ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   

ගුරුකමට බොරු කළ ඩේවා මරුවාට ළං වූ හැටි   


‘ඔතැන තමයි තැන’ කී මාමා යතුරුපැදිය නතර කළ පසු බිමට බැස කඩුල්ලේ වූ ලී කැබලි කීපය ඉවත් කළේය. මම යතුරුපැදිය වත්ත තුළට ගත්තෙමි. එය දිගු කලක් තිස්සේ රිසි සේ වැඩුනු වල් පැළෑටි වලින් ගහනය. ගෙමිදුල බොහෝ කලකින් කැත්තක, උදැල්ලක, ඉදලක පහස ලබා නැත. නිවස මෙරට උළු සෙවිලි කර ඇත. එයද අපිළිවෙළය. බිත්ති තැනින් තැන බදාම ගැලවිලාය. දිය සෙවෙල් බැඳිලාය. ගෙට ගොඩවූ මාමා නිවැසියන්ට කතා කළේය. කීප වරක් කතා කළේය. මඳ වෙලාවකින් කාන්තාවක් ගෙතුළින් පිටතට පැමිණියාය. අපිරිසිදු චීත්තයකින් කය වසා සිටි ඇය උඩුකය වසා සිටියේ අත් රහිත හැට්ටයකිනි.   


‘ඩේවිඩ් මහත්තය බලන්න කියල ආවා’   


කීප වරක් ශබ්ද නගා කී පසු ඇය අතින් සංඥා කළාය. ඒ අනුව අපි ගෙතුළට ගියෙමු. කාමරයක් දෙසට අත දිගු කර ඉවතට ගියාය.   


කාමරය තුළට හිස පොවනවාත් සමග නාසය හකුළුවා ලන දුර්ගන්ධයක් දැනුණි. මාමාට ද එසේ වෙන්නට ඇත. එය ඉවසා ඇඳ අසල මදක් රැඳුණි.   


මිනිසෙකු ඇඳ මත උඩුබැලි අතට වැතිරී සිටී. සුදු පාට රැවුල මුහුණ පුරා වැවිලාය. බඩපොත්ත පිට කොන්දේ ගෑවෙන ගානය. ඉලඇට ගණන් කළ හැකිය. අත් පා දර කෝටු මෙනි.   
‘ඩේවා’ ‘ඩේවා’ 

 
මාමා කීප වරක් උස් හඬින් කතා කළේය. නෙත් හැරියේය. එය දිස් වූයේ ගැඹුරු ළිඳක් පත්ලේ ඇති දිස්නය දෙන යමක් මෙනි. මම එළියට පැමිණියෙමි. තවත් මද වෙලාවකින් මාම ද පැමිණියේය.   


ආපසු ඒමට යතුරුපැදිය පණ ගැන්වීමි. මාමා කතාවට වැටුනි.   


‘උඹ දන්නවද ඒ කවුද කියලා. ඕකගෙ නම ඩේවිඩ්. කොල්ලො ඒ කාලෙ අපහාසයට කිව්වෙ ‘ඩේව’ කියල. ඒ විතරක් නොවෙයි ‘ඩේව ගුරා’ කියලත් කිව්ව. 


ඩේව මම අඳුන ගත්තෙ එක ඉස්කෝලෙක දෙන්නම උගන්නපු නිසා. ඉගැන්නුව කිව්වොත් වැරදියි. එක ඉස්කෝලෙක හිටපු නිසා. අපි දෙන්නටම එක දවසේ එක ඉස්කෝලෙකට ගුරුපත්වීම ලැබුණා. ඒ කාලෙ අපේ මාසික වැටුප රුපියල් සීයයි. ඒක දුර ඉස්කෝලයක්. අපි නතර වුණේ ඒ ගමේ ගම්පතිතැනගෙ ගෙදර. එ් අය බොහොම ගුණයහපත් නම්බුකාර විදියට සිටි අය. අපෙන් සල්ලි ගත්තෙ නැහැ.   


මුලදි ඩේවා හොඳින් ඒ ගෙදර හිටියා. පහුවෙන්න පහුවෙන්න මුගේ ජන්ම ගති මතුවෙන්න ගත්තා. ගමේ රස්තියාදු කොල්ලන්ගෙ ආශ්‍රයට වැටුණා. ගංජා ගහන්න, රා බොන්න, ගත්ත විතරක් නොවෙයි, රෑ වෙලා ගෙදරට එන්නත් පටන් ගත්ත. ඒ විතරක් නම් බැරිය? ගම්පතිගෙ ගෙදර වැඩට හිටපු අඟනක් එක්ක පෙම් කෙළින්නත් පටන් ගත්ත. අන්තිමට වුණේ ඒ ගෙදරින් අපි දෙන්නටම යන්නයි.   


මම ඩේවා එක්ක ගියේ නැහැ. ඌ නැවතුණා අෑත ගමක ගෙදරක. බයිසිකලෙන් ඉස්කෝලෙට ආවා. මූ මහ බුලත් මල්ලක් අරං එන්නෙ. බුලත් කකා හිටපු එක විතරයි. අන්තිමට කවදාවත් බුලත් කාල නැති අයටත් මූ බුලත් විට පුරුදු කළා. කාලසටහනක් තිබුණත් ඌ පංතිවලට යන්නෙ නැහැ. ගියත් ඔය ළමයි එක්ක කයිවාරු ගහ ගහ ඉඳල පීරියඩ් එක ඉවර වෙන්න කලින් පංතියෙන් පිට වෙනවා. ඉංග්‍රීසි උගන්වන්න සිටියේ මූ විතරයි. එක අකුරක් ළමයින්ට උගන්වන්න නැතුව ඇති. පව් ළමයින්ගේ අනාගතය මූ කෑවා.   


ඩේවා ගුරා කියල හැදුවෙ ළමයි. ඩේවා ගුරා ගැන තාම කියල ඉවර නැහැ. මේ ටිකත් අහගනිං.   


දෙවැනි සැරේට ගෙදරක නතර වුණා නොවැ? ඒ ගමෙත් නරකම එවුන්ට මූ එකතු වුණා. බෝක්කු උඩ ඉඳල බීඩි, ගංජා උරනවා. රා බොන්න කොලු රැල එක්ක ගම වටේ යනවා. රාත්‍රී කාලයේ උං එක්ක හේන්වල යනවා. දඩයමේ යනවා. පස්සෙදි ඒ ගමේ හිටපු හිරේ ඇරිච්ච ගෑනියෙකුට මාට්ටු වුණා. ගෑනිගෙන් ගැලවෙන්න බැරි වුණා. එහේම බින්න බැස්සා. ඒ ගෙදරට තමයි අපි ගියේ.   


පුතේ උඹත් ගුරුවරයෙක් නොවැ? හොඳට මතක තියාගනිං. ගුරුකම කියන්නෙ, මැරුණට පස්සෙත් පිං දෙන්න පිරිසක් ඉන්න උතුම් රස්සාවක්. වෙන කිසිම රස්සාවක් මේ තරම් උත්තම නැහැ. ඒක හරියට නොකළොත් ආපිට පඩිසන් දෙනවා. දැක්කනෙ ඩේවට මොකෝ වුණේ? හරියට ගුරුකම නොකර, දරුවන්ගේ අනාගතය විනාශ කරපු පාපකර්මය මෙලොවදීම ඵල දුන්නා.   


මැරෙන්නෙත් නෑ. සනීප වෙන්නෙත් නෑ. විඳෝනවා. මලමුත්‍ර ගොඩේ පෙරේතය වගේ ඉන්නවා. සලකන්න බලන්න හොයන්න කෙනෙක් නෑ. තවත් විඳෝනවා. මේවාට අනේ අපොයි කියන්න ඕන නෑ. එහෙම නොවෙන්න තමන්ගෙ යුතුකම රට වෙනුවෙන් කරන්න ඕනෑ. 

 
කතාව අවසන් වෙන විට අප නිවස අසලට පැමිණ තිබුණි.   



අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි මේ   

කොඳු කඩා අැට කටු බිඳ සතුන් මැරූ පවට දස දුක් විඳි කිරි බණ්ඩේ   


කිරි බණ්ඩේ මීට දශක කීපයකට ඉහත ඈත දුෂ්කර ගමක ජීවත් වූවෙකි. දැඩි උත්සාහවන්තයෙකු වූ හෙතෙම ගොවිතැන් බත් කරමින් අතමිට සරිකර ගත්තෙකි. ඒ නිසාම කිරි බණ්ඩේ එවකට ගමේ සිටි පොහොසත්ම පුද්ගලයන් අතරින් කෙනෙක් බවට ද පත් විය. කොතරම් වත් පොහොසත්කම් තිබුණත් ඔහු තුළ පැවති දැඩි දුර්වලකමක් විය. එනම් මස් කෑමට මහත් කෑදරකමක් දැක්වීමයි. ඒ නිසාම සතුන් දඩයම් කිරීම කිරි බණ්ඩේ තම ජීවිතයේ කොටසක් බවට පත්කර ගත්තේය. දඩයමට මහත් රුසියෙකු වූ හෙතෙම සතුන් මැරීම සඳහා යොදා ගත්තේ ද අපූරු ක්‍රමයකි. 

 
සතුන් දඩයම සඳහා තවත් කීපදෙනෙකු සමග කැලෑ වදින කිරි බණ්ඩේට කැලෑවේදී ඌරකු ගෝනෙකු වැනි සතෙකු හමු වූ විට ඔහු කරන්නේ තම සගයන් හා එක්ව සතා පසුපස හඹා යාමයි. එසේ හඹාගෙන ගොස් වටකර ගන්නා සතා ගල් පර්වතයක් මතින් හෝ උස් කණ්ඩියක් මතින් පහළට පැන්නීමයි. එවැනි උස් තැනකින් මර බියෙන් පහළට පනින සතාට ඉන් පසුව අත්වෙන්නේ ඛේදනීය ඉරණමකි. එක්කෝ හතර හන්දි බිඳී නැගිට ගත නොහී දඟලන්නට වීමයි. නැතහොත් කොන්ද කැඩී නැගිට ගත නොහී වැටී සිටීමයි.   
ඉන් පසුව එතැනට පැමිණෙන කිරිබණ්ඩේ මහත් උජාරුවෙන් ගෝල බාලයන් සමග එක්ව පොලු මුගුරු වලින් ගසා සතා අඩපණ කරගෙන ගොස් මරා මස් කිරීමයි. මස් මාංශයක් නොමැතිව එක් වේලක්වත් කෑම ගැනීමට නොහැකි තරමටම ඔහු මස්වලට ගිජුවූවෙක්ම විය.   


කැලෑවෙන් සතෙක් දඩයම් කර ගැනීමට නොහැකි වූ විට ඔහු කළේ මුදල් දී ගවයෙකු හෝ මිලට ගෙන මරා මස් කිරීමයි. එසේ මිල දී ගන්නා සතා වුව ද මරනු ලබන්නේ ම්ලේච්ඡ ආකාරයෙනි. ඒ නම් මිලදී ගත් ගවයා ඉවුරක් හෝ කණ්ඩියක් අසල ගසක ගැට ගසා තැබීමයි. ඊට පසු සිදුවන්නේ ගවයා ඉවුරෙන් පහළට වැටී ගෙල සිර වී මිය යාමයි.   
කිරි බණ්ඩේගේ මේ කෲර ක්‍රියාවන්ට ගැමියන්ගේ දැඩි විරෝධයක් තිබුණත් එක එල්ලේම ඒවාට එරෙහි වෙන්නට තරම් ශක්තියක් ඔවුන්ට නොවීය. එයට හේතුව වූයේ කිරි බණ්ඩේගේ මුදල් මේ සියල්ලටම වඩා බලවත් වීමය. ඒ නිසාම ප්‍රසිද්ධියේ මේවාට විරුද්ධ වීමට නොහැකි ගැමියන් කළේ ඔහු කළ මේ ක්‍රියාවන්ට ශාප කිරීමයි.   


කිරි බණ්ඩේගේ මේ වැඩවලට වැඩි ආයුෂක් නොමැති බවත් මේවාට විපාක මෙලොවදීම ලැබෙනු ඇති බවත් ඔවුහු දැඩි ලෙස විශ්වාස කළහ.   


ගැමියන්ගේ ඒ විශ්වාසය වැඩි කල් නොගොස්ම සැබෑවක් බවට පත්විය. දිනක් නිවසට අවශ්‍ය පොල් කැඩීමට දොරකඩ තිබූ පොල් ගසට නැගගත් කිරිබණ්ඩේ එහි කරටියට නැගීම සඳහා තරමක් තදින් පොල් අත්තක් ඇල්ලීය.   


එහෙත් ඔහුගේ බර දැරීමට තරම් පොල් අත්ත ශක්තිමත් නොවීය. තමා ඇල්ලූ පොල් අත්ත ගැලවී ඔහුත් සමගම ගස මුලට ඇද වැටුණේ තවත් කිසි දිනක නැගී සිටීමට නොහැකි වන සේ දෙපා සහ කොන්ද බිඳී යන ලෙසිනි.   


එය ඔහු විසින් සතුන්ට කළ ඒ ලෙසම ඔහුට ද පල දෙමිනි. නිවෙස් හිමියෝ වහ වහා රෝහල් ගත කිරීමට කටයුතු කළ හෙයින් කිරි බණ්ඩේ නොමැරී බේරුණත් මාස ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා පිට වූයේ සදාකාලික අබ්බගාතයකු ලෙසිනි.   


ඇඳටම සීමා වූ ඔහුගේ ජීවිතය පුරාවටම තමා කළ පව් සිහි කරමින් දිවි ගෙවන්නට සිදුවූයේ ඒ පව්වලට විපාක මෙලොවදීම පල දුන් බව පෙන්වා දෙමිනි. 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

ගතු කේළාම් කියා පවුල් අවුල් කළ නයනාට අත්වූ ඉරණම 


පස් පව් කිරීමේ දී බොරුකීම පරුෂ වචන කීම හා හිස් වචන පැවසීම මෙන්ම කේලාම් කීමද ඉතා නොහොබිනා වූ මේ ආත්මයේදීම පලදෙන පවකි. පාසල් වියේ සිටම බොරු කීම හා කේලාම්කීම තම විනෝදාංශයක් බවට පත්කරගත් නයනා නිතර දෙවේලේ තම යහළු යෙහෙළියන් සමග බොරුවෙන් විහිළුවෙන් කාලය ගත කළ අතර කේලාම් බස් පවසා උනුනුත් කොටවා බේදභින්න කර සිනාසීමටද පසුබට නොවූවාය.   


පාසල් ජීවිතයේදී ඇයගේ මෙම හැසිරීම අයහපත් වූ බැවින් වැඩිදුර අධ්‍යාපනයක් ලබාගැනීමේ වාසනාව පවා තුරන්ව ගිය බව නොරහසකි. තම මාපියන්ට සිටි එකම දරුවා වූ නයනාට හොඳ කලක් ලබාදීමට වෙහෙසුණත් ඇය ඒ ගැන කිසිම උනන්දුවක් දක්වන බව නොපෙනුණාය. දවස තිස්සේම ගමේ ගෙන්ගෙට ඇවිදින නයනා තම මවට ගෙදර වැඩපලවලදී පවා සහයක් ලබා නුදුන්නාය.   


එකා යකාට ගියාදෙන් සිතා කරබාගෙන සිටීම හැර වෙනත් විකල්පයක් ඇගේ මාපියන්ට තිබුණේ නැත. අහල පහළ ගෙදරකට පිට අයෙක් ආවත් ඒ ගැන මනා සෝදිසියෙන් සිට ඒ බව ගම පුරා පැතිරවීම ඇගේ දින චර්යාවේ කොටසක් වූ බව රහසක් නොවේ. ‘‘ඔන්න අද සයිමන් මාමගේ දුව බලන්න කට්ටියක් ආවා, මනමාලය නම් කළුයි, කොටයි, කෙල්ලට නම් ඒ හාදය කොහොමටවත් ගැළපෙන පාටක් නැහැ’’ යි නයනා ගම පුරා ඕපදූප පැවසුවාය.   


බැරිවෙලාවත් මඟුල් තුලාවට ආ එක් අයෙක් හෝ ඇයට හමුවුණා නම් මනාලිය ගැන නැති දොස් පවසා මඟුල හබක් වීමට වැඩ සලසා වින්දනයක් ලැබීම ඇගේ එකම ආශාව බව ගමේ කවුරුත් දන්නා වූ කරුණකි. ඒ නිසා ගමේ මංගල කටයුත්තකට පිට ගමකින් ආවිට නයනා හමුවීම වැළැක්වීමට හැමදෙනාම වගබලාගත්හ.   


පිටස්තරයෙක් සමන් නැති අතරවාරයේ ලලිතාගේ ගෙට රිංගනු තමා දුටු බව පවසා කුරුලු ​ෙජා්ඩුවක් මෙන් සිටි සමන් හා ලලිතා යුවල අතර අසමගිය වැපිරීමට තැත් කළ නයනාගේ වෑයම නිෂ්ඵල වූයේ එදින ඔහුගේ ගෙදරට ගොඩවැදී ඇත්තේ ජලබිල් එකතු කරන්නා බව සමන් තේරුම් ගත් බැවිනි.   


මෙසේ අනුන්ගේ ඕපාදූප සොයා ගම පුරා පතුරමින් සිටි නයනා ‘කේලමී’ යන අන්වර්ථ නමක් ලබා ගැනීමට ද සමත් වූවාය. තම දෙගුරුන් ඇයට ද මංගල යෝජනා ගෙනාවත් අන් අයගේ ඕපාදූප කේළාම් සොයන ඇයගේ මේ අසමජ්ජාති ක්‍රියාව ගැන දැනගෙන කිසිම මනාලයෙක් ඇයට කැමතිවුණේ නැත. ඇයට මඟුල් තුලා යෝජනාගෙන ඒමට මඟුල් කපුවන් ද කැමැත්තක් දැක්වූයේ නැති බැවින් කෙල්ල තනිවම හිටපුදෙන් කියා මාපියෝ ද ඒ අදහස අත්හැර දැමූහ.   


කාලය ගෙවී යත්ම ඇගේ තරුණ කාලය ද ගෙවී ගි​යේය. තම වියපත් දෙගුරුන්ගේ වියෝවීමෙන් පසු හුදකලා වූ නයනාට මැරෙන තුරා තනිකඩ දිවියක් ගෙවීමට සිදුවූයේ අන් අයගේ ගතු කේළාම් කීමේ විපාකය නිසාවෙන් බව ගමේ වැඩිහිටියන් තවමත් කතාබහ කරන බව දකින්නට ලැබේ.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්