IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කොල්ල කන්නේ මෙහෙමයි

පළාත් පාලන මැතිවරණයේදී මෙවර මන්ත්‍රීවරුන් 8346 ක් පත්වීමට නියමිතය. මෙතෙක් එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 4480 කි. මේ නිසා පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදලද දෙගුණයකින් ඉහළ යයි. මෙතෙක් ඒ සඳහා වැය කළ මුදල මාසිකව රුපියල් කෝටි 72 ක් වුවද මැතිවරණයෙන් පසුව එම මුදල රුපියල් කෝටි 156 ක් පමණ වේ. මෙම මුදල වැඩවීම ගැටළුවකි. නමුත් බරපතළම ගැටළුව ඇත්තේ එහි නොවේ. පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් ගසා කනු ලබන මහජන මුදල් ප්‍රමාණයද දෙගුණ තෙගුණ වීමට නියමිතව ඇති බැවිනි.   


අ​ෙප් රටේ දේශපාලන පද්ධතියම කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත්ව ඇත්තේද දේශපාලනඥයින් සිදුකරන මෙම මහජන මුදල් ගසාකෑම නිසාය. දේශපාලනඥයා හොරකමට, වංචාවට හා දූෂණයට අත්පොත තබන ස්ථානය වෙන්නේ පළාත් පාලන ආයතනයයි. සාමාන්‍ය මන්ත්‍රීවරුන් මෙන්ම ආයතන ප්‍රධානියාද තම කාලසීමාව තුළ පරම්පරා ගණනාවකට ඇති වෙන්නට හම්බකර ගනිති. පාපැදියක් හෝ ඉන්න හිටින්නට තැනක් නොමැතිව දේශපාලනයට පිවිස අදවන විට අති නවීන වාහන ගණනාවක් හා සුපිරි නිවාස කීපයක අයිතිකරුවන් බවට බොහෝ පළාත් පාලන ආයතන ප්‍රධානීහු පත්ව සිටින්නේ ඒ බල මහිමය නිසාය.   


ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික ප්‍රදේශයක පිහිටි පළාත් පාලන ආයතනයක් සතුව බැකෝ යන්ත්‍රයක් තිබිණි. එය අධික මුදලක් ගෙවා ආයතනයට මිලට ගනු ලැබුවේ ජනතා සේවය පිණිසය. රජයේ පාර්ශ්වයට අයත් මන්ත්‍රීවරයෙකුද බැකෝ යන්ත්‍රයක් ගත්තේය. එද‌ා සිට වැඩ කටයුතු සිදුවූයේ මන්ත්‍රීවරයාගේ බැකෝ යන්ත්‍රයෙනි. ඒ සඳහා ඔහු අනුගමනය කළේ කපටි වැඩකි. සභාවේ බැකෝ යන්ත්‍රයේ රියදුරාගේ අතට ගණනක් දී ඔහු කීවේ ‘අද මැෂින් එක කැඩිලා කියන්න’’ යනුවෙනි. රියදුරාද එය අකුරටම ඉටු කරයි. ‘බැකෝ එකේ හෝර්ස් එක ගිහින්’’ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයාට රියදුරා දැනුම් දෙයි. මෙම ජාවාරමට සම්බන්ධ ලේකම්වරයාද ඒ සඳහා අනුග්‍රහය දක්වයි.   


‘මන්ත්‍රීතුමාගේ’ බැකෝ එකට එන්න කියන්න ඔහු නියෝග කරයි.   


අදාළ මන්ත්‍රීවරයා දින කීපයක් සඳහා යැයි කියමින් බැකෝ රථය ආයතනයේ සේවයට පැය කීපයක් පමණක් යොදවා යළි තමන්ගේ කටයුතු සඳහා රැගෙන යයි. පැය දෙකතුනක් පමණක් පළාත් පාලන ආයතනයේ සේවය කළත් සතියකට පමණ සෑහෙන අධික මුදලක් මන්ත්‍රීවරයා ලබාගනී. ඒ මහජන මුදලිනි.   


රියදුරාද එතෙකින් නොනැවතී හෝර්ස් එක අලුත්වැඩියාවට යැයි පවසමින් හොඳින් තිබූ හෝර්ස් එක ගලවාගෙන ගොස් නැවත සවිකර රුපියල් 7500 ක පමණ බිලක් ඉදිරිපත් කර එම මුදල තමාගේ සාක්කුවට දාගනී. මසකට වරක් හෝ දෙකක් බැකෝ රථය ලෙඩවෙන්නේ ඒ ආකාරයෙනි.   


පළාත්පාලන ආයතනයක කසළ ඉවත් කිරීම සඳහා ට්‍රැක්ටර් රථ කොන්ත්‍රාත් පදනමට සපයන්නෝද මන්ත්‍රීවරුය. මේ කියන ආයතනයට උපකාර්යාල තුනක්ද තිබිණි. කාර්යාල හතරේ බලසීමාව තුළ කසළ ඉවත් කිරීමට ට්‍රැක්ටර් හතරක් අවශ්‍යය. ඒ වගකීම ගත්තේ මන්ත්‍රීවරයෙකි. ඒ පළාත් පාලන ප්‍රධානියාගේද අනුදැනුම මතය. මන්ත්‍රීවරයාට තිබුණේ එකම ට්‍රැක්ටරයකි. එහෙත් ඔහු තවත් ව්‍යාජ අංක තහඩු තුනක් හද‌ා ගත්තේය. මේ ස්ථාන හතරේම කුණු ඇද්දේ එකම ට්‍රැක්ටරයෙන් වුවද මන්ත්‍රීවරයා එක් එක් උපකාර්යාලයට අංක තහඩුව බැගින් සවිකර ට්‍රැක්ටර් හතරකට අදාළව මුදල් ලබාගත්තේය. එම මුදල මසකට රුපියල් මිලියන ගණනකි. මේ ලබන අධික ලාභයෙන් කොටසක් ආයතන ප්‍රධානියාටත් නිලධාරින්ටත් හිමිවිය.   


බොහෝ මන්ත්‍රීවරුන් තමන්ගේ වාහන අලුත්වැඩියාව, සිදුකරගන්නේද පළාත් පාලන ආයතනයේ මුදලිනි. තම පුද්ගලික වාහනය අලුත්වැඩියාව සිදුකළ බිල්පත් ආයතනයේ වාහනයක අංකයක් යොදා බිල්පත් ඉදිරිපත් කර මහජන මුදල් ගසාකයි.   


කොන්ත්‍රාත් ක්‍රමය මන්ත්‍රීවරුන් විසින් මුදල් ගසාකනු ලබන දැවැන්තම කොල්ලයයි. බොහෝ විට කොන්ත්‍රාත්කරුවා වෙන්නේ මන්ත්‍රීවරයාගේ ඥාතියෙකු හෝ ගජ මිතුරෙකි. පුද්ගලිකව කොන්ත්‍රාත් ලබා නොදී ගමේ ගොවි සමිතියට, සුබසාධක සමිතියට හෝ ග්‍රාම සංවර්ධන සමිතියට එම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව ලබාදෙයි. එහෙත් ඒ සමිතිද මන්ත්‍රීවරයා විසින් අටවා ගත් ව්‍යාජ සමිතියකි. එහි සභාපති ඔහුගේ බිරිඳය. ලේකම් පුත්‍රයාය. භාණ්ඩාගාරික වෙන්නේ නැන්දම්මාය. සමිතියක් හරහා යැයි කීවත් මේ කොන්ත්‍රාත්වල අධික ලාභය යන්නේත් මන්ත්‍රීවරයාගේ ගිණුමටය. මේ වෙන විට පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත්වලින් ලබන ලාභය 20%-40% අතර වේ.   
කසළ තරම් පළාත් පාලන ප්‍රධානීන්ට මුදල් කුට්ටි එන තවත් දෙයක් නැති තරම්ය. බොහෝ ආයතන ප්‍රධානීහු විදේශ සංචාරවල යෙදෙන්නේ කසළ කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කර එම නවීන ක්‍රම තම බලප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමටය. එහෙත් ඔවුන් එම අලුත් ක්‍රම පිළිබඳව සැලසුම් එතෙරදීම විසිකර දමා එන්නේ එවැන්නක් ක්‍රියාත්මක කළහොත් තමාගේ බඩගෝස්තරයට එල්ල වෙන දරුණු පහර ගැන හොඳින් දන්නා නිසාය.  


කසළ ජාවාරමෙන් ආයතන ප්‍රධානියාට මාසිකව ලැබෙන මුදල රුපියල් මිලියන ගණනකි. කසළ රැගෙන ගොස් දමන පුද්ගලික ඉඩම් හිමියාට ආයතනය ගෙවන්නේ රුපියල් මිලියන දෙකක් නම් ඉන් එක් මිලියනයක් ආයතන ප්‍රධානියාට ලැබෙයි. කසළ ප්‍රවාහනය කිරීමේ මුවාවෙන් යොද‌ාගනු ලබන පුද්ගලික වාහනවලින්ද මන්ත්‍රීවරු අත යට ගනුදෙනු කරති. බොහෝ පළාත් පාලන ආයතනවල මහ සභා වාර්තාව ද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතුරින් සම්මත කර ගන්නා ආකාරය වංචා සහගතව සිදුකෙරේ. ඒ පළාත් පාලන ප්‍රධානියාගේ සැලසුමකට අනුවය. නිලධාරීන්ද ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ තමාට ලැබෙන මුදල් කුට්ටියට අැති ගිජුකම නිසාය.  


ප්‍රධානියාගේ හා සමහර මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දූෂණ හා වංචාවන්ට අද‌ාළ ගනුදෙනු මහසභා වාර්තාවට ඇතුළත් කරන්නේ ඒවා සඳහන් පිටු ඉවත් කිරීමෙනි. ප්‍රධානියාට හිතවත් මන්ත්‍රීවරු ගණනාවක් මෙය දැන සිටියත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදනිති. දූෂිත ගනුදෙනු සඳහන් පිටු ඉවත් කර ඒ සඳහා අනුමැතිය ලබාගත් පසුව සම්පූර්ණ පිටු ගණන අඩංගු වාර්තාව අද‌ාළ ඉහළ අංශ වෙත යවති. මේ සියලු වංචා හා දූෂණ සිදුකර රුපියල් කෝටි ගණනක් උපයා ගත්තත් ඉන් සෑහීමකට පත් නොවන සමහර ආයතන ප්‍රධානීන් ඉන්ධන දීමනාවෙන්ද මාසිකව විශාල මුදලක් ගසාකති. ආයතන ප්‍රධානියාට සීමාවකින් තොරව ඉන්ධන ලබාගත හැකි බවට ඔහු මුලින්ම යෝජනාවක් සම්මත කරගනී.  


පළාත් පාලන ආයතනයක් යනු එතරම් විශාල වපසරියක් නොවේ. එහෙත් ආයතන ප්‍රධානියා මසකට ලබාගන්නා ඉන්ධන ප්‍රමාණයකි. ලීටර් දහස් ගණනකි. එය මුදලින් අධික මුදලකි. එක්තරා කුඩා පළාත් ආයතනයක ආයතන ප්‍රධානියා මසකට කිලෝමීටර් දසදහසක් ඉක්මවූ ගමන් සඳහා ඉන්ධන ලබාගනී. ඒ අනුව ඔහු නිවාඩු දිනද නොබලා දිනපතා කිලෝමීටර් 333 ක් ධාවනය කළ යුතුය. බොහෝ ආයතන ප්‍රධානීන් කරන්නේ සභාව සතු වාහනය අබලන් බව පවසමින් එය අලුත්වැඩියාව සඳහා ගරාජයකට දමා තම පුද්ගලික රථයෙන් ගමන් බිමන් යාමයි. එසේ ගොස් මසකට කිලෝමීටර් දහස් ගණනක් පෙන්වා ලොකු මුදලක් ලබාගනී.   


ව්‍යාපාරික ස්ථාන සහ නිවාස සැලසුම් අනුමත කිරීම මගින්ද ආයතන ප්‍රධානියා ගසාකන මුදල ඉතා අධිකය. ව්‍යාපාරික ස්ථානයක් හෝ නිවාසයක් සඳහා සකස් කළ සැලසුම තුළ කිසියම් අඩුපාඩු ඇති බව කියමින් ඒ සඳහා අනුමැතිය ලබාදීමට මැළිවෙති.  


ටී.ඕ. මහත්තයා එක්ක කතා කරලා බලන්න. ඔහු නියෝග කරයි. අනුමත කරගන්නා ආකාරය ටී.ඕ. මහතා හෙවත් තාක්ෂණ නිලධාරී මහතා ඔහුට කියාදෙයි. රුපියල් විසිපන්ද‌ාහක් විතර දෙන්න. ඕකේ තියෙන අඩුපාඩු හදලා මම අනුමැතිය අරන් දෙන්නම්. මසකට දෙවරක් පමණ රැස්වෙන සැලසුම් කමිටුව සඳහා මෙවැනි සැලසුම් ගණනාවක් ඉදිරිපත් වේ. ඒ සියල්ලෙන්ම ගසා කන මුදල රුපියල් මිලියන ගණනකි. ව්‍යාපාරික ස්ථානයකට අද‌ාළ සැලසුමක් නම් ඉන් ලබාගන්නා අල්ලස රුපියල් ලක්ෂ ගණනින් සඳහන් වෙයි.  


ඉඩම් වෙන්දේසි කිරීම සඳහා පාලන ආයතනයට ගෙවිය යුතු රජයේ ගාස්තු වෙනුවට ආයතන ප්‍රධානියාට අල්ලස් ලබාදිය යුතුය. බොහෝ විට ඉඩම් වෙන්දේසි සමාගම විසින් ඒ වෙනුවෙන් ප්‍රධානියාට ලබාදෙන්නේ එම ඉඩමේ පිහිටි වටිනාම ඉඩම් කැබැල්ලකි. එහි වටිනාකමද ඉතා ඉහළය. ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානියෙකුද ඉඩම් වෙන්දේසි සමාගමකින් විශාල අල්ලසක් ලබාගනිද්දී පසුගිය කාලයේදී අල්ලස් කොමිසමට හසුවිය.  


මෙකී නොකී සෑම ආකාරයකින්ම පළාත් පාලන ප්‍රධානීහු මෙන්ම මන්ත්‍රීවරුද රුපියල් කෝටි ගණනින් මහජන මුදල් ගසාකති. මේ කියන පළාත් පාලන ප්‍රධානියාට නම් පාපැදියක් තිබිණි. දේශපාලනයට ඒමට පෙර පාපැදියෙන් එහා මෙහා ගිය ඔහුට අදවෙන විට ප්‍රධාන නගරයක් ආසන්නයේ සුපිරි තත්ත්වයේ ඉන්ධන හලක් හිමිය. එහෙත් ඔහු එය ලියාපදිංචි කර ඇත්තේ ඥාතියෙකුගේ නමිනි.   
ලංකා ඉතිහසෙයේ දීර්ඝ කාලයක් පළාත් පාලන විසුරුවා හැර දේශපාලනඥයින්ගෙන් ඇත් කර තැබුවේද පසුගිය කාලයේදීය. එය වසර දෙකකට අධිකය. එවිට බොහෝ දෙනා අපේක්ෂා කළේ නිලධාරීන් විසින් පාලනය කරන නිසා පළාත් පාලන ආයතනවල දූෂණ, වංචා අවම වනු ඇති බවටය. එහෙත් එය වැරදිය. දේශපාලඥයින්ටත් නොදෙවෙනි ලෙස නිලධාරීහු මහජන මුදල් ගසාකෑහ. ආයතනයේ රාජ්‍ය ප්‍රධානියාගේද අනුදැනුම ඇතිව තාක්ෂණ නිලධාරිහු හා වැඩ අධිකාරිවරු රුපියල් මිලියන ගණනින් මුදල් ගසාකෑහ. ගොඩනැගිල්ල සැලසුම් පිළිබඳව නොසලකා කොන්ත්‍රාත්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්හ.   


එහෙයින් දේශපාලනඥයින් වෙනුවට පිරිසිදු රාජ්‍ය නිලධාරී පාලනයක් ඇතිකර ගැනීමෙන් රටට අත්පත් කර දීමට හැකිව තිබූ ‘‘ආදර්ශය’’ ද අසාර්ථක වී ගියේය.  


වත්මන් ජනාධිපතිවරයා දූෂණයට, වංචාවට හා හොරකමට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කර තිබේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින්ම පළාත් පාලන ආයතනවල සිදුකෙරෙන මේ මහා මහජන මුදල් කොල්ලයට වැට බැඳීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත. මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ව්‍යාජ සමිති හරහා ලබාදී මුදල් ගසාකන හා ප්‍රමිතියකින් තොරව සිදු කරන කොන්ත්‍රාත් සඳහා වැටබැඳීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට මේසන්, වඩු වැනි වෘත්තිකයින් බඳවාගෙන ඔවුන් හරහාම නිසි අධීක්ෂණයකින් ඉදිකිරීම්වලින් වසරකට මහජන මුදල් ගසාකෑම පළාත් පාලනවල නතර කිරීමට ජනපතිවරයාට හැකි වුවහොත් රුපියල් බිලියන ගණනක් ජනතා සේවාව වෙනුවෙන් යෙදවීමේ අවස්ථාව හිමිවෙයි.  


ජනතාවගේ පැත්තෙන්ද ඉටුකළ යුතු වගකීමක් තිබේ. ඒ දූෂිත පුද්ගලයින් තෝරා පත්කර නොගැනීම මෙන්ම ඔවුන් බලයට පැමිණ සිදුකරන වංචා, දූෂණ කෙරෙහි අවධානය දැඩි කිරීමයි. උද්ඝෝෂණ, සටන් හා උපවාස හතු පිපෙන්නාක් මෙන් තිබෙන අපේ රටේ දේශපාලඥයෙකුගේ හොරකමට, දූෂණයට, වංචාවට එරෙහි සටනක් හෝ උපවාසයක් ඉතිහාසය පුරාවට දැකගත නොහැකි විය. මහජන මුදල් ගසාකෑමට එරෙහිව ජනතාවද එකහඬින් නැගී සිටියහොත්, මහජන මුදල් ගසාකෑම දේශපාලනඥයින්ට එතරම්ම පහසු කාර්යයක් නොවනු ඇත.  

දොම්පේ - අජිත් මදුරප්පෙරුම   

 



අදහස් (0)

ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කොල්ල කන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 5 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 8 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 16 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 8 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 3 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site