IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනාධිපතිතුමා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවන්න අපි ඉඩ තියන්නෙ නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංක පොදුජන පෙරමුණ ගිවිසුම් ගතව මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසු වුව ද එකිනෙකාට එරෙහිව සිදුවන වාග් ප්‍රහාර නිමක් නැත. කුමක් වෙයි ද? මේ එ් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාවකි. 

 
ප්‍රශ්නය:- කොහොමද මහ මැතිවරණයට සූද‌ානම් වීම?   


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඡන්දය ප්‍රකාශයට පත් කිරීමත් එක්කම ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතු ආරම්භ කළා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග අපේ සාමාජිකයන්ට ස්තූති කිරීමේ ව්‍යාපාරයක් සමග මැතිවරණ ක්‍රියාවලිය අපේ සංවිධායකවරුන් ආරම්භ කළා.   


ප්‍රශ්නය:- කොහොම ද ලැබෙන ප්‍රතිචාර ?   


පිළිතුර:- ඉතා හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීම සඳහා වෙහෙසුණ පක්ෂයක් හැටියට ග්‍රාමීය මට්ටමේ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. පක්ෂයක් හැටියට අපි ඉතාමත්ම ශක්තිමත්ව ගොඩ නැගෙමින් පවතිනවා.   


ප්‍රශ්නය:- පොහොට්ටුවේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන්ගෙන් හොඳ ඇයි හොඳයියක් පෙන්නුම් කරන්නේ නැහැ නේද?   


පිළිතුර:- එහෙම ඇයි හොඳයියක් අපට නම් ප්‍රශ්නයක් නෑ. පළමුවෙන්ම විවිධ ප්‍රශ්න තියෙද්දීත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පක්ෂයක් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දුන්නා. දෙවැනි ගිවිසුම් ප්‍රකාරව අපි කටයුතු කළා. ඉන් ඔබ්බටත් ගිහින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හැටියට සන්ධානගතව ඡන්දය ඉල්ලන්නත්, පොහොට්ටුව ලකුණ යටතේ ඡන්දය ඉල්ලන්නත් අපි කැමැති වුණා. ඒ විතරක් නෙවෙයි. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ එක් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමය යටතේත් ඡන්දයට යන්න අපි එකඟ වුණා. එහෙම බැලුවම අපේ පැත්තෙන් කරන්න පුළුවන් කැප කිරීම් ටික අපි කරලා තියෙනවා.   


ප්‍රශ්නය:-නමුත් ඔබලාට ගෞරවනීය පිළිගැනීමක් නෑ ?   


පිළිතුර:- ප්‍රශ්නය තියෙන්නේ අපේ නොවෙයි. ඇයි හොඳයියක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවන්නට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඉතිරි අවුරුදු පහක් ඉතාම ශක්තිමත්ව ආණ්ඩුවක් පිහිටුවන්න අපේ සහයෝගය අපි ඉහළින්ම ලබා දෙනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්නය අපට වලංගු නෑ.   


ප්‍රශ්නය:-හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ‘උකුස්සා’ කතාවත් සමග එතුමා පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයකට ලක්වෙනවා?   


පිළිතුර:- ඒක මේ කල්පනා කළ යුතු පළමු වැනි කාරණය තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඔය ප්‍රකාශය කරන්න කලින් ප්‍රකාශ කීයක් පොදුජන පෙරමුණේ රොෂාන් රණසිංහ මහත්මයා කළා ද? ඊට අමතරව ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ වගේ මහත්වරුන් කොච්චර ප්‍රකාශ කළා ද? අපි මොකක්ද කරපු ප්‍රකාශය? අපි කිසිම ප්‍රකාශයක් කළේ නෑ. සියලු පහරදීම් සිද්ධ වෙනකොටත් අපි නිහඬව මේවා ගහන බව දැනගෙනත් නිහඬව හිටියා. හැබැයි පොළොන්නරුවේ රැස්වීමක කරපු ප්‍රකාශය අද‌ාළ වෙන්නේ ඒ පොළොන්නරුවෙ තියෙන දේශපාලන ක්‍රියාවලියට පමණයි. එයට අද‌ාළව තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඒ ප්‍රකාශය කළේ. පොළොන්නරුවේ තමන්ගේ ජනතාවට කරපු කතාවක් මුළු ලංකාවටම අද‌ාළ කරගෙන පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම වැරැදියි. ඒ ප්‍රකාශය කරන වෙලාවේ එතුමා කල්පනා කළේ නෑ ඔය කාරණය ජාතික දේශපාලනයට පාවිච්චි කරයි කියලා. මෙතැන වැරැද්ද තියෙන්නේ අන්න එතෙනයි. ඒ අය හිතුවා හිටපු ජනාධිපතිතුමා ඒ ප්‍රකාශය කළේ ජාතික දේශපාලනයට අද‌ාළවයි කියලා. ඒක ඇත්ත වශයෙන්ම වැරැදි අර්ථ නිරූපණයක්. ඔය මම නම් කියපු අය කරපු ප්‍රකාශ ගත්තොත් අපි ඒවා කොයි තරම් උඩින් හරිනම් ඔළුවට ගන්න ඕනැ ද? අපි ඒවා ඔළුවට ගත්තේ නෑ. අපි දැක්කේ ඒවා සාමාන්‍ය දේශපාලන ක්‍රියාද‌ාමයේදී... දැන් ඡන්ද ව්‍යාපාරයක් ඇවිත් තියෙනවා. එතැනදී මනාප පොරය වෙනුවෙන් ඔය වගේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි එච්චර ඒවා ගණන් ගත්තේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ජාතික ප්‍රශ්නයක් බවට පත් කරගත්තා මේ අය. ඒක වැරැදි තේරුම් ගැනීමක් හැටියටයි මම දකින්නේ.   


ප්‍රශ්නය:-ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු ඇවිත් ඒ මන්ත්‍රී කණ්ඩායමත් එක්ව සජිත් ප්‍රේමද‌ාසගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරාවි කියන සැකයත් පොහොට්ටුව මතු කරනවා ?   


පිළිතුර:- ඒකත් ඔය බොරුවක්. ඒක සම්පූර්ණ අර්ථ නිරූපණයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සජිත් ප්‍රේමද‌ාස මහත්තයාට එද‌ා සහයෝගය දුන්නෙත් නෑ. අනාගතයේ දී සහාය දෙන්නෙත් නෑ. එතකොට මේ ක්‍රියාද‌ාමය තුළ ග්‍රාමීය මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙලා තියෙන නිසා තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒ අය කියන දේ තමයි ‘අපිව විශ්වාස කරන්න එපා. මේ අය සජිත්ට සහාය දෙන්න වැඩපිළිවෙළ සකස් කරයි’ කියලා.   


ප්‍රශ්නය:-එහෙම වෙන්නේ නෑ කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ සජිත් ප්‍රේමද‌ාස මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න නොවෙයිනේ. එහෙම නම් කෙළින්ම සජිත් ප්‍රේමද‌ාස මහත්තයාට සහයෝගය දෙනවනේ. ඇයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය දුන්නේ? අපට අවශ්‍ය වුණේ එතුමාට ජනාධිපති පුටුවට පත් කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න. අරක හරි විකාර කතාවක්නේ. සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව නොමග යවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ඡන්දය දීම වැළැක්වීම තමයි මේ බොරුවේ ඇත්ත හේතුව. පක්ෂයේ මහ ලේකම් හැටියට මම කියන්න කැමැතියි පාර්ලිමේන්තුවේ අපිට කිසිම හේතුවක් හෝ උවමනාවක් නැහැ සජිත් ප්‍රේමද‌ාස මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න. දැන් ශක්තිමත් කළ යුතු නායකයාව අපිත් මැදිහත් වෙලා රටේ නායකයා බවට පත්කරලා තියෙනවා. ඉතිරි අවුරුදු පහේ අපි එතුමත් එක්ක තමයි දේශපාලනය කරන්නේ.   


ප්‍රශ්නය:-පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ දී සහාය දුන්නේ සජිත් ප්‍රේමද‌ාසට බවටත් චෝදනාවක් තියෙනවා?   


පිළිතුර:- ඒකත් සම්පූර්ණ බොරුවක්. මොකද එතුමා බොහොම පැහැදිලිව හිටියේ මධ්‍යස්ථ තැනක. කිසිම තැනක දී එතුමා සජිත් ප්‍රේමද‌ාස මහත්තයාගේ ස්ටේජ් නැග්ගෙත් නෑ. සජිත් ප්‍රේමද‌ාස මහත්තයා වෙනුවෙන් කතා කළෙත් නෑ. මතක තියාගන්න ඕන කාරණය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයොත් ඉල්ලීමක් කළා ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වේදිකාවට එන්නේ නැත්නම් හොඳයි කියලා. ඒ අනුව තමයි එතුමා එහෙම වැඩ කළේ. එහෙම මධ්‍යස්ථව ඉඳිමින් මේ ක්‍රියාද‌ාමයට ද‌ායකත්වය දුන් නායකයා හැටියට එතුමා ඒ නිවැරැදි ක්‍රියාමාර්ගය ගත්තා. එතුමා කොයිම වෙලාවකවත් සජිත් ප්‍රේමද‌ාස මහත්තයාට උදව් කරන්න ගියේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක් හා අවලාදයක් කියලයි අපි දකින්නේ?   


ප්‍රශ්නය:- ඔබට බය හිතෙන්නේ නැද්ද මැතිවරණ ව්‍යාපාරය අතරමැද දී ඔබලාව පරාජය කරන්න ‘යටින් ගේමක් ගහවි’ කියලා?   


පිළිතුර:- අපි දන්නවා අපිව පරාජය කරන්න අවශ්‍ය කටයුතු ටික කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ මේ අයට විතරක් ඡන්දය දෙන්න කියලා කිව්වා කියලා. සමහරු ප්‍රකාශ කරනවා. මේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන් කිරීමේ වැඩපිළිවෙළකුත් යනවා කියලා අපි දන්නවා. අපි ඒවාට මුහුණ දෙන්න සූද‌ානම්. මොකද සාමාන්‍ය මිනිස්සු දන්නවා බොහොම පැහැදිළිව අපි ගත්ත ක්‍රියා මාර්ගය මොකක්ද කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත් ඉන්නේ. ශ්‍රී ලංකාකාරයෝ නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් නෑ. ඒ නිසා අපේ පාක්ෂිකයා නිවැරැදිව තේරුම් ගනිමින් ඉන්නවා ඔවුන් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුත්තේ මොන වැඩපිළිවෙළ ද කියලා. ඒ නිසා අපට බයක් නැහැ.   


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා යෝජනාවක් ඇවිත් තියෙනවා?   


පිළිතුර:- ඔව්. ඉතින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිම්න්තුවට යනව ද? නැද්ද? කියලා තීරණය කරන්න ඕනැ එතුමනේ. එතුමා කැමැති වෙන්න ඕනැ ජාතික ලැයිස්තුවෙන් යන්න. මම දන්න විදියට එතුමා ජාතික ලැයිස්තුවෙන් යන්න කැමැති නෑ. එතුමා කැමැති එතුමා තරග කරලා ජනමතය අරගෙන පාර්ලිමේන්තුවට යන්නයි. ඒ වගේම ජාතික ලැයිස්තුවට යන්නේ දිනන්න බැරි අය. ඒ නිසා එතුමා විශ්වාස කරනවා එතුමාට ඡන්දය දිනන්න පුළුවන් කියලා. ඒකට අපි ඉඩදිය යුතුයි පක්ෂය විදියට.   


ප්‍රශ්නය:-පොළොන්නරුවේ පොහොට්ටුවේ නායකයා රොෂාන් රණසිංහ නම් කියන්නේ මෛත්‍රී කියන්නේ උදේට එකක් කියන රෑට තව එකක් කියන කෙනෙක්. ඒ නිසා විශ්වාස කරන්න බෑ කියලයි?   


පිළිතුර:- එතුමාට විශ්වාස කරන්න බැරි වුණාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දිස්ත්‍රික්කයේ ජනතාව විශ්වාස කරනවනේ. රොෂාන් රණසිංහ මහත්තයාගේ විශ්වාසය නොවෙයි වැදගත් වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශ්වාසයයි.   


ප්‍රශ්නය:-මේ ගැටුම අවාසියි කියලා හිතන්නේ නැද්ද?   


පිළිතුර:- ඉතාම අවාසියි. ඒක තමයි අපි කියන්නේ. නමුත් මේකට මැදිහත් වෙන්නේ නෑ කවුරුවත්. එක එක්කෙනාට උවමනා උවමනා ප්‍රකාශ කරනවා. අපි තවමත් නිහඬව ඉන්නවා. අපිත් පහර දෙන්න පටන් ගත්තොත් මේක විශාල අර්බුදයක් බවට පත්වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සමගිය රැකගන්න ඕනෑ නිසා අපි ඉවසීමෙන් කටයුතු කරනවා.   


ප්‍රශ්නය:- කුමාර වෙල්ගම හිටපු මන්ත්‍රීවරයා ‘නව නිදහස් පක්ෂය’ නමින් අලුත් පක්ෂයක් හදලා තියෙනවා. මොකක් වෙයි ද?   


පිළිතුර:- ඒක ඉතින් යූඑන්පියට ජැක් ගහන්න හදපු පක්ෂයක්නේ. ඒක ඉතින් අපට අද‌ාළ නැහැ. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා නම පාවිච්චි කරන්න බෑ. ඒකට අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. බලමු. අපි මොකද වෙන්නේ කියලා. ඒ පැත්තට ශ්‍රී ලංකා කාරයෝ ඇදගෙන යන්න හදන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.   

ප්‍රශ්නය:- ඔබේ පක්ෂයට නාමයෝජනා කීයක් විතර ලැබෙයි ද?   


පිළිතුර:- තාම දන්නේ නෑ. ඒ ගැන අවසන් තීරණයකට තවම ඇවිත් නෑ.   


ප්‍රශ්නය:- ඔබට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයක් ලැබෙයි ද?   


පිළිතුර:- ඒකත් අපි බලමු. අපි ඉල්ලලා තියෙනවා යම් කිසි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ලැබෙයි කියලා මම හිතනවා.   


ප්‍රශ්නය:-තුනෙන් දෙකක බලයක් පොහොට්ටුව අපේක්ෂා කරනවා ලැබෙයි ද?   


පිළිතුර:- තුනෙන් දෙකක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. නමුත් ශක්තිමත් බහුතර බලයක් ලබාගන්න පුළුවන් බව නම් ඒකාන්තයි.   

 

සාකච්ඡා කළේ   
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  

 



අදහස් (0)

ජනාධිපතිතුමා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවන්න අපි ඉඩ තියන්නෙ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site