(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.
ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.

අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.

ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.

අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.

ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.

අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.

අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.

නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.

සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.

අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.

ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.

අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.

අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.

මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.

කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.

ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.

කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.

පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.

අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.

මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.

ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.