වළපල්ලට ගිය රටවල්

බල්ගේරියාවේ දරිද්‍රතාවය

 

 

 

මා මෙතෙක් කල් ලිව්වේ සෞභාග්‍යය පරලොව ගිය රටවල් ගැනය. එම රාජ්‍යයන්හි දුක්ඛිත මුස්පේත්තු ජීවිත ගෙවන ජනතාව ගැනය. ඔවුහු එළොවටත් මෙළොවටත් නැති ජීවිත ගෙවන අයුරුය. නිරන්තරයෙන් වෙනස්වන ලෝකයේ ඔවුහු තම පාලකයන් කෙරෙහි දක්වන ප්‍රතිරෝධය ගැනය. යථෝක්ත දේශයන්හි බොහෝ පාලකයන් ක්‍රියා කරනුයේ රකුසන් පරිද්දෙනි. ඒ එම රටවල බහුතර ජනතාවගේ මතයයි. මෙසේ ලියද්දී මට සිහිවෙන්නේ රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑමයි යන පද යයි.


අදත් යුරෝපයේ තවත් අන්ත දූෂිත අස්ථාවර රාජ්‍යයක පැටිකිරිය විදහා දක්වනු ලැබේ. එම රට බල්ගේරියාවය. අන්ත දුගී අසරණ භාවය සහ මානසික පීඩනය ඉවසා විඳ දරා ගැනීමට නොහැකිව යුරෝපයේ වැඩියෙන්ම දිවි නසාගන්නා පීඩිතයන් සිටින රට බල්ගේරියාවය. කළු මුහුදු කලාපයේ පිහිටි මේ රට ආර්ථික අහේනිය, දරිද්‍රතාවය හා පීඩනය නැමති කළු වළාවන්ගෙන් වැසී ගොස් ඇති අයුරු මම දුටුවෙමි. මනහර රටකි. සෞන්දර්යයෙන් යුත් දේශයකි. මෙහි කඳු හෙල් වන ලැහැබ්, ගිරි දුර්ග, ගංගා ඇළදොළ, වෙරළ තීරය මනස්කාන්තය. ඒ අයස්කාන්ත භූමිය තුළ මිහිදන් වී ඇත්තේ බල්ගේරියානු ජනතාවගේ ශෝකාලාපයයි.


සීඝ්‍රයෙන් ජනගහනය අඩුවන රටක්


දකුණු දිග යුරෝපයේ සර්බියාව, මැසිඩෝනියාව, රුමේනියාව, ග්‍රීසිය හා තුර්කිය යන රටවලට මායිම්ව කළු මුහුදු තීරයේ බල්ගේරියාව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මී. 110994 ක් හෙවත් ව.සැ. 42855 කි. ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තයයි. 2011 වර්ෂයේ දී මේ රටේ ජනගහණය ලක්ෂ 74ක් පමණ විය. 2019 වෙන විට මෙහි ජනගහණය ලක්ෂ 70 දක්වා අඩුවී තිබේ. ජනගහණය සීඝ්‍රයෙන් අඩුවන රටකි. යුද්ධ වලින් මියගිය සංඛ්‍යාව ලක්ෂ ගණනකි. විවිධ ලෙඩ රෝග සෑදී මියයන සංඛ්‍යාවද අධිකය. එමෙන්ම දරිද්‍රතාවය, පීඩනය ඉවසා විඳ දරා ගැනීමට නොහැකිව රැකියාවන් සොයා මෙහි සිට යුරෝපයේ වෙනත් රටවලට යන අයගේ සංඛ්‍යාව ද දෙගුණ, තෙගුණ වෙමින් පවතී. මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මෙහි දිනකට උපත් 171 ක් සිදුවෙද්දී දවසකට මියයන සංඛ්‍යාව 297 දෙනෙකි. රටේ ජනගහණය ක්‍රම ක්‍රමයෙන් අඩුවී යාමට මූලික හේතු මේවාය.


බල්ගේරියාවේ ජනාධිපති රුමෙන් රඩෙව්ය. (RUMEN RADEV) අගමැති බොයිකෝ බොරිසොව්ය. (BOYKO BORISOV). සාමාජික රටවල් 28 කින් යුත් යුරෝපා සංගමයට බැඳී වසර 11 ක් ගතවී ඇතත්, එම වසර එකොළහ තුළදී රට ඉදිරියට ගිය බවක් පෙනෙන්නට නැත. ලෝක ප්‍රශ්න විසඳීමට පුරසාරම් දොඩන, විවිධ ක්‍රියා මාර්ග ගන්නා යුරෝපා සංගමය තම වැයික්කියේ රටවලට කුඩම්මාගේ සැලකිලි දක්වන අයුරු පෙන්වාදීමට හොඳම උදාහරණයකි බල්ගේරියාව නැමැති මේ ජනරජය. ජාත්‍යන්තර මාධ්‍යයන් මේ රට හඳුන්වන්නේ පොහොසත් භූමිය - දුප්පත් ජනතාව යනුවෙනි. (RICH LAND POOR PEOPLE)


රැකියා නැති පිරිස ලක්ෂ 11 යි


අද බල්ගේරියාවේ විරැකියාව උග්‍රවී තිබේ. එහි පාලකයන් තරුණ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇත. දේශපාලන අස්ථාවරත්වය, දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා නිසා රට ප්‍රපාතයට ඇද වැටී ඇති අයුරු දැකගත හැක. යුරෝපයේ 14 වැනි විශාල මේ රට පුරා සිටින රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ඇති බව සංඛ්‍යා ලේඛන දක්වයි.


දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 38.9කි. විශේෂයෙන්ම ළදරුවන් 5,27,000 කට වැඩි පිරිසක් පෝෂ්‍යදායී ආහාර නොමැතිව ඉතා අසරණ අඩියට පත්වී ඇති බව ලෝක ආහාර සංවිධාන වාර්තාවල සඳහන් වේ. යුරෝපයේ කම්කරු රැකියාවක් කරන පුද්ගලයෙකු ලබන අවම මාසික වැටුප යුරෝ 575 කි. එහෙත් බල්ගේරියාවේ මාසික අඩුම වැටුප යුරෝ 260 කි. මෙය රටේ දරිද්‍රතාවය පිළිබිඹු කිරීමට හොඳම උදාහරණයකි. අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් අඩුම යුරෝපයේ රට බල්ගේරියාවය. 2018 ඔක්තෝබර් 18 දා ද අයිරිෆ් ටයිම්ස් (THE IRISH TIMES) පත්‍රයේ පළවූ විශේෂ ලිපියක සඳහන් වූයේ බල්ගේරියාව ලෝකයේ වේගයෙන් ගිලා බසින රාජ්‍යය බවය. (THE WORLD'S FASTEST SHRINKING NATION)


පාලකයන් සොරකම් කළ මුදල් විදේශ රටවල


සුදුස්සන්ට රටේ බලය හිමි නොවීම බල්ගේරියාව ප්‍රපාතයට ඇද වැටීමට ප්‍රධාන හේතුවකි. ජනපති හා අගමැති දෙපිළකට බෙදා ගහමරා ගන්නා රටක් කෙසේ ඉදිරියට යාවි ද? ලංකාවේ වාගේම මේ රටට ද අත්පත් වී ඇත්තේ මේ වින්නැහියයි. මේ කියන බල්ගේරියාවේ ද වල් වැදුණ දේශපාලකයන් ගම් වදින්නේ ඡන්ද කාලයට පමණකි. මෙහි අතීතයේ සිට මේ දක්වා දූෂිත දේශපාලකයන් මේ රට විනාශ කළ අයුරු විස්තරාත්මකව නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ සඳහන් කර තිබුණි. බොහෝ දේශපාලකයින් සොරකම් කළ මුදල් විදේශ රටවල බැංකුවල අති විශාල ධනස්කන්දයක් තැන්පත් කළ අයුරුද විදේශ රට වලින් දේපොළ මිලට ගත් අයුරුද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්ය.


2019 මැයි 16 දා බල්ගේරියාවේ ජනාධිපති රුමෙන් රඩෙව් එරට නීතිපති සොටීර් සට්සරොව් හමුවී දන්වා සිටියේ බල්ගේරියාවේ හිටපු පාලකයන් සහ වත්මන් ඇතැම් දේශපාලන බලධාරීන් පිටරට බැංකුවල තැන්පත් කර ඇති මුදල් හා එම රටවලින් මිලට ගත් නිවාස ඉඩම් පිළිබඳ විස්තර වාර්තා ලබාගෙන තමාට ඉදිරිපත් කරන ලෙසටය. මෙම කටයුතුවලට අගමැති බොරිසෝව් සහය ලබා නොදෙන බව මාධ්‍ය වාර්තා දක්වයි.


රට වළපල්ලට ගොස් ඇත්තේ දේශපාලකයන් යුරෝ බිලියන ගණනින් මහජන සම්පත් ​ෙකාල්ල කෑ නිසාය. ජනපති විසින් දූෂිත ඇමතිවරුන් දෙදෙනෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබීය. එහෙත් ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිමය පියවරක් ගෙන නැත. මෙහි දේශපාලකයන් සමග එක්වී යුරෝ බිලියන ගණනින් රජයට වංචා කළ බල්ගේරියාවේ අංක එකේ පොහොසතාවූ මාක් විලියම්ස්ට අත්හිටවූ සිර දඬුවමක් ලබාදී යුරෝ 2,77,616 ක දඩයක් නියම කිරීම මාධ්‍යයන්හි දැඩි විවේචනයට ලක්විය. බල්ගේරියාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙසේය. 2019 මාර්තු 25 දා සොෆියා නිව්ස් මාධ්‍ය වාර්තාවක මෙහි දූෂිත දේශපාලකයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වී තිබුණි.


බැංකු හොරුන්ට රැකවරණය ලැබුණ හැටි:


බල්ගේරියාවේ කෝපරේට් කොමර්ෂල් බැංකුවේ සභාපති සැමන්ටන් වැසිලෙව්ට රටින් පළායාමට එරට බලයට පත් දේශපාලකයන් උදව් කළ හැටි විස්තරාත්මකව සඳහන් වී තිබුණේ ෆෝර්බ්ස් (FORBES) සඟරාවේය. දේශපාලකයන් සමග එක්වී ව්‍යාපාරවලට ඉඩම් මිලදී ගැනීමට, විවිධ පුද්ගලයන්ට ණය ලබාදීමේ දී එම බැංකුව සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හේතුකොටගෙන බල්ගේරියා නැෂනල් බැංකුව මගින් යථෝක්ත බැංකුව වසා දමනු ලැබීය. ඉන්පසු එහි පරිපාලනයට එරෙහිව නඩු පැවරූ විට බැංකු සභාපතිවරයා රටින් පලා ගියේය. රටේ මූල්‍ය පද්ධතිය පිරිහී යාමට එක් හේතුවක් වූ මෙම ක්‍රියාවලියට වග කිවයුතු දේශපාලකයින් තවමත් බලයේ සිටින බව මාධ්‍ය වාර්තා දක්වයි. බැංකු සභාපති පසුපස සිටියේ දේශපාලකයන්ය.


මූල්‍ය පද්ධතිය මුළුමනින්ම පිරිහුණ ආර්ථිකය කඩා වැටුණ විවිධ කම්හල් රාශියක් වැසීගිය, මෙවැනි රටකින් උගතුන් පලායාමත්, තරුණ තරුණියන් යහපත් අනාගතයක් සඳහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ජර්මනිය ඇතුළු යුරෝපයේ වෙනත් රටවලට පැන යාමත් නිසා අද මෙහි තත්ත්වය ඉමහත් ඛේදජනකය. මේ සියල්ල සිදුවී ඇත්තේ අදූරදර්ශී, බලලෝභී, දූෂිත දේශපාලකයන්ගේ හපන්කම් නිසාය.


මුදල් කාබාසිනියා කළ මුදල් අමාත්‍යාංශය:


2014 ජුනි මාසයේ සිදු වූ දේශපාලකයන් සම්බන්ධ බැංකු වංචාවන් හේතු කොටගෙන 2014 අගෝ: 6 දා බල්ගෙරියා රජය විසුරුවා හැරීමේ සිද්ධිය එරටට මහත් ව්‍යවසනයක් අත්විය. එම වර්ෂයේම ඔක්තෝබර් 5 දා පැවැත්වූ මහ මැතිවරණයෙන් පසු නව රජයක් බලයට පත්වූ නමුත් බලයට පත්වූ අලුත් හොරුන් රට කන්නට පටන්ගත් බව ජාත්‍යන්තර මාධ්‍යයන් සඳහන් කරයි. එරට මුදල් අමාත්‍යංශය මගින් සිදුකළ ඩොලර් බිලියන 1.2 ක් හෙවත් යුරෝ මිලියන 600 ක බැඳුම්කර වංචාව ද රටේ ආර්ථික පරිහානියට බෙහෙවින් බලපෑවේය.


බල්ගේරියාවේ පාලක ගර්බ් (GERB) පක්ෂයේ නියෝජ්‍ය නායක සෙවන්ටන් වෙටනොව් සිදුකළ මහා පරිමාණයේ වංචා පිළිබඳ නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ අංශ පරීක්ෂණ පවත්වද්දී ඔහු පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු එම පරීක්ෂණයට ගියේය. බල්ගේරියාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙසේය. මෙය ද දේශපාලකයන්ට එරෙහි නඩු වාශ්පවෙන අරුම පුදුම දේශයකි. බල්ගේරියාවේ අධිකරණ ඇමතිවරයා ද ඉල්ලා අස්වූයේ ඔහු නඩුකාරයින් අල්ලේ නැටවූ බව හෙළිවීමෙන් පසුවය. හොර වැඩ කරන නඩුකාරයන්ට නීතිය හරස් නොවන රටකි බල්ගේරියාවය. 2019 අප්‍රේල් 4 දා රොයිටර් වාර්තාවක මේ සියල්ල සඳහන් විය.


කෘෂිකර්ම ඇමැතිගේ හොරකම්:


යුරෝ මිලියන ගණනින් හොරකම් කළ බවට චෝදනා එල්ලවූ බල්ගේරියාවේ කෘෂිකර්ම ඇමති රුමෙන් පොරොස්නෝව් (RUMEN POROZHANOV) ඉල්ලා අස්වී ඇඟ බේරාගත් අයුරු 2019 අප්‍රේල් 14 දා යුරෝ නිව්ස් (EURO NEWS) මාධ්‍ය වාර්තාවක සඳහන් විය. එහි දැක්වෙන්නේ රටේ දුක්විඳින, දහඩිය වගුරුවන, අසරණ ගොවි ජනතාවගේ විවිධ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ද, වගා ණය ලබාදීම සඳහා ද, පොහොර සැපයීම මෙන්ම ඉඩම් අස්වැද්දීම සඳහා ද, වාරි කර්මාන්ත ඉදිකිරීම සඳහා ද ජාත්‍යන්තර සංවිධාන ලබාදුන් අතිවිශාල ආධාර මුදල් මෙම ඇමතිවරයා සාක්කුවට දමාගත් අයුරු මාධ්‍ය වාර්තාවන්හි මොනවට විදහා දක්වා තිබුණි. රට කාබාසිනියා වීමට හේතුවූ දේශපාලකයන් සිදුකළ වංචාවන් රාශියක් මෙවැනි කෙටි ලිපියක සඳහන් කිරීම ඉතා අපහසු කාර්යයකි.


දූෂිතයන් අතට කාලයෙන් කාලයට රටේ පාලන තන්ත්‍රය මෙසේ මාරුවී යාම තුළින් රටක් අාගාදයට යනවා මිස වෙන කොහේ යන්න ද? බල්ගේරියාවේ ඉල්ලා අස්වූ කෘෂිකර්ම ඇමතිවරයා රටේ දුක්විඳින ගොවි ජනතාවට සහන ලබා නොදී රට පුරා සංචාරක නිවාස සිය ගණනක් ඉදිකළ අයුරුද දැන් හෙළිවී තිබේ. ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල විදේශ ආධාරවලට සිදුවූයේ මේවා නොවේද?


වදදී නිරුවත් කොට දූෂණය කර මරා දැමූ මාධ්‍යවේදිනිය

 

දසවද දී නිරුවත් කොට දූෂණය කළ මාධ්‍යවේදිනිය වික්ටෝරියා මරිනෝවා

 


දීර්ඝ කාලයක් තිස්සේ බල්ගේරියාවේ දේශපාලකයන් සිදුකළ දූෂණ හා වංචාවන් හෙළිකළ මාධ්‍යවේදිනියකි වික්ටෝරියා මරිනෝවා (VICTORIA MARINOVA). ඇය ස්වකීය මාධ්‍යකරණයට ඇතුළත් කර ගත්තේ දූෂිත දේශපාලකයන් විවිධ රටවල් විනාශ මුඛයට පත්කළ අයුරුය. අගාදයට ගිය විවිධ රටවල් මෙන් බල්ගේරියාව ද වළපල්ලට යන අයුරු ඇය පෙන්වා දුන්නේ උදාහරණ සහිතවය. බල්ගේරියාවේ ඇතැම් දූෂිත දේශපාලකයන්ට ඇය නයාට අඳුකොළ මෙන් විය.


ගවේෂණාත්මක මාධ්‍යකරණය තුළින් ඇය විවිධ දේශපාලකයන් සිදුකළ වංචාවන් නිර්භයව අභීතව හෙළි කළාය. විශේෂත්වය වූයේ ඇය බල්ගේරියාවේ කිසිදු දේශපාලකයෙකුගෙන් කිසිදු වරප්‍රසාදයක් ලබා නොගැනීමයි. එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවීමයි. බොහෝ දූෂිත දේශපාලකයන් ඇයට තර්ජනය කළහ. ඇය නොසැලී රට වෙනුවෙන් ස්වකීය කාර්යභාරය ඉටුකළාය.


2018 ඔක්තෝබර් 6 දා ඇයට දස වද දී නිරුවත් කොට දූෂණය කිරීමෙන් පසු අැයගේ නිරුවත් මළ සිරුර බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ඩැනියුබ් ගඟ අසල උද්‍යානයක තිබී හමුවිය. ඇය මෙසේ ඝාතනය කරනු ලැබූ අවස්ථාව වෙන විට ඇයගේ වයස අවුරුදු 30 කි. ඇයගේ ඝාතනය තවමත් අබිරහසකි. 2018 ඔක්. 8 දා ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවක සඳහන් වූයේ බල්ගේරියාව නිදහස් මාධ්‍යවේදීන්ට සුරක්ෂිත රාජ්‍යයක් නොවන බවය.


බල්ගේරියාවේ රාජ්‍ය පාලකයන් මෙම අබිරහස් මරණය යට ගැසූ බව විදේශ මාධ්‍ය වාර්තා දක්වයි. මෙම ඝාතනය එජා මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් ද හෙළා දුටුවේය. 1988 ඉපදී දූෂණයට එරෙහි නිදහස් මාධ්‍යකරණය වෙනුවෙන් 2018 දී දිවිපිදූ වික්ටෝරියා ජනතාව හමුවේ තැබූ හෙළිදරව් කිරීම් පොත් රාශියකට ඇතුළත් කළ හැක. එම හෙළිදරව් කිරීම්වලට බල්ගේරියාවේ මහා පරිමාණයේ වංචා දූෂණ රාශියක් ඇතුළත්ය.


මා ඉහතින් ඉදිරිපත් කළේ වළපල්ලට ගිය බල්ගේරියාවෙන් බිඳක් පමණකි. මේ රටට තවදුරටත් කුමක් සිදුවේදැයි කළු මුහුද බලාගෙන සිටී.

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්​ෙ‌​යා්ර්ක් නුවර සිට ලියයි