ලංකාවේ පස්වැනි ජනාධිපති නීතිඥවරිය ඇයයි

නීතිඥ වෘත්තියේදී ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන්නේ රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කෙරෙන ජනාධිපති නීතිඥ ධුරයක් හිමිකර ගැනීමය. නීතිඥ වෘත්තියෙහි යෙදී සිටින සිමීත පිරිසක් වාර්ෂිකව මේ ගෞරවනීය තනතුරට හිමිකම් කියති.   


දීර්ඝකාලීන සේවා පළපුරුද්ද, නීතිඥ වෘත්තියේදී ඉටුකර ඇති සමාජ මෙහෙවර, නීතිඥ වෘත්තියෙන් ලබා ඇති ප්‍රසිද්ධිය ආදී කරුණු රැසක් පිළිබඳව ඇගැයීමට ලක්කරමින් ජනාධිපති නීතිඥ ධුරය ප්‍රදානය කරනු ලැබේ.   


වයස අවුරුදු අසූව ද ඉක්මවා ගොස් සිටියදී වුවද තවමත් ඉතා දක්ෂ ලෙස හැකියාවෙන් පිරිපුන්ව නීතිඥ වෘත්තියෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් පසුගියදා ජනාධිපති නීතිඥ ධුරයකින් පිදුම් ලැබුවාය.   


මෙහි විශේෂත්වය වෙන්නේ වයස අවුරුදු අසූව ඉක්මවා සිටියදී මෙන්ම වයඹ පළාතේ ජනාධිපති නීතිඥ ධුරයකින් පිදුම් ලද මෙරට ප්‍රථම සහ එකම කාන්තාව ඇය වීමය. එමෙන්ම දීර්ඝ කාලයකට පසුව මෙරට ජනාධිපති නීතිඥ ධුරයකින් පිදුම් ලැබූ ප්‍රථම කාන්තාව ද ඇය වීමත් විශේෂත්වයකි.   


මේ අපූරු ජනාධිපති නීතිඥවරිය නමින් චින්තාමනී මූණමලේ බලල්ලය. නැතිනම් නීතිඥ චින්තා බලල්ලය. වඩාත් ප්‍රකට වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතාගේ ප්‍රිය බිරිඳ ලෙසය. බලල්ල මහතා වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී ඇය ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් ⁣වශයෙන් කටයුතු කළාය.   
එක්දහස් නවසිය තිස්අටේ අප්‍රේල් මස දහහතර වැනිදා කැබිතිගොල්ලෑවේදී උපත ලැබූ බලල්ල මහත්මියගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරු වූහ. පියාවන ජෝන් අප්පුහාමි ඒකනායක මූණමලේ ⁣කැබිතිගොල්ලෑව විදුහලේ මුල් ගුරුවරයා විය. මව වූ වික්ටෝරියා ඒකනායක මූණමලේ ද එම විදුහලේම ගුරුවරියක වූවාය. දෙමාපියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව මූණමලේ වුවද දෙමාපියන් ගුරුවරුන් ලෙස කැබිතිගොල්ලෑවට ගොස් සිටියදී චින්තා බලල්ල එම ප්‍රදේශයේදී උපත ලැබුවාය.   
පිරිමි දරුවන් තිදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක ඇය දෙවැනි දරුවා වූවාය. මූලික අධ්‍යාපනය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලෙන් ලැබූ ඇය උසස් අධ්‍යාපනය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලෙන් ලැබුවාය. මේ අතර කාලයේදී උසස් පෙළ අවසාන වසරේ අධ්‍යාපන කටයුතු ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලෙන් හැදෑරීමටද සිදුවිය.   


උසස් පෙළ සමත් වීමෙන් පසුව 1959 වසරේදී බමුණාකොටුව මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස පත්වීමක් ලද චින්තා බලල්ල එහි වසර දෙකක් සේවය කිරීමෙන් අනතුරුව තමන් අධ්‍යාපනය ලද ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලේම ගුරුවරියක ලෙස සේවය කිරීමට තරම් වාසනාවන්ත වූවාය. එක්දහස් නවසිය හැට දෙකේ වසරේදී ඇය නීතිඥවරියක වීමේ අරමුණින් නීති විද්‍යාලයට ඇතුළත් වූවාය.   


“මුල් කාලයේ ඉඳලාම මගේ පියාට වුවමනාව තිබුණේ මාව නීතිඥවරියක කරන්න. අපේ පවුලේ බාප්පා කෙනෙක් විතරයි නීතිඥවරයෙකුට හිටියේ. මගේ පියාට නක්ෂත්‍රය ගැනත් දැනුමක් තිබුණා. මගේ හඳහන බලලා පියා කීවා මට නීතිඥවරියක් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා. මම ගුරු වෘත්තියට කැමැති වුණත් පියාගේ ආසාව ඉෂ්ට කරන්න නීති විද්‍යාලයට ගියාට පස්සේ මට ඒ ක්ෂේත්‍රය ගැන ආසාවක් ඇතිවුණා.


මම 1967 ජූලි 08 වෙනිදා නීතිඥවරියක් විදිහට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දුන්නා. මම කොළඹ මාස හයක් විතර වැඩ පුරුදු වෙලා ඊට පස්සේ කුරුණෑගලට ඇවිල්ලා කෙළින්ම අපරාධ නඩු සඳහා පෙනී සිටීමට පටන් ගත්තා. ඒ වගේම මම ගොඩාක් කැමැති වුණා ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න.   


මගේ නීතිඥ ජීවිතයේ අවුරුදු 43 ක්ම මම පෙනී සිටියේ අපරාධ නඩු සඳහායි. මගේ මහත්තයා වගේම දුවත් නීතිඥවරු. ඒ දෙන්නාම පෙනී සිටියේ සිවිල් නඩු සඳහායි’’.   
චින්තා බලල්ලට ඇගේ අනාගත ඉරණම්කරු මුණ ගැසෙන්නේ 1970 වසරේදී කුරුණෑගලදීය. නීතිඥවරයෙකු වූ තිස්ස ආර්. බලල්ල මහතා ද ඒවනවිට කුරුණෑගල අධිකරණයේ කටයුතු කරමින් සිටියේය. මෙහිදී දෙදෙනා අතර ඇති වූ දැන හැඳුනුම්කමක් පසුව විවාහය දක්වාම දුරදිග ගියේය.   


බලල්ල මහතා ඒ වකවානුව වෙනවිට දේශපාලනයට සම්බන්ධ වී සිටි අතර 70 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළේය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලම දේශපාලනඥයකු වූ යූ.බී. වන්නිනායක මහතාය. වන්නිනායක මහතා එක් පැත්තකින් කුරුණෑගල මලියදේව විදුහලේ බලල්ල මහතාගේ විදුහල්පතිවරයා වූ අතර තවත් පැත්තකින් ගමේ මාමා කෙනෙකු ද විය. හැටපහ වසරේ පැවැති මහා මැතිවරණයෙන් වන්නිනායක මහතා හමුවේ පරාජය වුවද හැත්තෑවේ මැතිවරණයෙන් වන්නිනායක මහතා පරාජය කිරීමට බලල්ල මහතා සමත්විය.   


මේ මැතිවරණය මේ යුවළගේ විවාහයට ද එක්කළේ අමතක නොවන සිදුවීමකි. මේ මැතිවරණයට නාමයෝජනා දීමට දින දෙකකට පෙර දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කෙරිණි. මැතිවරණ උණුසුම නිසාම දෙදෙනාගේ විවාහ ඡායාරූපයක් ගැනීම සිදු නොවීමද විශේෂත්වයකි. මැතිවරණ ජයග්‍රහණය නිසාම මංගල ඡායාරූපයක් ගැනීම අතපසු වූ අතර ඉන් පසුව එය ගැනුණේම නැත. පසුව දෙදෙනා එක්ව සාමාන්‍ය ඇඳුමෙන් ගන්නා ලද ඡායාරූපය අදට ද ඔවුන්ගේ විවාහයේ සිහිවටනය වී තිබේ.


“මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන ගමන්ම නීතිඥ වෘත්තියෙත් යෙදුණා. ලොකු පුතා තුසිත හැත්තෑව අවුරුද්දේම ඉපදුනා. දුව තුෂාණී හැත්තෑ දෙකේ ඉපදුනා. පුතා දැනට විදේශ රටක ස්ටාර්ටඩ් චාර්ටඩ් බැංකුවේ උසස් තනතුරක් දරනවා. දුව සොලිසිටර් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ සේවය කරනවා. පුතාත් ඒ රටේම පදිංචි වෙලා ඉන්නවා.


නීති අාධාර කොමිසම හැම වෙලාවේම නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ඒකෙන් ඉදිරිපත් කරන නඩුවලට පෙනී සිටින්න කියලා. මේ වාගේ නඩුවලට ඉදිරිපත් වුණාම සුළු මුදලක් ගෙවනවා. නමුත් මම කිසිම මුදලක් ලබාගන්නේ නැතිව නීති ආධාර කොමිසමේ නඩු පන්සීයකට වැඩිය නොමිලේ පෙනී සිටියා. මගේ ඒ සේවාව අගය කරලා එවකට හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මට උපහාර තිළිණයක් පවා ප්‍රදානය කළා. හිටපු අගවිනිසුරුතුමාත් නීතිඥවරයෙකු විදිහට දිවුරුම් දුන්නේ මාත් එක්කමයි.   
සරත් සිල්වා මහත්තයාට අමතරව නැසීගිය හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක සහ එතුමාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක අපි එකම කණ්ඩායමේ අය. නැසීගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය, උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මගේ සමකාලීනයෝ විදිහට හිටියා.   


මහත්තයාගේ ගම මහව, බලල්ල නිසා මම විවාහ වෙලා කාලයක් ගියාට පසුව නීතිඥ කටයුතු සඳහා මහව අධිකරණය තෝරා ගත්තා. මහත්තයා යාපහුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට කටයුතු කරපු නිසා ඒ පැත්තට සේවයක් කිරීම හොඳයි කියලා අපි දෙන්නම සිතුවා. එදා ඉඳලම මම අදටත් මහව, ගල්ගමුව, නිකවැරටිය අධිකරණවල කටයුතු කරමින් සිටිනවා. ගම්සභා උසාවියේ ඉඳන් ප්‍රාථමික සහ දිස්ත්‍රික් උසාවි දක්වා වන අධිකරණ ගණනාවක මම වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. ඒ විදිහට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටයුතු කරලා තියෙන එකම නීතිඥවරියත් මම විතරයි.”   


නීතිඥ වෘත්තියේ යෙදී සිටියදීම තම සැමියාගේ දේශපාලන කටයුතුවලට ද සහාය ලබාදුන් චින්තා බලල්ල මහත්මිය දීර්ඝ කාලයක සිට අදට ද මලිය⁣දේව බාලිකා විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරිය ලෙස කටයුතු කරමින් සිටියි. මීට අමතරව තමන් අධ්‍යාපන ලද කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සහ ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල් ආදි ශිෂ්‍ය සංගම්වල ද සභාපති ධුරය දරා ඇත. මෙම පාසල් තුනෙන්ම බිහි වූ ප්‍රථම නීතිඥවරිය සහ ජනාධිපති නීතිඥවරිය ලෙසද බලල්ල මහත්මිය වාර්තාවක් තබා ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයඹ පළාත් කාන්තා සංවිධානය ද මෙහෙයවා ඇති බලල්ල මහත්මිය සමස්ත ලංකා කාන්තා නීතිඥ සංගමයේ සහ මහව නීතිඥ සංගමයේ සභාපතිවරිය ලෙසද, ඇතුගල්පුර රොටරි සමාජයේ සහ ඊට අනුබද්ධ ඉනර්වීල් සංගමයේ නිලතල ද දරා ඇත. මීට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන රැසක නීති උපදේශිකාව ලෙස සේවය කරන ඇය ප්‍රකට මූල්‍ය සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද කටයුතු කරමින් සිටින්නීය. මේ වනවිට වයස අවුරුදු 80 ක් වුවද ඇය ඒ වයෝවෘද්ධභාවය ගණනකට නොගෙන ක්‍රියාශීලීව මේ සියලු කටයුතු කරන ආකාරය නම් අපූරුය. එසේම අන් අයටද මනා ආදර්ශයකි.   


“මම හැම වෙලාවෙම අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි නෑ බෑ නොකියන එක. හෙට කරන්නම්, පස්සේ කරන්නම් කියන කම්මැළි ප්‍රතිපත්ති මම අනුගමනය කරන්නේ නැහැ. මම නීතිඥ වෘත්තියෙනුත් තෘප්තිමත්. සමාජ සේවයෙනුත් තෘප්තිමත්. මම ගොඩාක් වයසට ගිය කෙනෙක් වුණත් අදටත් මම තරුණ කෙනෙකුට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. කිසිම වෙලාවක මට මහන්සියක් කම්මැළිකමක් දැනෙන්නේ නැහැ. අදටත් ලැබෙන සෑම අවස්ථාවකම මම මගේ කණ්ඩායමත් එක්ක ඈත දුෂ්කර ගම්මානවලට ගිහින් ජනතාවට උදව් උපකාර කරනවා. දුෂ්කර පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් උපකාර කරනවා. මේවායින්ද මම විශාල තෘප්තියක් ලබනවා. මේ සඳහා මගේ මහත්තයා ලබාදෙන සහාය නම් වචනවලින් කියන්න බැරි තරම්. මගේ දරුවෝ දෙන්නත් පිටරට ඉඳන් මේ කටයුතුවලට මට ගොඩාක් උදව් කරනවා.” 


ඔබ කොහොමද ජනාධිපති නීතිඥ ධුරයකට නිර්දේශ වුණේ අපි විමසුවෙමු.   


“ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දන්වා යවලා තියෙනවා ජනාධිපති නීතිඥ තනතුරු ලබා ගැනීමට සුදුසු අයට ඉල්ලුම් කරන්න කියලා. නීතිඥ සංගමය ඒ බව අපිටත් දැනුම් දුන්නා. මාත් අඛණ්ඩව අවුරුදු 50 ක්ම නීතිඥ වෘත්තියේ යෙදිලා සිටිය නිසා මහත්තයා මට කීවා ඔයත් මේකට ඉල්ලන්න කියලා. ජනාධිපතිතුමාට යවා තිබුණු ඉල්ලුම්පත්‍ර අතරින් 25 ක් තෝරාගෙන තමයි ජනාධිපති නීතිඥ තනතුරු ප්‍රදානය කරලා තිබුණේ. මාත් ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා තිබුණා. මේ විසිපහෙනුත් පළමුවැනියාට තේරිලා හිටියේ මමයි.   


මම අවුරුදු 50 ක් වැනි දීර්ඝ කාලයක් නීතිඥ වෘත්තියටත් සමාජයටත් ඉටුකරලා තිබුණු සේවය අගය කරලා තමයි ජනාධිපතිතුමා මට ජනාධිපති නීතිඥ ධුරය පිරිනමලා තිබුණේ. ලංකාවේ පළමුවැනි ජනාධිපති නීතිඥවරිය තමයි මොරීන් සෙනෙවිරත්න මහත්මිය. ඊට පස්සේ ශාන්තිනී කියලා යාපනයේ නීතිඥවරියක් පත්වුණා. මම තමයි ලංකාවේ පස්වැනි ජනාධිපති නීතිඥවරිය. හැබැයි වයඹ පළාතෙන් පත්වුණු පළමු ජනාධිපති නීතිඥවරිය වගේම ලංකාවේ වයසින් වැඩි ජනාධිපති නීතිඥවරියත් මමයි. බොහෝම කාලයකට පසුව තමයි කාන්තාවකට මේ තනතුරක් ලැබුණේ. මාත් සමග කුරුණෑගල එස්.ටී. ජයනාග සහ චන්ද්‍රා ජයසේකර කියන මහත්වරුත් මේ පාර ජනාධිපති නීතිඥවරුන් විදිහට පත්ව සිටිනවා.   


මේක ගෞරවනීය තනතුරක්. විශේෂ වරප්‍රසාද මොනවත් නැහැ. නීතිඥ වෘත්තියේදී වගේ නොතාරිස් සේවයේ වගේ ඔප්පු ලිවීම කරන්න බැහැ. නඩුවලට කෙලින්ම ඉදිරිපත් වෙන්න බැහැ. නීති උපදේශකවරයෙකු විදිහට පෙනී සිටින්න පුළුවන්. නමුත් අධිකරණ ක්ෂේත්‍රයේ වගේම සිවිල් සමාජයේත් විශාල පිළිගැනීමක් මේ තනතුරට තිබෙනවා.   
අධිකරණයේ මම කරගෙන ආව කටයුතු බොහෝමයක් මගේ ඥාති දරුවෙක් බොහෝම හොඳට කරගෙන යනවා. ඒ අතරතුර අධිකරණයේ විභාග වෙන නඩුවලට මම පෙනී සිටිනවා. අත්‍යවශ්‍යම ඒවාට පමණක් මම දැන් පෙනී සිටිනවා. මොකද දැන් මම ගොඩාක් වයසයි. අපි කරපු වැඩ දැන් ඉන්න තරුණ පරපුරට බාරදිය යුතුයි.   
ඉස්සර කාලයේ තිබුණු ගෞරවනීය තත්ත්වය ඇත්තටම අද අධිකරණ ක්ෂේත්‍රය තුළ හුඟාක් දුරට අඩුවෙලා තියෙන බව පේනවා. ඒකට බලපාලා තියෙන එක් හේතුවක් තමයි වර්තමානයේ පත්වෙලා එන කනිෂ්ඨ නීතිඥවරු වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු නොකිරීම. බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මුදල දිහා බලාගෙන. අනෙක් කරුණ තමයි රටේ දේශපාලනය අපේ අධිකරණ ක්ෂේත්‍රයට ඇතුළු වෙලා වැඩියි. ඉස්සර එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මගේ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කාලයේ අධිකරණයට ඇවිත් නඩුවලට පෙනී සිටියත් එයා මන්ත්‍රීවරයෙක් කියලා කිසිම අවස්ථාවක පෙන්නන්න උත්සාහ ගත්තේ නැහැ. කාටවත් බලපෑම් කළෙත් නැහැ. නමුත් අද එවැනි තත්ත්වයක් පෙනෙන්න නැහැ.   


කනිෂ්ඨ නීතිඥවරුන්ට මම හැමදාමත් දෙන පණිවුඩයක් තමයි වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කළොත් මහජන ගරුත්වය ඔබ කරා ඉබේම එයි කියන එක. තමන් කරා එන සේවාදායකයා තෘප්තිමත් වන ආකාරයට සාධාරණ සේවාවක් ලබාදිය යුතුයි. ඒ වගේම ඇඳුම් පැලඳුම්වලින් කතා බහෙන් හැසිරීමෙන්ද වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කළ යුතුයි. දැන් බොහෝ දෙනා මුදල දෙසම බලනවා මිසක් වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කරනවා අඩු බව පෙනෙන්න තියෙනවා. ඒ පිළිබඳව කනගාටුවක් දැනෙනවා.   


අපි දෙන්නාම දැන් ගොඩාක් වයසයි. මේ දිගු කාලයට නීතිඥ වෘත්තියෙන් රටට ජනතාවට පුළුවන් උපරිම සේවයක් කරලා තියෙනවා. තවත් පුළුවන් තාක්කල් ඒ සේවය කරනවා. මම ඉටු කරපු ඒ සේවයට ලැබුණු මේ ජනාධිපති නීතිඥ තනතුර මට බොහෝම වටිනවා..” යනුවෙන් චින්තා බලල්ල මහත්මිය අවසන් වශයෙන් පැවසුවාය.

 


සේයාරූ හා සටහන
පුෂ්පකුමාර ජයරත්න