ආචාර්ය සූරිය ගුණසේකර සමග හෙළයන්ගේ  අතීත  රාජධානියට  පිවිසෙමු

 

ලොව පුරා ප්‍රචලිත වූ හා වඩා හොඳින් පාලනය කළ හැකි පියාපත් සහිත ගුවන්යානයක් නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ඇමරිකා ජාතික සොහොයුරන් දෙදෙනකු වූ ඕවිල් රයිට් සහ විල්බර් රයිට් යන දෙදෙනාටය. රයිට් සහෝදරයින් ලෙසින් ලොව පුරා ප්‍රකට වූ ඔවුන් නිපද වූ මෙම ගුවන් යානයෙහි හඳුන්වා දුන් “අක්ෂ තුනක පාලනය” නමැති විශේෂ ක්‍රමවේදය හරහා ගුවන් නියමුවාට වඩාත් කාර්යක්‍ෂම ලෙස තම යානය හසුරුවා ගැනීමට අවකාශය ලැබිණි. අදටද ගුවන්යානා පාලනයේ සම්මත ක්‍රමවේදය ලෙස මෙය ලොව පුරා ප්‍රචලිතය.   


ඔවුන් 1903 වසරේ දී ගුවන් ගත කළ ගුවන්යානය ලොව ප්‍රථම ගුවන්යානය ලෙස සැලකුව ද අද ශ්‍රී ලංකාව නොහොත් එදා හෙළදිව ජීවත් වූ මිනිසුන් අහසින් ගමන් ගිය බවට ප්‍රකට ජනප්‍රවාදයක් අප සමාජය තුළ පවතී. “හෙළයා, සුද්දා වැද්දා කාලේ උඩින් ගිය ජාතියක් යැයි” සමාජය තුළ මතයක් පවතින්නේ ඒ නිසාවෙනි.   


ලංකාව සම්බන්ධයෙන් එවැනි මතයක් පවතිනවා සේම ලෝකයේ තවත් බොහෝ රටවල් තුළද ගුවන්යානා පිළිබඳව විවිධ මත හා අදහස් ඉදිරිපත් කර තිබේ. එම මත හා අදහස් පුරාවෘත්ත හා ඉතිහාස කතාංගයන් ලෙස සඳහන් වී තිබේ.   


බොහෝ ඉතිහාස කතා පිළිබඳව අධ්‍යනය කිරීමේදී ගුවන්යානා පිළිබඳව ඉදිරිපත් කර ඇති සංකල්පයන් ඈත අතීතයේ සිට පැවැත එන්නට ඇති බව සිතිය හැකිය. එසේම “ඉරාකස් සහ ඩේඩලස්” යන දෙදෙනා අහසින් ගමන් කළ හැකි යානා භාවිත කළ බව ග්‍රීක පුරාවෘතවල සඳහන් ව ඇත. තවද ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇතැයි ද එය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ බවද මීටර් 200 (අඩි 660) පමණ උසකින් එය ගමන් කර ඇති බවද ඉතිහාස කතාංගවල සඳහන් වේ.   
ගුවනේ පියාසර කළ හැකි ගුවන්යානා නිපදවීමට ගත් පැරණිම වාර්තා සැලකිල්ලට ගැනීමේදී නව වන සියවසේ කවියෙකු වූ අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පූජකයෙකු වූ මාල්මෙස්මෙරි හී එලිමර් යන අය පිළිබඳව ද සඳහන්ව ඇති අතර මොවුන් දෙදෙනගේම පර්​ෙ‌ය්ෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරීමෙන් පසු නිමා වී ඇතැයි ද ඉතිහාසයේ සඳහන් වේ.   


එසේම ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ ලියනාඩෝ ඩාවින්චි විසින් තම පොතක (Codex on the Flight of Birds 1502) මිනිසෙකු සමගින් යා හැකි කුරුල්ලෙකු ආකාරයේ තටු සහිත උපාංගයක් (අහස් යානයක් සේ සිතිය හැකි) සැලසුමක් ද සිතුවම් කරනු ලැබේ.   


1903 දී රයිට් සොහොයුරන් නිපද වූ අප දන්නා ගුවන්යානයට පෙර ඉතිහාස කතා සහ පුරාවෘත්තයන්හි සඳහන් වන ගුවන් යානා හෝ අහසින් ගමන් කළ හැකි යන්ත්‍රයන් පිළිබඳව යම් විශ්වාසයක් හෝ දළ චිත්‍රයක් අප මනස තුළ මවාගැනීම වරදක් නොවේ. මන්දයත් එදා හෙළදිව තුළ හා ඉන් එපිටට බල පරාක්‍රමය පතුරවා සිටි රාවණා රජු ද විවිධ ගුවන්යානා භාවිත කළ බව අපි අසා ඇත්තෙමු. “රාමායනය” වැනි ග්‍රන්ථයන් ද එයට සාක්ෂි දරයි.   


ගුවනින් ගමන් කළ හැකි මෙවැනි යානා සත්‍යය ලෙසම එදා හෙළදිව තුළ පැවැතියා නම් එම යානා නිපදවූයේ කෙසේද? ඒවාට භාවිත කළ තාක්ෂණයන් මොනවද? එම යානා ගමන් කළේ කෙසේ ද? යානා පැදවූ නියමුවන් කෙසේ විය යුතුද? අද පවතිනවා සේම එදා ගුවන් පථ තිබුණේද? වැනි විවිධ ආකාරයේ ගැටලු රැසකට පිළිතුරු සෙවීමට අපට සිදු වේ.   
රාවණා රජුගේ ගුවන්යානා හා එම තාක්ෂණය පිළිබඳව පවතින මතවාදයන් අදහස් පිළිබඳව සිදුකළ සාකච්ඡාවකදී “ආචාර්ය සූරිය ගුණසේකරයන්” ඉරිදා ලංකාදීපය වෙත මෙසේ අදහස් දැක්වීය.   


ගුවන් යානා තාක්ෂණය ගැන කතා කිරීමේදී ශ්‍රීලාංකේය අහස් යාත්‍රාවක් ගැනද අපට රාවණ ප්‍රවෘත්තියෙන් දැන ගන්නට ලැබේ. ඒ පිළිබඳව විවිධ මතවාද සාකච්ඡා කිරීමට ගන්නා ප්‍රවේශයක් ලෙස පුරාණ ගුවන්යානා නිර්මාණය සඳහා යොදා ගත් තාක්ෂණය විග්‍රහ කරන්නේ කෙසේද?   


විමාන (හෙළ) සහ විමාන (සංස්කෘත) යන වචනවලින් හඳුන්වන පුරාණ යුගයේ ගුවන්යානා නිර්මාණය කළේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසුය. එනම් ඒ අපගේ සිතුවිල්ල වර්තමානයේ පවතින නිසාය. එය ශිල්පය හා තාක්ෂණය වැනි සංකල්ප වටා ගොනු වී ඇති බැවිනි. ශිල්පය හා තාක්ෂණය යනු පරම්පරා හා සියවස් ගණන් වැඩි දියුණු වී අවුත් ප්‍රතිඵල පෙන්වන්නකි. ඒවා හැමවිටම පසිඳුරන්ට ගෝචර වන මට්ටමේ තිබිය යුතුය. ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට ගන්ධය දනවන ආදී ලෙස හැකි නම් එය “විද්‍යාත්මක නොවේ.” එය අනෙකුත් පසිඳුරන්ට ද අදේශ කර ඔප්පු කළ යුතුය. පුරාණ තාක්ෂණයට අනුව තමාට දැන ගැනීමට හෝ ලබාගැනීමට අපේක්ෂිත දෙය පිළිබඳව පූර්ණ සතියෙන් (සිහියෙන්) යුතුව බලා සිටීම අවශ්‍යය. එවිට නොදන්නා දේ දැනගැනීමට හැකි වේ. ධම්මචක්කපවත්තන සුත්‍රයෙහි බුදුන්වහන්සේ විසින් පස්වග මහණුන්ට ප්‍රකාශ කර ඇත්තේ ද ඒ බවය. බුද්ධත්වය නමැති නොදන්නා දේ ලබා ගැනීමට (නිවන) එකම අපේක්ෂාවෙන් සිත හිස්ව තබාගෙන සිටින විට කලින් අසා දැන නොසිටි ධර්මයන් (අනනුස්සුතෙසු ධමෙමසු) අවබෝධ විය. මෙය අද දින අපට තේරුම් ගැනීමට අපහසු වුවද සමාධිගත වීම හා ධ්‍යානවලට එළඹීමට හැකිවීම අදත් ඇත අතළොස්සක් අයට තේරුම්ගත හැක්කකි. එය භාෂාවක වචවලින් තවත් අයකුට පැහැදිලි කර දීම අපහසුය. සමථ භාවනාව තුළින් ගුවන්යානය නිපදවීම එදා සිදුවුණේ යැයි කීම විහිළුවක් සේ පෙනුණ ද යථාර්තය එයයි.   
ගුවන් යානයේ එන්ජීම, එයට යොදන ඉන්ධන, යානයේ ආවරණය හා යානය බල ගැන්වීම කරන්නේ කෙසේ ද?   


ගුවන් යානයක (විමාන) ක්‍රියාකාරීත්වය සඳහා එන්ජිමක් අවශ්‍යය. එන්ජිම ක්‍රියාත්මකවීමට රසදිය ඉන්ධන ලෙස භාවිත කර ඇත. පිටත ආවරණය (Body Work) ඉතා තද සහ ලෝහයෙන් සැකසීම අවශ්‍ය වන්නේ එසේ නොවුණහොත් වේගයෙන් ගමන් කරන විට වායුගෝලය සහ ඝර්ෂණයේදී (සීරීමේදී) එය ගෙවී හා උණු වී යන නිසාය.   


ගුවන් නියමුවන් අභ්‍යාවකාශයේදී විශේෂ ආහාර ලබාගත යුතුය. විශේෂ ඇඳුම් ඇඳිය යුතුය. අභ්‍යාවකාශයට යනවිට යානය ගමන් කළ යුතු ගුවන් මාර්ග (රේඛාපථ) තිබිය යුතුය. මෙම විස්තර අදත් අප අතර ඇත්තේ සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන ලද ග්‍රන්ථවලය. නමුත් ඉන්දියාව විමාන භාවිත වූ දේශයක් නොවේ. එබඳු තොරතුරක් දැන ගැනීමට ද නැත. එසේ නම් ඉන්දියාවට ගෙන යන ලදුව සංස්කෘත භාෂාවට පරිවර්තනය වුයේ කුමන රටක විමාන දැනුම ද? තේරුම්ගත නොහැකි මෙම නිර්මාණ “විශ්වකර්ම” නිර්මාණයන් ලෙස හැඳින්වේ.   


1923 බැංගලෝරයේදී හමුවූ “වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් ගුවන්යානා ශිල්පය දැනගැනීමට හැක. එය 1923 දීම ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එහි දැක්වෙන ආකාරයට විමානයට අවශ්‍ය තුරණය සහ එය ගමන් කරවන නියමුවා තීරණය වූ පසු යානය ගැන විස්තර කියැවේ. ඉන් අපට සිතා ගත හැක්කේ අවශ්‍යතාව ඇති අයට අනුව යානාව වෙනස්වන බවකි. මේ ඊට පළමුව ඉතා ඉහත කාලයකදී තිබූ යානාවක්ම නැවත පහළවීමක් ද විය හැකි අතර එය සිතා ගැනීමට ද නොහැක.   


විමානයක් සෑදීමට අවශ්‍ය ලෝහ වර්ග තිබේද ඒ මොනවාද?   


මෙය ඉතා නීරස වූද දීර්ඝ වූද විස්තරයක් නිසා ඉතා කෙටි සාරාංශයක් දක්වමු   


නියමුවා නොහොත් මානව සාධකය තීරණය වූ පසු පමණක් යානය සෑදීම නොහොත් ද්‍රව්‍යමය පාර්ශ්වය ගැන කරුණු දැක්වීම සිදු වේ.   


සෞමක, සවුන්දලික හා මෞර්වික යනුවෙන් තුන් ආකාරයක ලෝහ වර්ග ඇත. මෙම ලෝහ වර්ග තුන මිශ්‍ර කර ලෝහ වර්ග 16ක් සදා ඒවායින් විමාන සෑදීමට ගනු ලැබේ. උෂ්ණම්බර, උෂ්ණපා, උෂ්ණහාන, පංචාග්ණ, අග්නිත්‍රිත්, අම්ලහාණ, වාත මිත්‍ර ආදී ලෙස වර්ග 16කික් මෙම ලෝහ කොටස් දැක්වේ.   


පෘථිවි අභ්‍යන්තරයේ ඇති 7වැනි පාෂාණ තට්ටුව තුළ ඇති තුන් වැනි නිධිවල සෞමක (සෝම) වර්ගය ඇත. අධික උෂ්ණය උරා ගන්නා මේවා බීජ ලෝහ ලෙස හැඳින්වේ. වායුගෝලය සහ ඝර්ෂණය වීමේදී උණුවීම වැළැක්වීමට මෙම බීජ ලෝහ අත්‍යාවශ්‍ය වේ.   


ලෝහයන් දරාගත් පාෂාණ තට්ටු 3000ක් පොළව අභ්‍යන්තරයේ ඇත. 7වැනි ස්ථරයේ මෙවැනි ලෝහ වර්ග 27කි. ඉහත වර්ග තුන අනිත් ඒවාට වඩා පස් වරක් අනර්ඝය. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවිය හා වායුගෝලීය ආකර්ණය, සූර්යපිටාරයන්, වායු බලයන්, ග්‍රහලෝක හා තාරකාවන්ගේ බලය, හිරු සඳු ආකර්ෂණය, විශ්වයේ ගුරුත්වාකර්ෂණ බලය යන සියලු බලවේග පෘථිවියේ 2, 3, 4, 5, 6, 8, 9, 11 ස්ථරවලට ඇතුළු වේ. මේ සියලු බල ඊට යොදා ගන්නා ලෝහවල අන්තර්ගත වේ.   


සෞන්දලික “ස” යන්නෙන් 11 ශක්තියද “අවි” යන්නෙන් 110 වැනි කාශ්‍යප බලයද “ම” යන්නෙන් හිරුගේ 110 වැනි ද්වාරමුවී ශක්තියද “ද” යන්නෙන් හිරුගේ ඛණ්ඨක ශක්ති 49 සහ තාරකාවල ශක්ති 25 එකතුව ද “ල” යන්නෙන් හඳෙහි 364ක් උජවාලාශක්තිය සහ කාල ශක්තිය ද එකතු වී ස+අවි+ම+ද+ල = සවුදම්ලිත ශබ්දය සෑදේ.   


මෞර්තවික ලෝහය ද මෙසේම ම+අවි+ර+ත+ව+ඉ+ක යන අකුරු එකතු වීමෙන් සෑදේ. (ම=මස්ත ශක්ති 84) + (අවි=කුර්මශක්ති 1300) + (ර=මාර්තණ්ඩ ශක්ති 240) + (ත=වාර්වලි ශක්තිය ) + (ව=භූත රූෂ්මක ශක්තිය) + (ඉ=අර්ත ශක්ති වරුණ 113) + (ත=පුෂ්ණිකා 1012 ශක්තිය) වන්නේය.ම+අවි+ර+ත+ව+ඉ+ක නම එසේ සෑදේ.

   
විමාන සෑදීම සඳහා ලෝහ වර්ග ශුද්ධ කර පෙරා ගැනීම   


සෝම ලෝහය පැඟිරි යුෂ, දෙහි යුෂ, එඬරු යුෂ, සියඹලා යුෂ, ජම්බු යුෂ ආදිය මිශ්‍රකර දවසේ සාමාන්‍ය උෂ්ණත්වය මෙන් 27ගුණයක උෂ්ණත්වයකින් උණු කර ගනු ලැබේ. අනතුරුව වර්ග පහක තෙල්වලින් හා වර්ග හතරක අම්ලවලින් නැවත උණු කෙරේ. අනතුරුව කංසා කොළ හා ඇට, එඬරු, කුන්ජර, කරංජා තෙල්, ප්‍රාණ -කෂාර, විරංචි, කංචුකී, කුර අම්ල, ගුන්ඨිකා, පටාමාංසා, සුදු වැටකොළු හා මාළු ඇස්වලින් දවසේ උෂ්ණත්වය මෙන් 27 ගුණයක උෂ්ණත්වයෙන් උණුකර වත්කරනු ලැබේ.   

 

 


සෞන්දල ලෝහය අම්ල හයකින් සහ තෙල් වර්ග හතක් උණුකර ගත යුතුය. ඉඟුරු, අරත්ත, මිදියුෂ, රාටා, ඇන්කොලා, චුෂ්ති, සර්ථප, කාකෝල, තිරිඟු, සමඟ ඉහත උෂ්ණත්වයට උණුකර වත්කරගත යුතුය.  මෞර්වික සෞන්දල ලෝහය මෙන්ම උණුකර පිටාරි තෙල්, කුඩුවා අම්ල සහ විෂම්චරීසම් සමඟ උණුකර වත්කළ යුතුය.   


සදාගත් ලෝහ වර්ග උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. ගිනි දල්වන සමාන සාදන ක්‍රම 532කි. එකකට 76වන ලෙස වර්ග 7ට මේවා වර්ග කළ හැක. ඉදිබු ආකාර උඳුන අන් සියල්ලට ම වඩා ගැළපේ. (මෙම විස්තර අතිදීර්ඝ ලෙස ඇත)   


යානයක් නොහොත් විමානයක් බලගැන්වෙන ආකාරය   


ශක්තින් හතක් ඉතා පැහැදිලිව හඳුනාගත හැක. 1. උද්ගාම 2. පන්ජා 3. සූර්ය ශක්තපාපි කිරණ, 4. පරශක්තිහපාතකර්පණි, 5.ශක්ති 12එකතුව, 6. කුන්තනී, 7. මුල ශක්ති ඒවා වෙති. විමානයක සුදුසු තැන් ලකුණු කර මෙම ශක්ති උපදවන මෝටර් සවිකළ යුතුය. නිසි පරිදි රැහැන් (Wires) සම්බන්ධ කර දුනු සහ රෝද මත මෝටර් සවිවන අයුරු මේවා සමානගත විය යුතුය.මෙම ශක්ති මෝටර් නම්. 1. තුන්දල, 2. පන්ජර 3. අම්සුජා 4. අපකර්ශන 5. සාන්ධානික 6. දර්පනික ශක්තිප්‍රසාවක වේ. ශක්ති ප්‍රසාවක යන්ත්‍රය විමානයේ ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය සපයයි. අපකර්ශන ශක්තිය සතුරු යානය ශක්තිය ලොප් කරයි. සාන්ධනික යන්ත්‍රය ශක්තීන් 12එකතුව නිපදවයි. තුන්දල යන්ත්‍රය උද්ගාමක ශක්තිය නිපදවයි. අම්පුෂා යන්ත්‍රය සූර්යය ශක්තිය උරා ගන්නා ක්‍රියාවලිය ඉටු කරයි.   


ශක්තිය උපදවන මුලයන්ද 7කි. ගින්දර, පොළොව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය සහ ආකාශය ඒවා වෙති. (මේ පංච මහා භූතයන් වන අතර ගින්දර සහ සූර්යයා දෙකක් ලෙස ද චන්ද්‍රයා සහ ජලය දෙකක් ලෙස ද ගැනීම නිසා 7ක් වී ඇත.) මේ ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද නොහොත් මන්ත්‍ර මඟිනි.“ම” උද්ගාම ද “ල” පන්ජාර ද, “ය” සූර්ය ශක්තිය ද,“ර” සූර්ය ශක්තීන් 12ක් ද “ස” සතුරු බල උරාගැනීම ද,“ව” කුන්තිනිද, “න” මූලශක්තිය ද ස්පර්ශ කරයි.   


ශකුණ (මොණර) විමානය සාදා ගන්නේ කෙසේ ද?   


මීට අවුරුදු 10,000ට පමණ පෙර රාවණ යුගයේදී එදා විමානයක් අද දැකිය හැකි ආකාරයේ ගුවන් යානයක හැඩය නොගත්තේය. නමුත් වසර 4500ට පෙර මිසරයේ ඇඩම්වල තිබූ ගුවන්යානා අද ගුවන්යානාවල හැඩය ගනී. පැරණිම විමාන ඉතාම උසය. එහි හරහට පැතිරීම ඉතාම අඩුය. දඬුමොනරය (පුෂ්පක යානය) අයත්වන ශකුණ විමාන වර්ග තට්ටු 3ක ශෛලමය සොහොනක් මත ගල් කණුවක් තැබුවා වැනිය.   


බිම් තට්ටුව නොහොත් යානයක පතුල ආයන, චතුරඝ්‍රාකාර හෝ රවුම් විය යුතුය. මෙය රාජ ලෝහ තහඩුවලින් සැකසිය යුතුය. පිත නමැති මෙහි බර මුළු යානයෙහි බරින් සියයයෙන් එකක්වීම අවශ්‍ය. බිම් තට්ටුවේ මැද ස්ථානයේ කුඨිල සහිත කුඹගස ඉස්කුරුප්පු ඇණවලින් සවිකළ යුතුය. කුඹගස “ස්තම්භ” නම් වේ. පිතගේ මුදුන ත්‍රිකෝණාකාර විය යුතුය. ස්තම්භය සෑදීය යුත්තේ “භාතකාස්‍ය” නමැති ලෝහයෙන් පමණි. එම ලෝහය සාදන සැටි ගැනද විස්තර ඇත. කුඹයේ උස අඩි 80කි. සුළං වේගය අඩුවැඩි කිරීමට කුඹය ඇතුළත රෝද 6ක් සවි වේ.

 


මතු සම්බන්ධයි...  

 


සාකච්ඡාව සහ සටහන
මනෝජ් හර්ෂික මධුෂාන්