IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නායගිහින් වැනසුණු පෙරපාසල හදාදෙන්න මහතුනේ !

නායගිය සපුතන්ති කන්ද (ඡායාරූපයේ ඇති කළුගල නාය යාමත් සමග පැමිණි ගලකි) 

 

 

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සපුතන්ත්‍රි කන්ද පිහිටා ඇත්තේ රම්මල වරාපිටිය කඳු පන්තියේය.   


සපුතන්ත්‍රි කන්ද පාරම්පරික ගම්පියසක් වන අතර එහි මේ වනවිට පවුල් 450ක් පමණ ජීවත් වෙති. අතිශය බෑවුම් සහිත කඳු පන්තියක් වන සපුතන්ත්‍රි කන්ද 2003 වසරේ මැයි මස 15 දින රාත්‍රී නාය යාමකට හසුව පවුල් ගණනාවක් මහපොළොව යට වැළලී ගියහ. නාය යාම නිසා පුද්ගලයින් 21ක් දෙනෙක් මරණයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.   
නාය යාමත් සමගම සපුතන්ත්‍රි කන්ද කනිෂ්ඨ විද්‍යාලය ද මහපොළොවට සමතලා වී ගිය ද එතෙක් පැවති පෙර පාසල් ගොඩනැගිල්ලට හානියක් වී තිබුණේ නැත. කටුමැටි බිත්ති හතරකින් වටකොට තිබූ පෙරපාසල අවට තිබූ නිවාස සියල්ලම පැවතියේ කොහේදැයි නිශ්චයකොට ගැනීමටවත් නොහැකි ලෙස පස් කඳුවලින් යටවී තිබිණි. නාය යාමට හසු නොවූ පෙරපාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කොට එම ස්ථානයේම පසුකාලීනව පවත්වා ගෙන යනු ලැබූවද නාය යාමේ අවදානම නිසා එම ගොඩනැගිල්ලෙන් පෙරපාසල ඉවත් කරන ලෙසට වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබුණි.   


පසුව පෙරපාසල එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා ගම්මුන්ගේ ශ්‍රම දායකත්වයෙන් දැනට පවත්වා ගෙන යනු ලබන පෙරපාසල ඉදි කරන ලදී. ඒ 2017 වසරේදීය. කටුමැටි ගසා ටකරන් කොළ සෙවිලි කරන ලද පෙරපාසල පටන් ගන්නා විට එහි ළමුන් 20 දෙනකු පමණ සිටි බව ගම්මු පවසති.   


වසර ගණනාවක් තිස්සේ සපුතන්ත්‍රි කන්ද හරහා හමනා තද සුළඟකින් ද නිරතුරුවම ඇද හැලෙනා වර්ෂාවෙන් ද පීඩා විඳින පෙරපාසල් ගොඩනැගිල්ල මේ වනවිට දිරාපත් වෙමින් ඇත්තේ එම ගොඩනැගිල්ල පෙරපාසලකට නොව හරකුන් ළඟින් ගව ගාලකට සුදුසු බව ද කියා පාමින්ය.   

 

ගරා වැටෙමින් පවතින ‘‘රුවන් කැකුළු’’ පෙරපාසැල   

 

 

 


සපුතන්ත්‍රි කන්දේ ගම්මුන්ගේ ඉල්ලීම පරිදි අප එම ස්ථානයට ගියේද මැද වැසි මැද්දේය. වසර 16ක් ගෙවී ගියද සපුතන්ත්‍රි කන්දේ වැසියන් අත්විඳි එම කටුක අත්දැකීම දැනුදු ප්‍රදේශය පුරාම සැරිසරන සෙයක් අපේ හිත්වලට ද දැනිණි.   


අප පෙරපාසල පිහිටි භූමියට යන විට තමන්ගේ දුක කියන්නට බොහෝ දෙනෙක් පෙරපාසලට පැමිණ සිටියහ. කලින් දින හැමූ තද සුළඟින් පෙරපාසලේ සෙවිලි කරන ලද ටකරන් කොළ කිහිපයක්ම ඇණ මුරිච්චිවලින් ගැලවී වහළ නිරාවරණය වී තිබුණු අතර පෙර දින රාත්‍රී පැවති වැස්සෙන් පළදු වී තිබූ බිම දරු පැටවුන්ගේ ඉගෙනුම් උපකරණ රැසක් ද දියබත් වී තිබුණි.   


“මම උදේ මෙතනට ආවට පස්සෙ මට පුදුම දුකක් දැනුණේ. කාටද මම මේක කියන්නේ කියල මට හිතාගන්න බැරි වුණා. දරුවන්ට ඉන්න බැරි විදියට වැස්සෙන් තෙමිල තිබුණ. ඒ හැරුනු කොට ටකරන් කොළ ගැලවී ගිය වහලෙන් වැහි පොද එනවා. ගෙදර ප්‍රශ්නයක් නම් ගෙදර අයගෙන් උදව් ඉල්ලගන්න පුළුවන්. ඒත් මේ ගෙදර ප්‍රශ්නයක් නෙමෙයිනේ. දවල් වෙන කොට වැස්ස නතර වුණා. ඒ නිසා ළමයින්ට මොනව හරි කියා දෙන්න මට පුළුවන්කම ලැබුණා” යැයි චමාසා කාවින්දි පෙරපාසල් ගුරුතුමිය අප සමග පැවසුවාය.   
“මම මේ පෙරපාසලට එන්නේ ‘හක්ගිත කන්දේ’ ඉඳල. උදේට කිලෝ මීටරයක් විතර පයින් ඇවිල්ල ඊට පස්සෙ මහින්දාරාමය ළඟට බස් එකෙන් එනවා. ඊට පස්සෙ ඌරුබොක්ක බස් එකේ ඇවිල්ල මේ කන්ද නැගල මොන්ටිසෝරියට එනවා. කිලෝමීටර් 20ක් විතර ඇවිල්ල තමයි මම මේ දුෂ්කර ක්‍රියාව කරන්නේ” යැයි කාවින්දි පවසන්නීය.   
තවමත් නව යොවුන් වියේ පසුවෙන කාවින්දි, සපුතන්ති කන්දට නිරන්තරයෙන් ඇද හැලෙනා වැස්සේ තෙමි තෙමී කඳු බඩගාගෙන උදේට පැමිණෙන්නේ සපුතන්ත්‍රි කන්දේ දුප්පත් දරු පැටවුන් කිහිප දෙනකු නිසා බව ඇය පවසන්නීය.   


“මම මේ පෙරපාසල ආවෙ මීට අවුරුදු 03ට පමණ පෙර. මම එනකොට මේ පෙරපාසලේ දරුවන් 15ක් පමණ හිටියා. නමුත් මේ ගොඩනැල්ල අබලන් වීම නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා යමක් කමක් කර ගන්න පුළුවන් මාපියන් දරුවන් වෙනත් පෙරපාසල්වලට රැගෙන ගියා. අවසානයේදී ළමයි 07 දෙනෙක් ඉතිරි වුණා. එයිනුත් කිහිප දෙනෙක් දැන් ඉඳහිට එන්නේ. මේ දරුවන් අතරමං කරන්න බැරි නිසා මමත් අපහසුතා මැද්දේ පෙරපාසල කරගෙන යනවා.” යැයි කාවින්දි පවසන්නීය.   


“මේ පෙරපාසලට උදව් කරන්න කියල මම කියන්න පුළුවන් හැමෝටම කිවුවා. නමුත් ඒවායින් වැඩක් වුණේ නෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ කිහිපයක් අරන් දුන්නා. ඒ හැරෙන්න මේ පෙර පාසල ගැන කවුරුවත් බලන්නේ නෑ. අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ගොඩනැගිල්ල අබලන් වීම. මේ ගොඩනැගිල්ල හොඳටම අබලන් වෙලා ලී කණු දිරලා. කොයි වෙලාවෙ මේක කඩන් වැටෙයිද කියන්න බෑ.”

 

 


දරුවන් කිහිප දෙනකු වෙනුවෙන් දුෂ්කර ක්‍රියාවේ යෙදෙන චමාසා කාවින්දි උගෙනුම ලබා ඇත්තේ කොන්කරහේන විද්‍යාලයෙන් හා වලස්මුල්ල මහා විද්‍යාලයෙන් වන අතර උසස් පෙළින් පසුව ඇය දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වනු ලැබූ 2017-2018 වසරේ මුල් ළමාවිය සංවර්ධන උසස් ඩිප්ලෝමාවක් හදාරා පෙරපාසල් පාලිකාවකට තිබිය යුත් සුදුසුකම් ලබා ඇත්තේය. ඇය දිනපතා කිලෝමීටර් 20ක් පමණ දුර ගෙවා දරු පැටවු කිහිප දෙනෙකු වෙනුවෙන් කරනු ලබන සත්කාර්යය පැසසිය යුතු වන්නේමය.   
“2013 සපුතන්ත්‍රි කන්ද නාය ගියාට පස්සෙ පෙරපාසල තැනින් තැනට අරන් ගියා. පස්සෙදි ගමේ කිහිප දෙනෙකු එකතු වෙලා මේ පෙරපාසල හදන්න පටන් ගත්තා. පුළුවන් අය මුදල් ආධාර කළා. ගමේ තරුණයෝ එකතු වෙලා කැලේ ගිහින් ලී දඬු කපාගෙන ඇවිල්ල මේ ගොඩනැගිල්ල හැදුවා. අපිට මතකයි මේ ගමේ සමහර අම්මල තාත්තල තමන්ගෙ දරු පැටවු ගෙනත් තියාගෙන කොස් තම්බල කාල මේ ගොඩනැගිල්ලෙ වරිච්චි බැඳල මැටි ගහල මේක ගොඩනැඟුව. මේ පෙරපාසල අපි පටන්ගත්තේ ගම්මු එකතු වෙලා පිරිතක් කියල. අපි හිතුව අාණ්ඩුවෙන් මේකට උදවු කරයි කියල. නමුත් කවුරුවත් අපට උදවු කළේ නෑ.” සපුතන්ත්‍රි කන්දේ ගම් වැසියෙකු වන සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේය.   
ගම්වැසියෙකු වන ඩබ්ලිව්. සජිත් මහතා අප සමඟ පැවසුවේ, මැතිවරණ කාලෙට මහන්සිය නොබලා සපුතන්ත්‍රි කන්ද නගින දේශපාලනඥයින් ඉන් පසුව සපුතන්ත්‍රි කන්ද අමතක කර දමන බවයි.  


“අපි මේ පෙරපාසලට උදව් කරන්න කියල හැමෝටම කිවුවා. නමුත් කවුරුවත් මේ ගැන බැලුවෙ නෑ. සපුතන්ත්‍රි කන්ද කියන්නේ කටුක අත්දැකීමක් විඳපු තැනක්. ඒ ගමට විශේෂ අවධානයක් යොමු කිරීම දේශපාලනඥයින්ගෙ වැඩක්. නමුත් ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නෑ. අද වෙනකම් කිසිම නිලධාරියෙකු මේ පෙරපාසල ගැන හොයල බැලුවෙ නෑ.” සුජිත් මහතා අප සමග පැවසීය.   


“මගේ මහත්තය අකාලයේ මියගියා. මම ඉතා වෙහෙසකර ජීවිතයක් ගෙවන්නේ. මගේ දරුව අරන් දුර මොන්ටිසෝරිවලට යන්න බෑ. මේ පෙරපාසල ඇරුණාම අපට යන්න වෙනවා පෙරපාසලක් හොයාගෙන කිලෝමීටර් දෙක තුනක්. එක්කො අපේ ළමයි අරගෙන සිත්තම් ගල්ලෙන පන්සලේ තියෙන පෙරපාසලට යන්න ඕන. නැත්නම් රම්මල ජනපදයෙ තියෙන මොන්ටිසෝරියට යන්න වෙනවා. ඒ පෙරපාසල්වලට යන්න අපට හැකියාවක් නෑ. ගොඩාක් අය තමන්ගෙ ළමයි මේ පෙරපාසලෙන් ඉවත් කර ගත්තා ළමයින්ට ආරක්ෂාවක් නෑ කියල. ඒ දෙමව්පියෝ එදිනෙදා වැඩ ඇරගෙන ළමයි මොන්ටිසෝරි ගෙනියනවා. මහා ලොකු දෙයක් අපි ඉල්ලන්නේ නෑ. මේක මේ ආණ්ඩුවලට කරන්න බැරි දෙයක් නෙමෙයි.” සපුතන්ත්‍රි කන්දේ තුෂාරි සමන්තිකා මව පවසන්නීය.   


සපුතන්ත්‍රි කන්ද අයත් වන්නේ කටුවන ප්‍රාදේශීය සභාවටය. ප්‍රාදේශීය සභා විෂය පථයේ පෙරපාසල් සඳහා පහසුකම් සැපයීම ප්‍රධාන වගකීමක් වන්නේය. ගරා වැටීමකට ලක්වී ඇති සපුතන්ත්‍රි කන්ද ‘රුවන් කැකුළු’ පෙරපාසල පිළිබඳව කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ගමාච්චි මහතා පවසන්නේ, කටුවන ප්‍රාදේශීය සභාව මගින් පාලනය වෙන්නේ පෙරපාසල් 05ක් පමණක් බවයි. අපි එම පෙරපාසල් 05 සඳහා මැදිහත් වෙනවා. අපට අයත් නැති පෙරපාසල් පිළිබඳව ප්‍රාදේශීය සභාවක් විදියට කටයුතු කරන්න අපට පුළුවන්කමක් නෑ. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ අනෙකුත් පෙරපාසල් තිබෙන බව ද ඔහු පවසන්නේය.   

 

 


වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් අයි.ආර්.කේ. විතාරණ මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන්නේ තම බල ප්‍රදේශයේ ඇති පෙරපාසල් අධීක්ෂණය කිරීමක් පමණක් බවයි. සියලුම පෙරපාසල් පාලනය කරන්නේ ප්‍රාදේශීය සභාව මගින්. කෙසේ වුවද ඒ සම්බන්ධ නිලධාරියාගෙන් විමසා සපුතන්ත්‍රි කන්දේ ‘රුවන් කැකුළු’ පෙරපාසල ගැන නිශ්චිත පිළිතුරක් දීමට හැකි බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.   


සපුතන්ත්‍රි කන්දේ දුප්පත් දූ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා ‘රුවන් කැකුළු’ පෙරපාසල ආරම්භ වෙන්නේ 1984 වසරේදීය. ගම පුරා තැන තැන ඇවිද ගිය මෙම පෙරපාසල දැන් වසර 03ක් තිස්සේ එකම ස්ථානයක කටුමැටි බිත්ති හතරකින් වටවී පවතින්නේය. වසර 35ක් තිස්සේ සපුතන්ත්‍රි කන්දේ ක්‍රියාත්මක වූ පෙරපාසල පිළිබඳව ප්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම රජයේ නිලධාරීන්ට ද ඒ හැටි අවබෝධයක් නැතිවීම පුදුම සහගතය.   


කටුවන ප්‍රාදේශීය සභාව සතුව ඇත්තේ පෙරපාසල් 05ක් නම් එය කටුවන ජනතාවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත. ජනතාවක් කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිටින අතර ඔවුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව වගකීම ගන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයක් ද පැන නැගෙනු ඇත. 

 
සපුතන්ත්‍රි කන්දේ දුප්පත් මව්පියන්ගේ ඡන්දයෙන් බලය ලබා ගත් දේශපාලන මහතුනේ, ඔබ තම ජනතාවට යුතුකම් ඉටු කරන්නේ කවදාදැයි අපට ප්‍රශ්න කරන්නට සිදුව තිබේ.   

 

 

 

සටහන - ජායාරූප   
රන්න - චන්ද්‍රසේන ගමගේ   

 

 



අදහස් (0)

නායගිහින් වැනසුණු පෙරපාසල හදාදෙන්න මහතුනේ !

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3750 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site