IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බෞද්ධ ආගමික වතාවත් මැද අවසන් ගමන ගිය මුස්ලිම් සිසුවා

සංහිඳියාවට අලුත් පාඩමක්

 

​බෝවත්ත - වීරපොකුණ මාර්ගයේ ධාවනය වූ මෝටර් බයිසිකල් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තවත් තරුණයෙක් බරපතළ තුවාල ලැබීය.   


මේ මාරක අනතුරින් මියගියේ මුස්ලිම් ජාතික පාසල් සිසුවෙකු වූ අතර බරපතළ තුවාල ලබා තිබුණේ‍ සිංහල ජාතික තරුණයෙකි.   


මාරක අනතුර සිදුව තිබුණේ පසුගිය 15 වැනිදා රෑ 8.30 කණිසම වැදී සුළු මොහොතකට පසුවය. බරපතළ තුවාල ලබා සිටි දෙදෙනාම රැගෙන ගියේ බිංගිරිය වීරපොකුණ රෝහලටය.   


වෛද්‍යවරු පරීක්ෂා කර බලා පැවසුවේ මුස්ලිම් සිසුවා මියගොස් ඇතැයි කියාය. බරපතළ තුවාල ලබා සිටි සිංහල තරුණයා වහාම හලාවත රෝහලට මාරු කරනු ලැබ ඇත්තේ ඔහුගේ තත්ත්වය ද එතරම් සතුටුදායක නොවූ නිසාය. සිංහල ජාතික තරුණයා පදවාගෙන ආ මෝටර් සයිකලය හා මුස්ලිම් සිසුවා පදවාගෙන ආ මෝටර් බයිසිකලය මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මුස්ලිම් සිසුවා මියගිය නිසා හුඟ දෙනෙක් සිතාගත්තේ එය මුල්කරගෙන ගැටුමක් ඇති වේවි කියාය.   


මහනුවර හා ඒ අවට ප්‍රදේශවල පසුගිය වසරේ දෙපිරිසක් අතර ගැටුම් ගිනි ඇවිළී ගියේ ද දිගන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මිය යාමක් මුල්කරගෙනය.   


එම ගැටුම නිසා දිගන ප්‍රදේශයේ පමණක් නොව මහනුවර හා ඒ අවට ප්‍රදේශවල කඩ සාප්පු ගණනාවක් විනාශ වී මිනිස් ජීවිත කිහිපයක් ද බිලිගනු ලැබිණ.   


මෙහිදී සැලකිය යුතු පිරිසක් මේ නිසා බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූහ.   


මෙවරද රිය අනතුරක් මුල්කරගෙන කෝලහාල උද්ගත වේ යැයි බිංගිරිය හා ඒ අවට ගම්වල බොහෝ දෙනෙකු සිතා සිටියත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. මියගිය වීරපොකුණ විසූ මොහොමඩ් ලෆාර් මොහොමඩ් ඩිල්ශාන් (17) සිසුවාගේ මරණය සැලවූ මොහොතේ පටන් අවසන් කටයුතු සාමකාමීව සිදුකිරීමට දෙපාර්ශ්වයම සාකච්ඡා ආරම්භ කළ ආකාරය නිසා ජාතිවාදී ගිනි දැල් ඇවිළේ යැයි සැක සංකා පහළ කරගෙන සිටි අයගේ සිත් සතන්වලට ඇතිවූයේ නම් ලොකු අස්වැසිල්ලකි.  


මහා සංඝරත්නය හා මුස්ලිම් පූජකවරුන් මියගිය සිසුවාගේ පාසලේ විදුහල්පති, බිංගිරිය පොලිස් ස්ථානාධිපති හා මියගිය සිසුවාගේ පවුලේ උදවිය අතර පැවැති සාකච්ඡාවකින් පසු තීරණය වූයේ බෞද්ධ හා ඉස්ලාමිය ආගමික වතාවත් අනුව එම භූමිදානය සිදුකිරීමටය.  


සිසුවාගේ නිවසේ ඉඩකඩ සීමිත වූ නිසා ඔහුගේ දේහය රැගෙන එනු ලැබුවේ ද ඔහු ඉගෙනගත් පාසල වන බිංගිරිය, වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය වෙතය. පාසල් ඉතිහාසය පුරා නොවූ ලෙස සුවිශේෂී සිදුවීමක් වූ මෙය රන් අකුරින් ලියවෙනු නොඅනුමානය. ඒ නිසාම මෙහි ගෞරවය හිමිවිය යුත්තේ ද විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙතය.  


මියගිය මුස්ලිම් සිසුවා වෙනුවෙන් බෞද්ධාගමික වතාවත් කිණියම විහාර කලාපයේ අධිපති කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති ජාත්‍යන්තර තරුණ භික්ෂු පෙරමුණේ බිංගිරිය ප්‍රධාන සංවිධායක පණ්ඩිත වීරපොකුණේ නාගීත හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ද මුස්ලිම් ආගමික වතාවත් කිණියම මුස්ලිම් දේවස්ථානයේ භාරකාර සිද්ධික් මවුලවිතුමා ඇතුළු මුස්ලිම් පූජකවරුන් විසින් ද සිදුකරනු ලැබිණ.  


අනතුරුව විද්‍යාලයේ සිට සිසුවාගේ දේහය සිංහල හා මුස්ලිම් ජාතීන්ගේ කර මතින් ගෙනගොස් වීරපොකුණ කිණියම මුස්ලිම් පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා (16) සිදු කෙරිණි.  

 

 


වීරපොකුණේ නාගිත හිමියෝ මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ කීහ.  


මින්පෙර දිනක මහනුවර දිගන ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයකු මිය ගියා. මේ සිද්ධිය මුල්කරගෙන මහනුවර හා ඒ අවට ප්‍රදේශවල ජාතිවාදී කලබල ඇතිවුණා. මෙයින්, වටිනා මිනිස් ජීවිත කිහිපයක් නැතිවුණා. තවත් පිරිසකට තුවාල සිදුවුණා. දේපොළ රැසක්ම විනාශ වුණා. තත්ත්වය පාලනය කරන්න පොලිසියට ඇඳිරි නීතිය ද පැනවීමට සිදුවුණා. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් අපේ රට යම් අපකීර්තියකට ද පත්වුණා.  


මෙවර මාරක රිය අනතුරකින් මුස්ලිම් සිසුවකු මියගොස් සිංහල ජාතික තරුණයකු බරපතළ තුවාල ලැබූවා. නමුත් බිංගිරිය හා ඒ අවට ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනතාව රටටම ආදර්ශයක් දෙමින් මේ මාරක අනතුර මුල්කරගෙන කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් ඇති නොකරගෙන හොඳ අවබෝධයක් ඇතිව දෙපාර්ශ්වයම සහෝදරත්වයෙන් සාමදානයෙන් එකමුතු වී ඒ මියගිය දරුවාට ද ගෞරවයක් වන ආකාරයෙන් ආදර්ශවත්ව කටයුතු කළා.  


තවද බිංගිරියේ සමස්ත ජනතාව රටට විතරක් නොවේ මුළු ලෝකයටම ආගමික සහජීවනය හා සංහිඳියාව ගැන කදිම ආදර්ශයක් වුණා යැයි උන්වහන්සේ කීහ.  


වීරපොකුණ විජිත ජාතික පාසලේ විදුහල්පති ලක්සිරි සුදසිංහ මහතා : මියගිය මොහොමඩ් ඩිල්ෂාන් සිසුවා පසුගියදා පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියා. ඔහු විනයගරුක සිසුවෙක්. බෞද්ධ ආගමත් විෂයක් විදියට ඉගෙන ගත්තා. සංගීතයට ඉහළ දස්කම් දැක්වූ සිසුවෙක්. ඔහු සංගීත කණ්ඩායමක වාදන ශිල්පියකු ලෙසද කටයුතු කළා.  

 

 


මෙම සිසුවා පදිංචිව සිටියේ අපේ පාසල ළඟමයි. අවසන් කටයුතු සිදු කිරීමට ඔහු පදිංචිව සිටි නිවසේ ඉඩකඩ මදි නිසා දේහය අපේ පාසලේ තැන්පත් කර තැබුවා. බෞද්ධ ආගමික වතාවත් කිරීමට ඔහුගේ පවුලේ අය විතරක් නොවේ කිණියම මුස්ලිම් පල්ලියේ මවුලවිතුමා ඇතුළු මුස්ලිම් පූජකවරුන් ද කැමැත්ත ප්‍රකාශ කළා.  


පාසලේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් හා බිංගිරිය පොලිසියේ ද සහය ඇතිව අවමංගල්‍යය උත්සවය සංවිධානය කළා. මෙය ආගමික හා ජාතීන් අතර සමගිය මූර්තිමත් කළ අවමංගල්‍යය උත්සවයක් ලෙස හැඳින්වීමට පුළුවන්. 

 
බිංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා : අපි මුල සිටම ජාතීන් අතර සමගිය හා සමාදානය ඇතිවන ආකාරයට වැඩසටහන් ප්‍රජා​ පොලිස් ඒකකය හරහා සිදුකර තිබුණා. ඒ නිසා සිංහල හා මුස්ලිම් ජනතාව අතර හොඳ අවබෝධයක් තිබුණා. කිණියම මුස්ලිම් පල්ලියේ සිද්ධික් මවුලවි තුමාත් අපේ ප්‍රජා පොලිස් වැඩසටහනේ උපදේශකවරයෙක්. මේ කරුණු කාරණා මුල්කරගෙන මේ අනතුරින් මුස්ලිම් දරුවෙකු මියගියත් කිසිම කලබලයක් ඇති වුණේ නැහැ. දෙපාර්ශ්‍වයම අන්‍යොන්‍ය අවබෝධයකින් කටයුතු කරමින් රටට ආදර්ශයක් දුන්නා.

 

 

සටහන : ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප : බිංගිරියේ වික්ටර් සෝමවීර 



අදහස් (0)

බෞද්ධ ආගමික වතාවත් මැද අවසන් ගමන ගිය මුස්ලිම් සිසුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 215 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 384 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site