විවිධාකාරයේ දේශපාලන අර්බුද, යුද ගැටුම් සහ හැලහැප්පීම් මැද සයිබීරියාවෙන් ඇඟ කිලිපොළා යන පුවතක් අසන්නට ලැබුණි. ඒ, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයේ වසංගත මර්දන වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පර් යේෂිකාවක ලෙස කටයුතු කළ 28 හැවිරිදි ඩාරියා ෂිපිලෝවා දැඩි ලෙස රෝගී වී හුස්ම ගැනීමට නොහැකිව මියයෑමේ සිද්ධියයි.

බලධාරීන්ට අනුව ඉර්කුට්ස්ක් වසංගත මර්දන වෛද්‍ය පර් යේෂණ ආයතනය තුළ වයිරස සහ බැක්ටීරියා සම්බන්ධ පර් යේෂණ සිදු කෙරේ. වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද සහ ප්‍රතිකාර කරන්නේ කෙසේ ද යන්න සෙවීම මෙම ආයතනයේ අරමුණයි. ඩාරියා මියගියේ ඉකුත් ඔක්තෝබර් 2 වැනිදාය. ඇය ඒ වන විට අසල්වැසි ෂෙලෙකොව් නගරයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයකට (වෙන්ටිලේටරයකට) සම්බන්ධ කර සිටියාය. ඇය මියගියේ ශ්වසන අපහසුතාවකිනි.

මරණයට හේතුව, නියුමොනික් ප්ලේග් (Pneumonic plague)  හෙවත් පුප්ඵුසීය මහාමාරිය නමැති රෝගී තත්ත්වයයි. ප්ලේග් (Plague)  යනු මහාමාරිය හෙවත් වසංගතයයි. නියුමොනික් ප්ලේග් යනු ‘යෙර්සීනියා පෙස්ටිස්‘ (Yersinia pestis)  නමැති බැක්ටීරියාව මගින් වැලඳෙන රෝගී තත්ත්වයකි. මෙම බැක්ටීරියාව සෘජුවම පෙණහලු‍වලට ආසාදනය වී දැඩි ශ්වසන අපහසුතා ඇති කරයි.

මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සහ මුහුණු ආවරණ පැලඳ සිටීමෙන් මෙම බැක්ටීරියාවෙන් ආරක්ෂා විය හැකිය. මෙම බැක්ටීරියාව වයිරස මෙන් දරුණු ලෙස ව්‍යාප්ත වන්නේ නැත. රෝගය කල්තියා හඳුනා ගැනීමට හැකි වුවහොත් ප්‍රතිජීවක ඖෂධ මගින් ආසාදිතයන් බේරාගත හැකිය. ඩාරියා මියගියේ ඇගේ රෝගී තත්ත්වය කල්තියා හඳුනාගැනීමට නොහැකි වූ බැවිනි.

මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සහ මුහුණු ආවරණ පැලඳ සිටීමෙන් මෙම බැක්ටීරියාවෙන් ආරක්ෂා විය හැකිය

පර් යේෂණ ආයතනය තුළ සිටියදී ඩාරියා ‘යෙර්සීනියා පෙස්ටිස්‘ බැක්ටීරියා සාම්පල ලබා ගනිද්දී එක් පර් යේෂණ නළයක් අත්වැරදීමකින් බිඳී ගිය බවත්, බැක්ටීරියාව ඇගේ සිරුරට ඇතුළු වන්නට ඇති බවත් අනුමාන කෙරේ. එහෙත් සිදුවූයේ කුමක්දැයි තවමත් පැහැදිලි නැත. ඉර්කුට්ස්ක් වසංගත මර්දන වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ රහස් තිබෙනවා විය හැක. රුසියානු රජය හෝ හමුදාව මේ ගැන කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

කෙසේ වෙතත්, පර් යේෂණාගාරයේ ඇය සමග සිටි අය, ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය, ඇගේ යහළුවන්, පවුලේ අය සහ මඟතොටේදී ඇය මුණගැසුණු අය ඇතුළු 500 කට වැඩි පිරිසක් සොයා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දින 7 කට පසුව බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය ද මෙම තත්ත්වය කෙරෙහි යොමු විය. ට්‍රම්ප් පරිපාලනය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් රුසියන් බලධාරීන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් පුප්ඵුසීය නියුමෝනියා ව්‍යාප්තියක් සිදුවන්නේ ද යන්න ගැන විමසිල්ලෙන් පසුවන බවයි. 

අවශ්‍ය නම් රුසියාවට සහාය දීමට සූදානම් බව ට්‍රම්ප් පැවසීය. මේ අතර, කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස පවසමින් රුසියන් සහ සයිබීරියානු බලධාරීන් මහජන උත්සව සහ ජනතා ඒකරාශී වීම් අත්හිටුවා ඇත. මුහුණු ආවරණ පලඳින ලෙස ජනතාවට උපදෙස් දී ඇති අතර, අත්‍යාවශ්‍ය කාරණයකට වුවද රුසියාවට යෑමෙන් වළකින ලෙස ඇමෙරිකාව සිය වැසියන්ට දන්වා ඇත.
සයිබීරියාව යනු රුසියාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 77 ක් පුරා පැතිරුණු, බටහිරින් යූරල් කඳුවැටියේ සිට නැගෙනහිරින් පැසිෆික් සාගරය දක්වා විහිදෙන අතිදැවැන්ත භූගෝලීය කලාපයකි. මුළු පෘථිවියේම භූමි ප්‍රමාණයෙන් සියයට 10 කට ආසන්න විශාලත්වයකින් යුක්ත වුවද, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 ට වඩා අඩුවන අධික ශීතල දේශගුණය හේතුවෙන් මෙහි ජීවත් වන්නේ රුසියානු ජනගහනයෙන් සියයට 27 ක් වැනි සුළු පිරිසකි. සයිබීරියාව රුසියානු ආර්ථිකයේ කොඳුනාරටිය බඳු ස්වාභාවික සම්පත්වලින් පිරි කලාපයකි. 

සයිබීරියාවේ රුසියානු හමුදාව සහ රාජ්‍යය සතුව අධිආරක්ෂිත ජීව විද්‍යාත්මක පර් යේෂණාගාර පිහිටා ඇත. ඒ අතරින් නොවොසිබිර්ස්ක් කලාපයේ කොල්ට්සෝවෝ හි පිහිටිි වෙක්ටර්’ - වයිරස් විද්‍යාව සහ ජෛව තාක්ෂණික පර් යේෂණායතනය කැපී පෙනෙයි. අතීතයේ සෝවියට් සංගමය පැවැති නීර්ණායක යුගයේ (සීතල යුද සමයේ) ‘වෙක්ටර්‘ පර් යේෂණ ආයතනය ලෝකයට රහසක් විය. ඇන්ත්‍රැක්ස් සහ එබෝලා වැනි මාරාන්තික වයිරස මෙන්ම බැක්ටීරියා ද ආයුධ ලෙස සකස් කර සතුරන්ට එරෙහිව යොදාගන්නා ආකාරය පිළිබඳ අත්හදා බැලීම් සිදුවූයේ මෙම පර්‌යේෂණාගාර තුළය.

තවත් වැදගත් කරුණක් වන්නේ ‘වැරියෝලා‘ (Variola)  වයිරසය ආසාදනය වී අධික උණ, හිසරදය සහ ශරීරය පුරා දියබුබුළු හටගනිමින් අතිශය වේදනාකාරී ලෙස මරණය උදා කරන වසූරිය රෝගයයි. වසූරිය යනු නූතන එන්නත්කරණයේ සාර්ථකත්වය හේතුවෙන් 1980 දී ලෝකයෙන්ම සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් පිළිගන්නා ලද මාරක වයිරසයකි. ලෝකයෙන්ම තුරන් කළ බව කියන වසූරිය වයිරසය අද ලෝකයේ ස්ථාන දෙකක පමණක් අධිආරක්ෂාව යටතේ ගබඩා කර ඇත. එකක් ඇමෙරිකාවේ රෝග පාලන සහ වළක්වාගැනීමේ මධ්‍යස්ථානයයි. අනෙක රුසියන් හමුදා පාලනය යටතේ පවතින ‘වෙක්ටර්‘ පර්යේෂණ ආයතනයයි.

ගෝලීය වසංගත ගැන කතා කිරීමේදී සිහියට නැගෙන ආසන්නතම බිහිසුණු අත්දැකීම ‘කොවිඩ් 19‘ වයිරස වසංගතයයි. තවමත් සුලමුල හරිහැටි නොදන්නා ‘කොවිඩ් 19‘ වයිරසය මුළු ලෝකයටම කළ විනාශය අමතක කළ නොහැකිය. එහෙත් ලෝක ඉතිහාසයේ දරුණුතම සහ විනාශකාරීම වසංගතය ‘කොවිඩ් 19‘ නොව ‘කළු මරණය‘ හෙවත් ‘මහාමාරිය‘ වසංගතයයි. 14 වන සියවසේදී (ක්‍රි.ව. 1346 ත් 1353 ත් අතර) මුළු මහත් යුරෝපය සහ ආසියාව භීතියෙන් සලිත කළ මෙම මාරාන්තික රෝගය නිසා එවකට යුරෝපයේ විසූ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් මියගියහ.

වසා ග්‍රන්ථි ඉදිමී, අභ්‍යන්තර ලේ ගැලීම් නිසා සම යට රුධිරය කැටි ගැසී මුළු සිරුරම කළු පැහැයට හැරෙමින් රෝගීන් අතිශය වේදනාකාරී ලෙස මියයාම සිදු වූ බැවින් මෙය ‘කළු මරණය‘ ලෙස හැඳින්විණි. මෙම වසංගතයට මුල් වූයේ වයිරසයක් නොව බැක්ටීරියාවකි. ඒ, සයිබීරියානු පර් යේෂණාගාරයෙන් කාන්දු වී පර්‌යේෂිකාව මරණයට පත් කළ යෙර්සීනියා පෙස්ටිස්’ බැක්ටීරියාවයි. එදා ප්‍රතිකර්මයක් නොතිබුණු අවදියේ ‘කළු මරණය‘ අතිශය බිහිසුණු විය.

මධ්‍යම ආසියාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන මෙම යෙර්සීනියා පෙස්ටිස්’ බැක්ටීරියාව, වෙෙළඳ නෞකාවල සිටි මීයන් සහ උන්ගේ සිරුරුවල සිටි මැක්කන් මාර්ගයෙන් ඉතා වේගයෙන් යුරෝපයේ වරාය නගර වෙත ව්‍යාප්ත විය. එකල පැවැති අවම සනීපාරක්ෂක පහසුකම්, නාගරික තදබදය මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක දැනුමේ පැවැති ඌනතාව නිසා රෝගය පාලනය කිරීම අසීරු විය. බොහෝ දෙනා මෙය දෙවියන්ගේ කෝපයකින් ඇති වූ රෝගයක් ලෙස හඳුන්වන්නට පටන් ගත්හ. ඒ කාලයේ ‘කළු මරණය‘ අඩපණ කිරීමට කිසිදු සාර්ථක ඖෂධයක් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකි වූයේ නැත.

‘කළු මරණය‘ මගින් ඇති කළ බලපෑම හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ අතර, එය මුළු මහත් මානව සමාජයේ සහ ආර්ථිකයේ අඩිතාලමට මරු පහරක් විය. යුරෝපයේ වැඩවසම් ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේය. රදල ආර්ථික ක්‍රමය කඩා වැටෙද්දී කම්කරුවන්ගේ ඉල්ලු‍ම සහ වේතන ඉහළ යෑමට එය හේතු විය. එපමණක් නොව, මෙම මහා විනාශයත් සමග ප්‍රශ්න කිරීමකින් තොරව ආගමික මත පිළිගැනීමේ ප්‍රවණතාව අඩුවී, විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්‌යේෂණ කෙරෙහි යොමු වීමටත්, පසුකාලීනව යුරෝපයේ පුනරුද යුගය උදාවීමටත් මෙම වසංගතය හේතු විය.

ඉතිහාසයේ ප්‍රකටම මහාමාරිය වන මෙම ‘කළු මරණය‘ යුරෝපය, ආසියාව සහ උතුරු අප්‍රිකාව පුරා පැතිර ගිය අතර, එකල යුරෝපයේ ජනගහනයෙන් සියයට 30 ත් 60 ත් අතර ප්‍රමාණයක් (ලක්ෂ 75-200 ත් අතර) මෙයින් මියගියහ. ‘කළු මරණය‘ වසංගතයට පෙර, ක්‍රි.ව. 541-542 කාලයේ ජස්ටිනියන් ප්ලේග් (Justiniani Plague)  හෙවත් චාටක මහාමාරිය’ ව්‍යාප්ත විය. එදා පැවැති බයිසන්ටයින් අධිරාජ්‍යය පුරා පැතිර ගිය එම වසංගතයෙන් මිලියන ගණනක් මිය ගියහ. එමෙන්ම 1855 වසරේදී චීනයෙන් ආරම්භ වී ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගිය ප්ලේග් වසංගතයෙන් ලක්ෂ 120 කට වැඩි පිරිසක් මිය ගියහ.

ඉර්කුට්ස්ක් නගරයේ, වසංගත මර්දන වෛද්‍ය පර්‌යේෂණා ආයතනය වයිරස සහ බැක්ටීරියා සම්බන්ධයෙන් සිදු කරන්නේ කුමන් ආකාරයේ පර්‌යේෂණාදැයි රුසියන් රජය හෝ හමුදාව හෝ හෙළි කර නැත. ඔවුන් ඒ ගැන හෙළි කරන්නේ ද නැත. 

වෙක්ටර්’ අධි ආරක්ෂිත ජීව විද්‍යාත්මක පර්‌යේෂණාගාරයේ මෙන්, මෙම පර්‌යේෂණා ආයතනය තුළ වයිරස සහ බැක්ටීරියා යොදා ගනිමින් ජීව අවි නිපදවනවා විය හැකිය. මම ‘‘%සැකය’ නිසා ම, සයිබීරියාව ගැන විශේෂ අවධානයක් යොමු කරන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත.

මාරක බැක්ටීරියාවකින් ඩාරියා ෂිපිලෝවා මියගිය බව අනාවරණය වීමත් සමගම, එම කාල වකවානුවේ සයිබීරියාවේ සිට රුසියාව දක්වා පියාසර කළ සියලුම ගුවන් ගමන් ගැන ඇමෙරිකන් රජය පමණක් නොව, ඇමෙරිකාවේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානය (සී.ඩී.සී.) ද විමසිල්ලෙන් පසුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය, මෙම ‘%යෙර්සීනියා පෙස්ටි’ කෙරෙහි යොමු වී අවසන්ය. අවශ්‍ය වුවහොත් විශේෂ විමර්ශන කණ්ඩායමක් සයිබීරියාවට යැවීමට කටයුතු කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත. ‘කොවිඩ් 19’ මෙන් ගෝලීය වසංගතයක් යළි නිර්මාණය වීමට ඉඩක් නොදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ පවසා ඇත. 

මේවනවිට, ගෙබ්‍රෙයෙසස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත්තේ, කොංගෝවේ ව්‍යාප්ත වන ඉබෝලා වසංගතය කෙරෙහිය. ‘‘%යෙර්සීනියා පෙස්ටි’ බැක්ටීරියාව මෙන් නොව, ඉබෝලා වයිරසයකි. ඉකුත් සිකුරාදා (9) වනවිට අසල්වැසි නයිජීරියාවෙන් ද ඉබෝලා ආසාදිතයකු වාර්තා විය. ඒ, කොංගෝවේ සිට ආපසු නයිජීරියාව බලා ආ පුද්ගලයෙකි.

රුසියන් බලධාරීන් ඉකුත් සිකුරාදා (9) ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ, ඉර්කුට්ස්ක් වසංගත මර්දන වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් කාන්දු වුණු බැක්ටීරියාව ගැන අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, එය පරීක්ෂණාගාර තුළ විකෘති නොකරන ලද ‘යෙර්සීනියා පෙස්ටි’ බැක්ටීරියාව පමණක් බවය. 

විකෘති කරන ලද ජීව අවියක් නම්, ‘‘යෙර්සීනියා පෙස්ටි’ බැක්ටීරියාව, සයිබීයාව හරහා රුසියාවටත් පසුව මොංගෝලියාව හරහා චීනටත් පැතිරීමේ අවදානමක් පවතී. එය එසේ වුවහොත් තත්ත්වය දරුණු විය හැකිය. වාසනාවකට මෙම ලිපිය ලියන මොහොත වනවිට එවැනි බැක්ටීරියා ව්‍යාප්තියක් ගැන තොරතුරු වාර්තා වන්නේ නැත. ෂිපිලෝවාට සමීප වුණු, ඇය ඇසුරු කළ පමණක් නොව, ඇය අසල ගැවසුණු පුද්ගලයන් පවා හඳුනා ගෙන ඔවුන් නිරෝධානයන කිරීම, වෛද්‍ය අධීක්ෂණය යටතට පත් කිරීම (රුසියන් බලධාරීන්ට අනුව) මේ වනවිටත් සිදුවී හමාරය. 

යෙර්සීනියා පෙස්ටි’ බැක්ටීරියාව, ‘‘%කළු මරණයට’ හේතුවක් වුණු බැක්ටීරියාවම නම් ඇත්තටම බිය විය යුතු නැත. කල්තියා රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිජීවක ලබා දීම මගින්, රෝගී වන අයකු සුව කළ හැකිය. යළි යළිත් කිව යුතු දෙයක් නම්, වයිරස මෙන් නොව, බැක්ටීරියා පැතිරීම ත්‍රීව නොවෙයි. මේ බව වෛද්‍යවරු අවධාරණය කරති. රුසියන් රජය හෝ රුසියාව හෝ ඔවුන්ගේ ජෛව අවි ගැන අනාවරණය කරන්නේ නැත.

යෙර්සීනියා පෙස්ටි’ බැක්ටීරියාව යොදා ගනිමින් ජීව අවියක් නිර්මාණය කර ඇති නම්, ඒ ගැන දන්නේ රුසියන් හමුදාව සහ ඉර්කුට්ස්ක් නගරයේ, වසංගත මර්දන වෛද්‍ය පර්‌යේෂණා ආයතනයේ පර්‌යේෂකයන් පමණි. එවැනි ජීව අවියක් නම්, ඊට සාමාන්‍ය ප්‍රතිජීවක සුදුසු වන්නේ නැත. ඇත්තම කියනවා නම්, එවැනි ජීව අවියක් නම් ඊට ප්‍රතිකර්මයක් ඇත්තේ එම ජීව අවිය පර්‌‌‌‌‌‌‌‌යේෂණාගාර තුළම පමණි. එසේත් නැතිනම් ප්‍රතිකර්මයක් නොමැති වීමට ද ඉඩක් පවතී.

සෝවියට් සංගමය පැවැති අවදියේ පටන් පැවැතෙන ජීව අවි නිර්මාණය කිරීමේ වැඩසටහන් අදටත් ක්‍රියාත්මක වෙන බව කියැවෙයි පසුගිය කාලයේ රුසියාවට විරුද්ධ වුණු, පුටින්ට විරුද්ධ වුණු විදේශගතව සිටි බොහෝ දෙනකුට වැඩ වැරදුණු හැටි මතකද? දේශපාලන විරුද්ධවාදීන්, විචාරකයන් සහ හිටපු බුද්ධි අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් වස දුන්නැයි චෝදනා එල්ල විය. අවසන් වශයෙන්, 'නොවිචොක්' නමැති ස්නායු විෂ ශරීරගත වීමෙන් මියගියේ රුසියාවේ ප්‍රධානම විපක්ෂ නායකයා ඇලෙක්සි නාවල්නිය. මොහු පුටින්ගේ දූෂණ ලොවට හෙළි කළ අයෙකි. 'නොවිචොක්' යනු සෝවියට් සමයේ එරට පර්‌යේෂණාගාරවල නිපදවූ නිෂ්පාදිත ස්නායු විෂකි. 

 


ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි