IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාට පාට සිහින

 

සුඛිත මුදිත දේශයක්. කඩිසර ජනතාවක්. උස් තැන සිට පහළ තැන දක්වා සියල්ලන්ට සමාන නීතියක්. පුරසාරම් නොගසන ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන දේශපාලනඥයින්.   


සමනොළ ගිරි මුදුනින් හිරු පිබිදෙන විට මුළු රටම අවදි වෙයි. එතැන් සිට සමස්ත ජන ප්‍රජාවම කඩිරැලක් මෙන්ය. රටේ ඵලදායිතාව උදෙසා කාර්යක්ෂමව කටයුතු කිරීම ඔවුන්ගේ පරම අභිලාෂයයි. කාර්යාලවල රතු ඉර භාවිත කරන්නේම නැත. ඊට හේතුව ජනතාවට කිසිදු විපිළිසරයකින් තොරව තම කාර්යාල පාසල් කරා යාමට විධිමත් මගී ප්‍රවාහන සේවා රට තුළ ක්‍රියාත්මකවීමයි. එක් බස් රථයක ගමන් කළ හැකි උපරිම මගීන් ගනණට වඩා එකදු මගියෙකුවත් බස් රථයේ ගමන් නොකරයි. බස් රථය තුළ කන් බිහිරි කරමින් කෑගසන කොන්දොස්තර මහතකු නොමැත. ඒ වෙනුවට ඇත්තේ ඉලෙක්ට්‍රොනික ස්වයං මගී ප්‍රවේශ පත්‍රයයි.   


රියැදුරු මහතා නිරුපද්‍රිතව බස් රථය ධාවනය කරයි. ඔහු තම අභිමතය පරිදි සිතුණු තැන බස් රථය නොනවත්වයි. මාර්ගයේ සෑම තැනින්ම මගීන් සිය රථයට නොනංවා ගනියි. විශේෂ වූ කාරණාව නම් බස් රථයේ දොරවල් ද්විත්වයම වසා තැබීමයි. බස් නැවතුම්පොලේදී මගීන්ට නැගුමට හා බැස යාමට පමණක් දොරවල් විවර වේ. බස් රථය තුළ ස්ත්‍රීන්ට දරුවන්ට අඩත්තේට්ටම් සිදුවන්නේම නැත.ඒ චූදිතයන්ට දැඩි දඬුවම් ලැබෙන හෙයිනි.   


දුම්රිය ගමන ද මීට නොදෙවෙනිය. දුම්රිය වහල මත හෝ දුම්රිය රියදුරුගේ කුටියේ කිසිදු මගියෙකු ගමන් නොකරයි. ඒ එය තහනම් බැවිනි. දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩිව විමසිලිමත් වී ඇති රජය එකී තීරණය ගෙන තිබේ. දුම්රියේ හොරෙන් ගොස් දඩ කන්නට කාහටවත් සිදු නොවේ. එය එසේ වන්නේ දුම්රිය ස්ථානයට ඇතුළුවිය හැක්කේ වලංගු ප්‍රවේශ පත්‍රයක් ඇති මගීන්ට පමණක් වීමයි. වලංගු ප්‍රවේශපතක් නොමැති වුවහොත් ඇතුළුවීමේ කවුලු ස්වයංක්‍රීයව වැසී යයි.   


දුම්රිය ස්ථාන කරා පැමිණෙන්නන්ගේ සිත් සුවපත් වන්නේ නිරායාසයෙනි. එතරම් මනස්කාන්ත පරිසරයක් දුම්රිය ස්ථාන අවට දක්නට ලැබේ. එම දුම්රිය ස්ථානවල යාචකයන් නොමැත. බුලත් විට/ දුම්වැටි/ ඉස්සෝ වඩේ අලෙවිකරුවන් දක්නට නොලැබේ. එවන් අවශ්‍යතා සඳහා දුම්රිය ස්ථාන තුළ මනාව සකස් කරන ලද වෙ​ළෙඳ කුටි වේ. මෙම දුම්රිය ස්ථාන කරා පැමිණෙන මගීහූ බුලත් විට කා කෙළ නොගසති. ඒ තම රට අපිරිසිදු කිරීමට ඔවුන් තුළ වන අකමැත්ත නිසාවෙනි.   


මෙකී රටේ කුමන මාර්ගයක ගියද කොළ රොඩු කැබැල්ලක් දැකීම උගහටය. ඒ කුඩා කල සිටම දරුවන්ට හොඳ නරක කියාදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ප්‍රායෝගික කාලෝචිත අධ්‍යාපන රටාවක් උක්ත රටෙහි ක්‍රියාත්මක නිසාය.   


එමෙන්ම කසළ කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙහි දැකිය හැකිය. අඩක් විවර වූ කැඩි බිඳී ගිය ට්‍රැක්ටර් රථ මෙකී රටේ නගර සභා තුල නොමැත. එක්කාසු කර ගත් කසළ මාර්ගය දිගේ බිම වට්ටමින් ඒමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොමැත. ඒ කසළ එක්කාසු කිරීමට උචිත රථ ඔවුන් සතු වන හෙයිනි. කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට ‘කසළ’ හිරිහැර නොවේ. මෙකී රටේ කුණු කඳු නැත. බැහැර කෙරෙන කසළ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් නැත. දුගඳක් පවා නොදැනේ. ඒ මිනිස් ජීවිතවල වටිනාකම හා මූලික මිනිස් අයිතිවාසිකම් යනු කවරේද යන්න පිළිබඳ මැනවින්දත් රජයක් රට පාලනය කරන හෙයිනි.   


මෙම රටෙහි පවතින අතිආකර්ශනීයම කරුණ නම් මත්ද්‍රව්‍යවලින් තොරවීමයි. මත්ද්‍රව්‍ය මිලිග්‍රෑමයක් සමඟ වුවද යම් පුද්ගලයකු හසුවුවහොත් ප්‍රතිඵලය මරණ දඬුවමයි. ඔහු කාගේ කවුරුවුවදකම් නැත. රාජ්‍ය නායකයාගේ පුත්‍රයා හෝ දියණිය වුවද සති කිහිපයක් තුල නඩු විමසා අදාළ පුද්ගලයාට මරණ දඬුවම ලබාදීම නියතය. කිසිදු දේශපාලනඥයෙකුට ඊට බලපෑම් කළ නොහැක. මන්ද එසේ වුවහොත් ඔවුන් බලයෙන් නෙරපා දමන හෙයිනි. දුම්වැටි භාවිතය පිළිබඳ නීතිරීති රෙගුලාසි ද එසේමය. දුම්වැටි භාවිත කළ හැකි කලාප වෙන් වශයෙන් දක්වා ඇත. එකී කලාපවලින් බැහැරව කිසිවෙකුටත් දුම්වැටි භාවිත කළ නොහැක. අල්ලසට/ පගාවට ද මෙහි ඉඩ ඇත්තේම නැත. රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ සේවකයින්ට යහමින් ජීවත්විය හැකි වේතනයක් ලැබීම නිසා කිසිවෙකුට අල්ලස් හෝ පගා ගැනීමේ හෝ සොරකම් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. එවැනි තත්ත්වයක් තුළ වුවද අල්ලස් ලබා අසුවුවහොත් සිර දඬුවම් නියතය.   


මේ අතර දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ගේ චරිතය හා අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමට ස්වාධීන කමිටුවක් රට තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව දෙක වසර පමණක් සමත් මිනිසෙකුට ජනතා නියෝජිතයෙක් විය නොහැක. මිනීමරුවකුට/ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට/ ස්ත්‍රි දූෂකයකුට දේශපාලන වරම් හිමි නොවේ. බෝක්කුවක්/ පාලමක්/ සති පොළක් විවර කිරීමට මෙහි දේශපාලකයෝ නොපැමිණෙති. පාලමේ ඔවුන්ගේ ඡායාරූපය නොමැති හෙයින් එතැන කාලගෝට්ටි සිදු නොවේ. මන්ද ඒ වූ කලී ප්‍රාථමික ක්‍රියා බව ඔවුහු දනිති. දේශපාලනය යනු පාලම්/ බෝක්කු/ වැසිකිළි ඉදිකර කතා පැවැත්වීමේ සංදර්ශන කලාවක් නොවන බව වටහා ගැනීමට තරම් බුද්ධියක් ඔවුන් සතු වන හෙයිනි. අබලන් වූ මාර්ගයකට ජනතා බදු මුදලින් තාර දමා ‘මෙය මාගේ සත්ක්‍රියාවකි’ කියා දැන්වීම් ගැසීම මෙකී දේශපාලනඥයින්ට අපුලය.   


මේ දේශය තුළ මුඩුක්කු යන සංකල්පය ඇත්තේම නැත.ඒ වෙනුවට ඇත්තේ තට්ටු නිවාස සංකල්පයයි. ජනතාවගේ යහපැවැත්ම ප්‍රමුඛ කොට ගත් පාලනයක් පැවතීම මීට හේතුවයි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය (Manifesto) උක්ත රට තුළ නීතිමය ලියැවිල්ලක් වන අතර එහි පොරොන්දු කඩ කළහොත් ඒ පිළිබඳ දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කිරීමේ බලය මෙහි වෙසෙන ජනතාවට තිබේ. එබැවින් රටකරවන්නෝ බොරු නොකියති. වගකීම් පැහැර නොහරිති.   


වැඩවර්ජන උද්ඝෝෂණ මෙහි ඇත්තේම නැත. සියල්ල නීතියට අවනතව හරියාකාරව සිදුවීමේ ප්‍රතිඵලය එයයි. ජාතිවාදයට/ ආගම්වාදයට තම ඡන්දය ලබා දෙන ඡන්දදායකයින් මෙහි නොමැත. බුද්ධිමත් ලෙස තීරණ ගත හැකි උක්ත ඡන්දදායකයෝ බත් පැකැට්ටුවට හා වියළි සලාක මල්ලට සිය කතිරය ලඝු නොකරති. ඔවුහු දේශපාලකයින්ව දැඩිව ප්‍රශ්න කරති. පොරොන්දු පැහැරහැරි දේශපාලනඥයින්ට ඔවුන්ගෙන් සමාවක් නැත.  


මෙම රට තුළ ගම නගරය කියා වෙනසක් නොවේ. ඒ සමස්ත රට පුරාම සම්පත්/ අවස්ථා සමව බෙදී ගොස් ඇති හෙයිනි. මේ අතර එකදු විනාඩියකට හෝ රට තුළ විදුලිය බිඳ නොවැටේ. එසේ විදුලිය බිඳ වැටීම සමස්ත ජාතික ආර්ථික පද්ධතියටම එල්ල වන පහරක් බව පාලකයින් අවබෝධ කරගෙන සිටීම මෙම දේශයේ ජනතාවගේ වාසනාවකි. මෙකී රටෙහි උන්නතියට ප්‍රමුඛ ලෙසම හේතු සාධක වී ඇත්තේ නීතිය සැමට සමාන හා පොදු වීමයි.   


සිහිනෙන් අවදි වූ පසු සටහන   


වසර හැත්තෑවක් පුරාවට දේශපාලකයින් බලය ඉල්ලා සිටියේත් සිටින්නේත් අප සිහින දකින රට නිර්මාණය කරන බවට සපථ වෙමිනි. එහෙත් අනාගතයේදීත් එය සිහිනයක් පමණක්ම වනු ඇතිද? මරණ දඬුවම/ එල්ලා මැරීම පිළිබඳ කතිකා ගොඩනැගෙමින් පවතී. ඒ සඳහා වන නීතිරීති ක්‍රියාපටිපාටි රැසකි. එහෙත් ජනතාවගේ යහපත සඳහා බලපානු ලබන නීතිරීති පැනවීමට බහුතර බලයක් හෝ කාරක සභා අවශ්‍ය නොවේ.   


උදාහරණයක් ලෙස බස් රථවල දොරවල් වසා ගමන් කිරීම අනිවාර්යය කළ හැක. එමගින් පාපුවරුවෙන් බිමට වැටී මගීන් මියයාම වළක්වාලිය හැකිය. දුම්රියෙහිද එසේමය. මෙරට ජනතාවගේ ජීවිත සුඛිතමුදිත වුවහොත් ශ්‍රී ලංකාවේ මජර දේශපාලනය අතුගෑවී කුණු කූඩයට වැටෙනු නියතය. එබැවින් දේශපාලකයෝ සැමදා ජනතාව පෙළති. මුළා කරති. ඉඳින් යහපත් රටක් උදෙසා සැමදා අපි සිහින දකිමු.   

 

 

ප්‍රමිලා වීරසිංහ   

 



අදහස් (0)

පාට පාට සිහින

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 15 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 20 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 41 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 14 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site