(මුදිතා දයානන්ද)

“අපි පෞද්ගලික අංශයේ කර්මාන්ත හෝ වෙනත් ආයතන වසා දමන්නේ නැහැ. රටට ආදායම් උපයා දිය හැකි, ආර්ථිකය ශක්තිමත් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ඉලක්ක සහගත නිෂ්පාදන කර්මාන්තය කරා කැඳවන උන්මාදයක් ඇති කරනවා” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා පෙරේදා (21) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඔහු මෙසේද පැවසීය.

අපේ රටේ ආර්ථිකය ප්‍රධාන අර්බුද පහකින් පෙළෙනවා. ඒ අතරින් පළවෙනි එක තමයි ණය අර්බුදය. රටේ ආදායම ණය වාරිකය ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. ඒකට තවත් බිලියන එකසිය තිස් පහක් ණයට ගත යුතු වෙනවා. ඊළඟ අර්බුදය තමයි ආනයන, අපනයන අර්බුදය. දෙදහස් දහඅට වසරේ පිටරටින් භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් බිලියන 22.2ක් වැය වෙලා තියෙනවා. භාණ්ඩ අපනයනයෙන් අපට ලැබිලා තියෙන ආදායම ඩොලර් බිලියන 11.8යි. ඒ අනුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 10.4ක හිඟයක් තියෙනවා. තුන්වැනි ගැටලුව තමයි රාජ්‍ය ආදායම හීන වීම. හතර වෙනි ගැටලුව තමයි රටේ නිෂ්පාදනය බරපතළ විදිහට කඩාගෙන වැටීම. නිෂ්පාදන පිරිවැය අධික වීම, නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය ඒකාබද්ධ කර ගන්න අසමත් වීම සහ ඊට ගැළපෙන වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට අසමත් වීම තමයි මේ නිෂ්පාදනය කඩා වැටීමට හේතු වෙලා තියෙන්නෙ. අපි මුහුණ දීල තියෙන පස්වැනි ගැටලුව තමයි ආදායම් බෙදී යාමේ විශමතාව. ඉහළම ආදායම් ලබන සියයට දහය රටේ ආදායමෙන් සියයට තිස් අටයි දශම හතරක් භුක්ති විඳනකොට පහළම ආදායම් සහිත සියයට දහයට හම්බ වෙන්නෙ ජාතික ආදායමෙන් එකයි දශම එකයි.

අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නෙ මේ අර්බුදයන් පහ සමනය කර ගන්නෙ කොහොමද කියන එක සැලකිල්ලට අරගෙන. ඒ ගැන කතා කරන්න කලින්, අපි ගැන හැදිල තියෙන මිත්‍යා මත කිහිපයක් පිළිබඳව අවධාරණය කරන්න ඕනෑ. අපි ණය ප්‍රතික්ෂේප කරනවා කියල මතයක් තියෙනවා. ඒක වැරදියි. රටකට ණය කියන්නෙ අපරාධයක් නෙමෙයි. ණය අපරාධයක් කර ගත්තෙ ණයවලින් රට තුළ අවශ්‍ය
වත්කම් උත්පාදනය කර ගත්තෙ නැති හින්දා. විගණකාධිපතිවරයාගේ සංඛ්‍යාලේඛන අනුව මේ වෙනකම් ගත්ත ණයවලින් සියයට අනූවක්ම රටේ වත්කම්වලට එකතු වෙලා නැහැ. ඒකට එක උදාහණයක් තමයි සූරියවැව ක්‍රීඩාංගණය. මෑතකදී කෝප් කමිටුවේදී හෙළි වූ තොරතුරු අනුව සූරියවැව ක්‍රීඩාංගණයේ වියදම රුපියල් මිලියන 5500යි. හැබැයි තක්සේරු කරනකොට වටිනාකම රුපියල් මිලියන 900යි. අනිත් කාරණාව තමයි ණය අරගෙන අවශ්‍ය වත්කම් නිර්මාණය කර නොගැනීම.

දැනට වැඩි හරියක් ණය අරගෙන තියෙන්නේ විධිමත් මූල්‍ය ආයතනවලින් නෙමෙයි. ඒකට හේතුව තමයි එවැනි ආයනතවලින් ණය ගන්නකොට සම්පූර්ණ කරන්න ඕනෑ පරිසර ඇගයීම් වාර්තා, ශක්‍යතා වාර්තා වැනි දේ දෙන්න මේ අය අපොහොසත් වීම. ඒ විදිහට වාණිජ වෙළඳපොළෙන් වැඩි පොලියට ණය ගන්නව වෙනුවට විධිමත් ආයතනයන්ගෙන් තමයි අපි ණය ගත යුත්තේ. ඒ ණය තුළින් රට තුළ වත්කම් උත්පාදනය කරන්නත්, ඒවා අවශ්‍ය වත්කම් උත්පාදනය වෙනුවෙන් යොදවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ණය ප්‍රතික්ෂේප කරන පාලනයක් නෙමෙයි.

ජාත්‍යන්තර වෙළඳපොළ ගැන අපි හිතන විදිහ ගැනත් තියෙන්නෙ මිත්‍යාවක්. සම්පූර්ණයෙන්ම වහන ලද, ජාත්‍යන්තර ගනුදෙනු නැති වෙළඳපොළක් ගැන අපි යෝජනා කරනවා කියල චිත්‍රයක් තමයි නිර්මාණය කර තියෙන්නෙ. ඒකත් වැරදියි. ලෝකයේ නිෂ්පාදනය වන නව දැනුම, නව තාක්ෂණය වේගයෙන් අපේ රටට උකහා ගත හැකි ආර්ථිකයක් තමයි අපි යෝජනා කරන්නෙ. ඒත් මේ දක්වා ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී, අපේ රට ඒ පස්සෙ ඉබි ගමනින් තමයි අපේ පාලකයන් අරගෙන ගිහින් තියෙන්නෙ.

මේ වෙනකොට කිසිදු රටකට ආර්ථිකය ගැන හුදෙකලාව කතා කරන්න බැහැ. නිෂ්පාදනයෙන් හැම රටක්ම ලෝකය පුරාම එකිනෙකට සම්බන්ධ වෙලා. ඒ සම්බන්ධතා තුළ අපේ කාර්යය පුළුල් කිරීම ගැන තමයි අපි කල්පනා කරන්නෙ. එහෙම නැතුව රටක් විදිහට හුදෙකලා වීම නෙමෙයි.

අපේ රටේ කර්මාන්ත දියුණු කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි කිරි කර්මාන්තය. අපි කෘෂිකර්ම අමාත්‍යාංශ බාරගන්නකොට කිරි නිෂ්පාදනය තිබුණෙ අවශ්‍යතාවයෙන් සියයට දාහහතයි. අපි ඉලක්කයක් හැදුවා, දෙදහස් දහය වෙනකොට රටේ අවශ්‍යතාවයෙන් සියයට පනහක් කිරි රට ඇතුළෙ නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා. ඒක එතෙන්ට ගේන්න තියෙන බාධා මොනවද කියලා අපි හොයලා බැලුවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා කිරි කර්මාන්තයට ඇවිත් තිබුනේ නැහැ. කිරි නිෂ්පාදනය කර්මාන්තයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා දේශීය ආයෝජකයන්ට අපි ආරාධනා කළා, අපේ ඉලක්කය වෙනුවෙන් ආයෝජනය කරන්න එන්න කියලා. මහජන බැංකුවත් එක්ක කතා කරලා ව්‍යවසායකයන්ට අඩු පොලී අනුපාතයකට ණය දෙනන එකඟ කරගත්තා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ක කතා කරලා, මේ ආයෝජකයන්ට බදු සහන දෙන්න කියල එකඟ කර ගත්තා. මේ විදිහට තමයි අපි සියල්ල සැලසුම් සහගතව සිදුකළා. කිරිමණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කළා.

මේ වෙනකොට ව්‍යවසායකයාට විශාල වශයෙන් බදු ගෙවන්න වෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි, ඔවුන්ට අලුතෙන් ආයෝජනය කරන්න තියෙන හැකියාව අඩු වෙන එක. ඒ නිසා බදු අය කිරීම ආර්ථිකය ප්‍රසාරණය වීමට බාධාවක් නොවිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. අපේ රටේ ආදායම් බදු ෆයිල් තියෙන්නෙ දෙලක්ෂ හැත්තෑ දාහක් පමණ ප්‍රමාණයක්. රටත් එක්ක හිතුවම ඒක ඉතා කුඩා ප්‍රමාණයක්. මේ බදු ෆයිල් දෙලක්ෂ හැත්තෑ දාහ එහෙට මෙහෙට පෙරළන එක තමයි මේ වෙනකම් අය වැය කියල කළේ. අපේ ඉලක්කය මේ බදු ෆයිල් ගණන ලක්ෂ පහක් දක්වා වැඩි කිරීම. ඒ කියන්නෙ හොය හොය ගිහින් බදු ගහනවා කියන එකෙ නෙමෙයි. එවැනි බදු ගෙවිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කණ්ඩායමක් රට තුළ නිර්මාණය කිරීමයි. ඒ ව්‍යවසායකයන් හදන්න ඕනෙ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව විසින් ඒ ව්‍යවසායකයන්ට ඉලක්ක සකස් කර දෙන්න ඕනෑ. ඒ ඉලක්ක අත්පත් කර ගන්න ඔවුන්ට සහයෝගය දෙන්න ඕනෑ. එහිදී ඔවුන් කඩාගෙන වැටුණොත් නැවත නගා සිටුවන්නත් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. අපි මේ යෝජනාව කරන්නෙ ඒ සියල්ල ගැන දැක්මක් ඇතිවයි. එහෙම නැතුව දැන් ඉන්න පිරිසට තව තවත් බදු ගැහීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි.

අපේ ආර්ථික ප්‍රතිපත්තිය කොළඹ කේන්ද්‍ර කරගත්ත එකක් නෙමෙයි. මේ ව්‍යවසායකයන් කොළඹට කේන්ද්‍ර කරන්නෙ නැතුව රට පුරා ක්‍රියාත්මක කරන්නත් අපි සැලසුම් කර තියෙනවා. ඒ ව්‍යවසායකයින්ට ඉක්මනින්ම දැනුම, තොරතුරු ගලාගෙන යන සන්නිවේදන පද්ධතියක් සහ පහසුවෙන් නිෂ්පාදන කොළඹට ගෙන ආ හැකි මාර්ග පද්ධතියක් ඇති කරනවා. එලෙස රට පුරා නිර්මාණය කරන ව්‍යවසායන් තුළින් ආර්ථිකය ප්‍රසාරණය කිරීම අපේ ආර්ථික සැලැස්මේ වැදගත් කොටසක්.

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා:-
මේ වෙනකොට එක එක්කෙනා වෙන වෙනම තමන්ගෙ ලාභය වෙනුවෙන් එකිනෙකා ගැටෙද්දී අපේ ආර්ථිකය කැඩී, විසිරී ගිහින් තිබෙනවා. නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වය පහත වැටී තිබෙනවා. ඒ කැඩිලා විසිරිලා තියෙන ආර්ථිකය එක තැනකට එකතු කරන්නෙ කොහොමද කියන එක මේ වෙනකොට අපි මුහුණදෙමින් ඉන්න ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට විසඳුමක් අපි මේ යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ තියෙනවා. අපි ගොඩනගන ආර්ථිකය ඇතුළෙ කාටවත් ගැටෙන්න ඕනෙ වෙන්නෙ නැහැ. හැම කෙනෙක්ටම ආර්ථික දාමය ඇතුළෙ තමන්ට දායක විය යුතු පංගුවක් තියෙනවා. ඒ නිසා තමයි අපි අපේ තේමාව විදිහට නව දැනුම, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, තාක්ෂණය මුසු කළ නොසැලෙන ආර්ථිකයක් කියන එක අරගෙන තියෙන්නෙ. එහෙම නොසැලෙන ආර්ථිකයක් ඇතුළෙ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අපි දියුණු කරනවා. ඒ විදිහට අඛණ්ඩව වර්ධනය වෙන භාණ්ඩ හා සේවා ආර්ථිකයක් ඇතුළෙ තමයි අපිට මේ රට පත් වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ වැඩපිළිවෙළට ඇතුල් කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ වෙනකොට ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ඒකට අවශ්‍ය නීතිමය තත්ත්වයන් විසඳ ගන්න, මොකක් හරි දැන හැඳුනුම්කමක්, හිතවත්කමක් නැතුව බැරි වෙලා තියෙනවා. ඒ නිසා සීමිත පිරිසකට විතරයි අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි. අපේ ප්‍රතිපත්තිය වෙන්නෙ මේ රටේ සෑම කෙනෙකුටම තමන්ගේ හැකියාව අනුව ආර්ථිකයට වටිනාකම් එකතු කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන එකයි. අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නෙ එයයි.

දරිද්‍රතාව තුරන් කරන්නෙ කොහොමද කියන එකත් අපේ ප්‍රතිපත්තිය තුළින් දීර්ඝව විස්තර කර තියෙනවා. ඒක සහනාධාර බෙදීම වගේ අසාර්ථක යෝජනා නෙමෙයි. ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගන්න අවශ්‍ය වෙන ආර්ථික වැඩපිළිවෙළක් තමයි අපි යෝජනා කර තියෙන්නේ. ප්‍රාථමික නිෂ්පාදනවල ඉඳල ග්‍රාමීය කර්මාත්න දියුණු කිරීම දක්වා වැඩපිළිවෙළක් මෙහි සඳහන් වෙනවා. ඒ ගැන අපි මේ වෙනකොටත් ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්, තේ, කුරුඳු වැනි වගාවන් කරන ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සාකච්ඡා කර තිබෙනවා. ඔවුන්ගෙන් යෝජනා ගත්තා. ඔවුන්ගේ හැකියාවන් සොයා බැලුවා. දේශීය නිෂ්පාදන ලෝක සැපයුම් ජාලය එක්ක සම්බන්ධ කරන්නෙ කොහොමද කියන එකටත් අපි වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා.

මේ අවස්ථාවට වරලත් ගණකාධිකාරී ආචාර්ය දයානන්ද අම්බලන්ගොඩගේ, ආචාර්ය කිංස්ලි කරුණාරත්න, ආචාර්ය චන්දන ජයලත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමලා සිරිවර්ධන, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහින්ද රත්නායක, අධිනීතිඥ ලාල් විජේනායක, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ උප සභාපති අබ්දුල් රහුමාන්, ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති වරලත් ඉංජිනේරු ග්‍රේෂන් ඒ පීරිස් සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.