ක්‍රිස්මස් දූපත ගුවනට පෙනෙන අයුරු

ගෝපිකා හා ධරුනිගා යන දරු දෙදෙනා නොනවත්වාම හඬමින් සිටියහ. මේ කුඩා දැරියන්ගේ මවට ඔවුන් සමඟ අසුන්ගැනීමට අවසර තිබුණේ නැත. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබෙන ගුවන්යානයක් ඇතුළතය.   

 


දරුවන් දෙදෙනා බියපත්ව ඉකි ගසමින් හඬා වැලපෙද්දී ඕස්ට්‍රේලියානු අධිකරණයක ඔවුන් වෙනුවෙන් නීතිවේදීහු පිරිසක් පෙනී සිටියහ. මෙල්බර්න් සිට කිලෝමීටර 3,000ක් දුර ගෙවා අඩි 30,000කට වඩා ඉහළ අහසේ පියාසර කරමින් තිබූ යානයේ නියමුවන්ට පාලක මැදිරියෙන් හදිසි ඇමතුමක් ලැබිණි.   


“අධිකරණයෙන් නියෝගයක් දීලා “ධරුනිගා”‍ කියන ළමයාත් ඇගේ පවුලේ අයත් ඕස්ට්‍රේලියාවෙන් පිට කරන්න එපා කියලා. ඒ නිසා යානය හරවා ආපසු ඔවුන් ඕස්ට්‍රේලියාවට රැගෙන එන්න.”‍   


අධිකරණයට පිටුපෑමට කිසිදු බලධාරියකුට හැකියාවක් නැත. යානය ආපසු හැරවිණි. උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය ගොඩබස්වන ලදී.   
ධරුනිගා, ඇගේ සොයුරිය ගෝපිකා සිය මවත්, පියාත් සමඟ ඕස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පිටතට රැගෙන යන ලදී. මේ සිද්ධියට සමස්ත ලෝකයේම අවධානය යොමු විය.   


අපූරු නාටකයක් මෙන් දිස්වූ මේ සිද්ධියට මුහුණ පා සිටියේ ශ්‍රී ලාංකික පවුලකි. ඒ මව “ප්‍රියා” සහ පියා “නඩේසලිංගම්”‍ ය. ඔවුහු දෙමළ ජාතිකයෝය. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී දැන හඳුනාගෙන ඇතිවූ ප්‍රේම සම්බන්ධයකින් විවාහ වූ මේ යුවළ “ගෝපිකා”‍ (04) සහ “ධරුනිගා”‍ (02) නම් දියණියන් දෙදෙනකු බිහි කළහ. මේ දෙදෙනාගේම උපත සිදුවූයේ ඕස්ට්‍රේලියාවේදීය. 

 
ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ “බිලෝලා”‍ නම් කුඩා නගරයක වසර තුනක කාලයක් පදිංචිව සිටිය දී 2018 වසරේ මාර්තු මාසයේදී බලහත්කාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙනයාමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කළේය. මේ සිද්ධිය පිළිබඳව දෙමළ ජාතික අන් පිරිස් හා ඕස්ට්‍රේලියානු ජාතිකයෝත් වෙනත් විදේශ රටවලින් පැමිණ සිටි විශාල පිරිසකුත් දැඩි විරෝධයක් පළ කරන්නට වූහ. අවසානයේ එය ජාතික මට්ටමේ මහජන විරෝධයක් තරමට වැඩි දියුණු විය. පවුල මෙල්බර්න්වල ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිණි.   


මේ සරණාගත පවුල බිලෝලා නගරයේ සිටි බැවින් ඕස්ට්‍රේලියාව පුරා ඔවුන් “බිලෝලා පවුල”‍ ලෙස ප්‍රසිද්ධියට පත්විය.   
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් ඕස්ට්‍රේලියානු නිලධාරීන් විශාල පිරිසක් මේ පවුල සිටි නිවසට කඩා වැදී ඔවුන් සරණාගත කඳවුරකට ගෙන ගිය ආකාරයට දැඩි විරෝධක් පාන්නට වූහ. එමෙන්ම ඔවුන් එම මධ්‍යස්ථානයෙන් ආපසු ගෙනවිත් දෙන ලෙස රජයට බලකරමින් ඉදිරිපත් කෙරුණු පෙත්සමකට එක්ලක්ෂ විසි දහසකට අධික පිරිසක් සිය අත්සන් යොදා තිබිණි.   
එමෙන්ම ‘මේ පවුලට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා සූදානම්වන්න’ යැයි දී තිබූ කාලය විනාඩි 10ක් බවත් එය අමානුෂික බවත් ඔවුන්ගේ තර්කයක් විය. ප්‍රියා සහ නඩේසලිංගම් දෙදෙනා යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ දී ගැනීමට ඉඩ ඇති බැවින් ඔවුන් අමාරුවේ නොදමන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.   

 

ක්‍රිස්මස් දූපතේ සංක්‍රමණික කඳවුර

 


තමන් සරණාගතයන් ලෙස පිළිගන්න යැයි ඉල්ලමින් ඉදිරිපත් කළ සරණාගත අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පවුලේ මවත් පියාත් වැඩිමහල් දියණියත් වරින් වර ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනාවන් ද ප්‍රතික්ෂේප කර තිබිණි.   
ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේ මෙම දමිළ පවුල ‘සරණාගතයන් නොවන’ බවයි.   
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා සඳහන් කළේ “අපේ රටේ රැකවරණය ලබන්නට මේ පවුලට කිසිදු අයිතියක් නැහැ. මොවුන්ගේ අයැදුම්පත් පුළුල් සහ සවිස්තරාත්මක ලෙස සලකා බලා තිබෙනවා. ආගමන විගමන නිලධාරීන් මේ අයැදුම්පත්‍ර ප්‍රතික්ෂේප කළා.”‍ යනුවෙනි.   
මේ පවුලේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පිරිස් කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ දැරියන් දෙදෙනා දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් බවයි. ඔවුන් තවමත් ළමා හා ළදරුවියේ පසුවන බැවින් මවගේත් පියාගේත් රැකවරණය හා ආදරය ඔවුන්ට අවශ්‍ය බැවින් මේ පවුල පිටුවහල් කිරීමට ගන්නා උත්සාහය නීත්‍යනුකූල හා මානුෂීය නොවන බවද ඔවුහු දිගින් දිගටම තර්ක කළහ.   


කෙසේ වුවත් මේ විරෝධතා කිසිවක් නොතැකූ ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ අගෝස්තු මස 29 වැනිදා රාත්‍රියේ මෙල්බර්න් නුවරින් ගුවන්ගත වූ යානයකට ඔවුන් පටවා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කරන ලදී.   
යානය ගුවන්ගතවන විට ඕස්ට්‍රේලියාවේ නීතිවේදීන් පිරිසක් මේ පිටුවහල් කිරීම නීත්‍යනුකූල නොවන බව දන්වා අධිකරණ නියෝගයක් ගැනීමේ උත්සාහයක නිරතව සිටියහ. යානය ගුවනේ ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගැන්විණි.   
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් බිලෝලා පවුලේ බාලම දරුවා වන ධරුනිගා පිටුවහල් කිරීම තහනම් කරමින් ආණ්ඩුවට එරෙහිව පනවා තිබූ තහනම් ආඥාවක් දීර්ඝ කරන ලදී. නීතිඥ කරීනා ෆෝර්ඩ් පවසන්නේ මෙම නියෝගය දැරියගේ පවුලේ සාමාජිකයන්ටත් අදාළ කරගැනීමට හැකි වේද යන්න සැකසහිත බවයි. කෙසේ වෙතත් මේ කුඩා දැරිය පවුලේ අනිකුත් සාමාජිකයන්ගෙන් වෙන් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවද ඇය පවසන්නීය.   


මෙම නියෝගය අධිකරණයේ විනිසුරුවරයා ගුවන්තොටුපොළ බලධාරීන්ට දුරකතනයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ ඔවුන් ගමන්කරමින් සිටි යානය ආපසු හැරවිණි.   
මේ පවුල සමඟ නිරන්තරව සමීපව කටයුතු කරන ඇන්ජෙලා ෆ්රෙඩ්රික්ස් පවසන්නේ “මේ දරුවන් දෙදෙනා ගුවන් යානයට නැගපු වෙලාවේ ඉඳලා අඬමින් ගිහින් තියෙන්නේ. අම්මාට දරුවන් අසළ වාඩි වෙන්නවත් අවසර දීලා නැහැ. ඔවුන් නැවත පැමිණෙන විට ඉතා සංවේදී සහ අසීරු මානසික මට්ටමකට වැටිලා හිටියා.”‍   
අධිකරණ නියෝගයෙන් පසු ඔවුන් සිව්දෙනා ඕස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපතට යැවිණි. ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර 2000ක් ඈතින් පිහිටි ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක් පිහිටුවා ඇති අතර පසුගිය 2019 වර්ෂයේ මාර්තු මාසයේ දී එය යළි විවෘත කෙරිණි. 1000ක පිරිසකට නවාතැන් ගෙන සිටිය හැකි මේ කඳවුරේ දැනට සිටින්නේ මේ බිලෝලා පවුල පමණි.   

 

 

ඔස්ට්‍රේලියාව සහ ක්‍රිස්මස් දූපත

 


ඕස්ට්‍රේලියාවේ බලධාරීන් පවසන්නේ ප්‍රියා සහ නඩේසන්ගේ වීසා බලපත්‍ර 2018 පෙබරවාරි මාසයේදී කල් ඉකුත්වීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් ඉදිරිපත් කර තිබූ අභියාචනා ද 2019 ජුනි මාසයේදී ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණි.   
එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති කාලයේ දී අවස්ථා තුනක් නඩේසලිංගම් ශ්‍රී ලංකාවට ගොස් ආපසු පැමිණ ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔහුගේ පවුලේ අය අවදානමකින් ජීවත්වන බවට කිසිදු සාක්ෂියක් නොලැබෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම 2009 මැයි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ බවත් ඉන් පසු බොහෝ කාලයක් ගතවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.   
මේ පවුලට තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා අවසර ගැනීමට සටන් කරන පිරිස් නඩුව සමාලෝචනය කිරීම සඳහා වූ ඉල්ලීම් කළ ද මහාධිකරණය ඒවා ඉවත දැමීය.   
ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති අනුව බෝට්ටු මගින් පැමිණ සරණාගතභාවයට කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි. 2012 සහ 2013 වර්ෂවලදී වෙන වෙනම ඕස්ට්‍රේලියාවට පැමිණි ප්‍රියා සහ නඩේසලිංගම් යුවළටත් ඕස්ට්‍රේලියාවේදීම උපන් වැඩිමල් දියණියටත් මේ වනවිටත් සරණාගත තත්ත්වය අහිමි වී තිබේ.   
මේ වනවිට තවත් නඩුවක් විභාග වෙමින් පවතී. එය අවසන්වන තුරු ඔවුන් ක්‍රිස්මස් දූපතේ රඳවා තබනු ඇත. එසේ වුව ද තවමත් ඉදිරි නඩු දිනය ප්‍රකාශ කර නොමැත.   
ඔවුන් නඩු පවරා ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී උපත ලැබූ දෙහැවිරිදි දියණියට ආරක්ෂක වීසා බලපත්‍රයක් අයැදුම් කිරීමට ඇති අයිතිය සැලකිල්ලට ගනිමිනි. ඇයට ඕස්ට්‍රේලියානු රජය විසින් ආරක්ෂාව ලබාදිය යුතු යැයි තීරණය කළහොත් පවුලේ කිසිවෙකුත් පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියාවේ රජයට බලයක් නැත.   
“මේ පවුල ගැන අමතක කරන්න එපා”‍ යැයි නීතිඥ කරීනා ෆෝඩ් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියි.   


මේ පවුල සම්බන්ධයෙන් පසුගියදා දැඩි අවධානයක් යොමුවූයේ කොරෝනා වෛරසය පැතිරීමත් සමගිනි. චීනයේ සිට ගෙන එන ඕස්ට්‍රේලියානුවන් ක්‍රිස්මස් දූපතට ගෙන ඒමට ඒරට රජය තීරණය කිරීමත් සමඟ යළි බිලෝලා පවුල හදිසියේම කරළියට පැමිණියේය.   
රජය ප්‍රකාශ කර සිටියේ වෛරසය හේතුවෙන් චීනයේ සිට ගෙන එන පුද්ගලයන් සති දෙකක කාලයක් ක්‍රිස්මස් දූපතේ රඳවා තබන බවයි.   
නිදහස් මාධ්‍යවේදිනියක වන රෙබෙකා හෝල්ට් පවසන්නේ නිරෝධායන කලාපයක් ලෙස මේ දූපත යොදා ගන්නා බවට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළ ද තමන් ඒ ගැන බිලෝලා පවුලට පවසන තුරු ඔවුන් දැන නොසිටි බවයි.   
“මේ දැනුම්දීමත් සමඟ ඔවුන් මහත් බියට පත්වුණා. රජයේ සැලසුම ගැන කිසිවක් ඔවුන්ට කියා නැහැ. මෙය දැනගත් වහාම ප්‍රියා කඳුළු සලන්නට වුණා. මේ දරුවන් දීර්ඝකාලීන ශ්වසන රෝගවලින් පෙලෙන අය. මේ වගේ වෛරස් අවදානමකට ඔවුන්ට ලක්විය නොහැකියි.”‍ හෝල්ට් පැවසුවාය.   
ක්‍රිස්මස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ 1000 ක පිරිසකට නේවාසික පහසුකම් ඇතත් එහි සිටින්නේ බිලෝලා පවුල පමණි. ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඔවුන් චීනයේ සිට ගෙන එන පුද්ගලයන් නතර කිරීමට බලාපොරොත්තු වන්නේ බිලෝලා පවුල රඳවා සිටින ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් තැනක බවයි.   
අමාත්‍ය පීටර් ඩුටන් මෙසේ කීවේය.   


“වෛද්‍ය පරීක්ෂණ නිමවනතුරු ඔවුන් මධ්‍යස්ථානයේ රැඳී ඉන්නවා. ඔවුන් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානය හෝ සෞඛ්‍ය පහසුකම් භාවිත කරන්නේ නැහැ. මෙම කලාපය ප්‍රකාශයට පත්කිරීම සඳහා ජෛව ආරක්ෂණ පනත යටතේ තීරණයක් ගනු ලබනවා.”   
චීනයේ සිටි ඕස්ට්‍රේලියා ජාතිකයන් 600ක් අතරින් දරුවන් 83 දෙනකු ඇතුළු 243 දෙනකු යළි ඕස්ට්‍රේලියාවට ගෙන්වාගෙන ඇත. ඔවුන් රැගත් ගුවන් යානය සඳුදා සවස ඕස්ට්‍රේලියාවේ ලියර්මවුන් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඔවුන් ක්‍රිස්මස් දූපත වෙත යැවීමට සැලසුම් කර තිබිණි. ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ චීනයේ සිට පැමිණි මේ පිරිස වෙනුවෙන්ම විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවයි. චීනයේ සිටින ඉතිරි පිරිස තවදුරටත් එරටේම රැඳී සිටින බව ප්‍රකාශ කර තිබේ.   


කෙසේ වෙතත් මහජන මන්ත්‍රීවරුන් ද ඇතුළුව අන්තර්ජාලයට අදහස් දක්වන බොහෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ, ආණ්ඩුව බිලෝලා පවුලට සලකන ආකාරය හා ඔවුන් සිටින දූපතට චීනයේ සිට පැමිණි පිරිස් ගෙන යාම සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කරන අතර, ‘සානුකම්පාවෙන්’ කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරති.   
‘විචාරශීලීව කටයුතු කරන’ ලෙස සංක්‍රමණ කටයුතු භාර ඇමැති ඩේවිඩ්ගෙන් ඉල්ලීමක් කරන ඕස්ට්‍රේලියානු විපක්ෂය බිලෝලා පවුලට එරට ජීවත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා රජයට බලපෑම් කරමින් සිටියි.

 

ක්‍රිස්මස් දූපතේ සතුන්

 


  ක්‍රිස්මස් දූපත   


ක්‍රිස්මස් දූපත ඕස්ට්‍රේලියාවට අයත් දූපතක් වුවද එය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ ජාවා සහ සුමාත්‍රා සිට කිලෝමීටර 350ක් දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ආසන්නතම ස්ථානයට කිලෝමීටර 1,550ක් වයඹ දෙසිනි. වර්ග කිලෝමීටර 135ක භූමියක් සහිත මෙහි ජනගහණය 1,843කි.   


ඔවුන්ගෙන් බහුතරයක් දූපතේ උතුරු කෙළවරේ පදිංචිව සිටිති. චීන, මැලේ සහ ඉන්දියානු සම්භවයක් සහිත ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වන්නේ ධීවර කර්මාන්තයයි. මේ වනවිට දූපතේ ජනගහණයෙන් තුනෙන් දෙකක් පමණ මැලේසියානු චීන හෝ සිංගප්පූරු චීන සම්භවයක් සහිත අය බව ගණනය කර ඇත. 

 
මෙහි සිටින්නන්ගේ ප්‍රධාන ආගම් වන්නේ ඉස්ලාම් දහම සහ බුදු දහමයි. නමුත් බොහෝ දෙනකු තමන්ගේ ආගමික සම්බන්ධතා ප්‍රකාශයට පත් නොකරයි.   


වර්ෂ 1515 දී තෝමස් රිචඩ් රෝව් විසින් සිය නාවුක ගමනකදී මේ දූපත දුටු බවට වූ මුල්ම සටහන තබා ඇති අතර ඒ දෙසැම්බර් මස 25 නත්තල් දිනයේදීය. ඒ හේතුවෙන්ම දූපතට ක්‍රිස්මස් අයිලන්ඩ් හෙවත් නත්තල් දූපත යන නම ලැබී ඇත.   


එහි ජනාවාස ඇති වූයේ 19 වැනි සියවසේ අගභාගයේදීය. මිනිස් වාසයෙන් තොර හුදකලා දූපතක්ව තිබූ මෙහි සත්ත්වයන් අතර ඉතා ඉහළ ආවේණිකත්වයක් දක්නට ලැබේ. දිවයිනේ සියයට 63ක් ප්‍රාථමික මෝසම් වනාන්තර වන අතර ක්‍රිස්මස් අයිලන්ඩ් ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එසේ වුවද මෙහි ඇති පොස්පේට් කැණීම දැන් දශක ගණනාවක සිට කරගෙන යයි.   


ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තැබීම සඳහා 2003 වර්ෂයේ සිට මේ දූපත භාවිත කළ නමුත් 2018 දී එහි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමිණි. දැන් මේ දූපතේ රඳවා සිටින්නේ තම රටට පිටුවහල් කිරීමට එරෙහිව නීතිය සමඟ සටන් වදින ශ්‍රී ලාංකික පවුලක් වන බිලෝලා පවුල පමණි.   

 

සජීව විජේවීර