සත්සර

නිහාල් නෙල්සන්ගේ ජනප්‍රිය ගීය

මොරටු විද්‍යාලයේ ලස්සනටම සින්දු කියන්න දක්ෂම ශිෂ්‍යයා වැඩිහිටි ගිහියන් සමඟ ගිහි පිරිත් කීමට එක් විය. පිරිත් ඇසීමට පැමිණි පිරිසගේ නෙත් සිත් යොමු වූයේ මේ ළමයා දෙසටය. මේ ළමයා ශරීරයෙන් පුංචිය. කුඩා කල සිටම බෞද්ධ හැදියාවෙන් යුතුව හැදුණු මේ ළමයා ලංකාවේ ජනප්‍රිය ගායකයකු ලෙස ලංකාවේ වැඩිම ගීත කැසට් ප්‍රමාණයකට ගී ගැයූ ගායකයා ලෙස ද වාර්තාවක් පිහිටුවා ඇත. ඔහු ගී ගැයූ කැසට් ගණන 113කි. 


ඔහු නිහාල් නෙල්සන් ය. 


තමා ගැයූ මුල්ම ගීතයෙන්ම ජනප්‍රිය වූ නිහාල් කැසට් ගීත මෙන්ම සරළ ගී ද චිත්‍රපට ගීත ද රැසක් සංගීත ක්ෂේත්‍රයට ද‌ායාද කර ඇත. ඔහු ගැයූ ගීත. රැසකගේම ගීත රචනය ද ගී තනු ද ඔහුගේම වීම තවත් විශේෂයකි. 


1946 ජනවාරි 9 වෙනිදා මොරටුවේ රාවතාවත්තේ උපත ලැබූ නිහාල් නෙල්සන්ගේ පියා ජී.ඩී. හෙන්ද්‍රික් මොරටුවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු සිංගප්පූරුවෙන් බඩු ආනයනය කළ කෙනෙකි. මව වූ හේමා වීරවර්ධන ඉංග්‍රීසි ගුරුවරියකි. පවුලේ එකම දරුවා වූ නිහාල් මූලික අධ්‍යාපනය ලැබුවේ දැනට ඔහු පදිංචිව සිටින මොරටුවේ රාවතාවත්ත 3 වැනි පටුමගේ අංක 17 නිවසට යාබදව පිහිටි රාවතාවත්තේ නිර්දෝෂි මරිය මිශ්‍ර පාසලේ, එදා තිබූ අද රෝමානු කතෝලික පර්ෂද විද්‍යාලයෙනි. ශිෂ්‍යත්වය සමත් වූ ඔහු මොරටු විද්‍යාලයට ගියේය. 


මම ගේ ළඟ තිබූ පාසලට යන කාලයේ ඉඳලම මගේ ගුරුවර ගුරුවරියන් මාව යොමු කළේ කවි කීමටය. පන්තියට නියමිත කවි වගේම සඟරාවල පුවත්පත්වල තියෙන කවි ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි පොත්වල තියෙන කවි මම ලස්සනට කිව්ව නිසා මට ප්‍රසිද්ධියක් තිබුණා. අපේ පන්තියේ සිට මම කවි කියන විට අහල පහළ පන්තිවලට ඇහිලා ගුරුවරු කීවලු අන්න අන්න නිහාල් කවි කියනවා කියලා. ලස්සනට ගාථා කියන්න පුරුදු වුණේ මොරටුව සිරිසේන දහම් පාසලින් හා පල්ලිය ගොඩැල්ලේ දහම් පාසලින් ලැබූ ආභාසයෙන්. මම පිරිත් කියන්න පුරුදු වුණේ මේ දහම් පාසල් ඇසුරින්. ගිහි පිරිත් ලස්සනට කියන්න ආභාසය නිසා ඇස් වහක් නෑ පොඩි එකා ලස්සනට සින්දු කියනවා. ඇතැමෙක් කියනු මම අහලා තියෙනවා. 


ගෙදර පරිසරය නීති රීති මැද ගත වුණේ. උදේ 5 ට නැගිට මූණකට සෝදා පන්සිල් ගැනීම කොහේ ගියත් සවස 6ට පෙර ගෙදර පැමිණීම අනිවාර්ය දෙයක්. කුඩා කාලයේ සිට මට ස්වාධීනව හිතන්න අම්මයි තාත්තයි නිදහස දුන්නා. 


මොරටු විද්‍යාලය මගේ ගායන ජීවිතයට පසුබිම සැලසුණා. පන්ති සගයන් සමඟ සිංහල, හින්දි, ද්‍රවිඩ ගීත ගයනවා දුටු ගුරුවරු මට දිරි දුන්නා පමණක් නොවෙයි ඒ අයගේ ගෙවල්වල තිබූ උපන් දින උත්සව හා විශේෂ අවස්ථාවල ගී ගයන්න ආරාධනා ලැබුණා. මගේ සංගීත සගයන් සමඟ බොක්ස් ගිටාරයක්, ඩෝලයක් රැගෙන යන මම ගායකයෙක් ලෙස හැකියාවක් පෙන්නුවා. මේ අතර වැල්ලවත්තේ පොලිටෙක්නික් ආයතනයට බැඳී ලඝු ලේඛනය, ගණන් තැබීම මෙන්ම පාලි හා සංස්කෘත ආදී විෂයනුත් ඉගෙන ගත්තා. නිහාල් කුඩා කාලය මතක් කරමින් කීවේය. 


මොරටු විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වරක් කී කතාවක් නිහාල් අපට කීවේය. 


බලන් යනකොට නිහාල් අපි දෙන්න විතරයිනේ මොරටු විද්‍යාලයෙන් සංගීත ක්ෂේත්‍රයට එකතු වුණේ. 


පුදුමය නම් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ නිහාල් චිත්‍රපටයක ගීතයක් ගැයීමය. 


නිහාල් කුඩා කල සිටම සිහින මැව්වේ ගායකයකු වීමටය. කවිය ගීතයට වඩා ප්‍රබල යයි ඔහු සිතුවේය. පාසලේ දී කවි කිව්වට ඒක ගීතයට හරව ගෙන ගීත රචනය කිරීමටත් එයට තනුවක් හදා ගන්න ඔහුට හැකියාව තිබුණි. එවැනි ලියූ ගීතයක් මොරටුවේ බජව්වල සහ සංගීත ප්‍රසංගවල ගැයූ නිහාල්ට මොරටු පුරවරයෙන් තිබුණේ යහපත් ප්‍රතිචාරයකි. 
එක දවසක් ඒ කියන්නේ 1962 වසරේ පෙබරවාරි මාසේ මොරටුවේ ධනවත් මිත්‍රයෙක් මගුල් ගෙයකට මට ගී කියන්න ආරාධනයක් ලැබුණා. එතකොට මම අවුරුදු 15 ක විතර කොල්ලෙක්. එදා ලංකාවේ ඉන්න සියලුම නළු නිළියෝ ගායක ගායිකාවෝත් එතැන හිටියා. එඩී ජයමාන්නත්, රුක්මණී දේවිත් ඇවිත් හිටියා. මගේ මිත්‍රයා ගමේ කොල්ලෙකුට අවස්ථාව ලබා දුන්නා සින්දුවක් කියන්න. ඒ මම. ප්‍රසංගයේ සංගීතය මෙහෙය වූ ඒ.ජේ. කරීම් (දක්ෂ ගායකයෙක්. දක්ෂ ක්ලැරිනට් වාදකයෙක්) ළඟට ගිහින් මම ගමේ කියන මගේ ගීතයක් මුමුණලා කිව්වාම මෙහෙම කිව්වා. 


මල්ලී බය නැතිව කියන්න මම තාලය අල්ල ගන්නම්. 


මම එදා කිව්ව ගීතය මට ජය මාවතේ දොරටුව විවෘත වුණා. ඒ ගීතය එදා වගේම අදත් වසර 57 තිස්සේ මගේ රසිකයන් අතර ප්‍රසිද්ධයි. 


ලස්සනට පිපුණු වන මල් 
ගල් පීරන දියවැල් 
මං ආස කරන මැණික් කැටේ නිල් 
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවන කල් 
ලස්සන මගේ කිරිල්ලි සුරතල් 
ඉස්සර මං එනකොට ඔබ ඉඳන් මග බලා 
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත් තටු සලලා 
ආදරෙයි ආදරෙයි කිය කියා ඉඳලා 
මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා 
සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැග එද්දී 
රැල්ල පෙරළි ඇවිල්ල සුදු වැල්ලෙ හැපෙද්දි 
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා 
පෙර ඔබ එන හැටි පේනව තාම මැවිලා 
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා 
තාමත් ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා 


මේ ගීතය ගයලා ඉවර වුණා විතරයි ඔක්කොම අත්පොළසන් දුන්නා. එඩියි රුක්මණියි මාව ළඟට කැඳවලා සුබ පැතුවා. නිහාල් තම කුඩා කාලය සිහිපත් කළේය. 
ගීතය ගයා යන්න ලෑස්තිවෙන විට කරීම් වාද්‍ය ශිල්පියා නිහාල්ට කතා කළා. 


‘මල්ලී මාව ඇවිත් හම්බ වෙන්න. බම්බලපිටියේ 4 වැනි පටුමගේ නොම්මර 10 ගෙදරට හෙට දහයට විතර එන්න” 


‘හොඳයි කරීම් අයියා’ 


පසුදා බම්බලපිටියේ ඒ නිවසට ගිය විට නිහාල්ට එහි දකින්නට ලැබී ඇත්තේ අමුතු ලෝකයකි. හරියට ඉන්දියාවට ගියා වැනි පරිසරයකි. මුත්තුසාමි, රොක්සාමි, ඇන්තනි සාමි වැනි විශිෂ්ට වාද්‍ය ශිල්පීන් සංගීතඥයන් දැකීමෙන් හා හැඳින ගැනීමෙන් පසු ඔවුන් හමුවේ ගීයක් ගයන්නැයි කරීම් නෙල්සන්ට අවස්ථාව උදා කර දුන්නේය. නිහාල් ලස්සනට පිපුණු වන මල් ගීතය ගැයීය. 


‘එදා මට මගේ හැකියාවන් තේරුම් ගෙන ඉදිරියට එන්න උදව් කළේ කරීම් අයියා. ඔහු අර මහා සංගීතඥයන්ට මාව හඳුන්වල දුන්නේ මේ පුංචි කොල්ලට හොඳ ටැලන්ට් එකක් තියෙන බව අගය කරමින්. සාධු සිරිපා ශ්‍රී මුනිදාගේ, අඩු කුලේ කියලා අසරණයා වැනි ගීත ගැයූ මුළු රටම හඳුනාගෙන සිටි කරීම් අයියා උතුම් මිනිහෙක්. තව කෙනෙකුගේ දියුණුවට අත හිත දෙන උතුම් මිනිසෙක්. මම සැමදා ඔහු ගෞරවයෙන් කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා. 


‘නිහාල් මල්ලී ලබන ඉරිදා නුවර යන්න ලෑස්තිවෙන්න. කැන්ඩි ලේක් කලබ් එකේ සින්දුවක් කියන්න ඔයාට චාන්ස් එකක් අරන් දෙන්නම්’ කරීම් අයියා කීවේය. 


ගමේ සින්දු කියලා මම දැන් රටට සින්දු කියන්න මට අවස්ථාව ලැබුණේ ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සමග පෑහී ගීතයක් ගැයීමට ලැබුණේ ඊට පස්සේ. කැන්ඩි ලේක් ක්ලබ් එකේ සින්දුවක් කියන්න ලැබීම දෙවැනි රේඩියෝ සිලෝන් එකේ සිංදුවක්  කිව්ව වගේ. දිව්‍ය ලෝකයෙන් තව්තිසාවට ගියා වගේ. එදා ලේක් ක්ලබ් එකේ නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකරයි සිරිල් රාජපක්ෂ වැනි ප්‍රවීණයෝ. එද‌ත් මම කිව්වේ ලස්සනට පිපුණ වන මල් ගීතය. 


තවත් දිනක කරීම් අයියා මට මරදානේ එල්පින්ස්ටන් ශාලාව අසල කේ.ඩී. ඩේවිඩ් මාවතේ පිහිටි ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතායතනයට එන්න කියලා කිව්වා. මම එතැනට ගියාම කරීම් අයියා චන්ද්‍රසේන මාස්ටර්ට මෙහෙම කිව්වා. 


‘මාස්ටර් මේ ළමයට හොඳට සින්දු කියන්න පුළුවන්’ 
‘හා හොඳයි කියපන් බලන්න උඹ දන්න සින්දුවක්’ 


මම ලස්සනට පිපෙන ගීත ගැයුවා. මාස්ටර්ට සතුටුයි. ලස්සන කෑල්ල කියන කොටම මාස්ටර් සර්පිනාවෙන් තාලය අල්ලගෙන මගේ හඬේ පිච් එකට වාදනය කළා. එදා මම හිතුව චන්ද්‍රසේන මාස්ටර්ගේ ගෙදර දොරකඩ හිටියත් ගායකයෙකු වීමට පුළුවන් බව. ඔහු ඒ තරම්ම දක්ෂයෙක්. අලුත් ගායකයන්ට අත හිත දෙන උතුම් මිනිහෙක් කියලා. ඒ කාලේ වික්ටර් රත්නායක, රංජිත් බෝගොඩ එහේ නැවතිලාම හිටිය වාදන ශිල්පියෝ. ඒක පුණ්‍ය භූමියක්. එතැනින් ආපු කෙනෙකුට වැරදුණේ නෑ. එතැනින් සරසවි වරම් නොලැබූ කෙනෙකුත් නැහැ කියලයි මම හිතන්නේ. 


‘ළමයා අපි සින්දුවක් රෙකෝඩ් කරමු. මේ සින්දුවේ තනුව මම අලංකාර කරන්නම්. සින්දුවේ වචනත් තව ටිකක් අලංකාර ගනිමු. 
‘මාස්ටර් මගේ යාළුවෙක් ඉන්නවා මේ සින්දුව එයාට කියලා හදා ගත හැකියි.’ 


‘හොඳයි.’ 


මගේ සමීප මිත්‍රයෙකු වූ සරත් මුණසිංහ ලවා ලස්සනට පිපුන වන මල් ගීතය අලංකාර කරගත්තා. ඔහු අලුත් වචන එකතු කළා. 


නිහාල්ගේ ලස්සනට පිපුණ ගීතය මුල්වරට තැටියට නැගුවේ චන්ද්‍රසේන මාස්ටර් බව කෘතවේදීව නිහාල් සඳහන් කළේය. එදා සරසවි චිත්‍රාගාරයේ දී 1963 පෙබරවාරි මාසේ මර්වින් රුද්‍රිගු විසින් පටිගත කළ ඒ ගීතය ඇසූ කරුණාරත්න අබේසේකර එහි පිටපතක් චන්ද්‍රසේන මාස්ටර්ගෙන් ඉල්ලා ගෙන ගොස් 1963 මාර්තු 31 වැනිදා දහවල් 11.20ට ගුවන් විදුලියෙන් රටට හඳුන්වා දී ඇත. එහි නිවේදනය මෙසේලු. 


‘ඔබට මම අද ගෙනාවා මල් වෙඩිල්ලක්. මල් වෙඩිල්ලක් සාමාන්‍යයෙන් ආකාසේ උඩට ගිහිල්ලා ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වැටිලා විසිරිලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ.’

 
කරුගේ මේ ප්‍රකාශය දින වකවානු නිහාල්ගේ මතකයේ රැඳී ඇත්තේ ගලක කෙටූ අකුරු මෙනි. ඔහුගේ ගීත හැම එකකම පදමාලාව මතකයෙන් කිව හැකිය. කිසිදා මත්පැන් පානය නොකළ සතුන්ගේ මස් නොකෑ නිර්මාංශි ආහාර අනුභව කරන ඔහුගේ ස්මරණ ශක්තිය බලවත්ය. 


එදා කරු කළ වර්ණනාව නිහාල්ට මහ මෙරක් විය. නිහාල් පවසන්නේ එදා කරු අයියාගේ වර්ණනාවට වඩා තමා ගැන ඔහුට තිබූ දැක්ම අගය කරන බවය. අඛණ්ඩව තවමත් වසර 56ක් ගී ගයන්නේ ඒ ලැබූ ආශිර්වාදය නිසා බවය. ඔහු පාසලින් ගමටත් ගමින් රටටත් රටින් ලෝකයටත් (පිටරට ගී ගැයීම) ගිය ගායකයෙක් විය. 


නිහාල් ගැයූ ගීත අතර ජනතාවට ඍජුවම බලපෑ ගීතය ගව ඝාතනය ගැන සරත් මුණසිංහ ලියූ මේ ගීතයයි. එහි තනුවත් නිහාල්ගේමය. 


කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ 
පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ 
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ 
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ 
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ 
එවන් සතෙකු අහෝ අාකාලයේ කිමද මරන්නේ 
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණ කොළ කන්නේ 
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ 
කෙනෙක් තිස් පස් වරක් කෑවොත් ගව මස් උයලා 
බලනු 365 වැඩිකර 35 යොදලා 
ගණන 12775ක් වෙලා 
ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා 
මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන් නේ 
අහිංසක සතෙකුගෙ ඉරණම ඉන්පසු විසඳෙන්නේ 
යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ 
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ 
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ 
ඉවත ලන පොහොරින් මහ එළවළු කොටු සරුවෙන්නේ 
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ 
එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ 


‘මේ ගීතය අහල මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්තයා මට මෙහෙම කිව්වා’ 


නිහාල් මම මීගමුව පැත්තේ උපන් කෙනෙක් නේ. මම ඕනෑ තරම් මස් කාලා තියෙනවා. ඔයාගේ මේ සින්දුව අහලා හරක් මස් නෙවෙයි වෙන කිසිම මසක් කන්නෙ නෑ කියලා තීරණය කළා. 


මීට වසර 20 කට විතර ඉස්සර එතුමා මෙහෙම කියන කොට එතුමාගේ නෝනත් එතන හිටියා. මේ ගීතය අහල ලංකාවේ හුඟ දෙනෙක් හරක් මස් කෑවේ නෑ. පුදුමය මාව ෂෝවලට බුක් කරන්න එන මුදලාලිත් මස් කඩ වැහැව්වා. ඒ අය කිව්වේ නිහාල් මල්ලී අද අර කිරි අම්මාගේ සින්දුව කියන්න. ඒක නැගලා යනවා කියලා. 


මේ ගීතය රචනා කළ සරත් මුණසිංහ අද පැවිදි වෙලා. වර්තමාන නම මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් ගිරිඋල්ලේ මහා පන්සලේ වැඩ වසනවා. උන්වහන්සේ ගිහි කාලයේ ඉතාලියේ සිට ලංකාවට පැමිණ ගුවන් තොටුපලින් බැස එනදා සුනාමි ව්‍යසනය ඇවිත්. එදා වූ විපත ජීවිත සිය ගණනක් අහිමි වී ගේ දොර ළමයි නෑයින් දැක කම්පාවී පැවිදි ජීවිතයට පිවිසියා. තම බිරිඳ හා දරුවන්ගෙන් කැමැත්ත ලබා පැවිදි දිවියට පිවිසි ඒ පුණ්‍යවන්ත අවස්ථාවට ළඟම මිතුරන් වූ ආරියසිරි විතානගේ, වර්ණන් පෙරේරා, ධර්ම ශ්‍රී වික්‍රමසිංහත් මමත් සිටියා. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කළ කාලෙත් ඉතාලි ජාතිකයන් දස දෙනෙක් ලංකාවට ගෙනවිත් පැවිදි කළා. කිරි ගවයන් පස් දෙනෙකුගෙන් පටන්ගෙන අද වසරකට 300 කට පමණ කිරි ගවයින්ට අභයදානය දෙනවා. නිහාල් ගීතයක අතීත කතාව ගැන හෙළි කළේය. 


නිහාල් නෙල්සන් One man show පවත්වා නැත. Non stop ගී ගයා නැත. එක කැසට් එකක ගීතයක් නැවත කැසට් පටයක යොදා නැත. පත්තර ගැන ද නිහාල් වරෙක ගීතයක් ගැයුවේ තනුව හා පද රචනය තමා විසින්ම නිර්මාණය කර ගිනිමිනි. 


‘පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන 
තප්පරයට අපි කියවනවා 
පිත්තල මොල රත්කර ගෙන 
දුක් කරදර පැක්කර ගෙන දවස ගෙවනවා 
වැටක් ගානෙ ගෙයක් ගානෙ ගමක් ගානෙ 
ලෙඩ මුල් පිටුවේ පුරවල 
කෑම ජාති බීම ජාති බේත් පෙති 
හිස්තැන්වලට රිංගලා 
කාර් සේල් ඉඩම් සේල් මැෂින් සේල් 
අන්තිම පිටුවේ තෙරපිලා 
වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන් 
රජ පුටුවලට වෙන්වෙලා 
අනග රැඟුම් සරණ බැඳුම් සිතුම් පැතුම් 
වෙනමම පිටක ලියවිලා 
කවි පැබැදුම් බිතු සිතුවම් කලා කෙරුම් 
පිටුවක සිත පහන් කළා 
යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන් 
කැඩිච්ච දෙපල එක්කලා 
ඔයින් මෙයින් දින ගෙවමින් 
සිහි විකලෙන් මිනිසුන් අතරමං වෙලා’ 


නිහාල් නෙල්සන් කියූ දහස් ගණනක ගී අතර කරුණා සුවඳ තවරාලු හද පියුමේ, සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි, නාදිං දිනක නදිං (කාවඩි බයිලා), ගුණෙ අයියාගේ කාමරේ, කිංකිණි හඬට සමවෙනා, ඔරු පදින්න පහළ ගඟට එන්න මාලි මේ අතර විශේෂිතය. හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු, වර්නන් පෙරේරා, එච්.එස්. පෙරේරා රචනා කළ ගීත ද ලාල් තේනබදු, රංජිත් පෙරේරා, කෙලින්ස් අළුත්ගේ සංගීතවත් කළ ගීත ද නිහාල් ගැයූ ගී අතර වෙයි. මේ අතරින් පොදු සංගීත රසිකයා අතර මේ ගීතය ඉල්ලා හඬ නැගූ අවස්ථා වාර ගණන විශාලය. 


සොමියට වරෙන් පුතා 
අගුල ද‌ාල නෑ දොරේ 
අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ 
හිටපං සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ 
මස්කට් පැණි බූන්දි තියනව මගේ කාමරේ 
මේක ගුණෙ අයියගෙ බජව් ද‌ාන කාමරේ 
පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා 
ගුෂ්පි රොබලා එයි මෙහෙ සොමිය සොයාලා 
සැප විඳලා මෂා වෙලා පීචං වීලා 
කැපිලා යන්නේ සක්විති සුව මෙහෙන් වළඳලා 
නළු මැන්ටල්ලා නිදි මැන්ටල්ලා කැමර කටාලා 
අලි වංසෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ස්ලා 
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටිලා 
ටූ තව්සන්ඩ් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා 
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ 


නිහාල් නෙල්සන්ට මාලි පෙරේරා හමුවන්නේ පිළියන්දල මිතුරෙකු මාර්ගයෙන් ඇගේ නිවසට ගිය ගමනක දීය. මිතුරා එහි ගියේ බාල නංගී බැලීමටය. නිහාල්ගේ හිත ගියේ අක්කාටය. අහම්බෙන් සිදුවූ සිදුවීම විවාහයකින් කෙළවර විය. 


නිහාල් චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස දොරට වඩින්නේ 1972 තිරගත වූ ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේ විජය කුමාරතුංග වෙනුවෙන් පසුබිම් ගීතයක් ගයමිනි. ගීත රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය ටෝනි වීරතුංගය. ආනන්ද හේවගේ හා සිරි කුලරත්නගේ සඳ වට තරු චිත්‍රපටයේ විජය වෙනුවෙන් ද ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සක්විත් සුවය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාට ද තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ලෝක හොරු, බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කළ රෝදය, වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ වල්මත්වූවෝ චිත්‍රපටයේ සෝමදාස අැල්විටිගලගේ සංගීතය සනත් නන්දසිරි සමඟ ද බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සිකුරු යෝගය චිත්‍රපටයේ තේමා ගීතය (සංගීතය නවරත්න ගමගේ) රතු මකරා චිත්‍රපටයේ ගුණදාස කපුගේ සංගීතයට බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ වාලම්පුරි චිත්‍රපටයේ අමරදේවගේ සංගීතයට ද ජෝතිපාල සමඟ ද වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටයේ ඩී.ආර්. පීරිස්ගේ සංගීතයට ගීත ගයා ඇත. 


කිරි ගවයා ගැන ගීත ගැයූ නිහාල් ඩෙංගු මදුරුවා ගැන ද ගීතයක් ගැයීමට අමතක නොකළේය. වංගුවලින් රිංගා යන ඩෙංගු මදුරුවා ඒ ගීතයයි. 


‘මම කාටවත් වරදක් කරලා නැහැ. මට නැතිදා මගේ බිරිඳටයි, දරුවාටයි, ලේලිටයි උපදින්න ඉන්න දරුවන්ටයි ආදරය කරන්න කියන පණිවුඩය මගේ අසල්වාසින්ගෙන්, මාව හදපු රසිකයන්ගෙන් ඉල්ලනවා. මම මෙතෙක් ජීවත් වුණේ රසික ජනතාව නිසා ඒ මුදල් ඉතුරු කරලා ගේ දොර හදාගෙන පුළුවන් විදිහට අනුන්ට උදව් කරගෙන. ඔවුන්ට මගේ ප්‍රණාමය. මම සැදැහැවත් බෞද්ධයෙක්. පන්සලට මෙන්ම දේවස්ථානයට ද මම හැකි අයුරින් උදව් කරනවා. මගේ ගීත කියන සුපර් ස්ටාර් තරගවලට ඉදිරිපත්වෙන මල්ලිලාටත් වචනයක් කියන්න තියෙනවා. තරගවලට මගේ ගීත ඕනෑ තරම් කියන්න. ජයග්‍රහණයක් ලබා ගන්න. ඊට පස්සේ තමුන්ගේ අනන්‍යතාව පෙන්වන ස්වතන්ත්‍ර ගීත කියලා සංගීත ලෝකය ජය ගන්න. මගේ සින්දුවම කිව්වොත් ඔයාලා මා ගාව නතර වෙනවා. 


‘ෂඃ මල්ලි ඔයා නිහාල් නෙල්සන් වගේම සින්දු කියනවා කියලා ජනතාව කියයි. ඔයා නිහාල් ගාව නතර වෙන්න ඕනෑ නැහැ. නිහාල් වගෙ කියලා ඔයාව රසිකයන් පිළිගන්නකං අගේ නිහාල්ට. වගේලා වෙන්නේ නැතුව ඔයාලා ගීත ගැයුවොත් ගීත ඔයාලගේ. එහෙම නොවී මාව අභිබවා යන්න. නිහාල් නවකයන්ට උපදෙසින් කතාව නිම කළේය. 
නිහාල් හා මාලිට සිටින්නේ එක පුතෙකි. තරංග නෙල්සන් හා ලේලිය ගයනි කාංචනා (ඇය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නීය.) දක්වන්නේ අසීමිත ආදරයකි. නිහාල් හා මාලි දෙදෙනාට පුංචි පැටියකුගේ කිරිසුවඳ විඳීමට ලැබීමට කාලය වැඩි ඈතක නොවේ. 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර