ලංකාවට ආවේණික ඇස් කණ්ණාඩිය මෙයයි

ඉපැරැණි දියතරිප්පු ඇස් කණ්ණාඩි කුට්ටමක්

 

 

 

ශ්‍රී ලංකාවට ආවේණික වූ කණ්ණාඩි විශේෂයකි “දියතරිප්පු” කණ්ණාඩිය. මෙය වසර 800ක පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. රජ දවස මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි විශේෂය භාවිත කළ අතර මේවා නිෂ්පාදනය සඳහා වෙනම ජන කොට්ඨාසයක් සිටි බවත් ඔවුන් මේ වනවිට අභාවයට ගොස් ඇති අතර ජීවත්ව සිටින්නේ ඔවුන්ගේ අටවැනි පරම්පරාවයි. මෙම කර්මාන්තය අභාවයට නොයා එය රැක ගැනීමේ වගකීම පැවැරී ඇත්තේ එම අටවැනි පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාටයි.


“පරම්පරා 8කටත් පමණ ඈත අපේ අත්තා, මුත්තා, පනත්තා, කිරිකිත්තලාගේ කාලයේ ඉඳලා තමයි මේ කර්මාන්තයේ නියැළිලා තිබෙන්නේ. අපේ මුත්තලා හතරවැනි බුවනෙකබාහු රජතුමාට මේ දියතරිප්පු කණ්ණාඩි හදලා දීලා තිබෙනවාලු.


රජතුමා ඇම්බැක්කේ, ගඩාලදෙණිය හා ලංකාතිලක දේවාලවල කැටයම් බලන්න යනකොට ඇසේ දුර්වලතාවක් නිසා ඒවා හරි හැටි පෙනිලා නැහැ. පස්සේ අපේ මුත්තලා මීමුත්තලා තමයි රජතුමාට මේ කණ්ණාඩි හදලා දීලා තිබෙන්නේ. ඒකට උදව්වක් වශයෙන් අපේ මීමුත්තලාට අක්කර 16ක භූමියක් තෑගි වශයෙන් පිරිනමලා තිබෙනවා. අදටත් අපි ජීවත් වෙන්නේ ඒ ඉඩම්වල. මගෙන් පස්සේ පරම්පරාගත මේ කර්මාන්තය ගෙන යන්න ඉන්නේ මගේ පුතුන් දෙදෙනා තමයි.”

 

කණ්ණාඩි සඳහා භාවිත කරන පළිඟු විශේෂයක්

 


ප්‍රශ්නය - මේ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවා ද?


පිළිතුර - මේවාට භාවිත කරන්නේ තිරිවාණා වගේ ගල් විශේෂයක්. ඒවා දැන් හොයාගන්න නැහැ හිඟයි. රත්නපුරේ පැත්තෙන් තමයි අපි අරන් එන්නේ. ඒවා සියුම්ව කපන්නේ විශේෂිත වූ කටුවකින්. ඒකත් තිබෙන්නේ රත්නපුරේ පැත්තේ. මේ කණ්ණාඩි නිපදවන්නේ අපේ අතින්ම තමයි. දැන් වගේ ප්ලාස්ටික් භාවිත කරලා නවීන විදිහට හදන්නේ නැහැ. ඒ නිසා එක කණ්ණාඩියක් හදන්න දවස් කිහිපයක් යනවා. අමුද්‍රව්‍ය සොයා ගැනීම තමයි අපට මූලික ගැටලුවක් වෙලා තිබෙන්නේ.


ප්‍රශ්නය -මේ කර්මාන්තය සඳහා ඔබ යොමු වුණේ කොහොම ද?


පිළිතුර - අපේ පරම්පරාවෙන් තමයි මමත් ඉගෙන ගත්තේ. මම ඉස්කෝලේ යන කාලයේ ඉඳලා තාත්තා කරන කර්මාන්තය දිහා බලා උන්නා. තාත්තා ඉගෙන ගෙන තිබෙන්නේ එයාගේ තාත්තාගෙන්. මම තමයි මේ පරම්පරාවේ අන්තිම පුරුක. මගෙන් පස්සේ මගේ දරු දෙදෙනාට මේ ශාස්ත්‍රය උගන්වනවා. නමුත් අමුද්‍රව්‍යවල පවතින හිඟතාව නිසා මේ කර්මාන්තය ඉදිරියට ගෙන යන්න අමාරුයි.

 

ගුණසෝම මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 
අතින් සම්මාන ලබාගනිමින්

 

ප්‍රශ්නය - මේ සඳහා ඇති ඉල්ලුම කොහොම ද?


පිළිතුර - දියතරිප්පු ඇස් කණ්ණාඩි පිළිබඳ මෑත කාලයේ පරම්පරාව තුළ වැඩි අවබෝධයක් නැහැ. අනික මේ කාර්මාන්තය පිළිබඳ සමාජය දැනුවත් වෙලා නැහැ. ඒක නිසා මේ දියතරිප්පු ඇස් කණ්ණාඩි කියලා කියන්නේ මොනවා ද කියලවත් ඇතැම් ඇය දන්නෙත් නැහැ. ඒ නිසා මේ කර්මාන්තය දියුණු කරලා සමාජයට පුළුල් ප්‍රචාරයක් දෙනවා නම් මෙය වඩාත් ප්‍රචලිත වෙයි.


මේ දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය වැඩි දියුණු කරන්න නව තාක්‍ෂණයෙන් යුත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළා. ඒ අනුව දැන් අපිට පහසුයි. ඒවා මිලදී ගන්න කොළඹ පිහිටි ප්‍රධාන අක්‍ෂි සමාගමක් ද ඉදිරිපත් වෙලා සිටිනවා.

 

දියතරිප්පු කණ්ණාඩියක කාචයක් නිර්මාණය කරන අන්දම

 


ප්‍රශ්නය - දවසකට කණ්ණාඩි කීයක් විතර නිෂ්පාදනය කරනවා ද?


පිළිතුර - ඉස්සර නම් එක කණ්ණාඩි කුට්ටමක් හදන්න දවස් 9ක් හෝ 10ක් විතර කාලයක් ගත වුණා. මොකද තාක්‍ෂණය අඩුයි. දැන් නවීණ තාක්‍ෂණයත් එක්ක දවස් එක හමාරක් දෙකක් වගේ කාලයක් තුළ කණ්ණාඩි කුට්ටමක් නිර්මාණය කරන්න පුළුවන්.


ප්‍රශ්නය - මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්නේ කොහෙන් ද?


පිළිතුර - මේ සඳහා විශේෂිත වූ තිරිවාණා ගල් විශේෂයක් තිබෙනවා. පලිඟු වර්ගයට අයත් වෙන ඒවා තිබෙන්නේ රත්නපුරයේ සහ සීගිරිය වගේ ප්‍රදේශවල. එම ගල් විශේෂය දෙන්නේ කිලෝ ප්‍රමාණයට. සාමාන්‍යයෙන් පළුදු සහිත ගල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 3000ක් විතර වෙනවා. හොඳම ගල් කි​ලෝ ග්‍රෑමයක් ඊටත් වඩා වැඩියි. අපි පළුදු සහිත ගල්වලින් හොඳ ඒවා තෝරාගෙන තමයි ඇස් කණ්ණාඩිවලට අරගන්නේ. ඒ ගල් හම්බ වෙන්නේ පතල්වලින්. සමහර දවස්වලට ගල් එක එක වටිනාකම් ගන්නවා ඒවා ලැබෙන ආකාරය අනුව.


ප්‍රශ්නය - දියතරිප්පු කණ්ණාඩි කුට්ටමක් වෙළෙඳපොළේ කීයක් වගේ මිලකට අලෙවි වෙනවා ද?


පිළිතුර - සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ තිබෙන අනිත් කණ්ණාඩිවලට වඩා මේ වාගේ මිල ගණන් වැඩියි. කාච දෙක විතරක් රුපියල් දසදහසක් (10,000) වෙනවා. ෆ්‍රේම් එකත් එක්ක රුපියල් දහහතරදහසක් (14,000) වෙනවා. සමහරු ලෙන්ස් දෙක විතරක් ගෙන යනවා. තවත් අය කණ්ණාඩි කුට්ටමම අපෙන් සාදවා ගන්නවා.


ප්‍රශ්නය -ඔබගෙන් පස්සේ මේ කර්මාන්තය ඉදිරියට ගෙන යෑම ගැන කතා කළොත්?


පිළිතුර - මගේ දරුවෝ දෙදෙනා දැනට මේ කර්මාන්තය ගැන විශාල උනන්දුවක් දක්වනවා. ඒ දෙන්නා දැනටමත් මේ ගැන හදාරනවා. මගෙන් පස්සේ ඔවුන් මෙය ඉදිරියට ගෙන යන බවට මට විශ්වාසයි. අනික දැන් ඉස්සර වගේ වැඩිය මහන්සි වෙන්න ඕනෑ නැහැ නවීන තාක්‍ෂණය ඇති නිසා.


දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය පිළිබඳ අප ගුණසෝම නවරත්න මහතාගේ පුත් රොෂාන් නවරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.


“හතරවෙනි බුවනෙකාබාහු රජතුමන්ට ලංකාතිලක විහාරයේ සෙල්ලිපියක් කියවන්න අපහසුතාවක් ඇති වෙලා තිබෙනවා. අපේ මීමුත්තලා තමයි කණ්ණාඩි කුට්ටමක් හදලා පිරිනමලා තිබෙන්නේ. අපේ මුත්තලා කියලා දුන්න ආකාරයට මේ දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය ඉස්සර ජනප්‍රියයිලු. ඒත් දැන් අභාවයට ගිහින් තිබෙනවා. ඒ වැඩිදෙනා දන්නේ නැති නිසා.


නවීන තාක්‍ෂණයත් එක්ක අපිට දවස් දෙකකින් ඇස් කණ්ණාඩි කුට්ටමක් සාදා දෙන්න පුළුවන්. දැන් තිබෙන්නේ ප්ලාස්ටික් ​​​ෆ්‍රේම්. ගොඩ​දෙනකුගේ ඉල්ලීම ඒකයි. අපිට පුළුවන් ඒ ප්ලාස්ටික් ෆ්‍රේම් එකට ඒ පළිඟු කණ්ණාඩිය දාලා සාදවලා දෙන්න. අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය අභාවයට යන්න නොදී ඉදිරි පරම්පරාවටත් දැක ගන්න රැක දෙන්න කියලා. සමහරවිට ඇස් කණ්ණාඩිවල මුල් ආරම්භයත් මෙය වෙන්න ඇති.”

 


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර