මෙයට වසර අනූ පහකට පෙර කලම්බු රේඩියෝ නමින් පටන්ගත් ගුවන් විදුලිය පසුව ‘රේඩියෝ සිලෝන්’ නම් විය. රේඩියෝ සිලෝන් ගුවන් විදුලි දෙපාර්තමේන්තුව බවට පත්විය. පසුව එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නම් විය.


වැලිකඩ හිරගෙදර පිටුපස සම්ප්‍රේෂණාගාරයක් පිහිටුවා ටොරින්ටන්වල මානසික රෝහල් බිමේ සිට ප්‍රචාරය වූ අපේ ගුවන් විදුලියට පසුගිය දෙසැම්බර් 16 දාට වසර 95 පිරුණේය.


ස්කොඩ් ජාතික ජේම්ස් මැක්ස්වෙල් (JAMES MAXWELL) 1864 දී එක්තැනක සිට කරන ලද විද්‍යුත් කැළඹීමක් තවත් තැනක සිට අනාවරණය කළ හැකි බවත්, එම විද්‍යුත් චුම්භක ශක්තිය තරංග ආකාරයෙන් ආලෝකයේ වේගයෙන් ගමන් කරන බවත් පෙන්වා දුන්නේය. ඒ මඟපෙන්වීම මත ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ජී. මාර්කෝනි ගුවන් විදුලි යන්ත්‍රය මුල්වරට නිෂ්පාදනය කළේය. ඔහුගේ පර්​යේෂණවලට රුසියන් ජාතික පෆොප්, ජර්මන් ජාතික හර්ට්ස් ආදීන්ගේ සහය ලැබුණි. කෙසේ වෙතත් ගුවන් විදුලි යන්ත්‍රය නිෂ්පාදනය කිරීමේ නිර්මාතෘ ලෙස ගුග්ලිමෝ මාර්කොනි ඉතිහාසගත විය.


1859 ප්‍රථම විදුලි පරිපථ නිර්මාණයට ඉතාලි රජයෙන් නිෂ්පාදනය හිමිකම් බලපත්‍රයක් ද ලබා ගත්තේය. මේ යන්ත්‍රය වැඩිදියුණු කිරීමට ඉතාලි රජය උනන්දුවක් නොදැක්වීම ගැන කලකිරුණු මාර්කෝනි සිය මව ද සමඟ එංගලන්තයට ගොස් පදිංචි විය. එංගලන්ත රජයෙන් මේ නිර්මාණයට විශාල අනුබලයක් මෙන්ම ආධාරයක් ද ලබා දුනි. එමෙන්ම ඔවුහු එය අගය කිරීමක් ද කළහ. මාර්කෝනිගේ මෙම රේඩියෝව තව දුරටත් සංවර්ධනය කර එය අත්ලාන්තික් සයුර හරහා ප්‍රථම ගුවන් විදුලි ප්‍රචාරය ද කළේය. මුල දී සංඥාවලට පමණක් සීමා වූ මෙම විකාශනයන් පසුව 1918 දී සංගීතය සහ කථනය ද විකාශය කළ හැකි වන සේ වර්ධනය කළේය.
‘‘රේඩියෝ’’ නමින් හඳුන්වල ලද මෙය පළමු වැනි ලෝක සංග්‍රාම කාලයේ දී ලොව ජනප්‍රිය විය. සංවර්ධනය වන රටවලට ද යටත් විජිත රටවලට ද මෙය පැමිණියේ ය. යටත් විජිත රටවලට රේඩියෝව හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ආකෘතියක් මත පදනම් වූ ආයතනයක් වශයෙනි.


ලංකා වයර්ලස් සමාජය පිහිටවූයේ 1922 දෙසැම්බර් මාසයේ ය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ඊ. හාර්පර් මහතාගේ පුරෝගාමිත්වයෙන් අත්හදා බැලීමක් වශයෙන් 1923 දී ප්‍රථම වරට ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරයක් සිදුවිය. අල්ලාගත් ජර්මන් සබ්බැරීනයකින් ලබාගත් ටෙලිග්‍රාප් සම්ප්‍රේෂණයක් ඒ සඳහා යොදාගත්තේය.


1924 ජුනි 27 වැනිදා ලංකා ඉංජිනේරු සංගමයේ සභාපති, ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා කළ කතාවකින් පසුව ගුවන්විදුලි වැඩසටහන් සතියකට දෙතුන් වතාවක් ප්‍රචාරය කළේය.


ආරම්භය


ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි පිහිටවූයේ අප රටේය. නිල වශයෙන් ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරය ආරම්භ වූයේ 1925 දෙසැම්බර් 16 වැනිදා කලම්බු රේඩියෝ යන නමින් ය. මධ්‍යම තරංග සම්ප්‍රේෂණයකින් ගුවන් විදුලි ප්‍රචාරය සිදුවිය. 1927 විධිමත් මැදිරි සහ පාලනාගාරයක් කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ගොඩනැගිල්ලේ ඉදිකොට ප්‍රචාරක කටයුතු එහිම පවත්වාගෙන ගියේය.


1942 දෙවැනි ලෝක සංග්‍රමය නිසා ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ගුවන් විදුලි ප්‍රචාරක මැදිරි රාජකීය යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය පිණිස දීමට සිදුවිය. මේ නිසා ලංකා ගුවන් විදුලි ප්‍රචාරක ස්ථානය බොරැල්ලේ කෝට්ටේ පිහිටි බවර් නමැති පෞද්ගලික නිවසකට ගෙන යාමට සිදුවිය. ‘‘කලම්බු රේඩියෝ’’ එකට එතැන් සිට කීවේ බවර් රේඩියෝ කියාය.


1945 වන විට දෙවැනි ලෝක යුද්ධය ද අවසන් විය. ටොරින්ටන් චතුරශ්‍ර​යේ දැනට පිහිටි ගොඩනැගිල්ල තැනීමේ වැඩකටයුතු 1947 දී ආරම්භ කොට 1949 දී අවසන් විය. එම වසරේ දීම ගුවන් විදුලි කටයුතු දෙපාර්තමේන්තුව නමින් වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ඇතිවිය. අග්නිදිග ආසියාතික ගුවන් අණදෙන මධ්‍යස්ථානය ද ලංකා ගුවන් විදුලි සේවය යටතට ගන්නා ලදී. 1950 සැප්තැම්බර් 30 වැනි දින ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ ගුවන් විදුලි සේවය ආරම්භ විය. ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆර්ඩ් ආර්. ඩොව් මහතා එහි ප්‍රධාන අධ්‍යක්ෂකවරයා විය ගුවන් විදුලියේ ප්‍රථම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ලැට්ජසන් මහතා ය.


ඉන්දු පකිස්ථාන් සේවයකින් ආරම්භ කළ වෙළෙඳ සේවයෙන් 1951 පෙබරවාරි මාසයේ දී දේශීය ශ්‍රාවකයින් සඳහා බාහිර වැඩසටහන් ද අප්‍රේල් මාසයේ සිංහල වැඩසටහන් ද පටන් ගැනුණි.


1930 ගණන් වනතුරු සිංහල, දෙමළ නිවේදන කටයුතු කරන ලද්දේ කාර්මික නිලධාරීන් විසිනි. ටී.එම්. රුබේරු මහතා සිංහල නිවේදන කටයුතු කළේය. ලිපිකරුවෙකු වූ විනායග මූර්ති මහතා දෙමළ නිවේදන කටයුතු කළේය. පසුව 1937 දෙසැම්බර් 01 වැනි දා සිට එස්. නඩරාජා මහතා ප්‍රථම දෙමළ නිවේදකයා ලෙස තෝරාගත්තේය. ප්‍රථම ඉංග්‍රීසි නිවේදකයා මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දුය. පසුව ලිවී වි​ජේමාන්නයි. ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා ඩී.එම්. කොළඹගේ මහතාය. 1938 ජනවාරි 01 වැනිදා ඔහු පත්වීම ලැබූ අතර ඔහුගේ වැටුප දිනකට රුපියල් හතරයි ශත අටක් විය. දෙවැන්නා තේවිස් ගුරුගේ මහතාය.
බොරැල්ලේ කොටා පාරේ (බවර් රේඩියෝවේ) එවකට තිබුණේ මැදිරි දෙකකි. නිවේදකයාගේ මේසය, තැටි දාවන යන්ත්‍රය, නිවේදකයාගේ මයික්‍රෆෝනය තිබුණේ ප්‍රචාරක මැදිරිය ඇතුළේය. එවකට සම්බන්ධතා මැදිරි තිබුණේ නැත. වරකට වැඩසටහනක් ප්‍රචාරය වූයේ එක් භාෂාවකින් පමණි. මේ නිසා මැදිරි දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කළේය. බවර් රේඩියෝව කාලයේදී,


‘‘.... මේ කොළඹ ගුවන් විදුලි සේවයයි...’’ / ‘‘... කොළඹින් කතා කරමි...’’ ආදී වශයෙන් ඩී.ඇම්. කොළඹගේ මහතා 1943 වෙන තුරු තනිවම වැඩ කළේය. ලිපිකරු, මුදල් ගෙවීම්, වව්චර් ලිවීම, තැටි ධාවනය ආදී සියලුම වැඩ කළේ නිවේදකයා ය.


ගුවන් විදුලි ප්‍රචාරය ආරම්භ කිරීමෙන් පසු ගීත ප්‍රචාරය කිරීම සඳහා තැටි සොයාගත්තේ ග්‍රැමෆෝන් තැටි වෙළෙඳ ආයතනවලිනි. එම තැටි නොමිලේ ලැබූ අතර ප්‍රචාරය අවසානයේ දී තැටියේ නම ද අංකය ද ප්‍රචාරය කෙරුණි. ඒ කාලයේ තැටි ලබාගත්තේ කොළඹ කාර්ගිල්ස්, මිලර්ස්, පොරොලිස් ප්‍රනාන්දු, මියුසිකල් ස්ටෝර්ස් වැනි ආයතනවලිනි. බොහෝ විට වාදනයට තැටි ඉල්ලා එම ආයතනයට රේඩියෝ සිලෝන් හි නියෝජිතයන්ට එම ආයතනවලට යාමට සිදුවිය. ගුවන් විදුලියේ ආරම්භක යුගයේ සිටි සියලුම කාර්මික ශිල්පීන් විදුලි සංදේශ (සියැට්) දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරගත් අයයි. 1952 ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ඉංජිනේරුවරුන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ දෙතුන් දෙනෙකි. ඔවුන් අතරින් එස්.ජී. ජයසුන්දර (හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු, රූපවාහිනී සංස්ථාව) මහතා විශේෂයෙන් සඳහන් කළ යුතුය. අනෙක් තැනැත්තා ජයසුන්දර මහතාගේ ප්‍රධානියා වූ ටී.ඩී. පද්මසිරි මහතාය. ඔහු ප්‍රකාශ කරන අන්දමට සිවිල් ඉංජිනේරු සහ කාර්මික ශිල්පීන් ලෙසට කටයුතු කර ඇත්තේ ඉංග්‍රීසි, ඕලන්ද, ඉන්දියානු ජාතිකයන් ය. ඔවුන් අතර සෑම් සෙන්කෙයා, ඉයන් ඩිලහබ්, බ්‍රෑන් ලොප්, කාලයිල් රොදේ කැපී පෙනුණු අය වූහ.
ඇස්.පී. ජයසුන්දර මහතා පවසන අන්දමට ප්‍රථමයෙන්ම ගුවන් විදුලියට සම්බන්ධ වූ ලාංකික ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් වශයෙන් ටියුඩර් පෙරේරා, බර්ට්‍රම් පීරිස්, සී.ඩී. සිල්වා, ටෙරන්ස් පීරිස්, ඒ.ඩබ්ලිව්. ධර්මපාල, සුමති කුරුප්පු, ආර්.ඊ.එච්. පෙරේරා, ටී.ඩී. පද්මසිරි, බර්ටි කුරුප්පු, ධර්මසේන පෙරේරා, ඇල්.පී. චන්ද්‍රසේන, මර්වින් රුද්‍රිගු, බී.එල්.එෆ්. ප්‍රනාන්දු, විල්බට් සුබසිංහ නම් කළ හැකිය.
1924 සිට 1966 දක්වා රේඩියෝ සිලෝන්හි පත් කෙරූයේ අධිකාරිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ය. ඒ අනුව මුල්ම අධ්‍යක්ෂවරයා එවකට තැපැල්පති (1924) ඇම්.එස්. ග්‍රේප්තා මහතාය. ඉන්පසු 1937 ෂර්ලි ද සිල්වා ගුවන්විදුලි අධිකාරි වශයෙන් පත්විය. ඒත් සමඟම සී.එල්.පී. ගුණවර්ධන සහය අධිකාරි ලෙස පත්විය.
අධ්‍යක්ෂවරුන් පත් වූයේ මෙතැන් සිටය. පළවැනි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජෝන් ලාම්සන් (1949) ය. ඔහුගෙන් පසුව පත් වූ ඇම්.ජේ. පෙරේරා මහතා 1952 වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්කොට එම වසරේම දෙසැම්බර් මාසයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසට පත් කළේය. තිලක් ඊ. ගුණරත්න (1958 ජුනි), ඇස්.බී. සේනානායක (1959), රොනී ද මැල් (1960), වින්ස්ටන් පණ්ඩිත (1962), ආචාර්ය නිශ්ශංක විජේරත්න (1965), නැවත වරක් වින්ස්ටන් පණ්ඩිත (1966), ඩී.ආර්. අලු‍විහාරේ (1966) මෙතැන් සිට අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපතිවරු පත්කිරීම සිදුවිය. වරෙක සභාපති තනතුර වෙනමත් අධ්‍යක්ෂක ජනරාල් තනතුර වෙනමත් පත්කළේය. ඇතැම් අවස්ථාවලදී එම තනතුරු දෙකම එකම පුද්ගලයා දැරුවේය.


වැඩසටහන්


එච්.ඩී. විජේදාස නිවේදකයා 1954 දී පටන්ගත් ‘විහිලු‍ තහලු‍’ වැඩසටහන පනහේ දශකයේ අගභාගයේ දී නවතා දැමුවේය. පසුව ඒ වෙනුවට ‘විනෝද සමය’ ආරම්භ විය. ඇල්ෆ්‍රඩ් පෙරේරා, සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක මේ වැඩසටහනෙහි වීරයන් ලෙසට අද ද කතා කරයි. විනෝද සමයෙහි තේමා වාදනය තවමත් අපේ අසන්නන්ට මතකය. එම තේමා වාදනය නිර්මාණය කළේත්, වාදනය කළේත් එච්. ආරියදාස, ඩී.ඩී. ඩැනී හා එඩ්නා පෙරේරා බව බොහෝ දෙනා දන්නේ නැත. විනෝද සමයේ නිවේදකයා ලෙස ගැමුණු විජේසූරිය වරින් වර කටයුතු කළේය.


1952 මුලින්ම ගුවන් විදුලියට පා තැබූ වි​ජේරත්න වරකාගොඩ, පී.එල්.ඒ. සෝමපාල නිසා ආධුනික පැයට ගීයක් ගැයුවේය. ඔහු අද ගුවන් විදුලියටත් රූපවාහිනියටත් නැතිවම බැරි කෙනෙකු ලෙස හැඳින්වීමට පුළුවන් වන අතර මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයා යන නමින් ලංකාව පුරාම රෙජිස්ටර් වී ඇත. රත්නාවලී කැකුණවල මුවන්පැලැස්සේ කෝරලේ මහත්තයාගේ මැණිකේ කලින් එතනහාමි වී සිටියාය. එයට ගුවන් විදුලියෙන් මඟ පෙන්වූයේ වික්ටර් මිගෙල් මහතාය.


අද අමතක වී ඇති ග්‍රාමීය සන්ධ්‍යාව එදා ගොවිතැන් කළ හැටි, කාලවකවානු කියන ජනප්‍රිය වැඩසටහනකි. පී. වැලිකලගේ විශ්ව කෙටිකතා අතුරින් රසවින්දනයන් දුන් නාට්‍ය වැඩසටහන් පැරැන්නන් අගයති. සරත් විමලවීරයන්ගේ ‘බේරේ වැවෙන් යෝධයෙකු මතු වීම’ අසන්නන් පිළිගත් බව සඳහන් කළ යුතුය.
පුවත්පත් කතුවර පියසේන නිශ්ශංක මහතාගේ ‘සිංහල කතුන්ගේ කුලසිරිත්’ වැඩසටහන මෙහෙයවූයේ ගුවන් විදුලියේ කීර්තිමත් නමක් රැන්දු නන්දා ජයමාන්න මහත්මියයි. ශ්‍රී චනද්‍රරත්න මානවසිංහ ගුවන් විදුලියට ගීත නාටක කලාව හඳුන්වා දුන්නේය. ඩබ්ලිව්. අමරදේව, කෝකිලදේවී වීරතුංග කලඑළි බසින්නේ මේ සමයේ දීය. ඒ.පී. ගුණරත්නයන්ගේ ‘බැද්දේවිත්ති’ සහ ‘මධුවන්ති’ සාර්ථක වැඩසටහන් දෙකකි. නිවේදිකාවක් ලෙස ගුවන් විදුලියට මුලින්ම සම්බන්ධ වූ නන්දා ජයමාන්න නිබන්ද සම්බන්දිකා, වැඩසටහන් පාලක, අධ්‍යක්ෂ (පුහුණු) ආදී තනතුරු දැරූ අතර ප්‍රභා රණතුංග මුල්ම යුගයේ කාන්තා නිවේදිකාව ලෙස ඉතිහාසගත වෙයි. ඉන්ද්‍රානි හේරත්, ගුණරත්න අයියදොරේ, බී.ඒ. පෙරේරා, තිලෝකසුන්දරී කාරියවසම්, පියදාස රත්නසිංහ, දයා තෙන්නකෝන් ආදී විශාල පිරිසක් ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය බැබලවීමට කටයුතු කළෝය.
1966 ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් ජයවීර යුගයේ සිංහල අංශයේ ප්‍රධානියා එච්.එම්. ගුණසේකරය. එවකට බර්ටි ගලහිටියාව කතා නිෂ්පාදක තනතුර දැරීය. කැප්පැටිපොල ගුණ සමරු කතාවක් පැවැත්වීමට අධ්‍යාපන සහ සංස්කෘතික ඇමති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා ගෙන්වූයේ බර්ටි ගලහිටියාව මහතාය. ඔහු ගුවන් විදුලිය බාර ඇමතිවරයා විය. ඊරියගොල්ල මහතා තම කතාවේදී කියූ දෙයක් ලෙස ‘‘....පර සුද්දන්ට කත් ඇදපු උන් එදත් ඉන්නවා අදත් ඉන්නවා... ඔය මහවලතැන්නලා වගේ...’’ බර්ටි එය ප්‍රචාරය කළේ මහවලතැන්න යන නම ඉවත්කරය. නෙවිල් ජයවීර අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ඊරියගොල්ල මහතා හමුවිය.
’’කොහොමද නෙවිල් මගේ කතාව ප්‍රචාරය වුණාද...’’


’’ඔව් සර්, අර මහවලතැන්න කෑල්ල අයින් කරලා’’


එවිට ඊරියගොල්ල මහතා ටිකක් කල්පනා කර ‘‘දෙයියෝ සාක්කි... නෙවිල් මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. නෙවිල් කරලා තියෙන්නේ ලොකු උදව්වක්’’ කියා ප්‍රකාශ කළේය.
මා මෙය ලීවේ එකල ගුවන් විදුලි නිලධාරීන් හා මැති ඇමතිවරුන්ගේ හැටි කියාපෑමටය.


මුවන්පැලැස්ස


මුවන්පැලැස්ස රචනය මුදලිනායක සෝමරත්නගේය. වික්ටර් මිගෙල් මාරුවීම හේතුකොටගෙන එහි නම ගෝනන්පැලැස්ස නමින් වෙනස් වූ අතර අවසානයේ දී නැවතත් පැරණි නම ම දැමීය. ඉදිරියේ කොටස් හතරක් ලියා තබමින් මුදලිනායක සෝමරත්න පිටරට ගියේ මුවන්පැලැස්ස ඉතිරි පිටපත් එවන බලාපොරොත්තුවෙනි. එහෙත් පස්වෙනි පිටපත ලැබුණේ නැත. තේවිස් ගුරුගේ මහතා එය ලිවීමට වික්ටර් මිගෙල් සහ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගෙන් ඉල්ලා සිටියේය. දෙදෙනාම නාට්‍ය ශිල්පීන් වුවද පිටපත් රචකයින් නොවේ. අවසානයේ වික්ටර් මිගෙල් ඉදිරිපත් කළ පිටපත සාර්ථක එකක් විය. මුවන් පැලැස්සේ ‘වෙදමාමා’ හා ‘පිනා’ යන චරිතවලට පණදුන්නේ ගැමුණු විජේසූරියයි. වික්ටර් මිගෙල්ගේ මරණයෙන් පසු එහි රචකයා වූයේ ශ්‍රී නිමල් පද්ම කුමාරය.


මුවන්පැලැස්සට අමතරව ගුවන් විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍ය, කුරුළු බැද්ද වැනි ගුවන් විදුලි නාට්‍ය අසන්නෝ තවමත් සිතින් රස විඳිති.


මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, සරත් විමලවීර, අයිලින් සරත්ච්චන්ද්‍ර, වික්ටර් මිගෙල්, සෝමා කිරිඇල්ල, ටී.ඊ.එස්. ලීලානන්, එස්.පී. ගුණරත්න, ආනන්ද සිරිසේන, කරුණාරත්න අමරසිංහ, සුගතපාල ද සිල්වා, පී. වැලිකල, දයානන්ද ගුණවර්ධන ගුවන් විදුලි නාට්‍ය ලෝකයේ අමරණීය චරිත අතර විය. ගුවන් විදුලි නිවේදකයන් එකල චිත්‍රපට නළු නිළියන්ට වඩා ජනප්‍රිය වී සිටියේ ය. බොහෝ දෙනෙකුගේ කටහඬවලට අසන්නන් වන අප සිටියේ හඬට පෙම් බැඳිමින්ය. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ආරියදාස පීරිස්, ලලිත්. එස්. මෛත්‍රීපාල, සිරිල් රාජපක්ෂ ඉන් කිහිප දෙනෙකි.


මේ නිවේදකයින් සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සහකාර අධ්‍යක්ෂක ආදී තනතුරුවලට පත්වූහ. තේවිස් ගුරුගේ, විජය කොරයා, හඩ්සන් සමරසිංහ, ලලිත් එස්.​ මෛත්‍රීපාල, ඩී.ටී.කේ. ජයන්ත, චිත්‍රානන්ද අබේසේකරම්, එරානන්ද හෙට්ටිආරච්චි, නිව්ටන් ගුණරත්න, තිස්ස ජයවර්ධන, මයුරි අබේසිංහ නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඉංග්‍රීසි නිවේදිකාවක වූ ගුණපාල මලලසේකරගේ දියණිය චිත්‍රා රණවක මහත්මිය ද මෙසේ ගුවන් විදුලි තනතුරු දැරූ නිවේදිකාවකි. 1989 දී නිවේදක ලලිත් එස්. මෛත්‍රීපාල සභාපති වූ අතර විජය කොරයා අධ්‍යක්ෂ ජනරාල් විය.


වෙළෙඳ සේවය


වෙළෙඳ සේවයේ මුල්ම නිවේදකයා ලෙසට කටයුතු කළේ ප්‍රොස්පර් ප්‍රනාන්දු සහ ලැඩී රණසිංහයි. ආරියදාස පීරිස්, නන්දා ජයමාන්න, ජයන්ත පීරිස්, ලලිත් එස්. මෛත්‍රීපාල, ජීවානන්ද වීරසිංහ, ආරියදාස මිල්ලවිතානාරච්ච්, දයා ද අල්විස්, ගුණතුංග කේ. ලියනගේ, ගාමිණි මල්වැන්න, කුසුම් පීරිස්, නෙල්සන් පීරිස්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, තිලකා රණසිංහ, වික්‍රමකුමාරි යාපා බණ්ඩාර, මාලනී වෙත්තසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, සමදරා කෝට්ටගේ, ධම්මික පී. රත්නායක, රම්‍යා ශ්‍රියානි පතිරණ, චිත්‍රා කුමාරි කළුබෝවිල, පුෂ්ප කුමාරාකුරුගොඩ වෙළෙඳ සේවය බැබලු‍වෝ වෙති.


එකල ස්වදේශීය සේවයත්, වෙළෙඳ සේවයත් අතර යම් යම් හැල හැප්පීම් තිබුණි. වෙළෙඳ සේවයේ වැඩකරන අයට ගුවන් විදුලියෙන් ලැබෙන ගෙවීම්වලට අමතරව අනුග්‍රාහකයින් ගෙනුත් මුදල් ලැබීම එයට හේතුවක් විය හැකිය. ස්වදේශීය සේවයේ අයවලු‍න් කීවේ වෙළෙඳ සේවයේ ඉන්නේ වෙළෙන්දන් කියාය. මේ ගැටුම සමථයකට පත්කිරීමට අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතා කළේ දෙපැත්තෙන්ම නිවේදකයින් කලින් කලට මාරු කිරීමයි. එහෙත් අනුග්‍රාහකයින් තමන්ට පුරුදු නිෂ්පාදකයින් නිවේදකයින් ඉල්ලා සිටීම නිසා එම ක්‍රමය සාර්ථක වූයේ නැත. රිජ්වේ තිලකරත්න මහතා ඊළඟට කළේ නිවේදකයින්ට කළ හැකි වෙළෙඳ වැඩසටහන් මසකට හතර දක්වා අඩු කිරීමයි.


ප්‍රවෘත්ති


කොළඹ රේඩියෝවේ මුලින්ම කීවේ යුද්ධ පිළිබඳ තොරතුරුය. යුද පුවත් කීවේ සියැට් සමාගමේ ඉංජිනේරුවරුන් සහ කාර්මික ශිල්පීන්ය. ප්‍රවෘත්ති ලබා ගැනීමට තැපැල්පතිවරයා මුල් විය. ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් එංගලන්තයෙන් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා දුන්නේය. මේ කටයුතු සියල්ල සිදුවූයේ ඉංග්‍රීසි බසිනි. ගුවන් විදුලියට සිංහල පැමිණියේ ඇම්.ජේ. පෙරේරාගේ කාලයේ දීය. ඔහු ගුවන්විදුලිය ගමට ගෙන යාමට ද කටයුතු කළේය.


මුල්ම කාලයේ ප්‍රවෘත්ති පිටපත සකස් කළේ ඉංග්‍රීසියෙනි. දෙමළ සහ සිංහල නිවේදකවරුන් තමන් විසින්ම එය පරිවර්තනය කළ යුතු විය. ප්‍රවෘත්ති නිවේදකයා ‘‘පරිවර්තනය සහ ප්‍රවෘත්ති ප්‍රකාශය’’ කියා ඔහුගේ නම කියයි. ඇතැම් නිවේදකයින් ඉංග්‍රීසි පිටපත බලා සජිවීව තම කාර්ය කළේය. මුල් කාලයේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ ප්‍රොපර් ප්‍රනාන්දු වෙළෙඳ සේවයේ නිවේදකයෙකු විය.


ප්‍රවෘත්ති නිවේදකයන් ලෙස ජනප්‍රියත්වයට විශාල පිරිසක් ගුවන් විදුලියේ සිටියෝය. තිලක සුදර්මන් සිල්වා, සිරිල් රාජපක්ෂ, ප්‍රභා රණතුංග, නන්දා ජයමන්න, තේවිස් ගුරුගේ, බර්ටි ගලහිටියාව, ගුණතුංග කේ. ලියනගේ, ලැම්බට් පෙම්මාවඩු, ධර්මශ්‍රී වික්‍රමසිංහ, ගැමුණු විජේසූරිය, සුජාතා ගුණවර්ධන, සුමනා නෙල්ලම්පිටිය, ඩේවිඩ් අතුකෝරල, ආරියසේන මිල්ලවිතානාරච්චි, නෙල්සන් පීරිස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, තිස්ස ජයවර්ධන, පාලිත පෙරේරා, හෙන්රි සෙනවිරත්න, ජිනදාස යකුපිටිය, සමදරා කෝට්ටගේ, එස්. මාවුස්සාගොල්ල, සුමනා ජයතිලක, චන්දන තිලකරත්ත, ගාමිණී මල්වැන්න ආදී ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් හඬ ඇති ශිල්පීන් ලෙස ජනතාව සිහිකරති.


නන්දා මාලිනී


ආරියසේන මිල්ලවිතානාරච්ච් 1952 වෙළෙඳ සේවයට පත් වූ තවත් ගුරු තරුවකි. සහය නිවේදක, ස්ථිර නිවේදක, සංවිධායක සහ පාලක වශයෙන් ඔහු විවිධ තනතුරු දැරුවේය. ඔහු තේවිස් ගුරුගේ කුන්ඩන්මාල් සමාගමේ ‘වාසනා උදාව’, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මෙහෙයවමින් රටපුරා ගියේය. නන්දා මාලිනි ගීත ලෝකයේ කරළියට ආවේ ආරියසේන මිල්ලවිතානාරච්චි මෙහෙය වූ සංගීත වැඩසටහනකිනි. එම වැඩසටහනේ මුල්ම තැන දිනුවේ නන්දාය. පළමු වැනි ත්‍යාගය වශයෙන් ඉන්දුනීසියාවට යෑමට ඇයට ගුවන් ටිකට්පතක් හිමි විය. නන්දා ඒ ගමන ගියේ නැත. පසුව ආරියසේනත් ප්‍රොස්පර් ප්‍රනාන්දුත් මැදිහත්වී ඒ වෙනුවට ඇයට මුදල් ලබා දුන්නේය.


එච්.ආර්. ජෝතිපාල


වෙළෙඳ සේවයේ ‘ආධුනික පැය’ වැඩසටහනින් අවසාන වරට තේරුණු අය ‘තරු තැනුම’ වැඩසටහනට යොමු කෙරිණි. වැඩසටහන මෙහෙය වූයේ ආරියදාස පීරිස් ය. විනාඩියක් පමණයි. එඩීගෙන් අහන්න. පැනපොඩි වැනි එදා ජනප්‍රිය වැඩසටහන් නිපද වූයේ ආරියදාස පීරිස් ය. ජෝතිපාල ගායකයෙකු වූයේ ආරියදාස පීරිස්ගේ ආධුනික පැය නිසාය. එපමණක් නොව සිරිල් පී. අබේරත්නගේ සුරතලී චිත්‍රපටයේ ‘‘සිරියමෙ සාරා’’ ගීතය ගායනා කිරීමට ද ඔහු යොමු කළේ ආරියදාස පීරිස්ය.


කෝපි කඩේ


වෙළෙඳ සේවයේ ජනප්‍රියත්වයට පත් වූ මුල්ම වැඩසටහන ලෙස කෝපි කඩේ හැඳින්විය හැකිය. එහි ආරම්භක කොටස් ලීවේ ගුණරත්න අබේසේකරය. ඉතිරි කොටස් ලීවේ සිරිපාල වයමන් සහ ගුණතුංග කේ. ලියනගේය. ඔහු කොටස් 200 පමණ ලියා එහි ‘ගේබ්‍රියල්’ ගේ චරිතයට ද පණ දුන්නේය. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා නිබන්ද සම්පාදකවරයෙකු වශයෙන් මේ කාලයේ දී ගුවන් විදුලියට සම්බන්ධ විය.


ජනප්‍රිය සිංහල ගී තැටි වෙළෙඳ සේවයේ තිබුණේ නැත. ස්වදේශීය සේවයෙන් තැටි ණයට ලබාදුන්නේ ද වැඩි කැමැත්තකින් නොවේ. එවකට වෙළෙඳ සේවයේ ප්‍රධානියා වූයේ ශ්‍රී පාලි වයිමන් ය. ගුණතුංග කේ. ලියනගේ ශ්‍රී වයිමන් හා එක්ව වෙළෙඳ සේවයට තැටි නිෂ්පාදනය කිරීමේ අවසරය ගත්තේය. එතැන් සිට වෙළඳ සේවයට නව යුගයක් ආරම්භ විය.


ඒ වන විට ජනප්‍රියව සිටි අමරදේව, නන්දා මාලිනි වැනි ගායක ගායිකාවන්ට අමතරව මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක වැනි අයගේ නිර්මාණ බිහිවිය. ජීවානන්ද වීරසිංහ ඉදිරිපත් කළ සමස්ත ලංකා ගායන තරගයෙන් සුමනා ජයතිලක, දයා නෙල්ලම්පිටිය, සේන ෆොන්සේකා, සුනන්දා ධර්මපාල, පියදාස වීරසිංහ වැනි ශිල්පීන් ඉදිරියට පැමිණියේය. මෙයින් සුමනා ජයතිලක ‘හඳමාමා’ වැඩසටහනින් ප්‍රචලිත විය. සුනන්දා තල්පහේවා වැඩසටහන් නිෂ්පාදක විය.


ආගමික අංශය පටන්ගත්තේ විජිත නන්ද මැණික්දිවෙල මහතාය. පසුව රාජා ධර්මපාල සහ තිස්ස කුමාර රත්නායක ද එක්වූහ. කතෝලික ආගමික අංශයේ සිටියේ කේ. ප්‍රැන්සිස් මහතාය.


ඇසීමත්. බැලීමත් එකට කළ හැකි නිසා මහජනයා ගුවන් විදුලියට වඩා රූපවාහිනියට සමීප විය. එහෙත් ගුවන් විදුලිය අත්හැරීමක් සිදුකර නොහැකිය. මේ වන විට ගුවන් විදුලියේ එක්දහස් එකසිය එකට වඩා වැඩි පිරිසක් සේවයේ යෙදෙති. 1925 සිට සේවය කර විශ්‍රාම ලැබුවෝ ද බොහෝ වෙති. අනාගත සේවය වෙනුවෙන් පුහුණුව ලබන්නෝ ද වෙති.

 

 

 

පී.ඇම්. සේනාරත්න