IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයා කඩිනමින් පත් කරනවා


(*** ජේ.ඒ.එල්. ජයසිංහ)

පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.

මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.

රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.

ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.
පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.

අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.

අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.

පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.
පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.

පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.

බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.

රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.

පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.
සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.

එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.

අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.

ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.

රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.
විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.
ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න.

 



අදහස් (0)

එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයා කඩිනමින් පත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31406 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13672 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11029 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 287 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site