රටේ මොකද වෙන්නේ ? පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් කතානායක කරු ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවකි මේ.  

කතානායක කරු ජයසූරිය  

 

ප්‍රශ්නය:- රටේ තත්ත්වය ගැන ඔබ සෑහීමකට පත් වෙනව ද?  


පිළිතුර:- සත්තෙන්ම මම විශාල වේදනාවකින් ඉන්නේ. මං නිදහසට පෙර උපන් කෙනෙක්. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගමෙන් ආපු කෙනෙක් හැටියටත් පාසල් ශිෂ්‍යයෙකු විදියට නිදහස් උත්සවයට ඇවිත් කොඩිය වනපු කෙනෙක් හැටියටත් මම අද රටේ තත්ත්වය ගැන සෑහෙන වේදනාවකින් ඉන්නේ. අවුරුදු 71 කට පස්සේ ආපසු හැරිලා බලනකොට අපි කාටවත් සතුටු වෙන්න බෑ. එද‌ා ජපානයයි අපියි අතර තිබුණේ එක ඩොලරයක වෙනසක්. අද ජපානය කොහේද? අපි කොහේද?  


ප්‍රශ්නය:- රට පාලනය කරපු ආණ්ඩු මේකට වගකිව යුතුයි?  


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම. අපේ තිබුණේ කුළල් කා ගැනීම්. අපේ තිබුණේ ජාති බේද? ආගම් බේද. ඒ වගේම දේශපාලන බේද? මම දේශපාලන නායකයන්ට චෝදනා කරන්නේ නෑ. නමුත් අපිට පුළුවන් වුණා නම් ජාතික වශයෙන් එකඟත්වයට එන්න. ප්‍රතිපත්ති හදලා ඒවා ක්‍රියාත්මක කළා නම් අද මේ රට මේ තත්ත්වයට පත්වෙන්නේ නෑ. මාව හමුවෙන්න තරුණයෝ හරියට එනවා. රටට මේ මොකද වුණේ කියලා ඇහුවම ඒකට දෙන්න උත්තරයක් ඇත්තටම මට නෑ.  

ප්‍රශ්නය:- ඔබලා බාර ගත්තේ යුද්ධය නැති රටක්. නමුත් අන්තිමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිත රටක් නිර්මාණය කළා?  


පිළිතුර:- ඇත්තටම ඒකට අඩුපාඩුකම් ගොඩක් වෙලා තියෙනවා. දැන් ඒවා හොයාගෙන යනවා. අපි කාටවත් වගකීමෙන් පලායන්න බෑ. නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වැඩ කළ යුතුයි.  


ප්‍රශ්නය:-පාස්කු ඉරිද‌ා ප්‍රහාරය ගැන දින තුනක විවාදයක් තිබුණා. ඔබ හිතනව ද ඔය බැණ අඬ ගසා ගැනීම් වලින් මේ රට හදන්න පුළුවන් කියලා?  


පිළිතුර:- ඇත්තටම ඔබ හරි. මම විවාදය පටන් ගන්න කොටම කිව්වා ‘මේක ජාතික වශයෙන් ඉතාම තීරණාත්මක විවාදයක්. බොහොම වගකීමෙන් කටයුතු කරන්න’ කියලා. නමුත් කියන්න කනගාටුයි කිහිප දෙනෙක් ඇරෙන්න හුඟාක් දෙනෙක් කළේ එකිනෙකාට මඩ ගසා ගැනීම පමණයි. ඒක ඉතාම කනගාටුද‌ායක තත්ත්වයක්.  


ප්‍රශ්නය:- දවසකට ලක්ෂ සීයක් දෙසීයක් වියදම් කරලා රැස්කරන පාර්ලිමේන්තුවෙන් ඇත්තටම රටට වැඩක් නෑ?  


පිළිතුර:- එහෙම නොවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස් වුණාම අන්තවාදීන් ආගමට මුවාවෙලා කරන නීති විරෝධි ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගත්තා. ආගම් තියෙන්නේ මිනිස්සු එකමුතු කරන්නයි. එහෙම නැතිව බෙද‌ා වෙන් කරන්න නොවෙයි. ආගම යොද‌ාගෙන අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කරන්න කාටවත් ඉඩදෙන්න බෑ. ඒ වගේම ආගමේ නාමයෙන් රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන්නත් කාටවත් දෙන්න බැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැතිව ඇති. ඒ වුණත් නිහඬව සහ තීරණාත්මක ලෙස පාර්ලිමේන්තුවේ ඊට අද‌ාළ කටයුතු සිදුවෙමින් පවතිනවා. සියලු අණපනත්වලට නීතිමය බලය ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඒ අණපනත් ඉදිරියේ දී ඉක්මනින් බල ගැන්වේවි. මම මෙතැනදී විශේෂයෙන් කිව යුතුයි ඉස්ලාම් ආගමික කටයුතු භාර ඇමැතිතුමත්, අධිකරණ ඇමැතිවරියත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරුන් දෙදෙනාත් ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු නිලධාරිනුත් ඉතා විචක්ෂණශීලීව කටයුතු කරනවා.  

 

රට ගැන හැඟීමක් හැම කෙනෙකුටම ඇතිවෙන්නේ හැම මිනිසෙකුටම ආත්මාභිමානය ඇතිව ජීවත් වීමේ අයිතිය සහතික කිරීමෙන් පමණී. එතකොට තමයි මේක මගේ මාතෘ භූමිය කියන හැඟීම ඇති වෙන්නේ. 

ප්‍රශ්නය:- මොනවද අලුතෙන් ගේන්න යන නීති රීති?  


පිළිතුර:- වයස අවුරුදු 12 - 13 දරුවන්ගේ විවාහ රටේ නීතියට පටහැනියි. ඒක මුළු ලෝකයේ පිළිගත්ත ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඒවා බාල අපචාර. මෙවැනි කාරණා නොදියුණු ගෝත්‍රික සමාජ පවා ප්‍රතික්ෂේප කරලා අවසන්. ඒ වගේම වසර 13ක අධ්‍යාපනය අද නීතියෙන් තහවුරු කරලා තියෙනවා.  


ප්‍රශ්නය:-එතකොට මද්‍රාසා පාසල්? ඒවට මොනවද වෙන්නේ?  


පිළිතුර:- ඒවා රජයේ පාලනයට නතු කරන්නත්, නැගෙනහිර පළාතේ ඉදිවෙන විශ්වවිද්‍යාලය සම්බන්ධවත්, බුර්කාව වැනි මෙරට මුස්ලිම් ජනතාවට ආගන්තුක විලාසිතා සම්බන්ධවත් ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.  


ප්‍රශ්නය:- මුස්ලිම් සමාජයෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද?  


පිළිතුර:- පහුගිය දවස්වල මුස්ලිම් ආගමික නායකයන් විශාල ප්‍රමාණයක් මෙන්ම ප්‍රජා නායකයන් විශාල ප්‍රමාණයක් ඇවිත් මාව හමුවුණා. මම කියපු කාරණා සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුවේ ඔවුන්. ඇත්තම කියනවා නම් ලේ පිපාසිත මුස්ලිම් අන්තවාදයට එරෙහිව යුක්තිගරුක මුස්ලිම් සමාජය නැගී සිටීමට සූද‌ානම් බව ඉතාම පැහැදිලියි.  


ප්‍රශ්නය:- මේ හැම දෙයකටම මේ ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැහැ කියලා තමයි ජනතාව චෝදනා කරන්නේ. ඇත්තටම රට අයාලේ යනවා?  


පිළිතුර:- නැහැ. එහෙම කියන්න බැහැ. රටේ දැන් තියෙන්නේ අලුත් තත්ත්වයක්. අපි දැන් තත්ත්වය නිවැරැදි දිශාවට යොමු කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තිබෙන දියුණුම අවි ආයුධ හා යුද තාක්ෂණය අපට තිබුණත් රට ආරක්ෂා කරන්න බැහැ. රට ගැන හැඟීමක් නැති මිනිසුන් නැත්නම්.  


ප්‍රශ්නය:- ආණ්ඩුව ගැනත් මිනිස්සු කියන්නේ ඔය කතාවමයි ?  


පිළිතුර:- මට මගේ කතාව කියන්න දෙන්නකෝ. රට ගැන හැඟීමක් හැම කෙනෙකුටම ඇතිවෙන්නේ හැම මිනිසෙකුටම ආත්මාභිමානය ඇතිව ජීවත් වීමේ අයිතිය සහතික කිරීමෙන් පමණී. එතකොට තමයි මේක මගේ මාතෘ භූමිය කියන හැඟීම ඇති වෙන්නේ. වෛරය වැපිරීමෙන් හරි අන්තවාදයෙන් හරි ඒ හැඟීම ඇති කරන්න බැහැ. ඒවායින් තමයි රට අගාධයට යන්නේ. ඒ නිසා ‘නහී වේරෙන වේරානි’ කියන බුදු වදන තුළින් ලැබෙන මග පෙන්වීම ශ්‍රී ලාංකේය ජාතියට අත්‍යවශ්‍යම මොහොතක් මේක.  


ප්‍රශ්නය:- බුද්ධි අංශ අඩපණ කරලා රටේ ආරක්ෂාව ඈලියාවට යවපු ආණ්ඩුවකින් තවත් මොනවා බලාපොරොත්තු වෙන්න ද කියලා ජනතාව අහනවා?  


පිළිතුර:- බොර දියේ මාළු බාන අය හැමද‌ාමත් හිටියා. අදත් ඉන්නවා. ඒ අය තමන්ගේ මනස්ගාත එළියට ද‌ානවා. රටකට නීතියක් තිබිය යුතුයි. ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් රට තවත් ප්‍රපාතයට යනවා. කොහොම වුණත් බුද්ධි අංශ අඛණ්ඩව ශක්තිමත් කළ යුතුයි. ඒ විදියට බුද්ධි අංශ ශක්තිමත් කරලා ජනතාව ආරක්ෂක කටයුතු පිළිබඳව අවධානයෙන් තැබීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු බලගැන්වීම ඇතුළු දිගුකාලීන ප්‍රතිපත්ති ගණනාවක් පාර්ලිමේන්තුවේ ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වන ස්ථාවර කාරක සභාව මගින් අප යෝජනා කර තිබෙනවා.  


ප්‍රශ්නය:- ඔබ කතානායක නිසා පාර්ලිමේන්තුව ගැන වැඩියෙන් කතා කරනවා. ඔය ඔබ කියන ස්ථාවර කාරක සභාවට අවුරුද්දක් විතර වෙනවා. කෝ කරපු දෙයක් තියෙනවද?  


පිළිතුර:- පසුගිය වසරේ මහනුවර දිගන ඇති වූ සිදුවීම් වලින් පස්සේ පැය 48 ක් ඇතුළත පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමග අපි ඒ ප්‍රදේශවලට ගියා. සියලුම ආගමික නායකයන් සමග වගේම ප්‍රජා නායකයන් හමුවුණා. අපි ඔවුන් සමග දීර්ඝව සාකච්ඡා කළා. එහිදී ඉතාම පැහැදිළිව පෙනුණා කාරණය තමයි ගැටුම්වලට හේතුව අනවබෝධය කියන කාරණය බව. එම සිදුවීම්වලට මැදිහත් වෙලා හිටියේ අවුරුදු 15-18 වයස්වල පසුවන නොමේරු දරුවන්. මේ තරුණ ළමයින්ට යුද්ධයේ කුරිරු අත්දැකීම් නෑ.  


ප්‍රශ්නය:-ඒ ගැටුම් නිස්කාරණේ නිර්මාණය වුණෙත් නෑ?  


පිළිතුර:- නිස්කාරණේ තමයි. මම ඒකයි කිව්වේ අනවබෝධය නිසා තමයි මේ ගැටුම් ඇතිවෙලා තිබුණේ. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන අන්තවාදයේ අදහස්වලින් නොමග ගිය දරුවන්. ඒ නිසා ඊළඟ පරපුරට මේ භාර දීමට පෙර ජාතීන් අතර අවබෝධය, ගෞරවය සඳහා දිගුකාලීන ස්ථීර පිළියම් හොයන්න තමයි මම අර කිව්ව ස්ථාවර කාරක සභාව පිහිටෙව්වේ.  


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ ප්‍රතිඵලය මොකක්ද කියලයි?  


පිළිතුර:- ප්‍රාදේශීය සමුළු අම්පාර, මහනුවර හා ගාල්ල ප්‍රදේශවල පවත්වමින් වැදගත් යෝජනා රැසක් සාකච්ඡා කළා. ඒ අනුව තමයි ​අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ එම කමිටුව වහාම රැස් කරලා ප්‍රධාන යෝජනා 10 ක් හා ඊට අනුශාංගික කරුණු 24 ක් සහිත දියවන්නා ප්‍රකාශනය එළිදැක්වූයේ. ඒක මාධ්‍යයේ වැඩි අවධානයට ලක් නොවුණත් රටේ ස්ථීරසාර සාමයක් සඳහා සාර්ථකම ප්‍රවේශය එය බවයි මගේ විශ්වාසය.  


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආවේ රටට යහපාලනය ගේනවා කියලයි. මාධ්‍ය නිදහස ඉන් ප්‍රධානයි. මේ ආණ්ඩුව සමාජ මාධ්‍ය කී පාරක් වැහුව ද?  


පිළිතුර:- කිසිම මාධ්‍යයකට රට ගිනි තියන්න අයිතියක් නෑ. මාධ්‍යවේදීන්ටත්, මාධ්‍ය ආයතන හිමිකරුවන්ටත්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ටත් හෘදය සාක්ෂියක් තිබිය යුතුයි. අප්‍රේල් 21 වැනිද‌ායින් පස්සේ පැතිරුණු කට කතා සියල්ලම බොරු බව ඔප්පු වුණා. රට ගිනි තියන්න හදන අයට මං කියන්නේ එක දෙයයි. 1983 කළු ජූලිය ආරම්භ වුණ ද‌ා මම ම​ෙග් වාහනයේ බිරිය හා දරු දෙදෙනා සමඟ මරද‌ාන පසුකරමින් හිටියා. මගේ වාහනය නැවැත්වූ පිරිසක් මගෙන් ඉල්ලීමක් කළා. ‘සර් සිංහල ජාතිය බේරා ගන්න පෙට්‍රල් ටිකක් දෙන්න.’ කියලා. මම ඔවුන්ට කිව්වා ‘ඔබ හදන්නේ සිංහල ජාතිය බේරාගන්න නොවෙයි. ජාතියේ අනාගතය ගිනි තියන්නයි.’ කියලා. ඒ වෙලාවේ මම එහෙම කිව්වේ කොහොමද කියලත් මට තේරුම් ගන්න බෑ. එතකොට මම දේශපාලනයට ඇවිල්ලත් නෑ. ඒත් මම ම​ෙග් රටේ අනාගත ඉරණම ඒ මොහොතේ දැක්කා. ඒ ගින්නෙන් මේ රට අවුරුදු 30 ක් දැවුණා. තවත් පරම්පරා ගණනාවකට මේ මෘත භූමිය ගිනි තබා ලබන ආශ්වාදය මොකක්ද? කියලා මම අහනවා. ඒක සාධාරණ ද?  


ප්‍රශ්නය:- ඔබ සාධාරණය ගැන කතා කළා. කතානායක හැටියට ඔබ සාධාරණ ද? ඔබේ භූමිකාව ගැන බරපතළ විවේචන මතු වුණා?  


පිළිතුර:- මේ තියෙන තත්ත්වය තුළ කතානායක ධුරය හරියට අහස වගේ. වැස්සත් හොඳ නෑ. පෑව්වත් හොඳ නෑ. මිරිස් කුඩු වතුර බෝතල්, පුටු ප්‍රහාරවලට මුහුණ දීලා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත්තාට කට්ටියක් ප්‍රශංසා කළා. තව පිරිසක් දෝෂාරෝපණය කළා.  


ප්‍රශ්නය:-ඉතිහාසයේ කවද‌ාවත් හඬින් ඡන්දය විමසලා නෑ?  


පිළිතුර:- ඒ වගේ හැසිරීමක් පාර්ලිමේන්තු ඉතිහාසයේවත් වෙලා නෑනේ. මම කටයුතු කළෙත් කරන්නෙත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුවයි. දැන් මිරිස් කුඩු ප්‍රහාර මැද්දේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත් වෙලාවේ මට ප්‍රශංසා කළ පිරිස මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂනායක ධුරය දෙන්න තීරණය කළාම අසතුටු වුණා. අනිත් පිරිස සතුටු වුණා.  


ප්‍රශ්නය:-ඇමැති බදුර්දීන්ගේ විශ්වාසභංගයට ළඟ දිනයක් දෙන්න කියලා ඉල්ලුවාම ඔබ ඈත දිනයක් දුන්නේ?  


පිළිතුර:- ඒ දිනය තීරණය කළේ මම නොවෙයි. පක්ෂ නායකයන්. මම වැඩ කරන්නේ ඒ අනුවයි. තව ටිකක් එහාට ගියොත් බදුර්දීන් ඇමැතිතුමාගේ විශ්වාසභංග යෝජනාවේ තාක්ෂණික දෝෂයක් තිබුණා. ඒ නිසා ඒ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කරන්න කියලා පිරිසක් මගෙන් ඉල්ලා හිටියා. නමුත් මම කල්පනා කළේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමක් නිසා තාක්ෂණික දෝෂ නිවැරදි කිරීමට අවස්ථාවක් දී එය බාරගත යුතු බවයි. ඒ ගැන සමහරු සතුටුයි. තවත් සමහරු අසතුටුයි. හැබැයි මේ හැම වෙලාවකදීම මම කටයුතු කළේ හෘදය සාක්ෂියට එකඟව හා ප්‍රජාතන්ත්‍රවාදයට අනුවයි.  


ප්‍රශ්නය:- කොහොම වුණත් දින 52 දී අගමැති මහින්ද රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළාම ඔබට තිබුණ හදිසිය ඇමැති බදුර්දීන්ගේ විශ්වාසභංග යෝජනාවේදී පේන්න නෑ?  


පිළිතුර:- තාක්ෂණික දෝෂ තිබියදීත් විශ්වාසභංග යෝජනාව මම බාර ගත්තා වගේම එය කඩිනමින් ගෙන ආ යුතු බවට මම දිගින් දිගටම පෙනී හිටියා. නමුත් ස්ථාවර නියෝගවලට අනුව එය මගේ අභිමතයට කළ නොහැකියි. ඒ බව පාර්ලිමේන්තුව ගැන කුඩා හෝ දැනුමක් තිබෙන අය දන්නවා. දින 52 දී තිබුණේ වෙනස් තත්ත්වයක්. නීත්‍යනුකූලව පිළිගත් ආණ්ඩුවක් රටේ තිබුණේ නැහැ. අගමැතිවරු දෙන්නෙක් හිටියා.  


ප්‍රශ්නය:-ඔබ ඒක පිළිගන්නවා?  


පිළිතුර:- ඔව්. අගමැතිවරු දෙන්නෙක් හිටියා. රට අස්ථාවර වෙමින් තිබුණේ. බහුතරයක් මන්ත්‍රීවරු ඒ කියන්නේ මන්ත්‍රීවරුන් 122 ක් ලිඛිතව ඉල්ලා හිටියා වහාම පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමකින් ස්ථීර ආණ්ඩුවක් ස්ථාපිත කරලා රටේ අස්ථාවරත්වය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය බල ගන්වන්න කියලා. මෙම විශ්වාසභංගයේදී එවැනි බහුතර ඉල්ලීමක් ලැබී නැහැ. මෙය වෙනස් තත්ත්වයක්.  


ප්‍රශ්නය:-ඔබත් වෙඩි නොවදින වාහනයක් ඉල්ලුවා කියලා පුවත් පළ වුණා?  


පිළිතුර:- මට වෙඩි නොවදින කාර් එකක් ඕනෑ නම් රජයෙන් පමණක් නොවෙයි මිත්‍ර රටවල් දෙකකින්ම නොමිලේ ඒ වගේ වාහන දෙන්න මට යෝජනා කළා. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කල්පනා කරන්නේ නායකයෝ ජනතාවගේ ආරක්ෂකයෝ කියලයි. එතැනදී අපට අවද‌ානමක් ගන්න වුණත් කරන්න දෙයක් නෑ. මාධ්‍යවල පෙන්නුවේ නැතත් මුලින්ම පාසල් වලට ගිහින් දරුවන්ගේ ආරක්ෂාව ගැන මම සොයා බැලුවේ ඒ නිසයි. වෙනද‌ා දරුවන් දුව පැන ඇවිදින පාසල් පාළුවට ගිහින් තියෙන කොට මට විශාල වේදනාවක් ඇති වුණා. මට පාසල් නිරික්ෂණය කරන්න ගිය එක ආවරණය කරන්න මාධ්‍ය එන්නද කියලා ඇහුවම මම කිව්වේ ‘අවශ්‍ය නෑ. මේක දේශපාලන ගේම් එකක් නොවෙයි. රටේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයක් කියලයි’ කියලයි.  


ප්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කළොත් ඔබත් ජනාධිපති අපේක්ෂක සූට් එක මහගෙන ඉන්නේ?  


පිළිතුර:- මගේ මාපියන් ගමේ පන්සලේ හාමුදුරුවරු ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම මම කුඩා කාලයේ පියා සමග ගිහින් නිතර හමුවුණු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ද මට හුරු කළේ තනතුරුවලින් බැබලෙන්න නොවෙයි. රට වෙනුවෙන් වගකීම් දරන්න කියලයි.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ආරාධානාවක් ආවොත් ඔබ සූද‌ානම්?  


පිළිතුර:- සාමුහික ඉල්ලීමක් ලැබුණොත් නිශ්චිත කාලයකට රට වෙනුවෙන් ඕනෑම වගකීමක් දරන්න සූද‌ානම් බව මම කලිනුත් කියලා තියෙනවා. මම මෙතෙක් පක්ෂය තූළ ලැබූ සෑම පදවියක්මත්, කතානායක පුටුවත් මම ඉල්ලලා අරගෙන නෑ. මම දේශපාලනයට ආවේ රට වෙනුවෙන් ජීවිතය කැප කරලයි. මේ තනතුරු කිසිවක් ඉල්ලලා බල කරලා ලබා ගත්ත දේවල් නොවෙයි. මොන තනතුරු ලැබුණත් නොලැබුණත් පිරිසිදු දෑතින් දේශපාලනයට ආපු මම පිරිසිදු දෑතින් සමුගෙන යන බව නම් දිවි හිමියෙන් සහතික වෙනවා. 

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්