ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

 

​ලෝකයේ ආහාරපාන නිෂ්පාදනය කරන සමාගම් අතර ඇති අංක එකේ සමාගම ලෙස “නෙස්ලේ” නම් කළ හැකිය. සෑම තත්පරයකදීම ලෝකයේ කොහේ හෝ තැනකදී නෙස්ලේ නිෂ්පාදනවලට අද‌ාළ ආහාර පන්දහසක් පමණ වූ පිරිසක් වෙනුවෙන් පිළියෙල කෙරෙන බව සඳහන් වෙයි. ඒ අතරට මැගී හෙවත් මැගී නාමයේ ක්ෂණික නූඩ්ලස් වැනි ඔවුනගේ නිෂ්පාදන අයත් වන බව වාර්තාවලට අනුව කිව හැකිය.

නෙස්ලේ නාමයෙන් යුතු ප්‍රධානතම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වන්නේ ‘කිරි’ යොද‌ා නිෂ්පාදනය කෙරෙන ආහාරය. ඔවුන් ලෝකය එක් මිටට අල්ලා ගත්තේ එම නිෂ්පාදන මගිනි.   
ලොව පුරා ඇති ‘නෙස්ලේ’ ආහාරපාන නිෂ්පාදන ෆැක්ටරි හෙවත් කර්මාන්තශාලා ගණන පන්සියයකට ආසන්නය. ඒවා මහා පරිමාණ ගණයේ ඒවාය. ඒ අතරින් ඔවුන් ලෝකය ග්‍රහණය කරගෙන ඇත්තේ ළදරු ආහාර නිෂ්පාදන, ක්ෂණිකව පිළියෙල කරගත හැකි නූඩ්ලස්, කිරි ආහාර, තේ, කෝෆි, ශීත කළ ආහාරපාන වැනි බොහොමයක් දේ නිසාය.  
ක්ෂණිකව පිළියෙල කරගත හැකි ආහාරපාන, කල් තබාගත හැකි ශීත කළ ආහාරපාන ආදියෙහි ගුණ - අගුණ කෙසේ වෙතත්, කාලයක් තිස්සේ ලෝකයේ අංක එකේ ආහාරපාන නිෂ්පාදන සමාගම ලෙස වැජඹෙන්නේ මෙම නෙස්ලේ සමාගම වේ. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර සටහන් කරන්නේ, මේ නෙස්ලේ සමාගම සහ එහි නිර්මාතෘවරයා ගැනය.  


ඔන්රි හෙවත් හෙන්රි නෙස්ලේ  


නෙස්ලේ සමාගම ලෝකයට විවර වූයේ අදින් වසර 154කට පෙරදීය. හරියටම කිව්වොත් 1866 වසරේදී ස්විට්සර්ලන්තයේ වීවෙයි වෝඩ් හිදීය. නෙස්ලේ සමාගම ලොවට ද‌ායාද කළ ඒ මහා චරිතය ලෙස සඳහන් වන්නේ ජර්මානු ජාතික හයින්රිච් නෙස්ලේ ය. බොහෝ දෙනා අතර ඔහු ප්‍රකට වූයේ ඔන්රි හෙවත් හෙන්රි නෙස්ලේ නමිනි.  


කවුද මේ හෙන්රි නෙස්ලේ?  


හයින්රිච් නෙස්ලේ 1814 අගෝස්තු 10 වැනිද‌ා උපත ලැබුවේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හිදීය. යොහාන් උල්රිච් මතියාස් නෙස්ලේ සහ අනා මරියා කැතරිනා ඉහමත් යුවළට දූ දරුවන් දහහතරදෙනකු වූ අතර, මෙම හයින්රිච් යනු ඒ පවුලේ එකොළොස්වැන්නා විය. නෙස්ලන්, නෙස්ට්ලන්, නෙස්ට්ලින්, නෙස්ට්ලීන්, නිස්ට් යනුවෙන් ඔවුනගේ ‘නෙස්ලේ’ යන නාමය විකාශය වී තිබේ.   


‘නෙස්ලේ’ හෙවත් නෙස්ට්ල් යන්නෙහි ​තේරුම ‘කැදැල්ල’ ලෙස ගත හැකිය. කුඩා කුරුල්ලකු විසින් සුව පහසුවට ඉඳීමට තනන ලද කූඩුව යන්න එහි සැබෑ අරුත වේ. එහෙත් නෙස්ලේ පවුල නම් කුඩා පවුලක් නොවීය. කුරුලු රංචුවක් මෙන් වූ පවුලක්ම වූ අතර, මේ නෙස්ලේ ගස අතු පතර විහිද විකාශය වූයේ, ව්‍යාපාරික පරම්පරාවක උරුමය කරපින්නා ගෙනය.  


​මේ පරම්පරාවේ මූලාරම්භය ක්‍රි.ව. 1500 කාලයේ සිට විකාශයට එන්නකි. පවුලේ විකාශය අනුව ඔවුනගේ ව්‍යාපාර ස්වභාවයන් වූයේ කොණ්ඩා කැපීම, වීදුරු භාණ්ඩ නිපදවීම සහ වෙසෙසින්ම වීදුරු කැපීමේ ව්‍යාපාරයෙහි නිරත වීමය. ඒ පවුලේ තවත් සමහරු විටින් විට නගරාධිපති පදවිය දැරුවෝ වූහ. එම අතීතයෙන් ඔබ්බට ගොස්, මේ හයින්රිච් හෙවත් හෙන්රි නෙස්ලේගේ මෙම ගමනෙහි මූලාරම්භය දෙස අපි විපරම් කර බලමු.  


ඒ වනවිට හයින්රිච් හට අවුරුදු විස්සක් හෝ සපිරී නොතිබිණි. එම වයසේදී ෆ්‍රැන්ක්ෆර්ට්හි ප්‍රකටව තිබූ ෆාමසියකට බැඳී, එහි හිමිකරු යටතේ සිව් අවුරුදු පුහුණුව නිම කළේ ඖෂධවේදියකු ලෙසය. හේතුව හරි හැටි කුමක් ද කියා සඳහන් නොවූව ද 1834න් පසුව 1839 දක්වා කාලය ඇතුළතදී ජර්මනිය අත්හැරි හයින්රිච් ස්විට්සර්ලන්තය බලා ගොස් පදිංචිය සඳහා එතැන තෝරා ගත්තේය.   


ස්විට්සර්ලන්තයේ ‘ලූසන්’ නගරයේ සිට ජීවිකාව ඇරැඹූ හයින්රිච් රසායනික අංශයේ විවිධ පර්‌යේෂණ කිරීමට මෙන්ම ඒවාට අනුව බෙහෙත් වට්ටෝරු සැකැසීමට උනන්දු වීය. මේ වෙනුවෙන් ලූසන් නගරයේ අද‌ාළ බලධාරීන්ගෙන් අවසර ඇතිව බලපත්‍රලාභියකු ලෙස එම අත්හද‌ා බැලීම් කිරීමට හයින්රිච් හට අවසර ලැබී තිබිණ. ස්විට්සර්ලන්තයේ ‘වීවෙයිවූ’ නගරයේ වැඩි හරියක්ම එවකට විසූයේ ප්‍රංශ භාෂා කතා කරන ජනතාවක් වූ අතර, එහි නව සමාජ තත්ත්වයන්ට වඩාත් හොඳින් අනුවර්තනය වීම වෙනුවෙන් හයින්රිච් යන නාමය වෙනුවෙට ‘හෙන්රි නෙස්ලේ’ නමින් තමාගේ නාමය භාවිත කිරිමට ඔහු උනන්දු වීය. 

 
නව සොයා යෑම් ගැන වඩාත් උනන්දුවෙන් පසු වූ හෙන්රි පැළෑටි වර්ගයක් යොද‌ාගෙන නිෂ්පාදනය කළ තෙල් නිෂ්පාදනයක් මිලදී ගැනීමට සමත් වූයේ වයස අවුරුදු 29 දී පමණය. ඉන් පසුව එකල භාවිතයට ගැනුණු ලාම්පු දැල්වීම සඳහා තෙලක් නිපදවීමට ඔහුට හැකිවිණි. එතැනින් ද නොනැවැතුණු ඔහු මද්‍යසාර වර්ග සහ ඇල්කොහොල් අඩංගු රම් නිෂ්පාදනය කිරීමට ද පෙළැඹ සිටියේය. ඒවාට අමතරව විනාකිරි නිෂ්පාදන ද එළිදැක්වීය.  


එක් දෙයක් සොයාගත් පසු එයින් නොනැවැතුණු හෙන්රි කාබනික ජලය නිෂ්පාදනය කිරීමට ද වග බලා ගත්තේය. වතුර විතරක් නිෂ්පාදනය කර නොනැවැතුණු ඔහු ඊළඟට ලෙමනේඩ් බීම නිෂ්පාදනයට ද අත ගැසීය. කෙසේ වෙතත් 1840 දී පමණ යුරෝපයේ හටගත් ආහාර අර්බුදය හමුවේ, කාබනික ජලය නිෂ්පාදනය කිරීම නවතා දැමූ ඔහු ඒ වෙනුවට පහන් ආලෝක එළිය කිරීමට යොද‌ාගත් ගෑස් නිෂ්පාදනයට සහ පොහොර නිෂ්පාදනය කිරීමට උත්සුක වුණි.   


කාලය හීන් සීරුවට ගෙවී යද්දී, 1867 දී පමණ ළදරු කිරි පිටි නිෂ්පාදනයක් එළිදැක්වීමට හෙන්රි නෙස්ලේ හට හැකිවිණි. මෙය එකල වඩා ප්‍රචලිත වූවක් වූ අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ නෙස්ලේ නාමයේ සලකුණ ජනගත කරවූ නිෂ්පාදනය එය යනුවෙනි. මේ වනවිට එනම්, වාර්තා දක්වන පරිදි නෙස්ලේ සමාගමක් ලෙස ස්ථාපිතව තිබිණි. ඒ 1866 දී පමණය.  


ළදරු කිරි පිටි නිෂ්පාදනය සාර්ථක වීමත් සමග නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක්ම ව්‍යාප්ත කිරීමට පියවර ගත් ‘නෙස්ලේ’ සමාජයට අවශ්‍ය කුමක් ද යන්න ගැන නිතර විමසිල්ලෙන් පසුවිය.  


‘හෙන්රි නෙස්ලේ’ 1860 දී පමණ විවාහ දිවියට ඇතුළත් වූයේ අනා ක්ලියමන්ටිනා කියසේ සමග වුව ද මේ යුවළ හට දරු ඵල නොතිබිණි. එය දෛවයේ හාස්කමක් ද සරදමක් ද කියා නොදනිමු. හෙන්රි පැවැත ආයේ පවුලේ සාමාජිකයන් රොත්තක් සහිත වූ පවුලකට අයත්ව වුව ද ඔහු හට දරු ඵල නොලැබීම නම් දෛවයේ සරදමක් විය හැකිය. නමුදු ඔහුට හා බිරිඳ හට එවකට ශීඝ්‍ර අගයක් ගත් ළදරු මරණ ගැන සහ එසේ මරණ සිදුවීමට වූ හේතු මොනවා ද යන්න ගැන හොඳ අවබෝධයක් තිබිණි. එකල ප්‍රභූ පෙළැන්තියේ සමහර මව්වරු දරුවනට මව් කිරි දීමට අදි මදි කළේ විලාසිතාවකට මෙනි. මේ නිසා ‘නෙස්ලේ’ නිෂ්පාදනය කළ ප්‍රමිතියෙන් යුතු ළදරු කිරි ආහාර නිෂ්පාදන සඳහා ​හොඳ ඉල්ලුමක් පැවැතියේය.  
පර්‌යේෂණ ගණනාවකින් පසුව, කෙසේ හෝ පෝෂණ ගුණය සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ගුණය රැඳි ළදරු කිරි පිටි වර්ග හඳුන්වාදීමට නෙස්ලේ හට හැකි වූ අතර, යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල එය රැල්ලක් මෙන් දසත විහිදී පැතිරී ගියේය. ‘නෙස්ලේ’ සමාගමේ හැරැවුම් ලක්ෂ්‍යය හෙවත් ටර්නින් පොයින්ට් එක එය යැයි සඳහන් කළ හැකිය. ‘හෙන්රි නෙස්ලේගේ කිරි පිටි’ ලෙස ප්‍රංශය ප්‍රමුඛ බටහිර ප්‍රජාව වෙතින් එම නිෂ්පාදනවලට ලැබුණේ හොඳ ඉල්ලුමකි.  


රස ආහාර නිපදවන සමාගමක් ලොවට ද‌ායාද කළ මිනිසාගේ නික්ම යාම  


1880 පමණ වෙද්දී, නෙස්ලේ යුරෝපයේ ප්‍රමුඛතම ළදරු ආහාර නිෂ්පාදන සහ රස ආහාර නිෂ්පාදන සමාගම බවට පත්ව තිබූ අතර එතෙක් නිෂ්පාදනය වූ ​‘චොකලට්’ තරමක් තිත්ත රසයෙන් යුතු ඒවා විය. එය කිරි රසයට හැරැවීමට සමත් වූයේ මේ හෙන්රි සහ චොකලට් නිෂ්පාදකයකු වූ ඩැනියෙල් පීටර්ගේ ඒකාබද්ධ වීමේ ඵලයක් ලෙසිනි.  


මෙලෙසින් ජීවිතය එන්න එන්නම රසවත් කරගනිමින් ගෙවා දමමින් සිටි ‘හෙන්රි නෙස්ලේ’ 1875 වනවිට තමාගේ සමාගම තම ව්‍යාපාරික සගයින් හට විකුණා තිබුණ ද ඔවුනගෙන් හෙන්රි හට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. කෙසේ වෙතත් ජීවිතයේ අනිත්‍ය බව යම්තාක් දුරකට වටහාගෙන සිටි ‘හෙන්රි නෙස්ලේ’ ස්විට්සර්ලන්තයේ මොන්ට්‍රියා නමැති සුන්දරතම නගරය තෝරා ගත්තේ පවුලේ අය සමග සැඳෑ සමය ගත කිරීම වෙනුවෙනි.  


ජිනීවා විල අසබඩ ග්ලියන් පළාත ඔහු​ගේ සිත්ගත් ග්‍රාමීය නගරය වූවේය. එහි සිට ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමට කටයුතු කළේ සුළු ණය ගත් ජනතාවට ඒ ණය මුදල් පියවා දීමට ආධාර උපකාර කරමිනි. එමෙන්ම ඔවුනගේ යටිතල පහසුකම් සපුරාදීමට ද ඔහු මෙහෙවරක් කළේය.  


ග්ලියන්හි විසූ ඔහු අවසාන කාලයේදී තවත් නිවසකට ගොස් සිටි අතර 1890 ජුලි 7 වැනිද‌ා හෙන්රි නෙස්ලේ සදහටම දෙනෙත් පියා ගත්තේය. ඉනික්බිතිව එම නිවස ‘නෙස්ලේ මන්දිරය’ ලෙස නම් කළේ මේ හෙන්රි නෙස්ලේගේ අමරණීය නාමය වෙනුවෙනි.  


1905 දී ඒකාබද්ධ ගමනක ඇරැඹුම සහිත නව පරිච්ඡේදයකට පිවිසීම   


ජෝර්ජ් සහ චාල්ස් පේජ් යන සහෝදරයින් දෙපළ විසින් ස්ථාපිත කරන ලද නෙස්ලේ 1905 සිට ඒකාබද්ධ ගමනකට මුලපිරීය. චාල්ස් පේජ් යනු එවකට සුරිච්හි ඇමෙරිකානු කොන්සල්වරයා වීය. කිරි යොදා කරනු ලබන නිෂ්පාදන වෙතින් ඉතා දියුණුවක් ලබාගත හැකි යැයි විශ්වාස කළ ඔහු පළමුව ස්විට්සර්ලන්තයේදී ද පසුව බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් රටවලදී ද ‘නෙස්ලේ’ සමාගම් ව්‍යාප්ත කිරීමට මෙහෙවරක යෙදී සිටියේය. ඒ අනුව එතැන් සිට ‘නෙස්ලේ’ ලෝකයට සලකුණක් වූයේ උතුරු ඇමෙරිකානු සහ ස්විට්සර්ලන්තයේ සම්මිශ්‍රණයෙන් ඒකාබද්ධ වූ සමාගමක් ලෙසය.  


පළමු ලෝක යුද සමයේදී ‘නෙස්ලේ’ සමාගම ලැබුවේ ඉතා ශීඝ්‍ර දියුණුවකි. ලෝක යුද්ධ ඔවුනට ප්‍රශ්නයක් නොවූ අතර, දෙවැනි ලෝක යුද සමයේදී ද ශීඝ්‍ර දියුණුවකට පත්වූයේ කිරි පිටි නිෂ්පාදන මෙන්ම ළදරු ආහාරපාන සඳහා වූ වට්ටෝරු නිසාය. ඉනික්බිතිව තවත් සමාගම් කිහිපයක් අත්පත් කරගැනීමට ද ‘නෙස්ලේ’ හට හැකිවිණි. හෙන්රි නෙස්ලේ විසින් නෙස්ලේ මූලාරම්භය සොයා ගෙන තිබුණ ද ‘පේජ්’ සහෝදරයින් දෙදෙනා මීට ලෝක සලකුණක් අත්පත් කරදීමට කටයුතු කළ බැව් සඳහන් වේ.  


නෙස්ලේ හට එල්ල වූ විවේචන  


රස ආහාර නිෂ්පාදන මෙන්ම කිරි ආහාර ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලියෙහිදී නෙස්ලේ වර්ග දෙදහසකට ආසන්න ප්‍රමාණයක් යටතේ නිෂ්පාදනයන් කරන බව කිව හැකිය. එසේ වුව ද නෙස්ලේ හට සමාජයෙන්, පෝෂණවේදී විශේෂඥයින් මෙන්ම පරිසරවේදීන්ගෙන් බොහෝ චෝදනා නිරන්තරයෙන්ම එල්ල වූ බව කිව යුතුය.  


‘හිරුගෙ එළියයි, මවගෙ කිරියි’ යනු මේ ලොව විස්මිත කරවූ සංකලනය යැයි විටෙක දාර්ශනික මැක්සිම් ගෝර්කි පවසා තිබේ. ‘මව් කිරි’ තරම් ගුණවත් බලවත් නැණවත් පානයක් මේ මිහිපිට තවත් නැතැයි පැවැසිය හැකිය. එද‌ා සියවසකට එහා වූ අතීතයේදී හෙන්රි නෙස්ලේ ළදරු කිරි පිටි නිෂ්පාදනය කිරීමේදී එකී පෝෂණ ගුණය හා පද‌ාර්ථය රැක ගැනීමට කටයුතු කළේ ඒ නිසා විය හැකිය. කෙසේ වෙතත්, නිෂ්පාදන ධාරිතාව සහ ඉල්ලුම වැඩිවෙත්ම නෙස්ලේ හට එම පද‌ාර්ථය නිසි ලෙස ලෝකයට ලබා දීමට හැකි වූවා ද යන්න අපට කිව හැකි දෙයක් නොවේ. නමුත් අාසියානු, අප්‍රිකානු කලාපයේ මෙන්ම ඇමෙරිකාවේදී පවා විවිධ චෝදනා සහ විවේචනවලට මුහුණ දීමට නෙස්ලේ සමාගමට සිදුවිණි.  


Cookie Dough නමැති බිස්කට් වර්ගය කෑම නිසා 2009 දී ඇමෙරිකාවේදී පනහකට වඩා වැඩිහිටි පිරිසක් අසනීප වූ බැව් සඳහන්ය. ආසියානු කලාපය මහා රැල්ලක් සේ වෙළාගත් ‘මැගී’ නිසා අසල්වැසි ඉන්දියාවේදී විවිධ නඩු හබවලට මුහුණ දීමට නෙස්ලේ හට සිදු වූ බව සඳහන් වේ. 2015 දී පමණ වතාවක නවදිල්ලි නුවරදී මැගී විකිණීම පවා තහනම් කළ බව සඳහන්ය.  


මිනිස් සිරුරට අහිතකර ආරක්ෂිත සීමාවන් ඉක්ම වූ ඊයම් වැනි දේ ඇතැයි කියා සුරක්ෂිතතා නියාමයකයින් විසින් එලෙස චෝදනා එල්ල කර තිබේ. 2008 දී පමණ හොංකොං රජය විසින් චීනයේ නිෂ්පාදිත නෙස්ලේ කිරි නිෂ්පාදනවල මෙලමයින් තිබූ බවට සොයා ගත්තේ යැයි ද සඳහන් වේ. මෙලෙසින් පෝෂණීය ගුණය පදනම් කරගෙන නෙස්ලේ හට එල්ල වූ චෝදනා, විවේචන නම් බොහෝය. වෙළෙඳ ප්‍රචාරණයේදී මව්වරුන් ළදරුවන්ට කිරි දීම වළක්වාලීමට සූක්ෂම දැන්වීම් මගින් ප්‍රකාශ කළේය යන්න සමහරු විශ්වාස කළ මතයක් වේ. චොකලට් නිෂ්පාදනය වෙනුවෙන් කොකෝවා වගාව මහා පරිමාණව කිරීම වෙනුවෙන් වන විනාශයන් සිදු කළ බවට ද ළමා ශ්‍රමය වහල් භාවය මත යොද‌ා ගත්තේ යැයි ද ඔවුනට අතීතයේදී එල්ල වූ විවේචන අතරට අයත් වූ ඒවාය.  


හොඳ පැත්ත  


විවේචන, චෝදනා එක පැත්තකින් අතීතයේදී එලෙසින් එල්ල වී තිබුණ ද ‘නෙස්ලේ’ සමාගම පෝෂණ කටයුතු උදෙසා කරනු ලබන පර්‌යේෂණ සහ ඒ සම්බන්ධව සිදු කෙරෙන කර්තව්‍යයන් වෙනුවෙන් වියදම් කරන්නේ සුළු පටු මුදලක් නම් නොවේ. වාර්තා පෙන්වා දෙන පරිදි ඩොලර් බිලියන ගණනින් ඒ වෙනුවෙන් වැය කරන බව කිව හැකිය. එමෙන්ම ක්‍රීඩා වැඩසටහන් මෙන්ම විවිධ ක්‍රීඩා අංශ සඳහා ද විශාල වශයෙන් මුදල් වැය කරන බැව් පෙනී යයි.  


2016 දී ප්‍රචාරණය සඳහා වැය කළ මුදල ඩොලර් බිලියන 3ක් පමණ වේ.  


සමහර සමාගම් සතු වත්කම ඩොලර් බිලියන තුනක් නොවන්නේය. එසේ වුව ද 2016 දී ඇමෙරිකාවේදී පමණක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ‘නෙස්ලේ’ වැය කළ මුදල ඩොලර් බිලියන 2.75ක් යැයි සඳහන් වේ. ​‘නෙස්ලේ’ නාමයේ ආහාරපාන වඩාත් ප්‍රචලිත වී ඇති රට මෙන්ම අලෙවිය පවතින රට වන්නේ ද අැමෙරිකාවය. 2016 දී පමණක් ඇමෙරිකාව ඇතුළත අලෙවි වී ඇති නෙස්ලේ ආහාරපාන ප්‍රමාණය වටිනාකම ඩොලර් බිලියන 27ක් පමණ වේ.  


කොහොමටත් 2016 යනු ‘නෙස්ලේ’ සමාගම ලාභ පිට ලාභ ඉපැයූ වසරක්ම විය. ඒ කිරි පිටි වර්ග සහ පාන වර්ග වෙතිනි. එම නිසා ඩොලර් බිලියන 20ක පමණ මුදලක් උපයාගෙන තිබේ. ‘නීඩෝ’ ගත කිරි පිටි මැදපෙරදිග වඩා ප්‍රකට වන අතර, නෙස්කැෆේ මෙන්ම නීඩෝ අලෙවියෙන් ඉපැයූ මුදල ද සුවිශාලය. හාර්ගින්ඩාස් අයිස් ක්‍රීම්, මයිලෝ, ෆීසා, ගොරියර්, කාබනික පානීය ජලය, නෙස්කැෆේ, මැගී, නෙස්ක්වික්, නෙස්ලේ නාමය යටතේ මහා පරිමාණයෙන් අලෙවි වන නිෂ්පාදනයන්ය. කාබනික ජලය විකුණා, එනම් ෆෙරියර් වැනි ජල බෝතල විකුණා වතාවක ඉපැයූ මුදල ඩොලර් බිලියන 8කට ආසන්නය. 

 

 


‘ප්ලාස්ටික්’ තර්ජනය  


නෙස්ලේ පවසන්නේ ඔවුනගේ පානීය ජල බෝතල පරිසර හිතකාමී ලෙස නිපද වූ ඒවා බවය. එහෙත් විවිධ පරිසර හිතකාමී සංවිධාන විටින් විට චෝදනා ගොනු කර ඇත්තේ, බොහෝ ඉවතලන දේ ප්‍රතිචක්‍රීයකරණයට යොද‌ා නොගන්නේ යැයි සඳහන් කරමිනි. එහෙත් නෙස්ලේ සමාගම නම් කියන්නේ, ඵල ඇති රුකට ගල් ගසන්නාක් ​මෙන්, තමුන් කොතරම් හොඳ දේ කළත්, ඒවා විවේචනය කිරීමට පදනමක් නොමැතිව සමහරු ක්‍රියා කරන බවය. ඔවුන් තමන්ගේ සත්‍යවාදී බව නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ දැන්වීම් ප්‍රචාරණ ආදියෙනි.  


චීනය සහ ජපානයේ ද හොඳ වෙළෙඳපොළක් තිබේ


ධනවාදී සංකල්ප ඔස්සේ ගමන් කරන රටවල මෙන්ම මැදි මාවතේ ගමනක් යන රටවල ද නෙස්ලේ ආහාරපාන ප්‍රචලිත කරවා තිබීම විශේෂ වූවකි. වතාවක ජපානයේදී ‘කිට්කැට්’ චොකලට් නිෂ්පාදන පෙළක් එළිදැක්වූවේ ‘Sublime Gold’ යන නාමයෙනි. එම කිට්කැට් චොකලට් කැරට් 24 ආවරණයකින් දවටා තිබිණි. එම රන් ආවරණය සහිත චොකලට් පෙත්ත අලෙවි වූයේ ඩොලර් 16ක මුදලකටය. ජපානයට නෙස්ලේ පැමිණ ඇත්තේ 1973 දීය.  


වැඩිම වේලාවක් ‘බේක්’ කර වාර්තාවක් තැබීම  


පැය 25කදී, එනම් දිනක් සහ තවත් පැයක් ඇතුළතදී කුකීස් හෙවත්, බිස්කට් හාරදහසක් පමණ පිස ගැනීම නිසා නෙස්ලේ සමාගම වාර්තාවකට හිමිකම් කීවේය. මේ වාර්තාව තැබුවේ තරුණ සුපවේදීන් (බේකරි අංශයේ) හයදෙනකු විසින් වීම තවත් විශේෂත්වයක් විය. 

 
චොකලට් ගිනි කෙළි  


චොකලට් යොද‌ා ගෙන ගිනි කෙළි සංදර්ශන පැවැත්විය හැකි ද? 2002 නව වසරේ උද‌ාව සමරනු වස් නෙස්ලේ සමාගම මෙම සංදර්ශනය පැවැත්වීය. එය නැරැඹීමට පැමිණ සිටි ජන ගංගාවට, චොකලට් වැස්සකින් සංග්‍රහ කළේය. මෙයත් එක්තරා විදියක ප්‍රචාරණ කූට උපායක් වන්නට ඇත.   


පසු සටහන  


කාලය සමග ඇති පීඩනය නිසා, බොහොමයක් රටවල ජනතාව ඉක්මනින් හා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරපාන සඳහා යොමුව සිටින බව සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙන්නකි. ක්ෂණික ආහාරයක් යනු විජලනය කළ ආහාරයක් යැයි සඳහන් වේ. එබැවින් පරිභෝජනයට අවශ්‍ය එකම සාධකය වන්නේ ජලය නැවත එකතු කිරීමය.  
බොහෝ ක්ෂණික ආහාරවල විවිධාකාර ලුණු වර්ග අඩංගු වන අතර ඒ නිසා රස මවන හෙයින් මේවා ආකර්ෂණය වී තිබේ. සෞඛ්‍ය අංශයේ පෝෂණවේදී විශේෂඥයින් පෙන්වා දෙන පරිදි ක්ෂණික ආහාර මත දිගින් දිගටම හුරු වී සිටීම නම් හොඳ දෙයක් නොවන වග සඳහන් කළ හැකිය.

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ