IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙම වුණේ

 

රටම ස්වභාවික විපතකට ගොදුරු විය. ඊට පෙර කැබිනට් සංශෝධනයක්ද විය. මේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා ස්වභාවික විපත් වලින් නම් අඩුවක් නෑ. මේක ආණ්ඩුවේ කරුමයද? ජනතාවගේ කරුමයද?
පිළිතුර:-
මේක රටේ කරුමය. මේ තත්ත්වය ලෝකයේ හැම රජයකටම තියෙන දෙයක් මිස ලංකාවට විතරක් සුපිරි තත්ත්වයක් නෙවෙයි. හැම රටකටම මේක උරුමයක් බවට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කිරීම තමයි අප කළ යුත්තේ.


ප්‍රශ්නය:- හැම ස්වභාවික විපතකදී වගේම මේ විපතේදීත් ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නැති බව පෙනුණා. මුල් දින කිහිපයේදී රටේ ආණ්ඩුවක් නොතිබුණ ගානයි?
පිළිතුර:-
ඒක අමූලික බොරුවක්. ඒක මාධ්‍ය ගොතන බොරුවක්. මාධ්‍ය කරන්නේ නැති තත්ත්වයන් මවාපාලා ජනතාව උසි ගන්වන එක විතරයි. වෙන මුකුත් නෑ. ආණ්ඩුවයි, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයයි, ත්‍රිවිධ හමුදාවයි, පොලිසියයි ඉමහත් සේවයක් කරනවා. ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියනවා නම් එහෙම නම් කොහොමද මේවා කෙරෙන්නේ? මාධ්‍යයද කරන්නේ? මාධ්‍ය නිකම් සංදර්ශන තියනවා විතරයි පෙන්වනවා කරනවා කියලා.


ප්‍රශ්නය:- ඔබ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ගැන මතක් කළා. නමුත් ආපදා කළමනාකරණ ඇමැති ඒ දවස්වල රටේත් නැහැ. ජනාධිපතිවරයා ලංකාවට ආවේ ආපදාවේ මැද හරියේදී. ආපදාව මැද හරියේදී අගමැතිවරයාත් ඇමෙරිකාවට ගියා?
පිළිතුර:-
ඔව්. ඉතින් මේවා කියලා එන ඒවා නොවෙයි නේ. අපේ ආණ්ඩුවේ ස්වරූපය තමයි ලෝකයම තරණය කරලා නැත්තටම නැති කරපු ආර්ථිකය හදාගෙන, හුදකලාවේ ගිය ගමන ලෝකයත් එක්ක අත්වැල් බැඳගෙන යාමයි. අපි දන්නේ නෑනේ මේවා මෙහෙම වෙයි කියලා. මේ විපත දැන ගත්ත ගමන් ජනාධිපතිවරයා ආවා. අගමැතිතුමා සියලු කටයුතු සම්පාදනය කරලයි ගියේ. ආපදා කළමනාකරණ ඇමැතිතුමාට  වෙනින් කටයුත්තක් තියෙන්න ඇති.


ප්‍රශ්නය:- කැබිනට් සංශෝධනයේදී ඔබට අනුව රවි නීච වුණාද? උච්ඡ වුණාද?
පිළිතුර:-
මං හිතන්නේ නීච වීම හෝ උච්ච වීම නෙවෙයි වැදගත් වෙන්නේ. රටට සෙතක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මගේ ඔළුව තුළින් අනුන්ගේ පව් සෝදන්න පුළුවන් නම් ඒක බොහොම සතුටුයි. එහෙම කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් පිළිකාවට කොට්ටය මාරු කරලා හරියන්නේ නැහැ. නමුත් මම හිතන විදියට ජනාධිපතිතුමත් අගමැතිතුමත් එහෙම කරන්න යම් සාධක ඇති. ඉතින් එහෙම කරන එක තමයි අපේ කාර්යභාරය. තර්ක විතර්ක කිරීම නොවෙයි තියෙන්නේ. අභ්‍යන්තරව කරන ඒව වෙනස්. නමුත් ආණ්ඩුවක් හැටියට අපි ශක්තිමත්ව කටයුතු කරගෙන යනවා.


ප්‍රශ්නය:- අනුන්ගේ පව් ඔක්කොම ඔබේ කර පිටින් ගියා කියලද ඔබ කියන්නේ?
පිළිතුර:-
මම එහෙම කියන්නේ නෑ. නමුත් මාධ්‍ය පෙන්වලා දීලා තියෙන්නේ ඒක නේද? එහෙම නැත්නම් මාව මාරු කළේ අදක්ෂතාවයද? හොරකම් කරලද? වංචා කරලද? දූෂණ කරලද? ඥාති සංග්‍රහයද? මට එහෙම මුකුත් කියල නෑනේ. මම බොහොම හොඳයි කියලා තියෙනවා. ආසියාවේ හොඳම මුදල් ඇමැති හැටියට මට සම්මාන ලැබිලා තියෙනවා. රටේ කඩා වැටිච්ච, දණ ගස්සවපු ආර්ථිකය නැගිට්ටලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිලාභයක් හැටියට තමයි මට මෙහෙම වෙන්න ඇත්තේ. හැබැයි මතක තියාගන්න මුදල් ඇමැතිකම කියන්නේ මුළු රටට. විදේශ ඇමැතිකම කියන්නේ මුළු ලොවටම.


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ හිතනවා ඔබට ලැබුණේ උසස්වීමක් කියලා?
පිළිතුර:-
ඔව්. සුබවාදීව මම එහෙම හිතනවා. 


ප්‍රශ්නය:- ආසියාවේ හොඳම මුදල් ඇමැති ලංකාවට ඇයි එපා වෙන්නේ?
පිළිතුර:-
ඉතින් ඒක අහන්න ඕනෑ ඒක කරපු කට්ටියගෙන් නේ. මගෙන් අහලා හරියන්නේ නෑ. මේවා අපි සල්ලි දීලා ගත්ත ඒවා නොවෙයිනේ. ඉතින් ඒවාට යම් හේතු සාධක ඇති. කොහොම වුණත් ඒක ඒ අයගෙන් තමයි අහන්න වෙන්නේ?


ප්‍රශ්නය:- කොහොම වුණත් මුදල් ඇමැතිකමේ දිගටම ඉන්න ඔබ ලොකු උත්සාහයක් ගත්තා?
පිළිතුර:-
මෙහෙමයි. මම දන්නා විදියට මම වැරැද්දක් කරල නැහැ. අනිත් අය වැරදි හදාගෙන ඒවා මගේ ඔළුවට දාන්න හැදුවට. ඒවා වැඩි කල් යන්න කලින් ඇත්ත මොකක්ද කියලා අනාවරණය වෙයි. ඔව්. ඉතින් මට තියෙන දේ තමයි සාමාන්‍යයෙන් කණ්ඩායම්වාදී ලෙස කටයුතු කරණකොට ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කට්ටිය ඉන්නවනේ. ඒවා ඉතින් නවත්වන්න බැහැනේ. ස්වරූපය ඒකනේ. හැබැයි මතක තියාගන්න ඔය ඔක්කොම කුහකකම් කරන්නේ දක්ෂතාවයට සාර්ථකව වැඩක් කරනකොට තමයි. මතක තියාගන්න මෙතැන ප්‍රශ්න එන්න පටන් ගත්තේ දූෂණය අවම කරන්න ගිහිල්ලා නොවෙයි. නැත්තටම නැති කරන්න ගියාමයි. දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙම වුණේ.


ප්‍රශ්නය:- බැඳුම්කරයෙ සිට ප්‍රාඩෝ රථ නිදහස් කිරීම හරහා කරුංකා කන්ටේනර් පිටින් නිදහස් කිරීම දක්වා නොයෙක් චෝදනා ඔබට එල්ල වුණා?
පිළිතුර:-
එහෙම එල්ල කළාට... බැඳුම්කරය මගේ අමාත්‍යාංශයෙ නොවෙයි. ප්‍රාඩෝ එක ගන්න ඔය බංකොළොත් දේශපාලනඥයෙක් හා යුනියන් එකක දෙන්නෙක් තුන් දෙනෙක් අධිකරණයටත් ගියා. අන්තිමට මොකද වුණේ? උසාවියම අහනවා මොකක්ද මෙතැන තියෙන වැරැද්ද කියලා? ඕනෑම එක්කෙනකුට චෝදනා කරන්න පුළුවන්. පත්තරත් ඉතින් එක එක දේවල් නිර්මාණය කරන එකනේ කරන්නේ. එහෙම දේවල් නම් කළේ  කොහොමද? දළ දේශීය නිෂ්පාදනය සියයට 10 සිට සියයට 16 දක්වා වැඩි වුණේ කොහොමද? රේගුවේ ආදායම සියයට 200 කින් වැඩි වුණේ? ඉතින් මේ පට්ට හොරා කියන මේ කතන්දර තමයි මේ කියවන්නේ. අර පුවක් හොරු ටිකක් හිටියා. ඇමැතිවරුන් එක්ක දඟල දඟල හොරකම් කර කර හිටියා. අපි ඒවා නවත්වන්න ගියාම තමයි අපේ ඇඟට ගොඩවෙන්නේ. ඊට පස්සෙ දානවා. අරක කරන්න හදනවා. මේක කරන්න හදනවා කියලා.


ප්‍රශ්නය:- ඔබ කාටද ඔය චෝදනා කරන්නේ?
පිළිතුර:-
මම ඒවා හරි වෙලාවට කියන්නම්. ඔන්න ඔය වගේ කට්ටිය තමයි මම මීට පෙර ඒ අයගෙ නම් කියලා තියෙනවා. ඒ අය තමයි මේවා පසුපස සිටින්නේ. මේගොල්ලෝ ව්‍යාපාරික ලෝකයේ ඉන්නේ. ඔයගොල්ලොත් මේවා ගැන බලන්න අවශ්‍යයි. නැති ඒවා කතා කරලා වැඩක් නැහැ. දූෂණය නැත්තටම නැති කිරීම ගැන කතා කරන්නේ නැහැ. ඔයගොල්ලොත් වපර ඇහින්මයි බලන්නේ. ඉතින් මට කියන්න පුළුවන් වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා හා කාර්ය මණ්ඩලය ඉතාම දක්ෂ ලෙස වැඩ කරල වාර්තා තියන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා.


ප්‍රශ්නය:- ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති කෙනෙක් වෙච්ච ඔබේම පක්ෂයේ කෙනෙක් ඔබට එරෙහිව ඉන්නවා කියල ඔබ කියලා තිබුණා.
පිළිතුර:-
ඔව්. මම ඒක භය නැතිව කියනවා. දූෂණය අපි නවත්වන්න ගියාම ඒ අයට ඕනෑ දේවල් කරගන්න බැරි වුණාම ඕවා තමයි කරන්නේ. දැන් බලන්න අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට එතුමාවත් මාරු කරලා. චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට එයාවත් මාරු කරලා. දුර්වලතා තියෙන, ප්‍රශ්න තියෙන ඇමැතිවරු නැද්ද? ඔය වැඩියෙන්ම කතා කරන අය තමයි ඔය ඔක්කොම වැරදි කරන්නේ. අපි නිහඬව හිටියේ. යම් හේතුවක් නිසයි. මීට පෙර තිබුණ ආණ්ඩුවේ තත්ත්වය වගේ නොවෙයි. ඊට වැඩිය සීයට සීයක් හොඳයි. නමුත් තාම දුර්වලතා තියෙනවා. දුර්වලතා නැති කරගෙන යන අපිට තමයි මේ ප්‍රතිවිපාක ලැබෙන්නේ.


ප්‍රශ්නය:- ඔබේම පක්ෂයේ ඇමැති කෙනෙක් ඇයි ඔබට මෙහෙම පහර දෙන්නේ?
පිළිතුර:-
ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න ඕනෑ.


ප්‍රශ්නය:- පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් නේද මේ එළියට පැන්නේ?
පිළිතුර:-
නෑ. අපි මේ අවුරුදු 25 ක් දර දිය ඇදලා මේ පක්ෂය මේ තැනට ගෙනාවේ. මේ අය මේ දේශපාලනය කරන්නේ නැතිව සාමාජිකයන් දෙන්නෙක් තුන් දෙනෙක්වත් පක්ෂයට ගන්න බැරි අය තමයි මේ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. නමුත් ඒ අයට ඉතාම නිවැරදි විදියට ප්‍රතිචාර ලැබෙයි. මොකෝ අපේ පක්ෂයේ මන්ත්‍රීවරු, ඇමැතිවරු අපේ පාක්ෂිකයෝ ඔක්කොම දන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා.


ප්‍රශ්නය:- පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙච්ච වෙලාවේ ඔබ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් බෙල්ල දීගෙන වැඩ කළා. නායකයා ආරක්ෂා කළා. නමුත් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඔබව බේරා ගත්තේ නෑ.
පිළිතුර:-
ඔව්. අනිවාර්යයෙන්ම. එතුමා වෙනුවෙන් අපි බෙල්ල දුන්න නොවෙයි. මුළු ජීවිතයම දුන්නා එතුමාව ආරක්ෂා කරන්න. නමුත් එතුමට මට කියන්න අවශ්‍ය වෙන්නේ මෙතනදී එතුමා මං වෙනුවෙන් ඍජු සටනක හිටියා. එතුමා දන්නවා අපි කරපු කැපවීම ගැන විතරක් නොවෙයි එතුමා දන්නවා ඉදිරියට යන්න පුළුවන් කට්ටිය කවුද කියලත්. ජනාධිපතිතුමාටත් මං මතක් කරන්න කැමැතියි. මේ දෙපළට ඒකයි මම මේ කියන්නේ මම මේ හෙළිදරව් කරන්නේ. අනික් අයට කොන්දක් නෑ මේවා කියන්න. මම මේවා කියන්නේ පක්ෂයේ අභිවෘද්ධියටයි. රටේ අභිවෘද්ධියටයි. ජනාධිපතියි, අගමැතියි දෙන්නවම හසුරුවන්න පුළුවන් මේ වගේ රූකඩකාරයන් ඉන්නව නම් ඒක රටට ඉතාම භයානක තත්ත්වයක්. ඊට පස්සේ  තව මොනවද වෙන්න පුළුවන්. මම මේවා හෙළි කරන්නේ තවත් කෙනෙකුට මේවා නොවෙන්නයි. මේ ජනාධිපතියි අගමැතියි තව අවුරුදු 15 ක් 20 ක් මේ රට ගෙනිච්චත් අපට ප්‍රශ්නයක් නොවෙයි. මං හිටපු මුදල් ඇමැති විදියට දන්නවා මේ ජනපති, අගමැති සුසංයෝගයට ජාත්‍යන්තරයේ ප්‍රතිචාරය කොහොමද කියලා. මට දැන් කියන්න පුළුවන් විදේශ ඇමැති හැටියට මට පෙර හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ඇමැතිතුමා ඒ වගකීම ඉතාම දක්ෂ ලෙස එතුමාට ලබා දුන්න ප්‍රශ්න නිරාකරණය කළා. දැන් මට පේනවා ඉතාම විශේෂ අවස්ථාවක් මේ දෙපළගේ එකට වැඩ කිරීමේ ස්වරූපය ලෝකයට ගෙනියන්න.


ප්‍රශ්නය:- ජනාධිපතිවරයත්, අගමැතිවරයත් මෙහෙයවන්න තරමට ඒ ඇමැතිවරයා බලවත් වෙලා තියෙන්නේ කොහොමද? 
පිළිතුර:-
මන් දන්නෑ. ඕවා වැඩිකල් යන්න කලින් හෙළිදරව් කරන්නම්. ඔය වෙස් මුහුණු ඇඳගෙන නටන කට්ටියගේ වෙස් මුහුණු වැඩිකල් යන්න කලින් ගැලවෙනවා.


ප්‍රශ්නය:- මේ කැබිනට් සංශෝධනයෙන් පස්සේ ඇත්තටම අගමැතිතුමා මොනවද කිව්වේ?
පිළිතුර:-
එහෙම කතා කරපු දේවල් මාධ්‍යයට කියන එක සදාචාරාත්මකයි කියලා මං හිතන්නේ නෑ. දන්නෝ දනිති මොනවද වුණේ කියලා. මට තියෙන ශක්තිය තමයි ජනතාවත්. අපේ මන්ත්‍රීවරු කණ්ඩායමත් කැබිනට් එකේ බහුතර සාමාජිකත්වයත්.


ප්‍රශ්නය:- යුද්ධය පැවැති කාලයේ යුද ජයග්‍රහණය හෑල්ලු කරපු ඔබ විදේශ ඇමැති හැටියට ජිනීවා යෝජනාවලදී කොහොම හැසිරෙයිද කියලා ඒකාබද්ධ විපක්ෂය සැක පහළ කරනවා.
පිළිතුර:-
කවුද ඔය කතා කියන්නේ? ඔය කියන්නේ මාධ්‍ය මවපු දේවල්. කියපු නැති දේවල් කිව්වා කියලා බොරු සංදර්ශන ඇති කරනවා. හැබැයි ඒ ත්‍රිවිධ හමුදාවට ගෙව්වේ නැති සල්ලි ගෙව්වේ කවුද අපි. විශ්‍රාම වැටුප් ගෙවලා තිබුණේ නෑ. අපියි ගෙව්වේ. යුද්ධයට යවලා ඒ අය මරපු අය මේ ගැන කතා කරන්නේ නෑ. නොගෙවපු ඒවා අපි ගෙව්වේ මොකටද? ඒ තියෙන ආදරයට. ත්‍රිවිධ හමුදාව තමයි රට බේරා ගත්තේ. එහෙම නැතිව දේශපාලනඥයෝද? ඉතින් එහෙම කරලත් මෙහෙම කියන්නේ කුහක කමින් පිරිච්ච අයයි. මුදල් ඇමැති වෙලා ඉන්න කාලේ ඒකේ කරන ඒවට විරුද්ධව කටයුතු කරනවා. වෙළෙඳ අමාත්‍යාංශය කරගෙන යන කොටත් එහෙම කළා. ඊට පස්සේ ඕවා නතර වුණාම කියනවා අපරාදේ ඒක නතර කරලනෙ කියලා. දේශපාලනය කියන්නේ රෝස මල් පාත්තියක් නොවෙයිනේ. මේකේ ඊර්ෂ්‍යාකාරයෝ, කුහකයෝ පිරිලා. හැබැයි මට ඔය කටු පඳුරු එච්චර දෙයක් නොවෙයි. මට ප්‍රශ්නය තියෙන්නේ අපේම තුත්තිරි ගස් ගැනයි.


ප්‍රශ්නය:- ඇයි ඒ තුත්තිරි ගස් ගලවලා දාන්නේ නැත්තේ?
පිළිතුර:-
ගලවනවා නොවෙයි. නැත්තටම නැති කරනවා. මොකද අපට අවශ්‍යවන්නේ පුද්ගලයෝ නොවෙයි. රටයි ජනතාවයි පක්ෂයයි තමයි අපට අවශ්‍ය වෙන්නේ.


ප්‍රශ්නය:- යුද අපරාධ වුණා. ඒවා සෙවිය යුතුයි කියලා සමහරු කියනවා.
පිළිතුර:-
ඔය, ඔය කතන්දර ඇතිවෙලා තියෙන්නේ ජී.එල්. පීරිස් එදා විදේශ ඇමැති විදියට දීපු ලියුම් නිසානේ. එතුමා උත්තර දිය යුතුයි මොනවද මේ ලියල දීලා තියෙන්නේ කියලා.


ප්‍රශ්නය:- මොන අර්ථයකින් හරි විදෙස් අධිකරණයක් ගේනවට ඔබ එකඟද විරුද්ධද?
පිළිතුර:-
මම විරුද්ධයි. ජනාධිපතිත්, අගමැතිත් දෙන්නම ඒ ගැන කතා කරලා තියෙනවා. මං වගේ පොඩි නැට්ටෙක් ඒ ගැන කියලා වැඩක් නැහැනේ. අනික අපි කිසිම වැරැද්දක් කරලා  නෑ. ඒ වගේ දේවල් හොයන්න. යුද අධිකරණයක් පිහිටුවන්න අපි කරපු පාපකර්ම මොකක්ද? නමුත් මේ රටේ සියලුම දෙනාට ජීවත්වීමේ අයිතිය තියෙනවා. මේක බෞද්ධ රටක්. ඒ තුළ අනෙකුත් සෑම ආගමිකයකුගේම අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා. ඒ තත්ත්වය තහවුරු කිරීම අපේ කාර්යභාරයක්. ඒකට කිසිම බාධාවක් ඇති කළ යුතු නෑ.


ප්‍රශ්නය:- විදේශ ඇමැති හැටියට ඔබ තේරුම් ගත්ත දේ මොකක්ද ලංකාව ගැන ජාත්‍යන්තර මතය?
පිළිතුර:-
ඇත්තටම ලංකාවට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා. අවුරුදු 30 ක් අපට නැති වුණ දේ නැවත ලබාගන්න. අපේ රට භූගෝලීය කේන්ද්‍රස්ථානයක තමයි පිහිටලා තියෙන්නේ. අපි මේක පාවිච්චි කරන්න අවශ්‍යයි රටේ හා ජනතාවගේ වාසියට. රටේ බොහොම බුද්ධිමත් පිරිසක් ඉන්නවා. චීනය අපිත් එක්ක දැන් සුහදයි. මේ රටේ ආයෝජනය කරනවා. ඉන්දියාව බොහොම මිත්‍රශීලියි. ජපානය, කොරියාව, යුරෝප හවුල, ඇමෙරිකාව අපට හිතවත් වෙලා ඉන්නවා. ලෝකයම අපිත් එක්ක ඉන්නවා. මේ තත්ත්වය රටේ යහපතට යොදාගත යුතුයි.


ප්‍රශ්නය:- ඔබේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද?
පිළිතුර:-
ඉතාම පැහැදිලිව නොබැඳි පිළිවෙතයි.


ප්‍රශ්නය:- ඔබ හිතනවද ඔබට ඒ මාවතේ යන්න පුළුවන් කියලා?
පිළිතුර:-
මතක තියාගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සංවිධාන අපට රවලා තරවටු කරලා බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමැති හැටියට මම කෙළින් හිටියා. අද ඒ අයත් පිළිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා. මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නෙ. මට ලිඛිතව පෙන්වන්න  පුළුවන්. පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිණුම්වලට හරව ගත්ත ඇමැතිවරු.


ප්‍රශ්නය:- මේ ආණ්ඩුවේ. 
පිළිතුර:-
ඔව්. මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලබපු අය තමයි. ජනවාරි 8  ගත්ත වරමයි ඊට පසුව ඇතිවුණ දේවල් ගැනයි මතක් කිරීම සමහර අයගේ හිත් රිදෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ කටවල්වලට බ්‍රේක් නැති වුණාම ඒක කාටවත් ප්‍රශ්නයක් නොවෙයි. අපේ අගමැතිතුමාට බැන්නම ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඉතින් මේවට නිහඬව ඉඳීමම එක්සත් ජාතික පක්ෂයට අවනම්බුවක්. ජනාධිපතිතුමා ආරක්ෂා කිරීම අපේ කාර්ය භාරයයි.


ප්‍රශ්නය- ඔබ දෙන උත්තරවලින් පේන්නේ සෑහෙන අර්බුද ගණනාවක් තියෙන බවයි?
පිළිතුර:-
අර්බුද කියලා කියන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ අපේක්ෂාභංගත්වයෙන්. ඒකත් ඒ අයගේ කැක්කුමයි. දන්න අපි මේවා ගැන කතා කළ යුතුයි. අපි අවුරුදු 20 කට වැඩියෙන් විපක්ෂයේ හිටියේ. අපි පහුකරපු අමාරු යුගය මේ අය දන්නේ නෑ. නමුත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දන්නවා අපි ඔවුන් වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියලා. ආණ්ඩුව වෙනස් කරන්න අපි සෑහෙන්න වැඩ කළා. සටන් කළා. එදා මහ බැංකුවේ හිටිය අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ලා සහ තව අය සල්ලි එකතු කළා මෛති්‍රීපාල සිරිසේන පරාජය කරන්න. ඊට පස්සේ පත්වෙලා. මම දන්නෑ කොහොම පත් වුණාද කියලා. එහෙම පත්වෙලා රටේ වෙනසක් ඇති කරන්න කටයුතු කරගෙන යනවා. ඒ ගොල්ලෝ ඉන්නවා අපිව මාරු කරනවා. රටේ දේශපාලනඥයා මාරු වෙනවා. රට අගාධයට ගෙනිච්ච නිලධාරින් එහෙමම ඉන්නවා. ඒ වගේම කිසිම චාරයක් නැතිව සමහර අය එදා ඉඳලා රනිල් වික්‍රමසිංහට ගැහුවා. මේ අය තමයි එක්සත් ජාතික පක්ෂයයි මෛති්‍රීපාල සිරිසේන මහත්තයයි ඈත් කරන්න කටයුතු කරන්නේ. ඇතුළේ ඉඳගෙන ඉතාම දුෂ්ඨ විදියට ඇති කරපු දේවල් නැති කරන්න කටයුතු කරගෙන යනවා. තව ඉන්නවා වෙබ් කරන කෙනෙක්. ඒ පැත්තට යනවා. මේ පැත්තට යනවා. මේ ගොල්ලෝ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටිය. තව ඉන්නවා ඔය රාජ්‍ය නොවන සංවිධාන කට්ටිය. ඒ අය කියන විදියට ආණ්ඩු කරන්නලු. එහෙම නම් පාර්ලිමේන්තුවක් අවශ්‍ය නෑනේ. එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රබල පුද්ගලයෙක් හැටියට මම මේවා හෙළි කරන්නේ රටේ අභිවෘද්ධියට. අපි අංගසම්පූර්ණ නෑ. නමුත් අපි සෑම ප්‍රයත්නයක්ම දරනවා වැරදි නිවරදි කරගෙන යන්න. හැබැයි ත්‍රස්තවාදයට, අන්තවාදයට, බෙදුම්වාදයට මම විරුද්ධයි. මේවා  සහමුලින්ම විනාශ කර දැමිය යුතුය කියන ස්ථාවරයේ තමයි අපි සිටින්නේ.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙම වුණේ

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 14 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 20 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 37 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 13 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site