ලක්ෂ 8ක ජනතාවක් මරා දැමුණු රුවන්ඩාවේ කිගාලි නුවර අද අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි

 

ප්ලාස්ටික් බෑගයක් හෝ රට තුළට ගෙනඒමට අවසර නැත. ගුවන් මගින් පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අත ප්ලාස්ටික් බෑගයක් තිබුණොත් ඔහු ආපසු හරවා යැවෙයි. රට තුළට පිවිසීමට අවසර නොලැබෙයි. මේ අප්‍රිකානු රටක්වන රුවන්ඩාවේ කිගාලි අගනුවරට ගුවනින් හෝ ගොඩබිමින් ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට මුහුණ දීමට සිදුවන තත්ත්වයයි. එරට ආරක්ෂක අංශ පරිසරය සුරැකීම සඳහා පැය විසිහතරම අවදියෙනි.

ජනතාව ස්වෙච්ඡාවෙන්ම රටේ පිරිසිදුකම රැකීමට උදව්කරන අතර අදවෙන විට අප්‍රිකානු මහාද්වීපයේ පිරිසිදුම නගරය බවට කිගාලි නුවර පත්ව තිබේ. 1994 දී ලක්ෂ 8-10 අතර ජනතාවක් කැති පිහි පොරවා හා රයිෆල් උපයෝගි කරගෙන මරා දැමූ රටක් අද ලබා අැති දියුණුව විස්මයජනක යැයි ලොව පුරා ජනමාධ්‍යයේ පැසසුම ලබා ඇත. නැෂනල් ජොයොග්‍රැෆික් සඟරාව 2017දී ‘‘ස්මාට් නගර’’ අතර මුල් තැන කිගාලි අගනුවරට ලබාදුන්නේය. හොඳම සංචාරක ගමනාන්තයක් ලෙසද රුවන්ඩාව අද නම් වී ඇත.   


ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් දියුණුවේ මාවත සොයා යන ගමන ලෙස එරට පාලකයන් පළමුව තෝරා ගත්තේ අගනුවර පිරිසිදුව තබාගැනීමය. මෙය 2006 සිට ක්‍රියාත්මක විය. දිරාපත් නොවන සියලු පොලිතීන් තහනම් කෙරිණි. අද වෙන විට එය සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. බටහිර ජනමාධ්‍ය පවා අගනුවර පිරිසිදුකම අගය කරයි. මාර්ගවල රථවාහන තදබදය අවමය. කුණු දැමීමට වෙනම තැන් තිබේ. අගනුවර වීදි දෙපස හරිත උද්‍යානය. සුවිසල් ගොඩනැගිලි අහස කරා නැගී සිටියි.   


මෙයට පෙර රුවන්ඩාවේ කිගාලි අගනුවර උපනගරයක් වන රුගෙන්ජ් හි පැල්පත් නිවාස වැසි සමයේදී මීටර් භාගයක්තවත් ජලයෙන් යටවිය. මෙය නගරයට මහත් හිරිහැරයක් විය. 2009 දී රටේ නායකත්වය තීන්දු කළේ සියලුම පැල්පත් නිවාස කඩා ඉවත් කිරීමටය. නළ ජලය හෝ විදුලිය නොමැති මෙම නිවාස ඉවත් කර ඒ වෙනුවට පහසුකම් සහිත නිවාස ලබාදීමට රජයේ ඉහළම බලධාරීහු තීන්දු කළහ. රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකුට මේ ගැන විස්තර කළ කාන්තාවක් වන තයිරුම් බයම්බරේ තමාගේ පැල්පත වෙනුවට නව නිවසක් ලැබුණ හැටි විස්තර කළාය. අප ජීවත් වුණේ නිවසේ තිබූ කුඩා කාමරයක තිබූ සිල්ලර වෙළෙඳ සලකින්. ඇය පැල්පත් නිවාස අතහැර යා යුතු විය. ඒ වෙනුවෙන් නගරයෙන් පිටත නව නිවසක් ලැබුණි. 


නව නිවසෙහි පදිංචිවීම සඳහා අමතර වියදම වශයෙන් ඩොලර් 1500ත් 2000ත් අතර මුදලක්ද ඇයට ලැබුණි. අද එහි සිය ගණනක් ජනයා ජීවත් වූ පැල්පත් නිවාස වෙනුවට නව නිවාස ලැබුණි. කිගාලි නගරය පිරිසිදු නගරයක් කිරීමේ මූලාරම්භය වුණේ එයයි. අභිනව ජනපති ලෙස පත්වූ පෝල් කගාමේ පියවරෙන් පියවර අගනුවර දියුණු කිරීමේ වැඩකටයුතු අරඹා තිබුණි. 2018 දී රොයිටර් පුවත් සේවය සමග කතා කළ පෙර කී කාන්තාව අද තමා පෙරට වඩා සතුටින් පිරිසිදු නව නිවසක ජීවත්වන බව පැවසුවාය. ජනාධිපති කගාමේ අඳුරු අප්‍රිකාවේ සිතීමටවත් නොහැකි ලෙස තම රට පිරිසිදු දූෂණයෙන් තොර රටක් බවට පත්කිරීමට පියවර තබමින් සිටියේය. එය විස්මයජනක ලෙස සාර්ථක වී තිබේ. 2018 වසර මුලදී ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවරදී පැවැති ලෝක ආර්ථික සංසද රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානී එරික් සොල්හයිම් කිගාලි අගනුවර හැඳින්වූයේ පෘථිවියේ පිරිසිදුම නගරය ලෙසය. 
ජනාධිපති කගාමේ බලයට පත්වෙන විට කුඩා මංමාවත් සහිතව අපිරිසිදුව තදබදයෙන් පිරී තිබූ නගරයේ වීදි මේ වෙනවිට මාර්ග තදබදයෙන් තොර පුළුල් හා ද්විත්ව මංතීරු සහිත මාර්ග බවට පත් කර තිබේ. නවීන පහසුකම් මාර්ග වෙත ලැබී ඇත. 


ඩොලර් මිලියන 76ක් වැයකර රථ වාහන තදබදය නැති කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම සඳහා නවීන පහසුකම්වලින් යුතු බස් සේවා අරඹා ඇත. නගරයේ අලංකාරයට අවමානයක් ගෙනදුන් කුඩා වෙළෙඳසල් හා වීදි අවන්හල් 2100කට අධික ප්‍රමාණයක් ඉවත්කිරීමටද ජනපති කගාමේ පියවර ගෙන ඇත. එමෙන්ම නගරයෙන් වගුරු බිම් ගොඩකර තාවකාලික නිවාස හා වෙළෙඳසල් ගොඩනගාගෙන සිටි දහස් ගණනක්ද ඉවත් කිරීමට කගාමේගේ රජය පියවර ගත්තේය. 
ඔවුන්ට වන්දි ලබා නොදුන්නද නව නිවසක් තනා ගැනීම සඳහා ඉඩමක් රජයෙන් ලැබුණි. 
කිගාලි අගනුවර හරිත නගරයක් කිරීමට මෙවැනි තීන්දු ගණනාවක් ඉවහල් වූ බව සඳහන්ය. 


නාගරිකයන් සියලු දෙනාට උටුගන්ඩා නමින් පොදු වැඩ දහසක් හඳුන්වා දී ඇත. පොදු උද්‍යානවල කසළ පිරිසිදු කිරීම, මාර්ග පිරිසිදු කිරීම හා අලුතෙන් තැනීම, අඩුපහසුකම් ලාභීන්මට වැසිකිළි තනාදීම හා පාසල් පංති කාමර තැනීමට මේ දිනයේදී සියලු නාගරිකයන් සහභාගි විය යුතුය. ජනාධිපති කගාමේද පොදු වැඩ දිනයේ දී නාගරිකයන් සමඟ ප්‍රජා සේවයට එක්වෙයි. 
රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වනවිට කිගාලි අගනුවර පදිංචිකරුවන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසකට පිරිසිදු ජලය හා වැසිකිළි ලැබී තිබේ. නගරය පිරිසිදු කිරීම තුළින් රැකියා අවස්ථා සිය ගණනක්ද උත්පාදනය කර අැත. 


නව සමාගම් 200ක් සඳහා නගරය පිරිසිදු කිරීමේ බලපත්‍ර ලබාදී ඇතැයි එරට පරිසර අධිකාරියේ ප්‍රධානියා ජාත්‍යන්තර ජනමාධ්‍ය වෙත පවසා තිබිණි. එහි අරුත නම් නගරය පිරිසිදු කෙරෙන අතරම එමගින් නව රැකියා ද බිහි කෙරෙන බවය. බටහිර රටවල මෙන් එරට අගනුවර වීදිද යාන්ත්‍රික උපකරණ මගින් දිනකට අවස්ථා කිහිපයක් අතුගා දැමෙයි. 
ලක්ෂ 8ක ජනතාවක් මරාදැමුණු ජන සංහාරක අරගලයෙන් පසු ගොඩනැගූ නව කිගාලි අගනුවර භූමි ප්‍රමාණය හය ගුණයකින් ඉහළ දැමීමට ජනපති කගාමේගේ සංවර්ධන ව්‍යාපෘතිවලට පුළුවන් විය. ඒ යටතේ අලුත් රැකියා බිහිවෙද්දී ගම්බද ජනයා වේගයෙන් නව රැකියා සොයා අගනුවරට ඇදී ආහ. ඒ ආ සමහරු නගරයේ සිඟමනේ යෙදීමට පටන් ගත්හ. හිටපු හමුදා නායකයකු වන ජනපති කගාමේ මෙම සිඟන්නන් අල්ලා කඳවුරක ගාල් කළේය. එයට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කන්කෙඳිරි ගෑවද ජනපති කගාමේ එය ගණන් ගත්තේ නැත. 

 

 


විසි හය වසරකට පෙර සිදුවූ දහස්ගාණක සමූල ඝාතනයන් අමතක කර දමා සංහිඳියාවෙන් ඉදිරියට යන රටකට හොඳම උදාහරණය වන්නේ රුවන්ඩාවය. හුටු සහ ටුට්සි ජාතීන් දෙකම අද එරට සංහිඳියාව අනුමත කර තිබේ. සුළුතරයෙන් පත්වූ ජනපති කගාමේට රට පාලනය කිරීමට හැම මැතිවරණයේදීම අතිවිශාල ජනවරමක් ලැබීම එයට නිදසුනකි. 
රුවන්ඩාවේ මේ ජයග්‍රහණ පිටුපස සිටින හස්තය ජනාධිපති පෝල් කගාමේය. 1994 දී ලොවම කම්පාවට පත්කළ ටුට්සි සහ හුටු ජනවර්ග දෙක අතර ලක්ෂ 8ක් මරා දැමු මහා ජන සංහාරක යුද්ධය අවසන් කළ කැරලිකාර කණ්ඩායමට අණදුන්නේ පෝල් කගාමේය. ඔහුගේ කණ්ඩායම 1994 දී රටේ පාලන බලය ලබා ගත් අතර 1994 සිට 2000 දක්වා උපජනාධිපති හා ආරක්ෂක ඇමැති වූයේ කගාමේය. 2000දී ඔහු රටේ ජනාධිපති ධුරයට තේරී පත්විය. එතැන් සිට අද දක්වාම රටේ ජනාධිපති ඔහුය. 2032 දක්වාම බලයේ සිටීමට ඔහුට ජනවරමක්ද ලැබී තිබේ. 


කගාමේ උපන්නේ දකුණු රුවන්ඩාවේ ටුට්සි ජාතික පවුලකය. රුවන්ඩාවේ ජනගහනයෙන් ටුට්සි ජාතිකයෝ 16% ක් වෙති. බහුතරයක් වන හුටු ජාතිකයෝ සමස්ත ජනගහනයෙන් 83%කි. දේශපාලන හේතු මත කුඩා කලදීම යාබද උගන්ඩාවට පලාගිය කගාමේ උගන්ඩාවේ ජනපති මුසවෙන්ගේ හමුදාවට බැඳී සේවය කළේය. තම මව්බිම වූ රුවන්ඩාව සිවිල් යුද්ධයක පැටලී යද්දී උගන්ඩාවේ සිට ක්‍රියාත්මක වූ රුවන්ඩාවේ දේශප්‍රේමී හමුදාවට බැඳී රුවන්ඩාවේ පාලන බලය ලබා ගැනීම සඳහා ගරිල්ලා යුද්ධයකට සහභාගි විය. මේ ගැටුම් අතරතුර සටන් විරාම සමයකි. රුවන්ඩා ජනාධිපති ජුවෙනල් හබරිමානා ගුවන් අනතුරකින් මියගිය අතර ඉන්පසු සිවිල් යුද්ධය වේගයෙන් ව්‍යාප්ත විය. එහිදී හුටු අන්තවාදීන් විසින් ටුට්සි හා මධ්‍යස්ථ හුටු වාර්ගිකයන් ලක්ෂ 8-10 අතර සංඛ්‍යාවක් ඉතාම කෙටි කලක් තුළ ඝාතනය කරන ලදී. 


මේ මහා ජන සංහාරය සිදුවුණේ මසක් වැනි කෙටි කලක් තුළය. හුටු අන්තවාදීන්ගේ ජන සංහාරයට එරෙහිව රුවන්ඩාවේ දේශප්‍රේමී පෙරමුණ ඉදිරියට මෙහෙයවූ කගාමේ හුටු අන්තවාදීන් යුදමය වශයෙන් පරාජය කර රටේ සාමය පිහිටුවා ජනාධිපති ධුරයට පත්විය. එතැන් සිට මේ දක්වාම එරට යුදමය තත්ත්වයක් හෝ ත්‍රස්තවාදයක් හෝ හිස ඔසවන්නට ඔහුගේ පාලනය යටතේ ඉඩ ලැබී නැත. 

 

කිගාලි නුවර දියුණුව

 


ජන සංහාරක යුද්ධය අවසන් කිරීමෙන් පසු ජනපති කගාමේ ලෝක නායකයන් හමුවී රට සංවර්ධනයට සහාය ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් කෙරෙන පරිදි යුරෝපීය රටවල් මූල්‍ය අාධාර ලබානොදී ටොන් ගණන් උපදෙස් පමණක් දෙද්දී කගාමේ චීනය දෙසට හැරුණේය. අද රුවන්ඩාවේ සංවර්ධනය පිම්මේ ඉදිරියට යයි. නවීන වරාය ඉදිවෙයි. අධිවේගී මාර්ග ඉදිවෙයි. දහස් ගණනින් රැකියා උත්පාදනය වෙයි. රුවන්ඩාවේ කිගාලි අගනුවර නවීන මෙන්ම පිරිසිදු නගරයක් යැයි ලෝක ජනමාධ්‍යයේ පැසසුමට ලක්වෙයි. 
ඔහුගේ අරමුණ 2020 වනවිට මධ්‍යම ආදායම ලබන රටක තත්ත්වය ලබා ගැනීමය. 2013 දී රුවන්ඩාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2013 ක් විය. 


ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇමෙරිකානු ජනාධිපතිව සිටි බිල් ක්ලින්ටන්ගේත් පැසසුමට ලක්විය. විදේශීය ආයෝජනය සඳහා පහසුකම් සපයමින් රට වැසියන්ට රැකියා උත්පාදනය කිරීම ඔහුගේ පිළිවෙතය. ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය ව්‍යාපාරිකයන්ට රජයේ දෙපාර්තමේන්තු අතර මාස ගණන් ගාට ගාටා සිටීමේ පිළිවෙත රුවන්ඩාවෙන් ඉවත් කර තිබේ. රුවන්ඩා සංවර්ධන මණ්ඩලය කියා සිටින්නේ ඕනෑම ආයෝජකයෙකුට පැය 24ක් තුළ තම ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට රට තුළ පහසුකම් සපයා ඇති බවය. ඒ යටතේ දිනෙන් දින විදේශීය ආයෝජකයෝ රුවන්ඩාවේ ව්‍යාපාර අරඹති. රුවන්ඩාව ආධාර හා ණය මත යැපෙන රටක සිට ස්වයංපෝෂිත භාවය කරා මාරුවීමට ජනාධිපති කගාමේගේ ඉලක්කය ය. ඔහු ඒ සඳහා පියවරෙන් පියවර රට ඉදිරියට මෙහෙයවයි. යුද්ධයෙන් සහමුලින්ම විනාශ වූ රටක් සංවර්ධනය කරා වේගයෙන් පියමනින්නේ එපරිද්දෙනි. 

 


ප්‍රේමකීර්ති රණතුංග