වළපල්ලට ගිය රටවල්

දුක් විඳින ජනතාව

 

 

 

අද ලොව බොහෝ රටවල ජනවාර්ගික අර්බුද උග්‍රවී ඇත. මහ ජාතිය සුළු ජාතිය වශයෙන් බෙදී වෙන්වී ඔවුන් හරඹ කිරීම මේ රටවල් ආපස්සට යාමේ මූලික හේතුවයි.


ධනයෙන් බලයෙන් තරවීම පමණක් තම අභිමථාර්ථය කරගත් දේශපාලකයෝ මේ හරඹ අතරට එක්වී රටවල් වනසති. එවැනි දේශපාලුවන්ට හිරිකිතයක් නැත. විවිධ දේශයන්හි සිවිල් අරගල ඇති වුණේ ආගමික හා ජාතික අර්බුද උග්‍රවීමෙනි. මෙවැනි සිවිල් යුද්ධ හටගත් හැම රටකම පාහේ සිවිල් යුද්ධ නිමවීමෙන් පසුවද ගොඩගිය බවක් දක්නට නැත.


ඔවුනොවුන්ට ජාතිය දමමින් ඇන කොටා ගන්නා මිනීමරා ගන්නා විවිධ ජන කොටස් අතරේ වීරයින් වන දේශපාලකයින්ගෙන් රටකට වැඩක් නැත. අද මෙම තීරුවෙන් හඳුන්වා දෙන්නේ සිවිල් යුද්ධයක් නිම වීමෙන් පසුවද කඳුළු එක්ක ගනුදෙනු කරන පීඩිත ජන සමූහයක් වෙසෙන අප්‍රිකාවේ තවත් අසමත් රාජ්‍යයකි.


ඇන්ගෝලාවේ අඳෝනාව


ඇන්ගෝලාව (ANGOLA) අප්‍රිකාවේ හත් වැනි විශාල රටයි. විශාලත්වය අතින් ලොව 22 වැනි ස්ථානය හිමිවී ඇත්තේ ඇන්ගෝලාවටයි. වසර 27ක් තිස්සේ සිවිල් යුද්ධයක් පැවති රටකි. ජාතික ධනයෙන් වැඩි කොටසක් රජය වැය කළේ මේ සිවිල් යුද්ධය මර්දනය කිරීමටය. සිවිල් යුද්ධය නිම වුණත් රට එතැනමය.


රාජ්‍ය දූෂණය සහ පවුල් පාලනය තුළින් මේ රටද නැත්තටම නැතිවී යමින් පවතී. දිනකට බොරතෙල් බැරල් මිලියන 2 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම, දියමන්ති ආකරවලින් සමන්විත මහා ධන නිධානවලින් යුත් මේ රට දේශපාලකයින් විසින් වවුල් හපයක් බවට පත්කර තිබේ.


මෙහි පාරවල් දිගේ කෙඳිරිලි නගමින් සැරිසරන දහස් සංඛ්‍යාත මව්පියන් නැති ඇටසැකිලි වැනි දරු දැරියන් දහස් ගණන් නගන දුක් අඳෝනාව රටේ සැබෑ තත්ත්වය ලොවට හඬගා කියාපායි.


නැම්බියාව, කොංගෝව, සැම්බියාව සහ අත්ලාන්තික් සාගරයට මැදිව මේ රට පිහිටා ඇත. අගනුවර ලුවන්ඩාය. ලුවන්ඩා අගනුවරද වැඩි කොටසක් අපායක් බඳුය. විශාලත්වය ව.කි.මී. 1246700 කි. එනම් ව.සැ. 481400 කි.


ජනගහනය දෙකෝටි හැට ලක්ෂයකට ආසන්නය. (2,57,89,024) දීර්ඝ කාලයක් තිස්සේ පෘතුග්‍රීසීන් විසින් පාලනය කළ රටකි. මෙහි පෘතුග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වී ඇත්තේ මේ නිසාය.


දැන් ජනාධිපති ජෝ ලොරෙන්කෝය. (JOAO LOURENCO) ඔහු බලයට පත්වුණේ 2017 නොවැ. 11 දාය. හිටපු ජනාධිපති සැන්ටෝස්ගේ 38 අවුරුදු පවුල් පාලනය නිම කර ඔහුට රටේ මුල් පුටුව හිමිවී වසර 2ක කාලයක් ගතවී ඇතත් රට වළපල්ලට යාම වැළැක්වීමට ඔහු ද සමත් වී නැත.


​දේශපාළුවන් කඹ අදින හැටි


1975 පෘතුගීසීන්ගෙන් මේ රට නිදහස ලබා වසර 44ක් ගතවී ජනාධිපතිවරුන් දෙදෙනකු රට පාලනය කරනු ලැබූවන් පෘතුග්‍ීස්‍ීන් විසින් කොල්ලකෑ මේ රටේ කිසිදු දියුණුවක් සිදුවී නැත.


අවුරුදු 44ක් තිස්සේ ජාත්‍යානුරාගය, ජාතිවාත්සල්‍යය, බොරුවට ආරූඪ කරගත් පුද්ගලයෝ විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන අටවා ගෙන රට වැනසූහ. ජාතික ධනය මංකොල්ල කෑහ. රටේ ඇල්පෙනිත්තියක්වත් නිපදවීමට ක්‍රියා නොකළහ.


ඇල්පෙනිත්තියක්වත් නිපදවන්නේ නැති රටක් ඉදිරියට යන්නේ කෙසේද? ලංකාවේද බොහෝ දේශපාලකයින් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසිකාරයින් පතුරු ගසමින් වසර 71ක් තිස්සේ කඹ ඇදීමේ තරගයක නිරත වූ බව කිවයුතුමය. රට දියුණු වුණාද?


ඇන්ගෝලාව සිවිල් යුද්ධය නිසාම නොව 2016 දී සිදු වූ දැඩි නියඟය නිසාද පීඩාවට පත්වූ දේශයකි. එම නියඟයෙන් පළාත් 18ක ලක්ෂ 16 කට වැඩි ජනතාව දැඩි ආහාර හිඟයකට ගොදුරු වූහ.


මියගිය සංඛ්‍යාව දස දහස් ගණනකි. යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වැඩිය බොහෝ බංකොලොත් රටවලට ස්වාභාවධර්මයද හරහට හිටින්නේ මෙහෙමය. මේ රට අද ආර්මේනියාව, නේපාලය, සෙනෙගාල් සහ ඉතියෝපියාව යන රටවලටත් වඩා දිළිඳුය.


මුළු ජනගහනයෙන් සියයට 48ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළේ. ගම්බද ප්‍රදේශයන්හි දරිද්‍රතා ප්‍රතිශතය සියයට 84ක් පමණ වේ. මේ බව සනාථ කරනුයේ ඕ.පී.එච්.අයි. (O.P.H.I.) හෙවත් ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතා හා මානුෂික උපයෝගිතා ඒකකයයි.


කෙටියෙන්ම පවසන්නේ නම් මුළු ජනගහනයෙන් තුනෙන් එකක් (1/3) අන්ත දුගී අසරණ පුරවැසියන්ය. පෝලියෝ රෝගය වැලඳුන ළමයින්ගේ සංඛ්‍යාව 90,000 කට වැඩිය. ඒඩ්ස් නමැති එච්.අයි.වී. (HIV) වෛරසය වැලඳුන පිරිස 190,000 කට අධිකය. මින් බහුතරය කාන්තාවන්ය. කොලරාව ප්‍රමුඛ ලෙඩ රෝග රට පුරා පැතිරී ඇත්තේ සෞඛ්‍ය පහසුකම් නැති නිසාය. පිරිසිදු ජල පහසුකම් නැති නිසාය. කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නැති නිසාය. මේ දත්තයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යා ලේඛනවලින් ලබාගන්නා ලදී.


රෝගීන් 25,000 කට සිටිනුයේ එක වෛද්‍යවරයෙකි. බොහෝ​ රෝහල්වල වෛද්‍යවරුන් නැත. සෑම ළදරු උපත් 1000 කින් 230ක් උපතේදීම මියයන රටකි.


වයස අවු. 5 වන විට සෑම ළමයි 5 දෙනෙකුගෙන්ම එක් අයකු මියයයි. කලන්ඩුලා (KALANDULA) වැනි පළාත්වල කිසිදු සංවර්ධනයක් සිදුවී නැත. එම පළාතේ පමණක් ගම් 460 කට පමණ සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය ආදී පහසුකම් නැත. රට පුරාම තත්ත්වය මෙසේය.

 

ඇන්ගෝලා ජනපති ජෝලෝරෙන්කෝ

 

 


හිඟාකන දේශය


වයස අවුරුදු 5ත් 15ත් අතර ළමයින් 125,000 කට වැඩි පිරිසක් කම්කරු රැකියාවන්හි නිරත වී සිටිති. ඔවුන් දහඩිය වගුරුවමින් ශ්‍රමය වැය කරන්නේ කුසගින්න නිවා ගැනීමටයි.
පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ළමා ජනගහනයෙන් සියයට 40 කට වැඩිය. බොහෝ ළමයි ධීවර වාඩිවල හා මහ මුහුදේ ධීවර කර්මාන්තයෙහි නිරත වී සිටිති.


එමෙන්ම ළමයින් ගොවි බිම්වල ශ්‍රමය වැය කරන අයුරු හද කම්පා කරවන සුලුය. තෙල් සම්පතින් පොහොසත් මේ රට දේශපාලකයින් විසින් හිඟාකන දේශයක් සහ ලොව දූෂිතම රාජ්‍යයක් බවට පත්කර ඇත. මා ඉහතින් සඳහන් කළේ ඇන්ගෝලාව නමැති මේ රටේ වත්මන් තත්ත්වයෙන් බිඳක් පමණකි.


මේ කියන ඇන්ගෝලාවේද සිටින්නේ රටේ අයවැය පරතරය පියවා ගන්න ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු විවිධ අන්තර්ජාතික මූල්‍ය සංවිධානවලින් ආධාර හා ණය ලබා ගෙන රටේ ණය කඳු ගොඩගන්න පාලකයින්ය.


මේ රටේද රජයේ සේවකයින්ට පඩි ගෙවන්නේ රට රටවලින් විදේශ බැංකුවලින් ගිනි පොලියට ලබා ගන්නා ණයවලිනි. මෙවැනි තත්ත්වයට රටක් පත්වන්නේ පුරසාරම් දොඩවන, ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරන කපටි කෛරාටික බලලෝභී දූෂිත දේශපාළුවන්ගේ උප්පරවැට්ටි හා සොරාකෑමේ ප්‍රවණතාව උග්‍රවීම හේතු කොටගෙනය.
මේ රටේද මෙතෙක් බලයට පත් හැම පාලකයෙක්ම පාහේ සිදු කළේ පවුල් බලය තහවුරු කර ගැනීම සහ රාජ්‍ය දේපොළ විකිණීම සහ කොල්ලකෑමයි.


ඇන්ගෝලාව වැනසූ සැන්ටෝස්ගේ පවුල් පාලනය


ඇන්ගෝලාව මේ තත්ත්වයට ඇදවැටීමට ප්‍රබල සාධකය වූයේ එහි හිටපු ජනාධිපති සැන්ටෝස්ගේ (SANTOS) ඒකාධිපති පවුල් පාලනයයි. තෙල්වලින් හා දියමන්තිවලින් පොහොසත් මේ රට නැත්තටම නැති කළේ සැන්ටෝස් පවුලයි. ඔහු ගැන 2012 පෙබ. 09 දා ෆෝර්බ්ස් (FORBES) සඟරාව පළ කළ ලිපියෙහි සිරස්තලයේ සිංහල පරිවර්තනය වූයේ අප්‍රිකාවේ දූෂිතම ඒකාධිපති පාලකයින් පස්දෙනා යනුවෙනි.


එඩුවර්ඩෝ සැන්ටෝස් (EDUARDO DOS SANTOS) වසර 40 කට පෙර ඇන්ගෝලාවේ හමුදාපතිය. තරු හතරේ ජනරාල්ය. ඔහු රටේ පාලනය සියතට ගත්තේ 1975 දීය. 2017 වනතෙක් රට පාලනය කළේ ඔහු සහ ඔහුගේ පවුලයි. රටේ ප්‍රධාන සම්පත් සියල්ලම තමා සහ තම පවුල සතුකර ගත්තේය.


වත්මන් බිරිඳට පමණක් නොව හිටපු බිරියන් දෙදෙනාටද එම විවාහයන්හි දරු දැරියන්ටද ජාතික ධනයෙන් හොඳට සැලකූ පාලකයෙකි. මේ රට කාබාසිනියා කළේ ඔහු සහ ඔහුගේ පවුලයි.

 

 


කැලෑ නීතියට යටවුන ඇන්ගෝලාව


දැන් 77 හැවිරිදි වියේ පසුවන මේ සැන්ටෝස්ට තවමත් රජ සැපය. මහජන දේපොළ කොල්ලකෑම පිළිබඳව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. ඔහු සහ පවුලේ උදවිය රටේ පාලනය වෙනස් වුවත් තවමත් සතුටින් විරාජමානව සියලු වරප්‍රසාද බුක්ති විඳිමින් සිටිති. මේ රටේද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඇන්ගෝලාවේද තිබෙන්නේ කැලෑ නීතියයි. නීතියට යටත් වන්නේ අසරණයින් පමණකි.


මේ සැන්ටෝස් රටට නිදහස ලබා ගැනීමට කිසියම් කාර්යභාරයක් ඉටුකළ බව ඇත්තය. එහෙත් ලබාගත් නිදහස තුළින් අයුතු ලාභ ලබමින් රට කොල්ලකෑමට ජනතාව ඔහුට බලය ලබා දුන් බව ඔහු සිතුවේය. ඔහුට වැරදුන තැන එතැනය. මුදල් විශුද්ධීකරණය, රාජ්‍ය දේපොළ විකිණීම, තෙල් හා දියමන්ති කර්මාන්තය විදේශ සමාගම්වලට පැවරීම, ඉදිකිරීම් ආදී මාර්ගවලින් ඔහු ඉපයූ ධනය ඩොලර් බිලියන 5 කට අධික බව හෙළි කරන්නේ විදේශ මාධ්‍යයන්ය.


ඔහුගේ වැඩිමහල් දියණිය ඉසබෙලා සැන්ටෝස්ය. තෙල්වලින් ලැබූ ආදායමෙන් ඩොලර් බිලියන 32ක් අතුරුදන් වීමට වගකිව යුත්තේ ඇය බව අනාවරණය විය. ජනාධිපති තාත්තා ඇයට රටේ තෙල් නිෂ්පාදනයෙහි පරිපාලනය බාර දුන්නේය.


ඇය දිගට හරහට මහජන ධනය සොරකම් කළාය. සැන්ටෝස් තෙල් සමාගම ඇයට අයත්ය. සොනගෝල් (SONAGOL) නමැති රජය සතු ඛනිජ තෙල් නිපදවීමේ අධිකාරියේ සභාපති තනතුරට ඇය පත් කිරීම තුළින් සිදුවූ මහා පරිමාණයේ දූෂණ වංචා දැවැන්තය. තාත්තා ජනපති වීමෙන් පසු ඇය ලන්ඩනයට පැන ගියාය.


ජනපති බිරිඳ හා ළමයින්ගේ කියුම් කෙරුම්


2017 අගෝ. 14 ‘ද ගාඩියන්’ ඇය සිදු කළ වංචා දූෂණ පිළිබඳ දීර්ඝ වාර්තාවක් පළ කර තිබුණි. ජනපති තාත්තා ගිය විට ඉසබෙලා දුවට සිදුවන්නේ කුමක්ද? යන්න එම ලිපියේ සිරස්තලයයි.


ඇය රටේ දුරකථන ජාලයට සම්බන්ධ ආයතනවල සිට බැංකු හා සිමෙන්ති නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙහෙයවීම් සිදු කළ හැටි එම වාර්තාවේ සඳහන් වේ. රට පුරා සුපර් මාර්කට් ජාලයක් ඇරඹුවේද මේ ජනපති දුවයි.


2013 ජන. 25 දා ‘ද ඕස්ට්‍රේලියන්’ THE AUSTRALIAN පුවත්පත ජනපති සැන්ටෝස්ගේ බිරිඳ ගැනද විශේෂ ලිපියක් පළ කළේය. එහි සිරස්තලය ඇන්ගෝලාවේ ප්‍රථම කාන්තාව වූ අප්‍රිකාවේ ධනවත්ම කාන්තාව යනුවෙනි.


ඇය සතු බැංකු සහ ඩීයානා සම්බාහන ආයතන පිළිබඳ එම ලිපියෙහි විස්තර ඇතුළත් විය. ඇය ජනපති පියාගේ හයිය කරට ගනිමින් තම ඥාති සමූහයා රජයේ මූල්‍ය ආයතන සියල්ලටම පත්කරගෙන ගසා කෑම සිදු කළේ ජනතා සිතුම් පැතුම් හා අභිලාෂයන්ට පයින් ගසමිනි.


හිටපු ජනපති සැන්ටෝස්ගේ තවත් පුතෙකි පිලෝමිනෝ සැන්ටෝස්. රටේ ප්‍රධානතම බැංකුවක් වූ ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ සියයට 49ක කොටස් හිමි ඔහුටය. ඩොලර් බිලියන 5ක රාජ්‍ය අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා ද ඔහුය. ඔහු ගසා කෑ ධනය අපමණය. එමෙන්ම හිටපු ජනපතිගේ බිරිඳ වූ ඈනා පවුලාට බැන්කෝ සොල් මූල්‍ය ආයතනයේ කොටස්වලින් 60%ක් හිමිය.


‘ද ගාඩියන්’ පුවත්පත 2012 නොවැ. 2 දා පළ කළ ලිපියේ සිරස්තලයේ සිංහල අනුවාදය ඇන්ගෝලාවේ මාලිගාවේ රජ කරන්නේ කාගේ කවුද? යන්නයි. මෙසේ ජනපති පවුලක් රටේ සාරය උරා බොන රටක් ඉදිරියට යන්නේ කෙසේද?

 

 

 

සිරිහීන්පැල්ල
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි