(ආරියරත්න රණබාහු)

කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (16) පැවසීය.

නිදහස් අධ්‍යාපනය නොයෙකුත් නිර්වචනවලට භාජන වී ඇති මෙම අවස්ථාවේ සැබෑ කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ දර්ශනය කුමක්ද යන්න පිළිබඳ සමාජයට නිවැරදි අවබෝධයක් ලබාදීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි ආයතනයක් අත්‍යවශ්‍යව ඇතැයි ද ජනාධිපතිවරයා කිීය

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් මෙරට ප්‍රථම අධ්‍යාපන ඇමැති ආචාර්ය සී.ඩබ්ලිව්.වබ්ලිව්. කන්නන්ගර මහතාගේ පනස් වන ගුණ සමරු උළෙල අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික විද්‍යුත් සම්පත් මධ්‍යස්ථානය හා ජනාධිපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (16) පස්වරුවේ පැවැත්විණි.

කන්නන්ගර මහතා විසින් 1945 දී සම්මත කරගනු ලැබූ ඓතිහාසික නිදහස් අධ්‍යාපන පනත සහ ඒ මහතා මෙරටදී හා විදේශයන්හිදී කළ කතා හා ලිපි ඇතුළත් නිදහස් අධ්‍යාපනයේ පුනරාලෝකනය නමැති ග්‍රන්ථයද මෙහිදි එළිදැක්විණි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 50 වන ගුණ සමරුව පවත්වන අවස්ථාවේ එතුමා පිළිබඳව යමක් සඳහන් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

පසුගිය සතියේ මා ගියා කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද පළමුවන මධ්‍ය විද්‍යාල 52න් එකකට. ඒ කැකිරාව මධ්‍ය විද්‍යාලය. මම එහි ගියේ මම දුන්න රුපියල් කෝටි හයක නව ශ්‍රවණාගාරය විවෘත කරන්න. මගේ ළඟ හිටිය විදුහල්පතිතුමාගෙන් ඇහුවා විදුහල්පතිතුමා ගම කොහෙද කියලා, සර් මං කැකිරාවේ කියලා කිව්වා. මම ඇහුවා ඉගෙන ගත්තේ කොහෙද කියලා, සර් මේ ඉස්කෝලෙමයි මං ඉගෙන ගත්තේ කිව්වා. මේ විද්‍යාලයට අවුරුදු කීයද කියලා විදුහල්පතිතුමාගෙන් ඇහුවා. විදුහල්පතිතුමා කිව්වා දැන් අවුරුදු 75යි කියලා. මම සතුටු වෙනවා කන්නන්ගර මැතිතුමාගේ සංකල්පයෙන් බිහිවෙච්ච පළමුවැනි මධ්‍ය විද්‍යාල 52 න් එකකට ගිය සතියේ නව ශ්‍රවණාගාරය ලබාදෙන්න පුඵවන් වීම පිළිබඳව.

මම නිදහස් අධ්‍යාපනය ගැන විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද ප්‍රශ්නයක් තියෙනවා රටේ සැබෑ ලෙස ම නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන. මම හිතනවා කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳව පර්යේෂණ ආයතනයක් පිහිටුවනව නම් හොඳයි කියලා. ඒ මොකද නිදහස් අධ්‍යාපනයට නොයෙකුත් නිර්වචනයන් දෙනවා. ඒ නිසා සැබෑ ලෙස ම හඳුනාගත යුතු වෙනවා කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන දර්ශනය, ප්‍රතිපත්තිය කුමක්ද කියන කාරණය. පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ කරලා 47 වසරේ පැවැත්වූ පළමුවැනි මැතිවරණයෙන් එතුමා පරාජයට පත්වුණා. 52 දී නැවත කන්නන්ගර මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ මතකයේ හැටියට පළාත් පාලන ඇමැතිවරයා හැටියට කටයුතු කළා.

52 දී නැවත කන්නන්ගර මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත්, පළාත් පාලන ඇමැති විදිහට කටයුතු කරලා තිබෙනවා.  කන්නන්ගර මැතිතුමාගේ දර්ශනය ගොඩනැඟුණේ චරිතය නිසා කියන එක මම විශ්වාස කළා. ඒ චරිතයෙන් බිහිවුණු දර්ශනයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ.

නිදහස් අධ්‍යාපනය වාගේ ම රටේ සංවර්ධනය සහ රටේ අනාගතය පිළිබඳ කතා කරන වේලාවක අද පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කන්නන්ගරලා 25ක් හිටිය නම් රට කොතැන තිබේ ද කියලා අපිට හිතාගන්න පු`ඵවන්. නමුත් කන්නන්ගරලා එක්කෙනෙක්වත් නැති නිසා තමයි අද බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.  විශේෂයෙන් ම ගෙවී ගිය වසර 40කට ආසන්න කාලය දේශපාලන තක්කඩින්ගේ සහ චෞරයන්ගේ දශක 4ක් විදිහට මම දකින්නේ. කන්නන්ගර මහතා විශ්‍රාම ගිහිල්ලා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියා, මට ජීවත් වෙන්න අමාරුයි පු`ඵවන් නම් උදවුවක් කරන්න කියලා. ඊට පසුව කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් කරලා එතුමාට දීමනාවක් ගෙවන්න තීන්දු කළා.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා වාගේම කන්නන්ගර චරිතය අධ්‍යයනය කරන්න, කන්නන්ගර චරිතය කියවන්න. ඒ කියවීම මේ රටේ නූතන නවක දේශපාලනඥයින්ට වැදගත් කියලා මම විශ්වාස කරනවා. අපි ප්‍රධාන වශයෙන් ම නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා වාගේම ඒ යුග පුරුෂයාගේ චරිත අධ්‍යයනය කිරීම ඉතාමත් ම වැදගත්. එතුමා ගුරුවරයෙක්, නීතිඥයෙක්, දේශපාලනඥයෙක් විදිහට ඒ දර්ශනයේ තිබුණු ස්වදේශිකත්වය ඉතාමත් වැදගත් අංශයක්.

ඒ ස්වදේශීය ගති ලක්ෂණ චින්තනය අදත් අවශ්‍යයි. අපේ ඉතිහාසය, අපේ භාෂාව, පුරාවිද්‍යාව, පුරාණ තාක්ෂණික තොරතුරු සියල්ල සමග රටක් ලෙස ඉදිරියට යන්නට, කන්නන්ගරලා සිය ගණනක් අවශ්‍ය වෙනවා නව දේශපාලන ගමනක් යාම සඳහා. අපි බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 71කට ආසන්න කාලයක් වෙනවා. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි දේශපේ්්‍රමී නායකයන්ගේ හදවත් තුළ රටේ අනාගතය පිළිබඳව සිතුම් පැතුම් ගැන චින්තනයක් තිබුණා.

ඒ චින්තනය සහ දර්ශනය අද මේ රටේ සිටින දේශපාලනඥයන් කී දෙනකුට තිබෙනවාද? අපි හඳුනාගත යුතුයි මේ රටේ කන්නන්ගරලා කී දෙනක් ඉන්නවාද කියලා. වසර 50ක් ගිහිල්ලත් කන්නන්ගර මහත්මයාව සමරන්නේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය බිහිකළ නිසාම නෙවෙයි. ඒ වගේම එතුමාව සමරන්නේ ඒ දර්ශනය වගේම ඒ චරිතයේ තිබුණු උතුම් ලක්ෂණ නිසා. අද දේශපාලනයට එවන් චරිතවල අඩුවක් තිබෙනවා.

කන්නන්ගර මැතිතුමා සමරමින් එතුමාගේ නිදහස් අධ්‍යාපන පිළිවෙත පිළිබඳව ග්‍රන්ථයක් එළිදක්වමින් කන්නන්ගර චරිතය සහ දර්ශනය යළි යළිත් සිහිගැන්වීමට දායක වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.

මෙහිදී කන්නන්ගර මෙහෙවර හා අනාගත අභියෝග මැයෙන් සමරු දේශනය කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේ පැවසීය.

දියුණු රටවල ඒ මේ ළමයින්ගේ අනාගතය සඳහා වූ අධ්‍යාපනයක් තිබුණත් අපේ රටේ තිබෙන්නේ “මුදලාලි” “පාසල් මුදලාලි” විශ්වවිද්‍යාලයි. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයට අද සිදුවී ඇත්තේ කුමක්ද?
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මෙරට තිබෙනවාද කියා නැවත සමාලෝචනය කළ යුතුයි. තරුණ පරපුරේ ප්‍රශ්නවලට මේ තිබෙන අධ්‍යාපනයෙන් පිළිතුරු තියෙනවද? උසස් පෙළ සමත් සෑම දරුවන් දහ දෙනකුගෙන්ම නැවත කතාකර ඇසුවොත් දුවේ පුතේ ඔබගේ අනාගත සිහිනය කුමක්ද කියලා ඔවුන් කියයි මේ රට මට එපා, මේ රටේ මට ඉන්න බැහැ, මේ රටින් මට යන්න ඕන, මේ රට මට සාධාරණයක් කරන්නේ නැහැ කියලා.
අවුරුදු 70 ක් මෙරට නිදහස් අධ්‍යාපනය සාර්ථක කළා නම් ඒ තරුණ පරම්පරාව එසේ ලාංකික සමාජයෙන් පිටමං වන්නට ශාප කරන්නට වෛර කරන්නට එරෙහිවන්නට උත්සාහ කරයිද?

සමබර දරුවෙක් මේ අධ්‍යාපනයෙන් නිර්මාණය කර තිබෙනවාද? ලෝකයේ කිසිම රටක හෝඩියේ සිට 5 දක්වා අකුරු උගන්වන්නේ නැහැ. වචන උගන්වන්නේ නැහැ. වැලි මැටි ගස් ජලය සහ සොබාදහම පදනම් කරගෙන තමයි ඒ අධ්‍යාපනය දෙන්නේ.

අවාසනාවකට අපේ උරුවන්ට පහේ ශිෂ්‍යත්වයක් දීලා ඔවුන්ගේ ළමා කාලය නාස්ති කරනවා. ඔවුන් මානසික පීඩනයකට ලක් කරනවා.

එම නිසා මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතුමයි. කන්නන්ගර මහතාගේ සිහිනයක් වුණේ සියලුම පෞද්ගලික පාසල් රජයේ පාසල් විය යුතු බවයි. එදා එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැහැ. නමුත් 1960 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අධ්‍යාපන ඇමැතිවරයා වූ බදියුද්දීන් මහමුද් මහතා ඒ දුෂ්කර කාර්යය කළා.

නමුත් මේ වනවිට විට එය නැවත වතාවක් ආපස්සට ගමන් කර තිබෙනවා. මේ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉතා කඩිනම්ව සිදු කළ යුතු යැයිද මහාචාර්යවරයා කීය.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් පිරිස පංචශීලයේ පිහිටු වූ අතර ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සේමසිංහ දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.
අසිත බාලසූරිය මහත්මිය ඇතුළු කන්නන්ගර පවුලේ මුණුපුරු මිණිපිරියන් ඇතුළු පවුලේ සාමාජිකයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කළ සංස්කෘතික අංගවලින් උළෙල විචිත්‍රවත් විය.