සියලුම නේවාසිකයන්ද එහි රැගෙන ගියේය.


ඉන් බොහෝ සේ කිපුණු හිච්චි හාමිනේ එම ගුරුවරයා සිය නිවසෙහි තිබූ ලක්ෂ ගණනක රත්තරන් බඩු හොරාගෙන ගොස් ඇති බවට ප්‍රදේශය පුරා කීවාය. ඇතැමුන් නිහඬව එම කතාව අසා සිටි අතර බහුතරය කීවේ එය මුසාවක් බවයි.


“ලක්ෂ ගණනක බඩුනේ. ඉතිං ඇයි පොලිසි යන්නෙ නැත්තේ?” ඇතැමුන් අසද්දී ඕ නිහඬව සිටියාය.


ඇගේ ඥාති පුත්‍රයකුගේ බිරිඳ මඟුල් ගෙවල්වල යනවිට ඇගේ ස්වර්ණාභරණ ණයට ඉල්ලාගෙන යන පුරුද්දක් විය.


“කෝ මගෙ බඩු ටික තවම ගෙනැත් දුන්නේ නැහැනෙ.” හිච්චි හාමිනේ දුරකථනයෙන් ඇයට කීවාය.


“මොනවා... පුංචි අම්මෙ මේ දවස් තුනට ඕක අමතකද? ඉරිදා හවස මමයි මුදලාලියි ඇවිත් දීල ගියේ” ඕ විශ්මයෙන් කීවෙන් ඇය දුරකථනය තැබුවාය.


ඉන් නතර නොවූ එම යුවල වහා එහි දුව ආහ. “පුංචි අම්මේ මතක නැද්ද ගිය ඉරිදා අපි දෙන්නා ඇවිත් බඩු ටික දීලා ගියා...? අපි වරකත් කාලා අල්ලපු ගෙදර ගහෙන් වෙරළුත් අහුලාගෙන ගියේ...” ඔව්හු විශ්මයෙන් අසද්දී ඕ නිහඬ වූවාය.


යට කී විශ්‍රාමික ගුරුවරයාට සියලු විස්තර සැලවී තිබිණි. අනුනට එසේ චෝදනා කළද හිච්චි හාමිනේගේ දඩබ්බර පුත්‍රයා සිය මිතුරකු සමග එක්වී ඒවා සොරකම් කරගෙන ගොස් විකුණා ඇති බවද ඔහුට ආරංචි වී තිබිණි. කෝපයට පත් හේ ඇයට බරපතළ ලෙස තර්ජනය කැර ලියුමක් එව්වාය.


“මම උඹේ රත්තරං බඩු සොරකම් කළා නම් අතැන මෙතැන කියන්නෙ නැතුව පොලිසි පලයං. එතකොට මම කියන්නම් උඹේ මළ දානෙ තියෙන තැන.” ඔහු එසේද කියා තිබිණි.


“මම ඕකගෙ අත පය කඩවනවා. ඌ දන්නෙ නෑ මගේ හැටි. මගේ මහත්තය පොලිසියේ බව ඌට අමතක වෙලා.” හිච්චි හාමිනේ තැන තැන කියෙව්වාය.


ගුරුවරයා දිනක් රැයේ ඇගේ නිවෙස අභියස පාරේ සිය යතුරු පැදියෙන් යමින් සිටියේය. එම අවස්ථාවේ විදුලියද අක්‍රීයව තිබිණි. එම පටු පාරේ යම් පුද්ගලයෙක් හිටගෙන සිටින අයුරු හේ දුටුවේය. ඔහුගේ සැකය ක්ෂණයෙන් ඉහළ ගියේය. නමුදු සිය යතුරු පැදිය ආපසු හරවා ගැනීමට එම දුර ප්‍රමාණය මදි බව ඔහුට වැටහිණි. ඒ සමගම එම පුද්ගලයා පසුපසට කර සඟවාගෙන සිටි පොල්ලක් තමා වෙත අමෝරන බවද හේ දුටුවේය. ඔහුට ගණදෙවි නුවණ පහළ විය. ක්ෂණයෙන් සිය යතුරුපැදියේ වේගය දෙගුණ තෙගුණ කැර එය එම පුද්ගලයා වෙතට පැදවීය. බියට පත් එම පුද්ගලයා පාර අයිනේ කාණුවට පැන්නේය. ඔහු ගුරුවරයා වෙත පොලු පහරක් එල්ල කළද එය වැදුණේ ඔහුගේ යතුරු පැදියේ ප්‍රධාන විදුලි බහනටය. එය නිවී ගිය අතර ඔහු යතුරු පැදියත් සමග ඇදගෙන වැටුණේය. ඔහු පාරේ අනික් පස කාණුවට වැටුණු අතර යතුරු පැදිය කාණුව හරහා වැටිණි.


තමාට පහරදුන් පුද්ගලයා තමා වෙත දුවගෙන එන හඬ ඔහුට ඇසිණි. නමුත් කාණුවේ දිගාවී සිටින තමාට ඒ හරහා වැටී ඇති තම යතුරුපැදියෙන් ආරක්ෂාව සැලසෙන බව අඩ අඳුරේම තේරුම් ගත් හේ කෑගැසුවේවත් නැගී සිටීමට උත්සාහ කළේවත් නැත. එසේ කළොත් තමා ප්‍රහාරයකට ඉලක්ක වෙන බව හේ ක්ෂණයෙන් වටහා ගත්තේය.


ප්‍රහාරකයා දුවගෙන විත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සියලු පහරවල් අඩ අඳුරේ වැදුණේ ඔහුගේ යතුරු පැදියටය.
“බුදු අම්මෝ......... ගහන්න එපා ..........ගෙ පුතෝ..... මේ මම හේරත්....” කෙනෙක් විලාප නගද්දී තවත් කෙනෙක් කෙනෙකුට නොනවත්වා පහරදෙයි.


පහර කෑ පුද්ගලයා ඇදගෙන වැටෙන හඬද කාණුවේ වැටී සිටි ගුරුවරයාට ඇසිණි. ඔහු බලවත් ආයාසයෙන් කෙඳිරිලි හඬ නගයි.
“තව එකෙක් ඉඳලා. ඌ අරූට ගහනවා.” ගුරුවරයා කල්පනා කළේය.


හේ මදක් හිස ඔසවා බැලුවේය. කෙනෙක් තවත් කෙනෙක් ඔසවාගෙන යන අයුරු හේ අඩ අඳුරේ දුටුවේය.


නුදුරු නිවෙසක අයෙක් විත් ගුරුවරයා නැගිටුවේය. ඔහුට සුළු තුවාල දෙකකි. හේ සිය යතුරු පැදිය එහිම දමා නුදුරු පොලිසියට ගොස් පැමිණිලි කැර මිතුරකු සමග රෝහලට ගියේය.


“මොදක වුණේ?” හෙදියක් ඇසුවාය.


“මම බයික් එකේ යන කොට කෙනෙක් මට පොල්ලකින් ගැහුවා” හේ කීවේය.


“ඒ පැත්තෙම පාරෙකදි පොල්ලකින් ගහලා අන්න තව එක්කෙනෙක් ගෙනාවා. එයාට නම් බරපතළ තුවාල” හෙදිය කීවාය.
ඔහු තම සුළු තුවාල දෙකට බේත් දම්මවාගෙන වාට්ටුවට ගිගේය. ඇඳ මත හේ හොඳින් දන්නා හඳුනන හේරත් නමැත්තා සිහිසුන්ව වැතිර සිටියේය. කරණවෑමියකු පැමිණ ඔහුගේ හිස මුඩු කරමින් සිටියේය. ඒ ඔහුගේ බරපතළ තුවාලවලට බෙහෙත් දැමීම සඳහාය.
ඔහු රෝහලට රැගෙන විත් තිබුණේ යටකී හිච්චි හාමිනේ විසිනි. ඇයද කෝපයෙන් පුපුරමින් එහි පසෙක සිටියාය.


හේරත් නමැත්තා හිච්චිහාමිනේගේ සමීප ඥාතියෙකු බවත් ඔහු තවත් අයෙකු සමග එක්වී විදුලිය විසන්ධි කැර තමාට පහරදීමට පැමිණ ඇති බවත් තම ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඔවුන්ගේ සැලසුම අසාර්ථකව හේරත් තම සගයාගේ නිර්දය ප්‍රහාරයට ලක්ව ඇති බවත් ගුරුවරයාට පසක් විය.


බරපතළ තත්ත්වයෙන් සිටි හේරත් එදින රැයේම වෙනත් රෝහලකට මාරු කැර යැවිණි. දින කිහිපයකට පසුව යාන්තමින් සුවය ලබා හේ බලෙන්ම ටිකට් කප්පවාගෙන රෝහලින් ගොස් තිබිණි.


බොරු නමකින් වෙනත් රෝහලකට ඇතුළත්ව එහි දැඩිසත්කාර ඒකකයේ තෙසතියක් සිටි හේ ගෙදර ආවේ මසකට පසුවය. ඒ බව සැලවී ගුරුවරයා එම රෝහලට ඇමතුමක් දෙන ලදුව සත්‍යය සොයා ගත්තේය.


හේරත් පොලිසියට කීවේ ගුරුවරයා වුවමනාවෙන්ම තමා යතුරුපැදියේ හැප්පවූ බවයි. එහෙත් ඔහු රෝහලට කට උත්තර දී තිබුණේ නොහඳුනන අයකු අඳුරේ තමාට මුගුරකින් පහර දුන්නා යනුවෙනි.


මේ පරස්පර කට උත්තර දෙක මත ඔහුට එරෙහිව තදින්ම ක්‍රියා කළ යුතු නමුදු හිච්චි හාමිනේගේ සැමියා සිය පොලිස් බලතල යෙදීම නිසා පොලිසිය ලිස්සා ගියේය.


ගුරුවරයාට පහරදීමේ චෝදනාව ගියේ අධිකරණයට නොව සමථ මණ්ඩලයටය. හේ හේරත්ගේ සියලු ප්‍රකාශ බොරු බවට මොනවට සනාථ කරමින් ලක්ෂයක වන්දියක් ඉල්ලා සිටියේය.


අවසාන නඩුව අධිකරණයට යොමු විය. එහිදී ගුරුවරයාට රුපියල් විසිපන්දහසක වන්දියක් ගෙවීමට හේරත්ට සිදුවිය. ගුරුවරයා එම වන්දිය ගමේ පංසලේ දානශාලාව ගොඩනැංවීම සඳහා පූජා කළේය.


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අලියා මැරූ පාපය ඇත්ගොව්වාට පළදුන් හැටි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3734 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 40 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1474 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site