(නාලක සංජීව දහනායක)

නව දේශීය ආදායම් පනත මඟින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙරේදා (24) පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාස්‍රමයේදී පෙරේදා (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීය. 


“දැනට ක්‍රියාත්මන නව දේශීය ආදායම් පනතින් ජනතාව අන්ත අසරණ වෙනවා. මෙම පනත අනුව මේ මාසයේ සිට ඕනෑම දේපළක් කුලියට දීමෙන් ලැබෙන ආදායමෙන් සියයට දහයක රැඳවුම් බද්දක් අය කරගන්නවා. බොහෝ ව්‍යාපාරිකයන් වෙළෙඳාම් සිදුකරන්නේ තමන්ගේ ගොඩනැගිලිවල නෙමෙයි. ඔවුන් ඒ ගොඩනැගිලි සඳහා කුලිය ගෙවනවා. නව බදු නීතිය යටතේ ගෙවන තැනැත්තා කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වෙනවා. එය හරිම අපූරු නීතියක්. අපේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මේ නීතිය ගැන දන්නේ නැහැ.

එමෙන්ම වාහන කුලියට දෙන ව්‍යාපාරිකයන්, කිරි එකතු කරන මිනිසුන් මේ සියලු දෙනාම නියමිත කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි. අවසානයේදී මේ බදු මුදල් ගෙවන්නේ රටේ පොදු ජනතාවයි. එමෙන්ම මේ බදු මුදල් වැඩිවීම හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම සීමාවකින් තොරව බදු පැනෙව්වේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පහසුකම් සැලැසුණා.

නව බදු පනතින් කිසිවකුට කිසිම ආකාරයකවත් හානියක් සිදු නොවන බවට රජය පුවත්පත් දැන්වීම් පළකරනවා. ආණ්ඩුවේ මේ අසත්‍ය ප්‍රචාරක ව්‍යාපෘතිය නිසා බදු ගෙවන පිරිස් නොමඟ යනවා. එමෙන්ම කර්තෘවරුන්ට හා නිර්මාණකරණයේ යෙදෙන අයටත් බදු පනවා තිබෙනවා. විශේෂයෙන්ම කර්තෘවරුන්ට ලැබිය යුතු කර්තෘ භාගය සඳහා සියයට දාහතරක බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ පනත අනුව කටකතාවලට හැර අනෙක් සියලුම කතන්දර සඳහා බදු ගෙවිය යුතු වෙනවා. බදු ගෙවීමේ සීමාවක් නැහැ. ඉදිරියේදී පත්වන අපේ රජයක් යටතේ මෙම බදු පනත සංශෝධනය කරන බවට අපි ප්‍රතිඥා දෙනවා.

එමෙන්ම රජයේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නොගෙවන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ කවමදාකවත් මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා නැහැ. මේ තත්ත්වය ලෝකයා දැන ගැනීම රටට හොඳ නෑ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.

“මේ වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාවට හෙට දවස සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබෙනවා. වර්තමාන රජය බලයට පත්වී ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.

වර්තමාන ආණ්ඩුව ඉස්සෙල්ලාම වී ගොවිතැන පාලනය කළා. කුඹුරු අක්කර හෙක්ටයාර ලක්‍ෂයකට ජලය ලබාදීම නැවැත්තුවා. වී ගොවිතැනට හා අනෙකුත් වගාවන් සඳහා පොහොර ලබාදීම නතර කළා. කොයිතරම් ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කන්න 18ක් පොහොර සහනාධාරය ලබාදුන්නා. ඒ නිසා හැම බිම් අගලක වගා කළා. ඒ නිසා කෘෂි ආර්ථිකයේ නවෝදයක් ඇති වුණා. ගොවීන්ගේ අතමිට මුදල් ගැවසුණා. නමුත් මේ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවගේ ජීවිතය අන්තිම අසීරු තත්ත්වයකට වැටිලා. මේ අර්බුදය ගැන ගොවීන් සමඟ සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් නැහැ.

නියඟය නවත්වන්න ආණ්ඩුවකට බැහැ. නමුත් නියඟයෙන් ඇතිවන ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට එහෙම කළමනාකරණ හැකියාවක් නැහැ. අවුරුදු තුනකට පස්සේ වර්තමාන ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා පොහොර මිටිය රුපියල් පන්සියයට දෙන්න කටයුතු කරනවා.

මේ වනවිට අපේ රටේ කන්න පහක් පාඩුවෙලා තිබෙනවා. දැන් යල කන්නය සඳහා කුඹුරු සකස් කරලා අවසන්. නමුත් මේ මොහොත වනතුරුත් රුපියල් පන්සියයට කුඹුරු සඳහා පොහොර ලබාදීමත්, රුපියල් එක්දහස් පන්සියයට අනෙකුත් භෝග සඳහා පොහොර ලබාදීමත් සිදුවී නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන මිල ගණන් යටතේ කිසිම තැනක පොහොර නැහැ. ඒ සම්බන්ධ නියෝග චක්‍රලේඛයකට පමණක් සීමා වී තිබෙනවා. ඒ චක්‍රලේක තවම සාකච්ඡා මේසයට පමණක් සීමා වී තිබෙනවා.

එමෙන්ම මහවැලි ජලාශවල ජලය ලබාදීම සම්බන්ධයෙනුත් රජයේ නිසි ක්‍රමවේදයක් නැහැ. ගොවිබිම් සඳහා ජලය ලබාදීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ගොවිතැන් සඳහා ජලය ලබාගැනීම ගොවීන්ට සිහිනයක් පමණක් බවට පත්වෙලා. ඒ නිසා කෘෂිකර්මාන්තය බරපතළ ගැටලුවකට පත්වෙලා. කිසිම කෘෂි නිෂ්පාදනයකට ප්‍රමිතියක් නැහැ.

මේ අර්බුද නිසා සහතික මිලකට නිෂ්පාදනයක් මිලදී ගන්න බැහැ. අපි රුපියල් විසිපහත්, තිහත් අතර මිලකට වී ටික මිලදී ගත්තා. පාරිභෝගිකයාට රුපියල් හැටට සහල් අලෙවි කළා. අල, ලූනු අස්වැන්න ලැබෙන කාලයට ආනයනික අල, ලූනු සඳහා සීමාවන් පැනෙව්වා. ඒ නිසා ගොවියත්, පාරිභෝගිකයත් රැකුණා. අනාගතයේ බිහිවන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මාන්තය නියාමනය සඳහා කෘෂි නිෂ්පාදන අධිකාරියක් පිහිටුවනවා” යැයි ද කීය.