(මුදිතා දයානන්ද )

“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.

එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.

ඔහු මෙසේ ද පැවැසීය.

“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.

කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.

රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.

ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.

ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්‍රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.

ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.

අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.

අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.

පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.

අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්‍රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.

අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.

දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.

දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්‍රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්‍රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.

මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.”  

එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:
“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්‍රතිපත්තියයි.

වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:
අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”

මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු  ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.