මැඩගස්කර් දූපත

වන ජීවිතය

 

 

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බී.බී.සී. නාළිකාවේ ‘ප්ලැනට් අර්ත්’ වාර්තා වැඩසටහන් පෙළ ලොව අතිශය ජනප්‍රියය. ‘ප්ලැනට් අර්ත්’ වැඩසටහන් පෙළට පාදක වන්නේ සොබාදහමේ අරුමයයි. සත්ව සහ ශාක ලෝකයේ විස්මිත වික්‍රමය. එම විස්මිත වික්‍රම අප ඔබ වෙත ගෙන එන්නේ ‘මිහිකත සුවිසැරිය’ යන නමිනි. 

 
කුඩා දූපත්වල වාසය කරන සතුනට ජීවත් වීමට ඇත්තේ සීමිත ඉඩ ප්‍රමාණයකි. ඔවුන්ට ලබා ගත හැකි ආහාර සීමා සහිතය. එය අර්බුද රැසකට හේතුවකි. ගැටුම්වලට මුල පිරීමකි. කෙසේ නමුත් ප්‍රමාණයෙන් විශාල දූපත්වල තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. විශාල දූපත් ප්‍රමාණයෙන් කුඩා මහද්වීප හා සමානය. මෙවැනි දූපත්වල ජීවීන්ට ඔවුන්ගේ ජීවිත රිසි පරිදි වෙනස් කර ගනිමින්, අනුවර්තනය වෙමින් පරිණාමයට ලක්වීමට ඉඩ සලසා දී ඇත. මැඩගස්කරය ඊට හොඳ උදාහරණයකි.   


යෝධ දූපත   


මැඩගස්කරය දූපත් රාජ්‍යයකි. ලොව විශාලතම දූපත් අතරින් එකකි. එපමණක් නොව, මැඩගස්කරය යනු ලොව පැරැණිතම දූපතකි. මැඩගස්කරය අප්‍රිකා මහද්වීපයෙන් කැඩී වෙන් වී දූපතක් ලෙස හුදෙකලා වූයේ වසර මිලියන 120 කට පෙරය. සෙසු ලෝකයෙන් වෙන් වුණු මැඩගස්කර ජීවීන් දූපතේ සෑම අස්සක් මුල්ලක් පාසාම ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා අවසන්ය. ඔවුන් තමන් වාසය කරන තැනට අනුකූලව ජීවත් වෙන්න මේ ජීවීන් හැඩ ගැසී ඇත. නොයෙක් විදියේ ජීවීන් විශේෂ මැඩගස්කරයේ දකින්න ලැබෙයි. ඒ අතරින් වැඩි දෙනා මැඩගස්කරයට පමණක් ආවේණිකය. බී.බී.සී. ප්ලැනට් අර්ත් වැඩසටහනට අනුව, මැඩගස්කරයේ එකිනෙකට වෙනස් ජීවීහු විශේෂ 2,50,000 ක් සිටිති. ඊට සමාන වෙනස් ජීවීන් පවා ලොව වෙන කිසිදු තැනක දකින්න ලැබෙන්නේ නැත.   


ලීමරයෝ   


මැඩගස්කරයේ ගසින් ගසට අත්තෙන් අත්තට පනින ප්‍රිමේටාවන් වඳුරන් නොවේ. ඔවුන් ලීමරයන්ය. ලීමරයන් මැඩගස්කරයේ අනන්‍යතාව. මැඩගස්කරයේ පමණක් දකින්න ලැබේ. එක් ආදීතම මුතුන්මිත්තකුගෙන් පරිණාමය වුණු ලීමරයන් විශේෂ 100 කි. එක් විශේෂයක් අනෙක් විශේෂයෙන් වෙනස් වෙයි. වලිග ඇති, වලිග නැති ලීමරයන්, ලොකු, කුඩා ලීමරයන් ආදී වශයෙන් උන් වෙනස් වෙයි. හුදෙකලාව ජීවත් වන විශාල ලීමරයන් වර්ගය හැඳින්වෙන්නේ ‘ඉන්ඩ්‍රි’ යනුවෙනි. ඉහළ ගස්වල ජීවත් වන මොවුන් බිමට බසින්නේ, ඉතාමත් කලාතුරකිනි. තැනින් තැන යන්නේ ගස්වලින් ගස්වලට හෝ අතුවලින් අතුවලට පනිමිනි. ලීමර පවුලේ වඩාත් බහුල මෙන්ම බොහෝ දෙනා හොඳින් හඳුනන ලීමරයන් වර්ගය වන්නේ මුදු වල්ගා ලීමරයාය. ‘ඉන්ඩ්‍රි’ ලීමරයන් මෙන් නොව, මොවුන් ප්‍රමාණයෙන් කුඩා වන අතර දුඹුරු මිශ්‍ර කළු සහ සුදු පැහැයෙන් යුත් මොවුන්ගේ වල්ගවල කළු පැහැති මුදු එසේත් නැතිනම් වළලු දකින්න ලැබේ. මොවුහු දවසින් වැඩි කාලයක් බිම කාලය ගත කරති. රංචු වශයෙන් ජීවත් වෙති. ආහාර සොයමින් රිංග් ටේල් ලීමරයෝ කණ්ඩායම් වශයෙන් කැලයේ ගමන් කරති. හුදෙකලාව එකා දෙන්නා බැගින් ජීවත් වන ලීමර විශේෂයක් වන්නේ බැම්බූ ලීමරයන්ය. ‘බැම්බූ ලීමරයන්’ ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩාය. මෙම ලීමරයන් ආහාරයට ගන්නේ එක් දෙයක් පමණි. ඒ, උණ ගස්ය.   


ෂිෆාකා   


ජීවත් වීම වෙනුවෙන් පවතින තරගකාරීත්වය අඩු නිසාත්, සතුරු තර්ජන අඩු නිසාත්, ලීමරයෝ මැඩගස්කර දූපතේ සෑම අස්සක් මුල්ලක්ම පදිංචිය සඳහා තෝරා ගෙන ඇත. මැඩගස්කර දූපත පාරිසරික වශයෙන් නොව, භූ විද්‍යාත්මක වශයෙන් ද එකිනෙකට වෙනස් කලාප බොහොමයකින් සමන්විත වෙයි. ගස් වැල් පිරුණු වැසි වනාන්තර පමණක් නොව, වියළි කර්කශ ප්‍රදේශ ද මැඩගස්කරයේ දකින්න ලැබේ. මෙවැනි වියළි ප්‍රදේශවල බහුලව දකින්න ලැබෙන්නේ තියුණු කටුවලින් පිරුණු ගස් වර්ග පමණය. මෙවැනි වියළි ප්‍රදේශවල ලීමරයෝ ජීවත් වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘ෂිෆාකා’ ලීමරයන් යනුවෙනි. මොවුන්ට ‘ෂිෆාකා’ යන නම ලැබී ඇත්තේ අනතුරු ඇඟවීමට මෙම ලීමරයන් ‘ෂිෆාක්’ යනුවෙන් කෑ ගසන නිසාය. ෂිෆාක් ලීමරයන්ගේ ප්‍රමාණය සෙසු ලීමරයන් හා සැසදීමේදී මධ්‍යස්ථය. බර කිලෝ ග්‍රෑම් 3 ත් 6 ත් අතරය. උස සෙන්ටිමීටර් 44 ක් හෝ 55 ක් පමණ වෙයි. රිදී පැහැයට සමාන සුදු පැහැය, කළු දුඹුරු පැහැය මොවුන්ගේ සිරුරේ වර්ණය වෙයි. හිසේ ලොම් නැත. හිස සැමවිටම කළු පැහැයෙන් යුක්තය.   


අම්මා සහ පැටවා   


විස කටු පිරි පතොක් වනාන්තරයක අසීරු ජීවිතයට නොබියව මුහුණ දෙමින්, පතොක් වනාන්තරය නිවහන කරගත් ෂිෆාකා අම්මකු සහ පැටවෙකි. මලානික පෙනුමකින් යුත් පැටවාගේ ඉදිරි ගමන වැටී ඇත්තේ සැබැවින්ම විස කටුවලින් පිරුණු මාවතකය. දිවි රැක ගන්න නම්, ෂිෆාකා පැටවා බොහෝ දේ ඉගෙනගත යුතුව ඇත. විස කටු පිරුණු ගස් ඇති මේ වනාන්තරය එක්තරා ආකාරයක කාන්තාරයක් වැනිය. වැසි වැටෙන්නේ කලාතුරකිනි. ජලය පමණක් නොව ආහාර ද සොයා ගැනීම අසීරුය. විස කටු පිරි ගසින් ගසට පැන පැන යෑම අසීරුය. අනතුරුදායකය. එය කල්පනාවෙන් කළ යුත්තකි. මේ වනාන්තරේ තියුණු කටු නැති ගස් ඇත්තේ නැත. ෂිෆාකා ලීමරයන්ගේ ආහාරය වන්නේ පතොක් ගසේ ඉහළින් ඇති ලා කොළ පාට දලුය. ෂිෆාකා අම්මා මේ ළපටි දළු ආහාරය සඳහා සොයයි. අම්මාට සහ පැටවාට දිවි රැක ගැනීමට අවශ්‍ය ජලය සිරුරට ලැබෙන්නේ ළපටි දලු ආහාරයට ගැනීමෙනි. පැටවාගේ වසය මාස තුනක් පමණි. පැටවා සිටින්නේ කුතුහලයෙනි. සැමවිටම වටපිට ලෝකය ගැන අවධානයකින් පසුවෙයි. මෙනවාද තියෙන්නේ, මොකද වෙන්නේ කල්පනා කරයි. වැඩි කලක් යන්න කලින්, පැටවාට අම්මාගේ රැකවරණය නැතිව තනිවම ජීවිතය ගත කරන්න සිදුවනු ඇත. ඒත් තවම පුංචි වැඩිය. අම්මාගේ පිටේ එල්ලිලා යෑමයි පහසුම දේ. මේ කටු වනාන්තරය හුරුපුරුදු තැනක් කරගන්න පැටවාට හැකි වුණොත්, මේ මැඩගස්කර් දූපතේ ඔහුටම කියා පුංචි කොටසක් හිමි වනු නිසැකය. 

 

ෂිෆාකා

පතොක් ගස් අතරින්

පැටවා දළු ආහාරයට ගනිමින්

පැටවාගේ උනන්දුව

 

 

රින්ග්ටේල් ලීමරයෝ

 

 


ලුසිත ජයමාන්න   
ප්ලැනට් අර්ත් ඇසුරිනි