ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්   

දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන හා ඔහුගේ පාර්ශ්ව ඉදිරිපත් කරන විවේචන, ජනපති අගමැති ඝට්ටනය හා එහි ඉදිරිය මේ ආදී විවාදාත්මක දේශපාලන කාරණා කීපයක් ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමඟ කළ සාකච්ඡාවක් මෙසේය.   


ප්‍රශ්නය: විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමට අදාළව සිරිසේන ජනාධිපතිවරයාගේ ද පුළුල් එකඟතාව ඇතිව සකස් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල ඔහුගේ තදබල විවේචනයට බඳුන් වෙමින් තිබෙන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. මේ තත්ත්වය ඔබ හඳුනා ගත්තේ කෙසේද?   


පිළිතුර: ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම කියන විෂයේ දී මේ ක්‍රමය හොඳයි හා නරකයි කියන විවාදය ලංකාවේ තිබුණෙ අති සරල මට්ටමක. ලෝකයේ තිබෙන ආණ්ඩුක්‍රම ප්‍රභේද අතර විධායක බලය ජනාධිපතිවරයකුට ලැබෙන ක්‍රමය එක ප්‍රභේදයක්. පාර්ලිමේන්තුවේ සිටින අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට විධායක බලය ලැබෙන එක තව ප්‍රභේදයක්.   
ලංකාවේ ජනාධිපති ආණ්ඩුක්‍රමය අසමත් එකක් වුණත් මේ ක්‍රමය හොඳින් පවත්වාගෙන යන රටවල් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හොඳින් පවත්වාගෙන යන රටවලුත් තියෙනවා. ලංකාවේ ජනාධිපති ධුරයට හිමි බලතල වැරදි විදියට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබුණා.   


ඒකේදි බොහෝ අය කල්පනා කළේ ජනාධිපති ක්‍රමය විධිමත් කිරීම ගැන නෙවෙයි. අහෝසි කිරීම ගැන. ඒකෙ වරදක් නෑ. නමුත් ලංකාවේ ජනාධිපති ක්‍රමය පවතින්නෙ පාර්ලිමේන්තු ක්‍රමයකුත් එක්ක. මේ දෙක එකට ගැටගහපු විශේෂ ක්‍රමයක් තමයි ලංකාවේ තිබුණෙ.   


ලංකාවේ ජනාධිපති ක්‍රමය අන්ත දූෂිතයි වගේම ඒ ජනාධිපති ක්‍රමය ඇතුළෙ සකස් වුණු පාර්ලිමේන්තු ක්‍රමයත් දූෂිතයි. මේ ක්‍රම දෙකේදීම බලය හොබවන අය පොදු දේපළ විෂයෙදි ක්‍රියාත්මක කරන්නෙ තාවකාලික භාරකාරයකුගෙ භූමිකාවක්. ඒ යටතෙ පාලකයො පොදු දේපළ ආරක්ෂා කරන්නත් සංවර්ධනය කරන්නත් නීතියෙන් බැඳී ඉන්නවා. නමුත් කාලෙක ඉඳන් ලංකාවේ සිද්ධ වුණු දේ තමයි මේ තාවකාලික භාරකාරයන් හැටියට කටයුතු කරන පාලකයන් පොදු දේපළ අයථා විදියට පරිහරණය කරන එක.   


රටේ ඇතිවෙලා තියෙන බංකොලොත්භාවයට ඒකත් එක හේතුවක්. රජයට ලැබෙන ආදායම සමානයි අපි ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවන්න තියෙන වාරිකවලට හා පොලි මුදල්වලට. අනික් සියලුම කටයුතු කරන්න වෙලා තියෙන්නේ විදේශ ණයවලින්.   


මේ බංකොලොත්භාවයට එක ​හේතුවක් තමයි රජයට ලැබෙන ආදායම් මාර්ග දේශපාලනඥයන් අත්පත් කරගෙන තිබීම. නීතියේ ආධිපත්‍ය බිඳ දමා තිබීම මේ තත්ත්වයට බලපා තියෙන තවත් හේතුවක්. මේ තත්ත්වය සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කිරීමටත් මහජන නියෝජිතයගේ කාර්යභාරය විකෘති කිරීමටත් හේතුවෙලා තියෙනවා. මෙතනදී මහජන නියෝජිතයන්ගෙ ගණයට අයත් වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. ජනාධිපතිත් ඒ ගණයට අයත්.   


මහජන නි​යෝජිතයන් පොදු දේපළ අයථා විදියට පරිහරණය කිරීම වළකන දැඩි නීතිරීති ලෝකයේ හැම රටකම තියෙනවා. ලංකාවෙත් තියෙනවා. 1977 දක්වාම ඒ නීති ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වුණා. නමුත් 1977 න් පස්සේ ඒ නීති ක්‍රියාත්මක වුණේ නෑ. දූෂිත ජනාධිපති ක්‍රමය එපා කියලා කල්පනා කරන න්‍යායවාදීන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන කොට හිතපු නැති කාරණයක් තියෙනවා. ඒ තමයි ජනාධිපති ක්‍රමය ඉවත් කරලා ඒ බලතල පාර්ලිමේන්තුවට පවරද්දි දූෂිත පාර්ලිමේන්තු ක්‍රමය දූෂණයෙන් තොර කළ යුතුයි කියන එක. ඒ න්‍යායවාදීන් කල්පනා කළේ බලය මාරු කිරීමක් ගැන විතරයි.   


ජනාධිපති ධුරය නාමමාත්‍රික තනතුරක් බවට පත් කරලා සියලු බලතල පාර්ලිමේන්තුවට දෙන ක්‍රමයක් ඇති කරන්නයි ඔවුන්ට ඕනෑ වුණේ. 19 වන සංශෝධනය කරළියට ගේන්න හදපු විදියම ව්‍යවස්ථාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ටත් පටහැනියි.   


සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් පාවිච්චි කරන්නෙ ව්‍යවස්ථාවක තිබෙන දෝෂ නිවැරදි කිරීමට හෝ එකතු කළ යුතු අලුත් අංග එකතු කිරීම සඳහායි. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා එක ආණ්ඩු ක්‍රමයකින් තවත් ආණ්ඩු ක්‍රමයකට මාරු වෙන්නෙ නෑ. එවැන්නක් සිදුවෙන්නෙ පූර්ණ ව්‍යවස්ථාවකින්. නමුත් ජනාධිපතිත් අගමැතිත් ඇතුළුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්පාදකයන් කල්පනා කළේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් මේ පෙරළිය කරන්න. ඒකේ අවුල් ​ගොඩක් තියෙනවා. ලෝකයේ පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායකට අනුව ව්‍යවස්ථාවක ව්‍යුහය වෙනස් කරන ක්‍රියාදාමයක දී පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන් පිරිසකගෙ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී මහජන කැමැත්තත් ඒ සඳහා අවශ්‍ය වෙනවා.   


ඒකට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගොඩනගා ගෙන තිබෙන මූලික ව්‍යුහය පිළිබඳ න්‍යාය. ඒකෙන් අදහස් කරන්නේ එරට පාර්ලිමේන්තුවට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කළ නොහැකියි කියන එක. මේ වගේ තත්ත්වයන් ලංකාවට අදාළ නෑ. මොකද ව්‍යවස්ථා විෂයෙදී ලංකාව ඉන්නේ පරිපූර්ණ ​නොදියුණු තත්ත්වයක. 19 වැනි සංශෝධනය සකස් කළේම පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියකින් පමණක් සම්මත කරන එක ගැන හිතලා. නමුත් මේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණය ප්‍රකාශ කළේ මේ සංශෝධනයේ සමහර වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියකින් සම්මත කළ හැකි වුණත් තවත් සමහර වගන්ති වෙනස් කරන්න නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒ තීන්දුව තිබිය දී පවා විකෘති සහගත අයුරින් වුණත් සමස්ත ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අනුමැතිය ඇතිව සකස් වුණා.   


ඒ නිසා දැන් කාටවත් කියන්න බෑ අපි මේ 19 වැනි සංශෝධනයට සම්බන්ධ වුණේ නෑ කියලා. මේ සං​ශෝධනයට පාර්ලිමේන්තුවේ දී ඡන්දය නොදුන් කෙනාට විතරයි එහෙම කියන්න පුළුවන්. මේකෙන් පෙනෙන දෙයක් තමයි ව්‍යවස්ථා විෂය පිළිබඳ තියුණු අවබෝධයක් වර්තමාන පාර්ලිමේන්තුවට නෑ කියන එක. ජනාධිපතිවරයටත් ඒ ගැන නිසි අවබෝධයක් තිබුණෙ නෑ.   


මෙතන තව ප්‍ර​හේලිකාවක් තියෙනවා. ඒ තමයි නැවත අධිකරණ අනුමැතිය නොගෙන මේ සංශෝධනය කො​හොමද නීතිගත කළේ කියන එක. ඒකට විරුද්ධව කවුරුවත් උසාවියට ගියෙ නෑ. මේ මෑතක දී දෙන ලද තීන්දුවක් අනුව උසාවියත් මේ සංශෝධනය පිළිගෙන තියෙනවා.   


ප්‍රශ්නය: දින 52 දේශපාලන අර්බුදය හා ජනපති අගමැති ඝට්ටනය මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ අවුල නිසා හටගත් ප්‍රතිඵල හැටියට ඔබ කල්පනා කරනවද?  


පිළිතුර: ඒක නිසා තමයි. අනාගතයෙත් මේ අවුල අවසන් වෙන්නෙ නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ ඉන්නෙ පරණ ජනාධිපති නෙවෙයි. පරණ ජනාධිපතිට රාජ්‍යයේ සකළ විධ බලතල තිබුණා. නමුත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට තියෙන සියලු විධායක බලතල ඉවත් කරලා තියෙනවා. දැන් ඒ බලය තියෙන්නෙ අගමැති හා ඇමැති මණ්ඩලයට. නැත්නම් පාර්ලිමේන්තුවට. එතකොට මතුවෙන ප්‍රශ්නය තමයි නාමික ජනාධිපතිවරයෙක්ව මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පැවැත්වෙන මැතිවරණයකින් පත් කළ හැකිද කියන එක. එහෙම තෝරා ගන්නේ නෑ. ඒ විදියට තෝරා පත්කර ගන්නවා නම් ඒ සඳහා විශේෂ හේතුවක් තියෙන්න ඕනෑ. බොහෝ රටවල නාමික ජනාධිපතිවරුන්ව තෝරා ගන්නෙ ඡන්ද මණ්ඩල මගින්. ඉන්දියාව ඒ සඳහා උදාහරණ සපයන රටක්   


ලංකාවේ විධායක බලතල නැති ජනාධිපතිවරයව අපි තෝර ගන්නෙ මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් සේ සලකා පැවැත්වෙන මැතිවරණයකින්. ඒකට රුපියල් කෝටි 1000ක් විතර ආණ්ඩුවේ සල්ලි වියදම් වෙනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග කරන එක අපේක්ෂකයෙක් සඳහා රුපියල් බිලියන තුනක් විතර වැය වෙනවා. මෙච්චර වියදමක් දරලා නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම ප්‍රශ්නයක්. ඒ ගැන කවුරුවත් අද කතා කරන්නේ නෑ. ඒක ලොකු අපරාධයක්.   


මේකෙන් විය හැකි භයානක ප්‍රතිඵලයක් තමයි විධායක බලතල නැති වුණත් තමන් රටේම ඡන්දයෙන් පත්වෙන නිසා අගමැති හෝ ඇමැති මණ්ඩලයට වැඩි බලයක් තිබේ යැයි සිතමින් ජනාධිපතිවරයකු කටයුතු කිරීමට තිබෙන හැකියාව හා එමගින් ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වය.   


ප්‍රශ්නය: ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගන්නා ක්‍රමවේදයකට ගියොත් මේ ආරවුල නිරාකරණය කරගත හැකියි කියා ඔබ සිතනවද?   


පිළිතුර: ඒක තමයි. විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් නම් අවශ්‍ය ඒ සඳහා මහජන ඡන්දයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඡන්ද බල මණ්ඩලයක් හොඳයි. ඒකට යන වියදමත් අවමයි. නමුත් මේ නාමික ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් තෝරා ගැනීම නිසා ඒ ධුරයට නැති වටිනාකමක් ලබාදෙමින් තියෙනවා. පක්ෂ භේදයකින් තොරව ලංකාවේ සියලු පක්ෂ නායකයන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ව්‍යවස්ථාව නීතියේ කන්‍යාව හැටියට සැලකුවොත් මේ රටේ පාලකයන් ඒ කන්‍යාව තනි තනිවමත් සාමූහිකවත් දූෂණය කරලා තියෙනවා. ඒ නිසා දැන් අපිට තියෙන්නේ. ව්‍යවස්ථාවක් නෙවෙයි. ව්‍යවස්ථා කඩමෑල්ලක්.   


ලංකාවට විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිකමේ අර්බුදයක් තියෙනවා. ඒක විසඳා ගන්නෙ කොහොමද කියන එක ගැනත් ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් නෑ. ඒකට හොඳ උදාහරණයක් තමයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් කියනවා එයා හදපු ව්‍යවස්ථාවක් තිබෙනවා එයා ජනාධිපතිවරණය දිනුවොත් එදා ඉඳන් රටේ ක්‍රියාත්මක වෙන්නෙ එයාගෙ ව්‍යවස්ථාව කියලා. එහෙම කරන සම්ප්‍රදායක් ලෝකෙ නෑ. අලුත් ව්‍යවස්ථාවක් නීතිගත වෙන්න නම් තියෙන ව්‍යවස්ථාව අවලංගු වෙන්න ඕනෑ.   


ප්‍රශ්නය: 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. හැම ප්‍රධාන මැතිවරණයකදීම ව්‍යවස්ථාවට කෙරෙන සංශෝධන හෝ අලුත් ව්‍යවස්ථා සම්පාදනය ගැන මැතිවරණ ප්‍රතිඥා ඉදිරිපත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය ලංකාවේ යම් දුරකට විහිළුසහගත තත්ත්වයකට පත්ව තිබෙනවා කියා ඔබට නිරීක්ෂණය වෙනවද?   


පිළිතුර: ඇත්ත වශයෙන්ම ඉතාම විහිළුකාර තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. ඉන්දියාවත් එක්ක සැලකුවොත් ඉන්දියාවට මේ විෂය ගැන නිවැරදි අවබෝධයක් තිබුණා. අපිට එහෙම අවබෝධයක් තිබුණෙ නෑ. අපි හැම ව්‍යවස්ථාවක්ම සම්පාදනය කළේ හිතුවක්කාර විදියට. ඒ වගේම තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නත් රටේ පාලකයො කිසිවිටෙක පැකිළුණේ නෑ. රටේ මහජනතාවටත් ඒ ගැන ගැඹුරු අවබෝධයක් නෑ. රටේ ව්‍යවස්ථාව තුට්ටුවකටවත් සලකන්නේ නැති නොදියුණු සමාජයක් හැටියටයි අපේ සමාජය සලකන්න වෙන්නෙ. ඒකටම ගැළපෙන නායකයො තමයි අපිට ඉන්නේ. ඒගොල්ලොත් ​ නොදියුණුයි. ඒ නිසා තමයි මුළු ආණ්ඩුක්‍රමයම අවුල් ජාලාවක් වෙලා තියෙන්නේ.   
නීති සම්පාදනය කරන ආයතනයට රටේ මූලික නීතිය ගැන අවබෝධයක් නැත්නම් නීතිය නොසලකා කටයුතු කරනවා නම් ඒ රට කාලකන්නිවීම වළකන්න බෑ. රජයට ආදායම් එන මාර්ග ඔක්කොම දේශපාලනඥයො අල්ලගෙන තියෙනවා. ඒවා ඔවුන්ගෙ ක්ෂේම භූමි බවට පත් කරගෙන තිබෙනවා. විදුලි සංඛ්‍යාන ගත්තොත් ලෝකයේ ඕනෑම රටක ඒවා සැලකෙන්නෙ ඉතා සීමිත මහජනයාට අයත් දෙයක් හැටියට. ඒ නිසා ඒවා ලබාදීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටිවලට අනුව කටයුතු කරනවා. නමුත් ලංකාවේ සංඛ්‍යාන බලපත්‍ර අතයට ලබාදීමේ ක්‍රමයක් තියෙන්නෙ.   


හරි විදියට විගණනයක් කළොත් මගේ මතයට අනුව ලංකාවේ මන්ත්‍රීවරුන්ගෙන් සීයට 85කට වැඩි පිරිසකගෙ මන්ත්‍රී ධුර අහිමි වෙනවා. ඒ වගේම තමයි ජනාධිපති ධුරයේ හිටපු හැම කෙනෙක්ම හිරේ යන්න වෙනවා. මොකද භාණ්ඩාගාරයට ලැබෙන්න තිබුණු ආදායම් වළකලා ඒවා තමන්ගේ නෑ හිතමිතුරන්ට ආධාරකරුවන්ට අත්පත් කර දෙමින් මේ රට බංකොලොත් භාවයට පත් කළ නිසා.   


ප්‍රශ්නය: මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන ප්‍රතිපත්තියට ප්‍රධාන පක්ෂ දෙකම කාලයක පටන් ප්‍රවේශ වෙලා ඉන්නවා. ඒ වගේම 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ බලතල නාමික තත්ත්වයට පත්කර තිබෙන පසුබිමක එය මේ ධුරය අහෝසි කිරීම සඳහා වන ඉදිරි පියවරක් කරගත හැකි කියා ඔබ කල්පනා කරනවා ද?   
පිළිතුර: ජනාධිපතිවරයකුට මේක අහෝසි කරන්න බෑ. ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව මගින් අවලංගු කරන්න ඕනෑ. එමෙන්ම දැන් ඉන්න ජනාධිපතිවරයාට නම් ඒ කටයුත්ත කොහෙත්ම කරන්න බෑ. මොකද ඔහු විධායක බලතල නැති ජනාධිපතිවරයෙක්. ඒ වගේම ඒ සඳහා මන්ත්‍රීවරුන් පොළඹවා ගැනීමට ඔහුට තිබෙන හැකියාව ද හීන වෙමිනුයි තියෙන්නෙ. මේ තත්ත්වය මහා පාරාවළල්ලක්. 

 
ප්‍රශ්නය: ඔබ කියන්නෙ දැන් ඇතිවෙලා තියෙන මේ අර්බුදයට පිළියම තියෙන්නෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළෙ කියල ද?   


පිළිතුර: මම පෞද්ගලිකව හිතන්නෙ එහෙම නෙවෙයි. ලංකාව තියෙන්නේ මුළුමනින්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුතු තැනක. මේක දැන් මතුවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. යුද්ධය අවසන් වුණාට පස්සෙ ලංකාව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබුණා. ඒක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නොකළා වගේම යහපාලන ආණ්ඩුවේ නායකයනුත් කළේ නෑ. බොහෝම සරල විදියට තමයි මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ. අර්බුදය උග්‍ර වුණු එක තමයි වුණේ.   

 

 

සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ