සැත්කම කළේ 1949 දී   එදා දැරිය අද 80 වියැති මිත්තනියක් 

 

ඇය ඉතා ප්‍රියමනාපය. කතාකරන සෑම වචනයක් පාසාම මුවඟ නැඟෙන හසරැල්ල මනරම්ය. මුහුණෙන් කියාපාන්නේ මහත් සතුටින් ඇය දිවි ගෙවන බවයි. නිරෝගී බව ද ඇගේ ජීවිතය හා බද්ධ වී තිබේ. 


මේ අවුරුදු 80ක් වියැති කාන්තාවකි. 


තම දරු දැරියන් සහ මුනුපුරන් සමඟ දිවි ගෙවන ඇය මේ රටේ ඉතිහාසයේ නම සඳහන් තැනැත්තියකි. 
ඇය සුවිශේෂීය. 


ඇය මෙරට සිදුකරන ලද පළමු විවෘත හදවත් සැත්කමට ලක්වූ තැනැත්තියයි. 


මේ සැත්කම සිදුකර ඇත්තේ ඇය වයස අවුරුදු නවයක කුඩා පාසල් සිසුවියකව සිටිය දී ය. දැන් ඇගේ වයස අවුරුදු 80කි. සිරුරේ උරහිස් ප්‍රදේශයෙන් විවෘත කර හදවතේ සැත්කමක් සිදුකළ ද විවාහ වී දරුවන් ද බිහිකළ ඇය දැන් මිත්තණියකි. 


මේ ගාල්ලේ කිතුලම්පිටියේ පදිංචිව සිටින හෙට්ටිආරච්චිගේ දෝන ෆිලෝමිනා මහත්මියයි. වර්ණකුලසූරිය ඇග්නස් ෆර්නැන්ඩු මහත්මියගේ කුසින් හෙට්ටිආරච්චි‌ගේ දෝන අගිස්තීනු අප්පුහාමි මහතාට දාව 1939 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනි දින ඇය උපත ලැබුවාය. දරුවන් පස් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැන්නා වූ ඇය කුඩා කාලයේම පිය සෙනෙහස අහිමි වූයේ ඔහුගේ හදිසි වියෝවෙනි. රැකියාවක් නොකළ මව මේ දරුවන් පස් දෙනා ඇති දැඩි කළේ ඇගේ සහෝදරවරුන්ගේ උපකාරයෙනි. 


මාරවිල පදිංචිව සිටි කුඩා ෆිලෝමිනා කටුනේරිය බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ඇතුළත් වූවාය. වයස අවුරුදු නවයක් වූ කුඩා දැරිය ඇතැම් දිනවල තම මවට තුරුලු වී නිදන්නීය. දිනක් මව ඇගේ හදවතේ ගැස්මේ වෙනසක් දුටුවාය. තමන්ගේ අනිත් දරුවන්ගේ හෘදයේ ස්පන්දනයට වඩා ෆිලෝමිනාගේ හෘද ස්පන්දනය වෙනස් බව තේරුම්ගත් ඇය මේ ගැන වඩාත් අවධානයෙන් පසුවූවාය. 


දින සති මෙලෙස ගෙවී යද්දී දිනක් කුඩා ෆිලෝමිනා හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන්නට වූ අතර මොහොතකින් ලේ වමනය කළාය. මවට දැඩි බියක් දැනිණි. හැකි ඉක්මනින් ඇය තම දියණිය ද කැටුව ආසන්නයේම පිහිටි මූදුකටුව රෝහලට ගියේ තම දියණියගේ වේදනාව ද දරාගත නොහැකිවය. 
ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු මේ කුඩා දැරිය කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළහ. 
“මට මතකයි එදා මාව පරීක්ෂා කළ වෛද්‍යවරයා අපිට ජාතික රෝහලට යන්න කියලා ලියුමක් දුන්නා. මේ ලියුම අරගෙන අපි රෝහලට ගියා. අම්මාත් මාමාත් සමඟ ගියේ.” ෆිලෝමිනා ඒ සිදුවීම විස්තර කරන්නේ එලෙසිනි. 


මේ දැරියට සිදුකළ විස්මිත සැත්කම ගැන 1980 වර්ෂයේ දී සිහිපත් කරන ඒ සැත්කමට දායක වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.ඒ.පී. ජෝසප් මහතා ඒ ගැන මෙසේ පවසයි. 
“1949 ජුනි මාසයේ මුල් දවසක අවුරුදු නවයක ගැහැනු දරුවෙක් මව සමඟ රෝහලට ආවා. ඔවුන් ආවේ එවකට කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ කායික රෝග වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජී.ආර්. හැන්ඩි මහතා හමුවීමට. මේ දැරිය පරීක්ෂා කළ ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙක් ඇයට උණ, කැස්ස සහ ලේ වමනය යාම තිබෙනවා කියා පවසා තිබෙනවා. ඔහු රෝගය විනිශ්චය කරලා තියෙන්නේ ක්ෂය රෝගය විය හැකියි කියලා. නමුත් ඒ බව තහවුරු කරන්න කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් තිබුණේ නැහැ. ඒ වෛද්‍යවරයා ක්ෂය රෝගයට අදාළ බෙහෙත් ලබා දුන්නත් රෝගී තත්ත්වය කිසිසේත්ම අඩුවෙලා තිබුණේ නැහැ. 
වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇගේ රෝහලේ ලියාපදිංචි අංකය 19640 බවයි. 


ඇයට ප්‍රධාන වශයෙන්ම තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතාව. මීට ඉහත මේ දැරියට කම්මුල්ගාය, පැපොල කියන රෝග හැදිලා තිබුණා. වෛද්‍ය හැන්ඩි මේ දැරිය පරීක්ෂා කළාට පස්සේ ඇය යොමු කළා ශල්‍ය වෛද්‍ය ඇල්බර්ට් සවර්ලිමුත්තු රාජසිංහම් මහතාට. ඒ 27 බී කියන වාට්ටුවට. රාජසිංහම් මහත්තයා ඇය දිගින් දිගටම පරීක්ෂා කළා. ඇය කායිකව ඉතා නිරෝගී තත්ත්වයක හිටියේ. නමුත් හෘද ස්පන්දනය විනාඩියකට වාර 98ක අසාමාන්‍ය තත්ත්වයක් තිබුණා. මෙයාගේ පපුව දෙස බලා සිටින විටත් හෘද ස්පන්දනයේ වෙනසක් තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. මේ පරීක්ෂාවලින් තහවුරු වුණා ඇය ක්ෂය රෝගියෙක් නොවන බව.” 


වෛද්‍ය ජෝසප් මහතා පවසන්නේ ජුනි මස 13 වැනි දින ඇයගේ ඒක්ස් රේ ඡායාරූප ලබාගත් බවයි. එහිදී ඇගේ හෘදය වස්තුවේ ඉදිමීමක් තිබෙන බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන තිබේ. ඒ වනවිට රාත්තල් 49ක බරින් යුතු මේ දැරිය ශල්‍යකර්මය සඳහා බඳුන් කර ඇත්තේ ශල්‍ය වෛද්‍ය රාජසිංහම් විසිනි. ඔහු සමඟ ශල්‍ය වෛද්‍ය පී.ඒ.පී. ජෝසප් මහතා ද සිටි අතර නිර්වින්දන වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ ලැඩී ප්‍රනාන්දු මහතාය. 


“මේ ශල්‍යකර්මය ඇත්තටම ඉතිහාස ගතවන බව අපි දැනගෙන සිටියා. ඒ වනතුරු මෙරට දී පුද්ගලයකුගේ පපු කුහරය විවෘත කරලා හදවත් සැත්කමක් කරලා තිබුණේ නැහැ. ජුනි 17 වැනි දා මේ දැරිය වාට්ටුවේ සිට ශල්‍යාගාරයට රෝද පුටුවක රැගෙන ගියා. ඇයගේ රුධිර ගණය ඕ වර්ගයේ. ශල්‍යාගාරයේ දී රුධිරය සහ ඔක්සිජන් ලබාදුන්නා. අපි ශල්‍ය මේසය වටේ සිටියා. හැමෝම සුදු ඇඳගෙන සිටියේ. උදව් කරන හෙද හෙදියන් ද ඉතා සුපරික්ෂාකාරීව මේ ශල්‍යකර්මය දෙස බලා සිටියා. 
ඉතිහාසගත මොහොත උදාවුණා. දැරිය දකුණු ඇලයට හාන්සි කරවා වම් අත ඉස්සරහට නවලා උරපතු ඇටය පසුපසට ඇදෙන විදියට තිව්වා. උරහිස් අසල සිට වෛද්‍ය රාජරත්නම් හතරවැනි ඉළ ඇටය දක්වා ඇදේට ඉරක් කැපුවා. උරපතු ඇටය පේෂිවලින් නිදහස් කරලා අන්තර් පර්ශුක කැපුමක් දාලා හෘදයත් පෙණහැල්ලත් අතර ඇති පටලයත් මතුකරගෙන ශල්‍යකර්මය සිදුකළා. මේ ශල්‍යකර්මයට පැය දෙකක් සහ විනාඩි 45ක කාලයක් ගතවුණා. ශල්‍යකර්මය අතරතුර උරස් කුහරයේ දාරයේ ඉරීමක් ඇතිවෙලා එය ගැටගසා රුධිර වහනය නවත්තන්නත් අපට සිදුවුණා.” 


එදා කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක දී ඇගේ උරස් කුහරය විවෘත කර හදවතේ සැත්කම සිදුකිරීම සඳහා වම් අතට උරපතු අසල සිට පපුව දක්වා දැමූ කැපුමේ කැලැල් තවමත් ඇගේ සිරුරේ ඉතිරිව තිබේ. 


“මට ඒ කාලේ මේ සැත්කම ගැන ලොකු තේරුමක් තිබුණේ නැහැ. ඉස්කෝලෙ දී සෙල්ලම් කරනකොට හතිය දැනුණා. හුස්ම ගැනීමේ අපහසුවත්, පපුවේ ගැස්මේ වෙනසත් දැනුණා. අම්මා තමයි උනන්දුවෙලා වෛද්‍යවරු හමුවෙන්න ගිහින් මේ සැත්කම සිදුකළේ. මට මතකයි කැපුමට මැහුම් 28ක් දාලා තිබුණා.” 
ඇය පවසන්නේ සැත්කම ගැන කියූ විට තමන් ඊට අකමැති වූ බවයි. නමුත් අම්මාත් මාමලාත් මේ ගැන කරුණු පැහැදිලි කළ බවත් ඇයට මතකය. 
“මට මතකයි සැත්කම කරන්න ඉස්සෙල්ලා අම්මා මගේ හඳහන බැලෙව්වා. ඒක බලපු කෙනා දිනයක් කියලා ඒ දවසට ලොකු අපලයක් තියෙනවා කියල තිබුණා. පස්සේ අම්මා වෛද්‍යවරුන්ට කිව්වා සීයා එනකන් මේ සැත්කම කරන්න විදියක් නැහැ ඒ නිසා දවස් කිහිපයක් කල් දාමු කියලා. මුලින් ඔවුන් ඒකට කැමැති වුණේ නැහැ. නමුත් පස්සේ කැමැතිවෙලා අර අපලය තිබුණු දවස පන්නලා සැත්කම කරන්න දිනය දාගන්න අම්මට පුළුවන් වුණා. 
මම වාට්ටුවේ නවත්තලා සිටිය දී වෛද්‍යවරු හැටියට ඉගෙන ගන්න අය ගොඩක් ආවා. ඇවිත් මාව පරීක්ෂා කළා. කතා කළා. මගේ පරීක්ෂණ වාර්තා බැලුවා. වාට්ටුවේ හිටපු සියලුම දෙනා මට ගොඩක් ආදරෙයි. පියතුමන්ලා ඇවිත් පූජාවල් කළා. හැමෝම මා ගැන සොයා බැලුවා. මට මතකයි සැත්කම කළාට පස්සෙත් ඒ අය නිතර නිතර ඇවිත් මාත් එක්ක කතා කරනවා. 


 රුධිර පීඩනය හා ලේ ගමනය වැඩි නිසා මේ සැත්කම කළා කියලා තමයි කිව්වේ. ඒ දවස්වල කොළඹ ජාතික රෝහලේ හිටපු හැම වෛද්‍යවරයකුම වගේ මාව නමින් දැනගෙන හිටියා. වෛද්‍යවරු මට කියලා තිබුණා මේ වගේ සැත්කමක් මුලින්ම ලංකාවේ කරන්නේ ඔයාට කියලා. සමහර වෛද්‍යවරු මට කිව්වා මම ඉස්සෝ සහ බිත්තර වැඩිපුර කාල නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් වුණේ කියලා. මම පුංචි කාලේ වැඩිය බත් කන්නේ නැහැ. ඉස්සෝ, බිත්තර තමයි කාලා තියෙන්නේ. ලෝක යුද්ධෙ තිබුණු කාලේ නිසා අපිට කන්න තිබුණේ පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල්. ගම් පැත්තේ ඉස්සෝ අැති තරමට තියෙනවා.” 
නව හැවිරිදි වියේ දී සැත්කමට ලක්වූ ෆිලෝමිනා සති කිහිපයකට පසු යළි සුපුරුදු පරිදි පාසල් ගියාය. පාසලේ දී මේ ගැන දන්නා ඇගේ මිතුරියෝ ඇය කෙරෙහි වඩාත් ළෙංගතු වූ බව ද ඇය පවසයි. 


“දවසක් පන්තියට ආපු ගුරුතුමියක් මම වරදක් කළා කියලා මගේ පිටට ගැහුවා. ළමයි ඒ වෙලාවේ කෑ ගහල කිව්වා, ‘එයාගේ පිටට ගහන්න එපා’ කියලා. ගුරුතුමිය මේ බව දැනගෙන හිටියේ නැහැ. පසුවදා අම්මා පන්තියට ඇවිත් ඒ ගුරුතුමියට මගේ තත්ත්වය කිව්වා. ගුරුතුමිය ඒ ගැන ගොඩක් කනගාටු වුණා.” 
ඇය පවසන්නේ තමන් කුඩා කාලයේ දී නිතර නිතර රෝගී වූ බවයි. පියා නොමැතිව විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ ඇය අවසානයේ නව වැනි ශ්‍රේණියේ දී සිය පාසල් අධ්‍යාපනයට සමුදුන්නාය. 


නිවසට වී සිටි ෆිලෝමිනාගේ සිත නිවස අසල නැවතී ධීවර දෙපාර්තමේන්තුවේ රැකියාවක නිරත වූ තරුණයකු කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. ගාල්ලේ ස්ථිර පදිංචිකරුවකු වූ කෝදාගොඩ කණ්ඩම්බිගේ ජයනන්ද මැග්නස් නමැති මේ තරුණයා බෞද්ධයෙකි. ධීවර පරීක්ෂකවරයකු වූ හෙතෙම එහි නතරව රැකියාවට ගියේය. ප්‍රේම සම්බන්ධයට නිවසින් අවසර ලැබුණේ ඔහු කතෝලිකයකු වන බවට දුන් පොරොන්දුව හේතුවෙනි. අවසානයේ 1959 වර්ෂයේ ජුනි 21 වැනිදා මේ යුවළ යුගදිවියට පිවිසියහ. 
“විවාහ වෙලා මම මහත්තයාත් එක්ක ගාල්ලේ පදිංචියට ආවා. මහත්තයා දැනගෙන හිටියා මම මේ වගේ සැත්කමකට ලක්වුණු කෙනෙක් කියලා. එයාට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. කලින්ම වෛද්‍යවරු මට උපදෙස් දී තිබුණා සැත්කමේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ඒ නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියා.” 
මේ යුවලට ඩෙන්සිල්, ජයන්ත, ප්‍රසන්න සහ උදානි යනුවෙන් දරුවන් හතර දෙනෙකි. මේ දරුවන් හතර දෙනාම ඇය තම නිවසේ දී බිහිකිරීම ද විශේෂත්වයකි. 
“මගේ දරුවන් හතර දෙනාම ලැබුණේ මගේ අම්මාගේ ගෙදර. මම කැමති වුණේ නැහැ දරුවන් ලැබෙන්න රෝහලකට යන්න. පවුල් සෞඛ්‍ය සේවිකාව ඇවිත් දරුවන් බිහිකළා. දැන් ඒ දරුවන් හතර දෙනාටම මුනුපුරන් හතර දෙනෙක් ඉන්නවා.” 


අදින් වසර තුනකට පෙර ඇගේ සැමියා දිවි සැරියෙන් සමුගත්තේය. දරුවන් සමඟ ඉමහත් සතුටින් දිවිගෙවන ෆිලෝමිනා මහත්මිය පවසන්නේ තමන්ට සැත්කමින් පසු කිසිදු අපහසුතාවක් ඇති නොවූ බවයි. කිසිම දිනක බරපතළ රෝගී තත්ත්වයක් නොවූ බවත් අදින් වසර 35කට පමණ පෙරාතුව ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් පමණක් සිදුකළ බවත් ඇය කියන්නීය. 


දැන් 80 වැනි විය ද ඉක්මවූ මිත්තණියක වී සිටින ෆිලෝමිනා මහත්මිය තම දරු මුනුපුරන්ගේ කටයුතුවලට ද උදව්වෙමින් ඔවුන් සමඟ සතුටින් දිවි ගෙවන්නීය. 
ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම විවෘත හදවත් සැත්කම සාර්ථක වී ඇති තරම ඇයගෙන් මනාව විද්‍යාමාන වෙයි. 

 


සජීව විජේවීර