• දැන් මේ විදිහට රෝද පුටුවේ ඉඳලා එපාවෙලා
  • තනියම වැඩ කරගන්න බැරිව ලොකු අසරණකමක් දැනෙනවා

 

වෙනදා මෙන් කටුවාපිටියට ඉර හඳ පෑයුවත් අප්‍රේල් 21 පාස්කු ඉරු දින නතර වුණු ජීවිත තවමත් එලෙසමය. ඉඳහිට හෝ ගෙදරක ළිප ගිනි මෙළවුණත් බොහෝ දෙනාගේ උගුරෙන් පහළට බත් කටක් වතුර ටිකක් තවමත් වැටෙන්නේ නැත.   

කළුවර වැටීගෙන එනවිට තවමත් පුංචි පැටවුන්ගේ හදවත් බයෙන් තිගැස්මෙන් වෙළාගෙන ඇත. සමහර දරුවන්ට සංකාව තිගැස්ම දැන් හුරුපුරුදුය. මන්ද සංකාවට තුරුලු වෙන්නට පුංචි පැටවුන්ගේ මව්පියන් මෙලොව නැත.   


මෙම අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දී මාස පහක් ගත වුවත් මේ අඳුරු මතකයේ සෙවණැලි මකා දමන්නට මැරෙන තුරාවට ඔවුන්ට නොහැකිය. එහෙත් ඔවුන් මේ ජීවිතවලින් යළිත් නගා සිටුවිය යුතුය.   


පාස්කු ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල සිදුව තවමත් රෝද පුටුවලට සීමා වුණු ජීවිත අතර අැය ද අපට මුණ ගැසුණු දෙදරු මවකි.   
ඇය සොයා ගිය ගමනේ කටුවාපිටියේ බොහෝ මාවත්වල එදා මරණ දැන්වීම්වලින් වැසී තිබුණු නිවෙස්වල ඇති පාළුව, ඉබි යතුරු වැටුණු ගේට්ටු මේ මාවතට දැන් හුරුපුරුදුය. තවමත් දරුවන් පාසල් නිමවී ගෙදර එනකම් බලා ඉඳින අම්මලා සොහොන ළඟ විලාප තියන තාත්තලා වේදනාවෙන් මිය යන මේ මිනිසුන් ඉල්ලන්නේ මිල මුදල් නොව නික්ම ගිය, තවමත් බරපතළ තුවාල ලබා විඳවන ආදරණීය අය වෙනුවෙන් සාධාරණ යුක්තිය පමණි.   
එය සිහිනයක් වුවත් මේ ජීවිතවලට එල්ල වී ඇති බලපෑම කොයි තරම් ද කියලා ඒ අය දැක්කම ඔබටම පේනවා ඇති.   
“මගේ උපන් දිනය තිබුණේ අප්‍රේල් 19 මහ සිකුරාදා. අම්මා කිව්වා පාස්කු පූජාවට පල්ලි ගිහිල්ලා ඇවිල්ලා ඉරිදට උපන් දිනේ ගනිමු කියලා.”
ඒත් මේ පුංචි දුවටයි එයාගේ අම්මටයි එදා ආයෙම ගෙදර එන්න ලැබුණේ නම් නෑ.   
පාස්කු ප්‍රහාරයෙන් දෙපාවලට සහ දෑත්වලට බරපතළ ලෙස හානි වුණු චූටි දියණියගේ අම්මාට තවමත් දෙපයින් නැගී සිටීමට තරම් වාරුවක් නැහැ. මේ පුංචි සිඟිති දියණිය ද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවත් ප්‍රහාරයෙන් සිව් මසකට පසු මේ පුංචි දියණිය මේ වනවිට පාසල් අධ්‍යාපනය ආරම්භ කර තිබෙනවා. නමුත් ප්‍රහාරයෙන් පසු පස් මසක් ගත වුණත් තුවාලවල වේදනාවන් තවමත් විඳවන ඇය මුහුණ පා ඇති ඛේදනීය ඉරණම ගැන අපට පැවැසුවේ මෙලෙසිනි. දෙදරු මවක වන ඇය නයනි රසිකා මහත්මියයි.   
“දැන් මේ විදිහට රෝද පුටුවේ ඉඳලා එපාවෙලා ඉන්නේ. තමන්ගේ වැඩ තනියම කරගන්න බැරි වුණාම ලොකු අසරණකමක් දැනෙනවා. මාස 5ක්ම දැන් රෝද පුටුවේ. තවත් මාස 3ක් මේ විදිහටම ඉන්න ඕනෑ කියලා වෛද්‍යවරු කියනවා.   


මගේ මහත්තයා කරන්නේ පේන්ටින් රස්සාව. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා හම්බ කරන මුදලෙන් තමයි ගෙදර අපි හැමෝම ජීවත් වුණේ. ඉස්පිරිතාලෙන් ගෙදර එක්ක ආවට ගෙදර ගිහින් වැඩ කරගන්න බැරි නිසා මාව එක්කගෙන ආවෙ මගේ මල්ලිගේ ගෙදරට. මාස 3ක් තිස්සේ තාම අපි ඉන්නේ මගේ මල්ලිගේ ගෙදර. අපි තුවාලවලින් වේදනා විඳිනවා. අපි නිසා පවුලේ අයත් දුක් විඳිනවා. මේ ව්‍යසනයට මූණ දීලා මාස 5ක්. ඒත් අපි තාම එකම තැන. මේවට වැරැදිකාරයෝ වුණ, වගකියන්න ඕනෑ අය බොහොම හොඳට ජීවත් වෙනවා. අත්අඩංගුවට ගත්ත මිනිස්සුන්ව නිදහස් කරලා. දැන් අප්‍රේල් 21 රටේ මෙහෙම දෙයක් වුණා ද ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලාවත් ඔය ආණ්ඩුවේ එක මිනිහකුටවත් මතක නෑ.   


අපි බොහොම ආර්ථික අපහසුතා මැද්දේ ජීවිතේ ගැටගහගත්ත මිනිස්සු. අපි කාටවත් කරදරයක් වෙන්න ජීවත් වුණ අය නොවෙයි. ඇයි අපි වගේ අහිංසකයන්ව මේ විදිහට බිල්ලට දුන්නේ. මොනවද අපිව බිල්ලට දුන්නා කියලා උන්ට හම්බ වුණේ. හම්බ වුණ දෙයක් නෑ. වුණේ අපි සදාකාලික අබ්බගාතයෝ වුණ එක සහ අහිංසක මිනිස්සු ටිකක් මරාගත්ත එක විතරයි. මොන ජාතියක වුණත් අපි සාමාන්‍ය මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ. සාප කරන්නේ උන්ගේ පිටිපස්සේ ඉඳගෙන මේවට උඩගෙඩි දීපු දේශපාලකයන්ට.   
තාම පල්ලියට යන්න අපි බයයි. රෝහලෙන් ගෙදර ගෙනාවට පස්සේ එක පාරක් මාව පල්ලියට එක්කගෙන ගියා. තාම පල්ලියේ පූජාවට සහභාගී වෙන්න හිත ශක්තිමත් නෑ.   


අපේ ගෙදර මහත්තයටයි, පුතාටයි වඩා පල්ලියේ හැම දේකටම යන්නේ දුවයි මමයි. අප්‍රේල් 19 මහ සිකුරාදා තමයි චූටි දුවගේ උපන්දිනේ යෙදිලා තිබුණේ. පාස්කු පූජාවට ගිහින් ඇවිල්ලම ඉරිදට අපි මොනවා හරි කරමු පුතේ කියලා තමයි පල්ලියේ පූජාවට එක්කරගෙන ගියේ. පල්ලියට යන්න පොඩ්ඩක් පරක්කු වුණු නිසා මහ පල්ලිය ඇතුළේ වාඩිවෙන්න ඉඩ තිබුණේ නෑ. ඒ නිසා බෝම්බකරු ඇතුළුවෙන පැත්තෙම දොර ළඟ බිම මමයි චූටි දුවයි වාඩි වුණා. ස්තුති කතාව ඉවරවෙනකොටම මම නැගිට්ටා. නැගිටලා මගේ සෙරෙප්පු දෙක සෙව්වත් මට සොයාගන්න බැරි වුණා. ඒ වෙලාවෙම බෑග් එකක් එල්ලගත්ත කවුදෝ මනුස්සයෙක් මගේ ඇඟේ හැපීගෙන වගේ ඇතුළට ගියා විතරයි මතක. එක පාරට විශාල දුමකින් මුළු පල්ලියම වහගත්තා. ඇඟට උළු කැට ඒවා මේවා වැටෙනවා දැනුණා. ඒ වෙලාවෙම මම නැගිටින්න හැදුවට මට නැගිටින්න බැරි වුණා. මට දැනුණේ කකුල් දෙකම නැහැ වගේ. මගේ කකුල් දෙක උඩට මුනින් අතට කෙනෙක් මැරිලා වැටිලා හිටියා. මම වටපිට බලලා හෙව්වේ මගේ දුවව. මම දැක්කා එයා දුවගෙන මා ළඟට එනවා. මට ඒ වෙලාවේ කතා කර ගන්න බැරි වුණා. කටෙන් ගොඩක් ලේ ගියා. මම අතින් දුවට කිව්වා එළියට දුවන්න කියලා. ඒත් එයා මගේ ළඟින් හෙල්ලුනේවත් නෑ.   


ඊට පස්සේ කවුදෝ අම්මා කෙනෙක් ඇවිල්ලා චූටි දුවව අරගෙන තරුණ පුතෙකුට දුන්නා. ඒ වෙලාවේ මට මොනවා වුණත් දරුවට කරදරයක් නම් වෙන්න එපා කියලා ජේසු දිහා බලලා ඇස් දෙක පියා ගත්තා. ඊට පස්සේ මම දුවව දැක්කේ මාසෙකට පස්සේ.   
මට සති තුන හතරක් සිහිය තිබුණේ නෑ. කතා කරන්න බැරුවත් ටික දවසක් හිටියා. දැන් නම් වචනවල ටික ටික හඬ එනවා. මුලදි මම හිතුවේ මට කතා කරන්න බැරුවම යාවි කියලා.   


මම ඉඳපු තත්ත්වයට මේ විදිහට හරි ඔළුව උස්සගෙන ඉන්න එක ගැන මට හරි පුදුමයි.”   


දැන් කරන ප්‍රතිකාරවලින් සුවයක් තියෙනවා ද?   


“ලොකු සුවයක් තියෙනවා. බිඳුණු අස්ථි හයිවෙලා සාමාන්‍ය තත්ත්වයට එන්න අවුරුදු එකහමාරක් විතර යාවි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ගිය මාසේ සායනයට ගිය වෙලාවේ කිව්වා අඩිය බිම තියන්න එපා අස්ථි තාම හයිවෙලා නැහැ කියලා. 

 
දණහිසෙන් ඉහළට ප්ලේට් එකක් දාලා තියෙන්නේ. අත් දෙකෙත් අස්ථි බිඳීමට ලක්වුණා. ගෑස් එකට අත් දෙකම පිච්චුණා. දැන් නම් ඒ තුවාල ගොඩක් දුරට සුවයි. ඒත් අත් කකුල්වල හිරි ගතිය තවම අඩු නැහැ. ඒ නිසා මට තාම සංවේදීතාවයක් දැනෙන්නේ නැහැ. ඇඟ ඇතුළේ යකඩ බෝල කිහිපයක්ම තියෙනවා. ඉක්මනින්ම ගන්න ඕනෑ, ඒවා කකුල ඔපරේෂන් කරනකොට ගත්තා. ඇඟ ඇතුළේ තියෙන අනිත් යකඩ බෝල ගන්න බෑ කියලා කියනවා.   
අත් දෙක තවම උස්සන්න බැරි නිසා අත් වාරුවකින්වත් ඇවිද ගන්න බෑ තවම. මගේ ඔක්කොම වැඩ කරන්නේ මගේ මල්ලිගේ නෝනා. මගේ නංගිලා. හැමදාම මේ අයට මේ දුක දෙන්න බෑ. මට ඕනෑ මොන විදිහකින් හරි ඉක්මනට සනීප වෙන්න.   


මාස හතරකට පස්සේ චූටි දුවව පාසල් යැව්වේ. එක දිගට ඉස්කෝලේ යන්න බෑ කියනවා. කළුවර වැටීගෙන එනකොට තාම හරි බයයි. වෛද්‍යවරු කියලා තියෙන්නේ එයාට එදා ඒ සිද්ධිය නැවත නැවත මතක් කරන්න එපා කියලා. තනියම ඉන්න බයයි. ඒ වගේ පුංචි පුංචි දේවල් තියෙනවා. නිතරම සිස්ටර්ලා, පියතුමන්ලා ඇවිල්ලා මනෝ උපදේශන දීලා යනවා. දුවටත් තව ඉන්ජෙක්ෂන් කිහිපයක් දෙන්න ඕන කියලා තියෙනවා. තවම අරගෙන ගියේ නෑ. මගේ කන් අඩිය පුපුරලා තියෙනවා. එක කනක් ඇහෙන්නෙම නෑ. දැන් ඒකට ප්‍රතිකාර කරනවා.”


සිදුවී ඇති හානිවලින් තවමත් යථා තත්ත්වයට පත් නොවූ මොවුන්ට දැන් මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධානම ගැටලුව වන්නේ ආර්ථික පසුබිමයි.   


“අපට ප්‍රතිකාරවලට යන සියලුම වියදම සෙත්සරණ හරහා ලබා දෙනවා. ඒත් ඔවුන්ට නිතරම කරදර කරන්න බැරි නිසා සමහර ප්‍රතිකාර අපි අපේ වියදමින් කර ගන්නවා.   
රතු කුරුස සංවිධානයෙනුත් අපිට ගොඩක් උදව් කළා. අපි ලොකු ආර්ථික වත්කම් තිබුණ මිනිස්සු නොවෙයි. දැන් ආර්ථික ප්‍රශ්නවලට අපි දැඩි ලෙස මූණ දීලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ කුලී නිවසක. දැන් ඒ ගෙදර වහලා දාලා තිබුණත් මාසේ කුලිය ලබා දෙනවා. මට තනියම වැඩක් කරගන්න පුළුවන් වෙනකම් ගෙදර යන්න අමාරුයි. ආණ්ඩුවෙන් ගෙවල් දෙනවා කියලා කිව්වා. තාම නම් ඒ ගැන මුකුත් කිව්වේ නෑ. ගෙයක් දෙනවා නම් ලොකු පිනක්. ඉන්න ගෙරදට මාසෙකට 9000ක් දෙන්න ඕනෑ. මහත්තයාගේ තනි පඩියෙන් ජීවත් වෙන අපිට ආර්ථික වශයෙන් ලොකු ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.”


නයනි මහත්මියගේ වැඩිමහල් සොහොයුරා ද ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව අපට මෙලෙස අදහස් දැක්වීය.   


“එදා පල්ලියේ පූජාවට ගිය වෙලාවේ මම නංගිවයි චූටි දුවවයි මහ පල්ලියේ ඉන්නවා දැක්කා. මම හිටියේ පොඩි පල්ලිය ඇතුළේ. ස්තුති කතාව අතරතුර මුළු පල්ලියම දෙදරලා ගියා. මම පුංචි පල්ලියේ එළියට දුවලා එනකොට මිනිස්සු මහ පල්ලිය ඇතුළේ ඉඳගෙන කෑ ගහගෙන එළියට දිව්වා.   
ඒ වෙලාවේ මට මතක් වුණා නංගියි දුවයි මහ පල්ලිය ඇතුළේ නේද කියලා. හොයාගන්න බෑ. මිනිස්සුන්ගේ අත පය කෑලි හැමතැනම මස් ගොඩක් වගේ. දුවයි නංගියි ඇඳගෙන හිටපු ඇඳුම්වලින් ගොඩ ගහලා තිබුණු සිරුරු ගොඩේ සෙව්වා. ආයෙම ගෙදර දුවලා ගෙදර ඇවිත් ද කියලා බැලුවා. ඒ ඇවිල්ලත් නෑ. ඊට පස්සේ නංගිගේ මහත්තයවත් ගෙන්නගෙන මෝචරිවල, හෝස්පිටල්වල හැමතැනම සෙව්වා. 21 හවස තමයි නංගිව මීගමුව රෝහලේ ඉඳලා සොයා ගත්තේ. චූටි දුවවත් හවස් වෙනකොට සොයා ගත්තා. දුවව මීගමුවෙන් අමාරුයි කියලා රිජ්වේ එකට මාරු කළා. දුව රිජ්වේ එකේ මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබුවා.   


චූටි දූ අම්මව සොයනවා. අම්මා චූටි දුව අහනවා. අපි ඉතින් දෙන්නගෙම හිත හද හද හිටියා. නංගිව ගෙදර එක්ක ඇවිල්ලා දවස් දෙකකට පස්සේ චූටි දුවවත් අපි ගෙදර එක්කරගෙන ආවා. නංගිට තව මාස 3කට අඩිය තියන්න එපා කියලා තියෙන්නේ. මාසෙකට සැරයක් සායනවලට එක්ක යන්න ඕනෑ. මල්ලි වැඩට නොගියොත් මේ වැඩවලට මුදල් නෑ. මේ වගේම ඇවිදගන්න බැරුව ඇඳන් උඩ ඉන්න බොහෝ දෙනෙක් තව මේ කටුවාපිටියේ ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ව හැමෝටම අමතකයි. ආණ්ඩුව මේ ප්‍රහාරයේ වගකිම භාරගත්තා නම් ඇයි මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි? බෝම්බ ප්‍රහාරයේ උණුසුම යන්නත් කලින් හදිසි නීතිය ඉවත් කළා. බුර්කාව තහනම ඉවත් කළා. අපි ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සු විදිහට දැන් කණාමැදිරි එළියටත් අපි බයයි. මේ විදිහට රට ඉස්සරහට ගියොත් ආයෙම මේ වගේ විනාශයක් වෙන එක වැඩි ඈතක නෑ.”

 

 


නදීශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර