සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ගයන්ත කරුණාතිලක  

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය- කෝවිඩ් 19 පොකුරක් දියවන්නාවෙන් මතු වෙමින් තියෙනවා. ජනතාවට පරිස්සම් වෙන්න කියපු අය පරිස්සමෙන් ඉඳලා නෑ.  


පිළිතුර- මේක හරිම අමාරු තත්ත්වයක්. මේ තත්ත්වය පහුගිය වසරේ ජනවාරි මාසයේ දී කොරෝනා කියන වචනයත් එක්ක පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කරලා අවධානය යොමු කළ යුතු බව මුලින්ම කිව්වේ අපේ විපක්‍ෂනායක තුමයි. එතුමා ඒ කාලේ කියපු හැමදේටම වගේ ආණ්ඩුවේ අය සමච්චල් කළා.  


අන්තිමට එතුමා කියන හැම දෙයක්ම විහිළුවට ලක් කරලා මේ ප්‍රශ්නය යටපත් කරගන්න උත්සාහ කළා. නමුත් එතුමා සහ අපේ සමගි ජන බලවේගය පෙන්වපු හැම කාරණයක්ම සැලකිල්ලට ගත්තා නම් මේ තත්ත්වය ඇති නොවන බව පැහැදිලිව පේනවා. 

 
ප්‍රශ්නය- මගේ ප්‍රශ්නය වුණේ දියවන්නා පොකුර ගැනයි.  


පිළිතුර- මෙහෙමයි පළමු කොරෝනා වසංගත අවස්ථාව එනකොට ආණ්ඩුව අහවල් දවසෙන් පස්සෙ කොරෝනා නැත. ඇමතිවරු එහෙම කිව්වා. සෞඛ්‍ය ඇමතිවරු එහෙම කිව්වා. ලෝකෙන්ම මේක පාලනය කරපු හොඳම ක්‍රමය තියෙන්නේ අපේ රටේ. අපේ ජනාධිපතිතුමා ඇතුළු රජය තමයි මේක හොඳටම කළේ. ඒ විදියට සම්මාන ගන්න විදියට තමයි කටයුතු කළේ. නමුත් ඇත්ත වශයෙන්ම රට අද ඉතාම අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙනවා.   


ප්‍රශ්නය- මේ තත්ත්වය පාලනයට ඔබලාගේ යෝජනා?  


පිළිතුර- අදටත් කළ යුතුව තිබෙන්නේ කුමක්ද කියන එක පාර්ලිමේන්තුව පවා අනාරක්‍ෂිත වීමෙන් පැහැදිලි වෙනවා. කොහේ ගියත් කොතැන රෝගීන් ඉන්නවද කියන එක හොයාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මේකට තියෙන එකම විසඳුම සමගි ජන බලවේගයේ නායකතුමත් විපක්‍ෂය හැටියට අපි නිතරම කිව්වා වගේ මේකට කරන්න තියෙන්නෙ ඉක්මනින්ම එන්නත ගෙන ඒමයි. ඒ පිළිබඳව නොවෙයි මේ අය උනන්දු වුණේ. මිත්‍යා මත පිටිපස්සේ ගිහිල්ලා මුට්ටි ගඟට දාන ඒවා කර කර හිටියා මිසක් එන්නත ගේන්න හිතුවේ නැහැ. අදටත් අපි කල්පනා කරලා බැලුවොත් ලෝක සෞඛ්‍ය සංවිධානයයි ඒ වගේම ලෝකයේ බොහෝ රටවලුත් ලෝක සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එන්නත ගෙන්න කටයුතු කරනවා. ඒත් එන්නත සම්බන්ධයෙන් අපි තාම ඉන්නේ මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවලටත් පසුපසින්. ඒක තමයි ඇත්ත. 

 
ප්‍රශ්නය- අපිත් දුප්පත් රටක්. එකවරම ප්‍රාතිහාර්ය පාන්න බෑ?  


පිළිතුර- එන්නත ගේන්න යන වියදම බැලුවොත් ඒක මේ පහුගිය දවස්වල වෙච්ච මහා පරිමාණ මුල්‍ය දූෂණත් සමඟ බලන කොට, සීනි වංචාව වගේ දේවල්... මිනිසුන්ගේ තේ කෝප්පයෙනුත් ගසා කන්න කටයුතු කළ... ඒවයේ දූෂණවලට ගිය වියදමට වඩා අඩු වියදමක් තමයි යන්​නේ එන්නත ගෙන්න. ඇත්ත වශයෙන්ම දැනුත් ඒකට තමයි පළමු තැන දිය යුත්තේ. ඉක්මනින් එන්නත ගෙනල්ලා හැම කෙනාටම මේක නොමිලේ ගහලා මේ වසංගතය අවසන් කළ යුතුයි. නමුත් අද ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා ඒක කරන්න. දෙවැනි පොකුර ආවම බොහෝ දෙනෙක් හිතුවා අර පළමු වැනි පාර වගේ මොකක්හරි පියවරක් ගනී කියලා. නමුත් එහෙම වෙලත් නෑ. අද වෙනකොට ඉතාම අනාරක්‍ෂිත තැනකට රට පත්වෙලා තියෙනවා.  


ප්‍රශ්නය- විපක්‍ෂයත් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා මිසක්...   


පිළිතුර- කොහේද... කොහේද කකුලෙන් ඇද්දේ? පළමු වටයෙදි අපි කිව්වේ කොන්දේසි විරහිතව සහාය දෙනවා කියලා. ඒ විතරක් නොවෙයි, අපි කියපු එක අදහසක්වත් බැහැර කරන්න පුළුවන්ද කියලා බලන්න. සද්භාවයෙන් කරපු යෝජනානේ තියෙන්නේ. ආණ්ඩුව තමයි ඒවා සමච්චලයට ලක් කළේ.  


ප්‍රශ්නය-  කොවිඩ් අාසාදිත මුස්ලිම් මළ සිරුරු පිළිබඳ ප්‍රශ්නය මතුවෙච්ච වෙලාවෙත් ඔබලා හිටියේ ජනතාව කුලප්පු කරන තැනක?  


පිළිතුර- අපි කියන්නේ මේකයි. අපි හැමදාම රජයට කිව්වේ ඒ හැම දෙයක් ගැනම නිවැරැදි තීන්දු ඉක්මනට ගන්න කියලයි. නමුත් ආණ්ඩුව මොකද්ද කළේ? ආණ්ඩුව මාතෘකා මැව්වා.   


ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්න ආණ්ඩුවට නැගෙන චෝදනාවලින් මිදෙන්න ආණ්ඩුව කළේ උපක්‍රමශීලී ලෙස විවිධ මාතෘකා රට පුරා මැව්වා. ආණ්ඩුව ඇතුළෙන්ම එකපාර කණ්ඩායම් දෙකක් මතුවෙනවා. කට්ටියක් දම්මලා කියවනවා පළාත් සභා එපා කියලා. ආණ්ඩුව ඇතුළෙන්මයි මාතෘකා හදන්නේ. ආදාහනය ද භූමදානය ද කියන මාතෘකාව ආවෙත් එහෙම තමයි. පැණිය ද එන්නත ද කියලා මාතෘකා හැදුවා.   
එහෙම කරලා ජීවන වියදම් ප්‍රශ්න ඇතුළු සැබෑ ජනතා ප්‍රශ්න සියල්ල යටපත් කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙන හැටි තමයි අපි දැක්කේ. අන්තිමට බලනකොට දුෂ්ටයාගේ චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුව විසින්ම රඟපාපු එකයි වුණේ. දැන් ජනාධිපතිතුමා පත් වෙලත් අවුරුද්දයි මාස ගණනක් ගත වෙලා. මුලදීම කිව්වා 20 සම්මත කරගන්න ඕනා කියලා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඕනා කිව්වා. ඒ සේරමත් කරගෙන අවුරුද්දයි මාස කිහිපයක් ගතවෙලා. ආපසු හැරිලා බලනකොට නටපු තොවිලයකුත් නැති බෙරේ පලු දෙකමත් නැති තත්ත්වයක් තියෙන්නේ. මේ තරම් ඉක්මනින් ජනතාවගේ විශ්වාසය අහිමි කරගත් ආණ්ඩුවක් මං හිතන්නේ නෑ ලංකා ඉතිහාසයේ තියෙනවා කියලා.   


ප්‍රශ්නය- ඒක විපක්‍ෂයේ සටන් පාඨයක් විතරයි කියලා මම යෝජනා කළොත්?  


පිළිතුර- නෑ ඒක තමයි ඇත්ත. ජනාධිපතිවරයා එක පාරක් කිව්වා මගේ වචනය චක්‍රලේඛය ලෙස සලකන්න කියලා. ජනාධිපතිගේ උපදෙස් මත ගැසට් ලේඛන පහක් ගහලත් මේජර් ජෙනරාල් කෙනෙක් දාලා හාල් මෝල් වට කළත් හාල් මිල අඩු කර ගන්න බැරිවෙච්ච අසමත් ආණ්ඩුවක්නේ මේක. අන්තිමට ගැසට් පිට ගැසට් ගහලත් පොල් ගෙඩියේ මිල අඩු කරගන්න බැරි වෙච්ච අසමත් ආණ්ඩුවක්. අපි දැක්කා සැමන්වලට පරිප්පුවලට ජාතිය අමතලා මිල අඩු කරනවා කිව්වා. සීනිවලට, කහවලට ගැසට් පිට ගැසට් ගැහුවත් ගමේ සිල්ලර කඩේකවත් ඒ මිලට නෑ. ඒ නිසා තමයි ‘‘ෆේල්’’ කියලා කියන්නේ.  


ප්‍රශ්නය- විපක්‍ෂයත් එකක් කියලා ඊළඟ මොහොතේ තව එකක් කියනවා. මහ මැතිවරණය කල් දාන්න කියලා පොලොවේ හැපුණ විපක්‍ෂය දැන් පළාත් සභා ඡන්දය තියන්න කියලා වැළපෙනවා?  


පිළිතුර- මහ මැතිවරණය පවත්වපු කාලය ගත්තොත් ඒ කාලයේ මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැනේ. මේ වෙලාවේ අපි ආණ්ඩුවට කියන්නේ තීරණයක් ගන්න කියලයි. කාගෙත් මත විමසලා පක්‍ෂ නායකයොත් එක්ක කතා කරලා එපැයි තීරණයක් ගන්න. පළාත් සභා වගේ නෙවෙයිනේ මහ මැතිවරණයක් කියන්නේ. මුළු රටම එළියට බැහැල කරන එකක්නේ. එහෙම තත්ත්වයක් එදා තිබුණේ නැහැනේ. ආණ්ඩුව කිව්වනේ පාර්ලිමේන්තුව රැස්වෙන්නත් බෑ කියලා. ඒ නිසා ආණ්ඩුව එක එක වෙලාවට කතන්දර කියමින් ජනතා ප්‍රශ්න යටපත් කරපු එකනේ කළේ. දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරන්න බැරි වෙලා තියෙනවානේ. හැම පැත්තෙන්ම ආණ්ඩුව ෆේල්. දැන් බලන්න වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දාහක් කරනවා කිව්වා. මට මතකයි ගිය අවුරුද්දේ ජනවාරි, පෙබරවාරි විතර පාර්ලිමේන්තුවේදී මම ප්‍රශ්නයක් ඇහුවා වතු කම්කරුවන්ගේ දාහ දෙන්නේ කවදද කියලා. එතකොට අගමැතිතුමා කිව්වා මාර්තුවල දී දෙනවා කියලා. මාර්තු පළමු වැනිදා ඉඳලා දෙනවා කියපු එක 2021 ජනවාරි 1 වැනිදා සිට දෙනවා කියලා අය වැයේ දී කිව්වා. කෝ අද වෙනකම් දුන්නද? මැතිවරණ වේදිකාවල දී කිව්වා පෝෂණ මල්ලක් දෙනවා කියලා. අපි දැක්කනේ වීරවංශ උන්නැහැලා මේවා රස කර කර කියපු හැටි. ඒ පෝෂණ මලුවලට වෙච්ච දෙයක් නෑ. කල්බදු ණය සහනවලට වෙච්ච දෙයක් නෑ. සියලු වගාවන්ට නොමිලේ පොහොර දෙනවා කියලයි කිව්වේ. ඒ පොහොර සහනාධාරය අද නෑ. සමහරුන්ට සල්ලි දීලවත් පොහොර ගන්න නෑ. වරාය නැගෙනහිර ජැටියට වෙන්නේ මොකද්ද කියලා බලාගන්න පුළුවන්. ඒ නිසා තමයි ජනතාව කියන්නේ මේ ආණ්ඩුව හැමතැනකදීම ෆේල් කියලා.  


ප්‍රශ්නය-  ජනාධිපතිවරයා කිව්වා “මම ඕනෑම චරිතයකට ඔට්ටුයි” කියලා මේ ප්‍රකාශය ඔබලා බාර ගන්නේ කොහොමද?  


පිළිතුර- මේ ප්‍රකාශය ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. අපේ නායකතුමන් ඒ ගැන බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කළා. කතානායකවරයා මුණගැහිලා ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම අදළ අංශ සමග සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමන් ඒකට අවශ්‍ය පියවර අරගෙන තිබුණා. ඒ අපි ගන්න ක්‍රියා මාර්ගවලට වඩා ඇත්ත වශයෙන්ම නායකයෙක් වුණාම හැම තිස්සේම ඕනෑම විවේචනයක් බාර ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනා. ජනාධිපතිවරයා දේශපාලනඥයකු නොවුණ නිසා එවැනි ප්‍රකාශයක් කළා කියලයි මම දකින්නේ. සමහරවිට අගමැතිතුමා එක්ක බැලුවොත් එතුමා දේශපාලනඥයකු හැටියට එවැනි ප්‍රකාශයක් කරයි කියලා මම හිතන්නේ නෑ. මට මතකයි 2015 දී අපේ ආණ්ඩුව ආපු ගමන් මාධ්‍ය නිදහස නැතිව තිබුණ කාලයක පුදුම විදියට මාධ්‍ය නිදහස දුන්නා. ඔබත් ඒක පිළිගන්නවා ඇති. ජනාධිපතිවරයාව ඇති තරම් විවේචනය කළා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් වගේම සමාජ මාධ්‍ය ජාලාවලින් එතුමාට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. අගමැතිවරයා විවේචනය කරන්න, ආණ්ඩුව විවේචනය කරන්න පුදුම නිදහසක් තිබුණේ. මාධ්‍ය නිදහස දෝර ගැලුවා. ඒ කාලේ මම අවුරුදු දෙකක් විතර ජනමාධ්‍ය ඇමති හැටියට හිටියා. මම කවදාවත් ඇහුවේ නෑ කැබිනට් මණ්ඩලයේදීවත් ජනාධිපතිතුමාගෙන්වත් අගමැතිතුමාගෙන්වත් මෙන්න මෙහෙම අපිට ගහනවා, මේවාට කොන්දේසි දාන්න ඕනා, නීති පනවන්න ඕනා, එහෙම කරමු නේද කියලා. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු එහෙම විවේචනයට ලක් වෙනවා. ඒ විවේචන දිහා බොහොම සද්භාවයෙන් බලන්න ඕනා. අනික මේ මහ ලොකු දෙයක් කියලා නෙවෙයිනේ. නම කියලනේ. අපිත් දේශපාලනඥයන්ට නම් පටබඳිනවා. මේක නම් පටබැඳීමක් නොවෙයිනේ. උප්පැන්න සහතිකයේ තියෙන නමනේ කිව්වේ. ඒක ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක් වශයෙන් ගන්නවා නම් එ්ක පරිණත බවේ ලක්‍ෂණයක් නොවෙයි.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්