කොළොම්පුරේ ජීවිතේ

 

 එතකොට වෙලාව හවස 6ට විතර ඇති. මම හිටියේ බත්තරමුල්ල පැත්තේ ඉඳල රාජගිරිය දෙසට එමින් තිබුණු ලංගම බස් එකක. ඒ එන අතරමගදී ඉදිරියට ඇදෙන රථවාහන කන්දරාව අතරේ බස් රියත් හිරවෙලා. එක තැන ඉහින්කනින් දාඩිය නොදැම්මේ එක පැත්තක තියෙන දියවන්නාව පිසගෙන හමන සුළං රැලි නිසයි. හැබැයි, ඉස්සර වගේ පිළීගඳ නම් ඒ සුළඟේ තිබුණේ නැත්තේ දියවන්නාව දැන් පිරිසිදු නිසා වෙන්න ඇති.   


බස් එක විනාඩි ගණනාවක් මහ පාර මැද එකම තැන නැවතී සිටින විට මම දියවන්නාවේ නිසල ජල තලය දිහා බලාගෙන හිටියා. යෝධ පැස්තුඩුවන් කීප දෙනෙකු ජල තලය මත නිසොල්මනේ පීනා ගියේ ඒ නිශ්චලතාවට හොරෙන් වගේ. හංස බෝට්ටු දෙක තුනක් ඈත දූපත අයිනේ නතරවෙලා. ඔහොම නතර වෙන්නෙ පෙම්වතුන්ට පෙම්සුව විඳින්න. ජලතලාවත් නිසොල්මනේ පසුවෙන්නේ මේ හොර අල්ලන්න වගේ මට නිකමට හිතුණා.   
ඉදිරිපස ආසනයේ ඉඳගෙන සිටි මැදිවියේ නෝන කෙනෙක් ඒ දිහාම බලාගෙන ඉන්නේ හරියට එයාගේ අතීතය මතක් වෙලා වගෙයි. මට දුකත් හිතුණා.   


ඉබි ගමනටත් වඩා හිමින් තවත් මඳ දුරක් ගෙවූ බසය ආයෙත් නතර වුණා. එතැනින් ගොඩවුණේ තරුණයෙකු හා එම වයසේම වගේ ගැබිනි තරුණ කාන්තාවක්. ඉදිරිපස දොරටුවෙන් බසයට පැමිණ එතැනම නතර වූ මේ දෙදෙනා බසය සිසාරා බැල්මක් හෙලන ගමන් තරුණයා කතාව පටන් ගත්තා.   
බසය තුළ ආසන ගණනටවත් සෙනඟ නැති නිසාත් පුද්ගලික බස් රථවල වගේ දෙකන්වලට බලහත්කාරයෙන් ඇතුළු කරන අහන්න හිරිකිත සින්දු මේ බසයේ නොතිබූ නිසාත් තරුණයා පවසන දෑ බසයේ පිටුපසටත් හොඳට ඇහුණා.   


ඔහුගේ යාදින්නාව අනුව මේ ගැබිනි කාන්තාව තමන්ගේ බිරිඳ මේ දෙන්න මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගියෙකු බලන්න ගිහින් එමින් ගමන. ඒ බව සනාථ කරන්නට දෝ ඇඳුම් දෙක තුනක්, කෑම රැගෙන යන ප්ලාස්ටික් පෙට්ටියක් වැනි දේවල් ටිකක් බෑගය තුළ තිබුණා. ඔහු ඉටි බෑගය අතේ රඳවාගෙන හිටියේ ඒ තුළ ඇති දෑ පෙනෙන ලෙසටය. ප්‍රතිකාර ලබන්නේ තරුණයාගේ මව. ඇගේ ශරීරයේ පැතිර තිබෙන දරුණු පිළිකා මාරයා තාවකාලිකව පරාජය කරන්නට දිනකට රු. 60,000 ඖෂධ අවශ්‍යයි.   
මේ බර හැමදාමත් දරන්න බැහැ. උදව් කරන්න කවුරුත් ඇත්තේත් නෑ. මේ වනවිට මේ දෙදෙනා සතුව තිබුණු අත කන කර රත්තරන් හා වටිනා බඩුමුට්ටු විකිණී අවසන්. කර කියාගන්න දෙයක් නොමැති නිසා හැමදාමත් අම්මව බලන්න රෝහලට ගොස් එන අතරතුරදී බස් කීපයකට ගොඩවෙලා මගීන්ගේ පිහිට පතනව. ඔබටත් ජීවිත කාලය අතුරතුරදීම නිවන් යන්නට නම් අපිට උදව් කරල අම්මගෙ බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා.   


මුහුණ පුරා තිබූ රැවුල සති ගණනාවකින් රේසරයක් දැකල තිබුණේ නැති කළු හීන්දෑරි තරුණයා ඇඟලා සිටියේ ඩෙනිමක් හා ටීෂර්ටයක්. බිරිඳ යයි හඳුන්වා දුන් ගැබිනි කාන්තාවගේ ගෙල දෙඅත් පාළුවට ගොස් තිබුණේ තරුණයා මේ දැන් පැවසූ කරුණු සත්‍යයයි කියන්නට වගේ.   
තරුණයාගේ යාදින්න හමාර වූ සැණින් කාන්තාවද කටහඬ අවදි කරවමින් මගීන් ගේ ‘සහයෝගය’ බලාපොරොත්තුවෙන් බසයේ ඉදිරිපස සිට පසුපසට හෙමි හෙමින් පැමිණෙන අයුරු මම බලාගෙන හිටියේ. මේක හිඟමනේ අලුත් ක්‍රමවේදයක් ලෙසයි මට පේන්නෙ. බසයේ වහලයේ සවි කර ඇති ආධාරකය අල්ලාගෙන අසීරුවෙන් පිය මාරු කරන අතරතුරදී ඇයට කෙඳිරි ගෑවුණා. කෙඳුරුම් හඬත් එක්කම මගීන්ගේ විශේෂයෙන් කාන්තා මගීන්ගේ ඔඩොක්කුවේ තිබූ අත්බෑග් අස්සෙන් එළියට පැමිණ අනුකම්පාවේ නිල් කොළ, රතු කොළ, කහ කොළ යාචක කාන්තාවගේ අතට ගුලි වෙන හැටිත් මම බලාගෙන හිටිය.   
බසයේ පිටුපසට එනෙකොට තරුණයාගේ අතට වඩා කාන්තාව අත නෝට්ටු කොළ පිරිලා තිබුණා. මේ අතරතුරේදී බසය රාජගිරිය හන්දියට පැමිණෙමින් සිටියා. මුදල් එකතු කරලා ඉවර වුණෙත් ඒ එක්කමයි. යුවල කඩිමුඩියෙම බසයෙන් බැහැලා අත් අල්ලගෙන පාර පනිනකොටම යන්න ආව ගමන අමතක කළ මමත් බසයෙන් පිටව මේ දෙන්න පස්සෙන් ඇදුණා.   
බස් රථයෙදී ඉතාම අමාරුවෙන් වගේ හැසිරුනු ගැබිනි කාන්තාව මෙන්න බොහොම කඩිසරව පාර පැනල අනෙක් පැත්තෙ බස් නැවතුමට ඇවිත් විදුලි පහන් එළිය නොවැටෙන අඳුරු තැනකට ළං වෙලා මොනවදෝ කොඳුරනව. අත්වලත් තරුණයාගේ සාක්කු තුළ හා කාන්තාවගේ අත්බෑගයේ තිබුණ නෝට්ටු පිටතට ගෙන ගණන් කරලා වගේ තරුණයාගේ කිළිටි ඩෙනිමේ පසු පස සාක්කුවට බැස්සා. අඳුරු කැටිය නිසා මුදල් කොපමණදැයි හිතාගන්න බැරි වුණත් සෑහෙන තරමේ මිටියක් නම් තිබුණා.   
ඊට පස්සෙ බසයේදී පෙන්වූ ආම්පන්න සහිත ඉටි බෑගයත් සමග තරුණයා තනිවම එතැන තිබුණු බස්රථයකට ගොඩවුණා. ගැබිනි කාන්තාව නැගගත්තේ වෙනත් ගමනාන්තයක් සඳහන්ව තිබූ බසයකටයි. කසාද බැඳල කී යුවල බස් දෙකක. අර තරුණයා කාන්තාව අතට යමක් මිටමෙළවූ බව අඳුරෙදි මගේ තීක්‍ෂණ දෙනෙතටත් හසුවුණා. මම ‘මඤ්ඤං’ වෙලා පදික වේදිකාවේ අතරමං වී ඉන්නකොට තවත් අයෙක් මට ළං වෙනව දැක්කෙම නෑ.   


ඒ වයසක සීය හන්දියේ නතර කෙරෙන බස් රථවලට ගොඩවෙලා රබානක් වයමින් සිංදු කියනව මම අනන්තවත් දැකල තියෙනව. හැබැයි දැනහැඳුනුම්කමක් නම් තිබුණේ නැහැ. මම හිතුවෙ හිඟමනක් ලබාගන්න මා ළඟට කිට්ටු කළා කියලයි. ඒත් මා හැරුණකොට තවත් සිය ගණනක් දෙනා තම තමන් යා යුතු බස් රථ එනකම් දෑස් දල්වාගෙන එතන හිටිය.   
ඒ අතරින් මේ මනුස්සය මගේ විශේෂත්වයක් දැක්කෙ මම බොහෝවිට හිඟන්නන්ට කීයක්වත් නොදෙන නිසාද? එහෙම කරන්නෙ පිනට ළැදි නැතුව නම් නෙවෙයි. සමහර දවස්වලට හිඟන්නන් සතුව පවතින මුදලක්වත් මගේ පොකැට්ටුවේ නොරැදෙන නිසයි.   
අනිත් එක රැවටිලිකාර යාචකයන් හා ඇත්තම හිඟන්නන් බොහොම අසීරුවෙන් තෝරා බේරාගෙන මඳ පමණකින් හෝ ‘සහයෝගයක්’ ලබා දීමට මම පුරුදුවෙලයි ඉන්නෙ. මේ වගේ අදහස් ප්‍රශ්න මගේ හිතේ ඉපදිලා එළියට පනින්න ඔන්න මෙන්න වෙනකොට සීය මට කතා කළා.   
මහත්තය අර දෙන්න දිහා ඕනෑවට වඩා බලනව මම දැක්ක. මොකද දෙන්නව හඳුනනවද? “සීයටත් ඕන නැති දෙයක් නැහැ. පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නෙ නැතිව මෙතනදීත් අනුන්ගෙ දේවල් හොයනව. නොරිස්සුම් බැල්ම එක්කම මම කට අරින්න හදනකොටම මේ බජාර් එකට අලුතින් ඇවිල්ල සති දෙකතුනක්. මුලින්ම මමත් හිතුවෙ මෙයාල කියන කතන්දරේ ඇත්තක් කියලයි.   


මමත් මේ රාජගිරියෙමනෙ. ඔය හාදය පහුගිය කාලෙ ඔය බුත්ගමුව පාරේ හදාගෙන එන බිල්ඩිමක කුලී වැඩ කළා. රෑ වැඩ දවස්වලට රෑබෝවෙනකොට පාර හැරෙන හන්දියෙම තියෙන ‘පොට්’ එකට එන අය අතරේ මෙයත් හිටිය. හොර පොට් එක කිව්වෙ බිල්ඩින් දෙකක් අස්සෙ පටු අඩි පාරක් වගේ තැනක්. එහා පැත්තෙ තැබෑරුමෙන් ගන්න කාලෙ කුප්පි එක හුස්මට කටතියාගෙන බොන අය එන්නෙ මෙතනට.   
විනාඩියයි දෙකයි බීලා කෙළ තැම්බකුත් ගහල අතින් කට පිහදාගෙන ආයෙක් වැඩපොළට යනවා. ඔව් මමත් ඉතින් හවසට හවසට එතැනට යනව තමයි. දවල් දවසෙ උගුර ලේ රහ වෙනකම් කෑගහල අමාරු නිසා.   
මම ප්‍රශ්න අහන්නත් කලින් උත්තරය ආව. ‘පස්සෙන් පහු මෙයා එතන වැඩට එන එක නතර වුණා. ඊට පස්සෙයි මේ වැඩේ ඇහැගැහුණෙ. ඔය බඩින් ඉන්න ගෑනිගෙ පදිංචිය නම් අඹගහහන්දිය පැත්තෙ. බැඳලද නැද්ද කියල නම් නිච්චියක් නැහැ. හැබැයි කසාද මිනිහනම් ඔය හාදය නෙමෙයි. මොකද කසාද බැඳල නම් දෙන්න දෙපැත්තට යන්න ඕන නැහැනේ. සතියකට දවස් තුන හතරක් මේ වෙලාවට ඇවිත් සල්ලි බෙදාගෙන දෙපැත්තට යනව.   
ඔය හාදය කොළඹ එකෙකුත් නෙවි. ගම්පහ පැත්තෙ. මම උදේ දවල් රෑ තිස්සෙ ඉන්නෙ මේ ඉසව්වෙමයි. මේව මේ හැටි දන්නෙ ඒ නිසයි. මහත්තය උනන්දුවෙන් විපරම් කළ හින්දැයි කතා කළේ. මෙහෙම වුන් නිසා අසරණ අපටත් මිනිස්සු සල්ලි කීයක්වත් දෙන්නේ නෑ.   
පොඩ්ඩක් ඉන්න මහත්තය මේ බස් එක හොඳයි. සීයා එසැණින් මගීන් පිරී ඉතිරී සිටි 175කට රිංගුවේය. මඳ වේලාවකින් සීයාගේ හඬ හා මුසුවන රබානේ ශබ්දය ඇසෙන්නට විය.   
සීයාගේ හෙළිරදව්ව මා ඇසූ දුටු දේ හා කුතුහලය සමග මිශ්‍ර කළෙමි. මේ දෙදෙනා ඇත්තටම අඹුසැමියන් නම් සල්ලි බෙදාගෙන දෙපැත්තකට ගියේ ඇයි. මහරගම අපේක්ෂා රෝහලේ ඉඳල කෙළින්ම රාජගිරිය පැත්තට බස් සේවයකුත් නැහැ. එහෙම එනවනම් ජයවර්ධනපුර රෝහලට එන බසයක ඇවිත් එතැනින් රාජගිරියට එන්න ඕන. එහෙම නැතිනම් මහරගමින් නුගේගොඩට එතැනින් 176 යන්න ඕනෑ.   


යාචකයන් හා යාචක වෙසින් පෙනී සිටින ගැහැනු පිරිමි ආදිය ගැන වසර ගණනාවක මා සතු අත්දැකීම් අනුව නම් මේ අලුත්ම පන්නයක ‘බිස්නස්’ එකක්. මොකද සාමාන්‍යයෙන් අපේ මිනිස්සු බොහොම කරුණාවන්ත උදවිය (හැම අංශයකින්ම නම් නෙමෙයි). තුන්මුනින් දහඩිය පෙරාගෙන බස් රථවල දුම්රියන් තුළ සිඟමනේ යෙදෙන ගැබිනි මව්වරුන් දැක්කම ඒ කරුණාවන්තකම අනුකම්පාව දෙගුණ තෙගුණ වෙනව ඇති. ඉදිරියට නෙරා ආ දරු ගැබ මේ අය තමන්ගේ බිස්නස් එකට ආභරණයක් කර ගන්න බව හැඟෙනකොට අනේ අනිච්චේ කියල හිතෙනව. නූපන් කිරිකැටියාත් හිඟමන් යදින රටක් මේක.   
‘මහත්තය’ සීය ආයෙත් ඇවිත් එයා ගීත ගැයුව බස් රිය හෙමි හෙමින් ඉදිරියට ඇදෙනව. පාපුවරුවෙ එල්ලීගෙනත් සෙනඟ. ඒත් කොන්දොස්තර නම් සෑහීමකට පත්වෙලා නැතුව වගේ. දිගටම කෑගහනව “අඹගහහන්දිය, අයි.ඩී.එච්., කොටිකාවත්ත, කොහිලවත්ත....   
‘සීයට සින්දු කියන්න මෙතැන හොඳ තැනක්. මොකද 175, 150, 176 ගමනාන්ත බස් රථ කොච්චර සෙනඟ හිටියත් අඩුම තරමින් විනාඩි 10ක් වත් රාජගිරියෙ හන්දියෙ නවත්වාගෙන සිටිනවාමයි. ඇතුළෙ හිරවෙලා මිරිකිලා ඇදවෙලා දහඩිය වගුරමින් සිටින මගීන් රියැදුරු කොන්දොස්තරවරුන්ගෙ විතරක් නෙමෙයි බස් මුදලාලිලාගේ හා පොදු මගී සේවාවල වගකීම බාර ආණ්ඩුවේ ඇත්තන්ගෙත් මෑණියන්වරු සිහි කරමින් සිටින අතරේ කොන්දොස්තරවරු නම් තව තවත් මගීන් පුරවා ගන්නෙ තමන්ගේ කර උඩ ගියත් කමක් නැති ගානට. මගීන්ගෙ රස්තියාදුව ගැන මේ අයට වගේ වගක් නැති ගානයි.   
හැබැයි ඉතින් පුද්ගලික බස්රථ අංශයෙන් මගී ජනතාවට වෙන අකටයුතුකම් ගැනනම් කාට කීවත් ඵලක් නැහැ. වගකිවයුතු ආයතනම් හැමදාම බුදි “මහත්තය” සීය ආයෙත් කතා කරව. තවත් ටික වේලාවකදී අපි දෙන්න හිටියේ එහා පැත්තෙ හෝටලයෙ මුහුණට මුහුණ බලාගෙන මේසයක වාඩිවෙලා.   
මොන හේතුවක් නිසාද මන්ද සීයට කන්න යමක් එක්ක තේ එකක් අරගෙන දෙන්න මට හිතුණා. “අද, අඩියක් ගහන්නෙ නැතිද? ‘තව ටිකක් රෑ වෙලා. තවම ජොබ් එක අහවර වුණේ නැහැනේ.   


දවසකට කොච්චර ආදායමක් තියෙනවද? “රු. 1000ක් හමාරක්” හොයන දවස් තියෙනව. සමහරවිට ඊට වැඩියි. බඩේ පාර වදින දවස් ඕන තරම්. තනි මම නේ ඕන දෙයකට ඔට්ටුයි.” මම උපන්නෙ හැදුනෙ වැඩුනෙ මේ රාජගිරියේ, මැදවැලිකඩ. බාල සහෝදර සහෝදරියන් 3 දෙනෙක් ඉන්නව. ඒ අය ඉගෙන ගෙන රස්සාවල් හම්බවෙලා කසාද බැඳල පිට පළාත්වල පදිංචියට ගිහින්. වයස 70, 80 ජීවත්වෙලයි මව්පියන් මැරුණෙ. සහෝදරයන්ට උගත්වලා තැනකට ගේනකොට මගේ හොඳ වයස පහුවෙලා. ඒක නිසා කසාදයක්වත් කරගන්න බැරි හොඳ වයස පහුවෙලා. ඒක නිසා කසාදයක්වත් කරගන්න බැරි වුණා. මමත් සාමාන්‍ය පෙළ වෙනකම් ඉස්කෝලෙ ගියා”   
මම 175 රාජගිරියෙන් යන එන ගොඩක් දවස්වලට සීයව දකිනව. ඔහු බස්රථවලට ඇවිත් ගායනා කරන ගීත ස්වරයටම නැති වුණත් රබානෙන් නැගෙන හඬ ඒ නොහැකියාව ටිකක් අඩු කරනව. ඒත් මා කවුදැයි ඔහු හඳුනන්නේ නම් නැහැ. කතා බහ කළෙත් අදමයි. හැබැයි මේ වෙනකොට සීය මට වුවමනා තැනට ඇවිත් ඉන්නව.   
“මම පුංචිකාලෙ ඉඳලම සංගීතයට කැමතියි. ඉස්කෝලෙදිත් යාළුවො එකතු කරගෙන සිංදු කිව්ව. අන්තිමේ දී මට ජීවත් වෙන්න උදව් කරන්නෙත් ඒ හැකියාවම තමයි   
ඇයි සහෝදර සහෝදරියන් ගෙන් උදව් උපකාර නැතිද?   


පවුල් පන්සල් වුණාට පස්සෙ එයාලට මං ගැන බලන්න තිබුණු උනන්දුව නැතිව ගියා. එක අතකට ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. අඹුදරුවොත් එක්ක එයාලටත් ලෝකයක් තියෙනවනේ. කසාදයක් කර නොගත්ත එකේ අඩුව මට තේරුම් ගියේ එතකොටයි. හැබැයි ඉතින් ඒ හරි ගෑනියෙක් හම්බ වුණොත්. ගොඩක් ගෑනු මිනිහව නැති කරලම දානවනේ.   


සීයා ජීවිතයේ බොහෝ දේ දන්නා පාටය. මම කන්දීගෙන සිටියෙමි. තේ වඩිය හමාර වී ඇතත් අප දෙදෙනා තාම හෝටලය ඇතුළේය. වේටර්වරුන්ද සීයා හොඳින් දැන හඳුනන පාටය.   
මාමෙ අද සින්දු කියන්නෙ නැතිද?   


මේසයෙන් මේසයට යන එන අතරතුර ඔවුන්ගෙන් එකෙක් දෙන්නෙක් විමසති.   
මම ඒ කාලෙත් ජොලියෙන් ජීවත් වුණා. දැනුත් එහෙමයි. දවස තිස්සෙ මහන්සිවෙලා සින්දු කියල හම්බකරන සල්ලිවලින් වරදකට කරන්නෙ හීන් අඩියක් ගහන එක විතරයි. ඒත් අරක්කු කාලයි. මේ පැත්තෙ ගොඩ දෙනෙක් වගේම බස්වල දිනපතා යන එන අයත් මාව දන්නව. අතේ මිටේ තියෙන මුදලින් කීයක් හරි ලැබෙනව.   
මහගෙදර තනියමයි ඉන්නෙ. උයන්න හිතුණොත් උයාගෙන කනව. එහෙම නැතිනම් කඩියටයි මටයි කඩෙන් මොනවහරි අරගෙන යනව ‘කඩිය’ මගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක්.   
“කඩිය මගේ බල්ලනෙ මහත්තයො මගේ තනි නොතනියට ඉන්නෙ ඌ විතරයි. එක අතකට කාටවත් කරදරයක් නොවී මෙහෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන එකත් ලොකු දෙයක් නේ. දැන් මට වයස 70ක්. ඔහු ආඩම්බරයකින් වගේ එහෙම කිව්වෙ. “අද ආදායම” මම ඔහුට කට පියාගෙන ඉන්න දෙන්නේම නැත.   
රුපියල් දාහක් විතර හොයාගත්ත මේ ඇති දැන් ඉතින් කඩියට කෑම අරගෙන කාලක් ගහලා ගෙදර යනව. හැමදාම එන්නෙත් නෑ මහත්තයෝ. වහින දවස්වලට ගෙදරටම වෙලා ඉන්නව. මම ඉතින් කාට කන්න බොන්න දෙන්නද? කඩියයි මමයි විතරනේ”   


ඇයි ඉතින් කසාද බඳින්න හිතුවෙ නැත්තෙ? “මම කලිනුත් කිව්වනේ සහෝදර සහෝදරියන්ට උගන්වලා ජීවිතේ තනිවම ගෙන යන්න උදව් කරල ඉවරවුණාට පස්සෙ මගේ හොඳ වයස ගිහින්. ඒ කාලෙ නම් ප්‍රේම සම්බන්ධ එකක් දෙකක් තිබුණා. ඒවත් අකාමකා ගියා. කෙස්ස සුදුවුණාට පස්සෙ දීග එන ගෑනි කවුද මහත්තයෝ.   
එහෙම කියලා සීය මා දිහා ‘බැලුවෙ එහෙනම් ඉතින් මම යන්නද?’ කියලා අහන්න වගේ. ඒ වෙනකොට කාසල් මාතෘ රෝහලට ඉහළින් අහසේ පැත්තකට වෙන්න හඳ ඉරුවක් පායලා තිබුණේ පසළොස්වක පෝය ළඟයි කියල මතක් කරල දෙන්න වගෙයි. මගේ එදා ගමනේ අරමුණ අර යාචක යුවලගේ පස්සෙන් වැටණු නිසා මගහැරී ගිහින්. සීයාගෙන් සමු අරගෙන නිවසට යන්නට හිතාගෙන මගීන් ගෙන් පිරී ඉතිරී තිබූ 175 කට ගොඩවුණා. 

 
ඊළඟ දවසෙ හවස් වරුවෙ මම සුපුරුදු චාරිකාව ආරම්භ කළා. කොටුවෙ දුම්රියපොළ අන්තයෙන් පිටකොටුව පැත්තට. මෑත කාලය පුරාවටම උද්ඝෝෂකයන්ගෙනුයි, උපවාසකරුවන්ගෙනුයි ඉවරයක් නැති සටන් පාඨ අට අනූවක් දුක් ගැනවිලි, ඉල්ලීම් ඇහිල හෙම්බත් වුණු ගානට ශ්‍රීමත් හෙන්රි ඕල්කට්තුමාත් තෝන්තුවෙන් වරාය පැත්ත බලාගෙන ඉන්නව වගෙයි මට පෙනුණෙ. එහෙට මෙහෙට යන එන මිනිස් පොදිය අස්සෙන් තල්ලුවෙමින් පැමිණ ගුණසේන පොත් සාප්පුව අසල ඉබේටම වගේ නතරවුණා.   
මහත්තයා කොහොමද? කරට අතක් තැබුණ. හැරී බලද්දී දුටුවෙ කලින් වතාවකදී මේ ලිපි පෙළේම එක චරිතයක් වූ පදික වෙළෙන්දා සේකර්. අදත් ‘කවුරු හරි ඕනද දෙන්නම් සුපර් බඩු ජීවිතේ ගොඩයන්න හෙම්බත් වන මිනිස්සු.   
‘ඒයි මෙහෙට ඩිංගක් වරෙං’ මේ අපේ මහත්තයත් එක්ක ටිකක් කතා කරපං.” කීව සැණින් මැදි වයසෙ අහිංසක පෙනුමකින් යුත් වෙළෙන්දෙක් මගේ ඉදිරියට ඇවිත් බොහොම ළෙන්ගතු විදියට හිනාවුණා.   
ඔහු අජිත් ජයතිස්ස. වයස අවුරුදු 59යි. ජීවිතයේ දෙවැනි තරුණ සමය නිරන්තරයෙන්ම අව්‍යාජ සිනාවකින් මුව සරසාගෙන එක එක පාට පලාස්ටික් දැල් කූඩ ගොඩක් මැද   
එන්න ලාබයි ගන්න කඩේ 200යි මම දෙන්නේ 150යි.”   
කොහොමද අද බිස්නස් එක.   
අවුලක් නැහැ. කෑලි 30ක් විතර විකුණ ගත්ත. හැමදාමත් මේවද විකුණන්නේ. නැහැ එදිනෙදා තත්ත්වෙ බලල අහුවුණු දේ විකුණනව. කාලෙකට රෙදි බිස්නස්. තවත් කාලෙදි ඉන පටි, මේස්. මේ වගේ හැම දෙයක්ම.   


මම පේව්මන්ට් එකට වැටුණෙ වයස 16 දී. උපන්නෙත් මේ ගෙන්දගම් පොළොවෙ මාලිගාවත්තෙ. ඉහළට ඉගෙන ගත්තෙ නම් නැහැ. ඉබේටම වගේ පොඩි කාලෙ ඉඳලම වෙළෙඳාමට හුරුවුණා. මේ ජීවිතේට දැන් අවුරුදු 46ක් වෙනව. එදා ඉඳලම අනාගතයක් කියලා දෙයක් තිබුණේ නෑ. එදිනෙදා හම්බකරගෙන එදිනෙදා ජීවත් වුණා. කසාදයකුත් කර ගත්ත. එයාගෙ ගම මහනුවර. දරුවන් තුන්දෙනයි. වැඩිමලා දුව. බාලයත් දුව. පවුලෙ දෙවෙනියා පුතා. දෙන්නෙක් තාම ඉස්කෝලෙ යනව නුවර. වැඩිමල් දුව නම් ඉගෙන ගෙන ඉවරයි. රස්සාවකට යන්න තමයි සූදානම. ඒත් තවමත් හරි හමන් රැකියාවක් ලැබුණේ නෑ.   
දරු පවුලම රැකෙන්නෙ මම හරි හම්බකරන මුදලකින් තමයි. සතියකට හමාරකට නුවර යනවා. මේක තමයි ජීවිතේ. ඔහු නැවතත් පෙර සුපුරුදු අවිහිංසක සිනාවෙන් මා දෙස බලයි.   
ඉතින් මේ ඔක්කොම කරන්න බිස්නස් එකෙන් ලැබෙන මුදල ඇතිද? මම ඒ ප්‍රශ්නය එළියට දැම්මෙ ලැබෙන උත්තරය නොදැන නෙමෙයි. ඒත් ඒක අජිත්ගෙන්ම දැනගන්න මට උවමනා වුණා.   


හැමදාමත් එකම විදියට ලාබ ගන්න බැහැ. අමාරුවෙන් තමයි ජීවිත ගැටගහගන්නෙ. දරුවන්ගෙ ඉගෙනීමට නම් අඩුවක් වෙන්න ඉඩ හරින්නෙ නැහැ. ඒ ඒ අයව උස්මහත් කරල මේ තත්ත්වයට ගන්න මමයි, බිරිඳයි දුක් කන්දරාවක් වින්ද. දරුවො හොඳට ඉගෙන ගන්නව දකිනකොට හිතට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්.   
මම මත්පැන්, සිගරැට් පාවිච්චියක් නැහැ. තුන්වේල කෑම හැරුණම හම්බකරන හැම සතයක්ම ගෙදර වියදමට තමයි.   
අවුරුදු 46ක් පේව්මන්ට් එකේ? පදික වෙළෙන්දන්ට රජයෙන් දෙන කඩ කෑල්ලක්වත් ලැබුණේ නැතිද? බිස්නස් එක අතරතුරදීම මම තවත් පැනයක් ඔහුට යොමු කළා.   
ඒව ගැන කතා කරල වැඩක් නෑ මහත්තය. අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබුණේ කවදද? ඔහු මටද ප්‍රශ්නයක් යොමු කළා. අර අවිහිංසක සිනාව ආයෙත්.   
එකවතාවකදී කඩ කෑල්ලක් ලැබුණා. එතන සෙනඟ ගැවසෙන්නෙ නෑ. බිස්නස් වැටුණ. තවදුරටත් එතන හිටිය නම් වෙළෙදාම අතහරින්නයි වෙන්නෙ. ඒ නිසා අායෙත් පිටකොටුවට ආවා.   


එකවරම සෙනඟ ගොඩ අතරින් මතු වූ කළු කෙසඟ මිනිසෙකු විකිණීම සඳහා පදික වේදිකාවේ අයිනක ගොඩගසා තිබූ සපත්තු ගොඩක් එහෙට මෙහෙට විසුරුවා දමමින් බෝගස අසලින් පටන් ගන්න ලොරි කුණු, මඩ නාට්ටාමින්ගෙන් පිරුණු හරස් වීදියේ නොපෙනී ගියේ අසුරු සැණෙකිනි.   
එම පුද්ගලයා පසුපස එළවාගෙන පැමිණි හතර පස් දෙනෙකු මඳ වේලාවකින් නැවත බෝගස අසලට ඇවිත් නතර වී වටපිට බැලුවේ හති හලමින්.   
අනේ මහත්තයෝ කර්ටන් ගන්න ගෙනාව සල්ලි රු. 40,000ක් අරූ අරන් පැන්න. බුදු මහත්තයෝ දැන් මම කොහොමද ආපසු ගෙදර යන්නෙ? අනේ මගෙ ලොකු දුව දුක් විඳල අමාරුවෙන් ඉතිරි කළ සල්ලි මූට නම් වැහි නැති හෙණ ගහන්න ඕන”   


කලිසමකින් හා කමිසයකින් සැරසී හුන් මැදි වයසේ පුද්ගලයෙකු අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පැමිණිල්ල ඉදිරිපත් කළේ කඳුළු සලමිනි. ඔහුගේ කතාවේ හැටියට මේ පුද්ගලයා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹට පැමිණ ඇත්තේ තම වැඩිමහල් දියණිය අභිනවයෙන් ආරම්භ කරන රූපලාවන්‍යාගාරය හැඩ කිරීමට අවශ්‍ය තිරරෙදි කීපයක් ගෙනයාමේ අභිප්‍රායෙන් පෙර දිනෙක පිටකොටුව කෙළින් වීදියේ තිර රෙදි කඩයකට පැමිණ ඇති දියණිය අවශ්‍ය කරන වර්ණයෙන් උවමනා ප්‍රමාණයට රෙදි තෝරා ගානට මිම්මට ඒවා මැසීමටද පවරා අත්තිකාරමක්ද ගෙවා ගොස් නියමිත දිනයේදී ඉතිරි මුදල් ද සමග තම පියා එවා තිබුණේ තිර රෙදි රැගෙන යාමටයි.   
අනේ මහත්තයෝ මම කොටුව ඉස්ටේෂම ළඟදී බස් එකෙන් බහිනකොට මේකා පර්ස් එක ඩැහැගත්ත මම උගෙ අතින් ඇල්ලුවත් ආඳා වගේ ලිස්සල පැනගත්තා.   
දැන් ඉතින් ඒ සල්ලි ආයෙත් හම්බවෙනව බොරු. ඔය වගේ සිද්ධි ඕන තරම්. ඕක ආයෙත් අද දවසට එළියට එන්නේ නෑ. ආවත් එන්නෙ වෙස් මාරු කරගෙන වැදගත් පෙනුමට නියම මහත්තයෙක් වගේ. පව් අහිංසකයගෙ සල්ලි. අපිට මේවට මැදිහත් වෙන්න බෑ. එහෙම කළොත් හොරා හෙට උගේ ගැන්සියත් එක්ක ඇවිත් දැලි පිහියෙන් දිගට හරහට ඇදල වෙළෙදාම් කරන බඩු ටිකත් කුඩු කරලාදාවි.   


මේ සාවියෙ උන් ඒ තරමටම බලවත්. ඔය පොකට් එකේ තියෙන මුදල් වලින් ඕක කරපු එකාගෙ අතට එන්නෙ වැඩිම වුණොත් රු. 3000යි. ඉතිරි මුදල ගැන්සියෙ නායකයට. ඒක තමයි පිටකොටුවෙ ක්‍රමය. ඌ ඔය සල්ලි කුඩුවලට හරි අරක්කුවලට හරි වියදම් කරනව. එච්චරයි. දුර ගමන් වගේම කොළඹ අවට දුවන පුද්ගලික බස් රථවල වැඩ කරන සමහර කොන්දොස්තරවරුනුත් මුන්ව හොඳහැටි අඳුනනව. සමහර කොන්දොස්තර මගීන්ට ඉඟියක් දෙනව වැඩි දෙනා කට පියාගෙන ඉන්නෙ දැලිපිහිපාරකින් කට කපාගන්න බැරිනිසා.   
අජිත් ලොකු කතාවක් ලුහුඬින් කියා හමාර කළා. පොලිස් නිලධාරියෙක් මුදල් අහිමි වූ පුද්ගලයාද කැටුව ගුණසිංහ පුර පොලිස් ස්ථානය පැත්තට ගියේ පැමිණිල්ල ලියාගන්න වෙන්න ඇති. රූපලාවන්‍යාගාරය විවෘත කරන්න හිත දෝරෙ ගලන සතුට මැද තිරරෙදි සමග පියා නිවසට පැමිණෙන තුරු මග බලාගෙන ඉන්න ලොකු දෝණිව ඒ අසරණ තාත්තාට මැවිලා පෙනෙනව ඇති. “මේ දරුණු ගෙන්දගම් පොළොවෙන් මිනිස්කම පලා ගිහින් හුඟක් කල් තාත්තෙ” කියලා මට කෑගහලා කියන්න හිතුණා. ඒත් ඒ වචන එළියට පැන්නෙ නෑ.   


කලබලය ඉවරයි. අයෙත් පදික වේදිකාවෙ වෙළෙඳ කලබලය පටන්ගෙන අජිත් ඇතුළු පිරිස ඉක්මනින් කොළඹ වට කරන හැන්දෑවට කලින් තවත් රුපියල් කීපයක් හොයාගන්න ​වෙරදරනව. මමත් ආපහු හැරෙන ගමන් කලිසම් සාක්කුව අතගාලා බැලුවෙ මගේ මුදල් පසුම්බියත් එහි ඇති දැයි දැනගන්න. හැබැයි ඒක හොරකම් කරන එකානම් ආපහු ඇවිත් ඒ තවත් ගානකුත් එක්ක මට ආපහු දීලා බැනලත් යාවි. ඒ මගේ පර්ස් එක අස්සෙ තියෙන සිල්ලර කාසි ටික දැකල.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර