
තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන්ගේ සුන්දර මතකයන්, ඡායාරූප හා වීඩියෝ ලෙස සමාජ මාධ්‍යයට එක් කිරීම අද සමාජයේ අතිශය සුලබ දසුනකි. එහෙත්, මෙම අන්තර්ගතයන් අනවසරයෙන් භාවිතවීම, පෞද්ගලික තොරතුරු හෙළිවීම සහ දරුවන් විවිධ සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. එබැවින් දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ දැඩි කතිකාවක්ද ගොඩනැඟුණු අතර, මේ පිළිබඳව අප ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම් සහ තොරතුරු), නීතිවේදී, සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ ගෙන් විමසීමක් කළෙමු.
අන්තර්ජාලය වෙත දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ මුදා හැරීම හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති ප්‍රධානතම තර්ජන සහ අවදානම් පිළිබඳව ඇය පැහැදිලි කළේ මෙසේය.
"සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු, ඔවුන් නොදන්නා නාඳුනන පිරිස් අතට පත්වීම මෙහි ඇති ප්‍රධානතම අභියෝගයයි. එමගින් කූට පුද්ගලයන්ට දරුවන් වෙත විවිධ බලපෑම් කිරීමටත්, තමන්ට අවශ්‍ය පරිදි දරුවන්ව විවිධ ක්‍රියාකාරකම්වලට යොමු කරවාගැනීමටත් අවකාශය හිමිවෙනවා. දරුවන්ගේ ඡායාරූප විකෘති කර, ඒවා පෙන්වා බියගන්වමින් හෝ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ලබාදෙන බවට තර්ජනය කරමින් දරුවන්ව අපයෝජනයට ලක් කිරීමේ ඉහළ අවදානමක් අද පවතිනවා. මෙම බියගැන්වීම් හමුවේ අසරණ වන දරුවන්, තමන්ගේ ගෞරවයට හානිවන අන්දමින් හැසිරීමට පවා පෙලඹෙනවා. විශේෂයෙන්, නිරුවත් ඡායාරූප ඉල්ලා කරන බලපෑම්වලට ඔවුන්ට නතුවීමට සිදුවීම අතිශය භයානක තත්ත්වයක්. මේ හේතුවෙන් එකම දරුවා කීප වරක්ම වින්දිතයකු බවට පත්වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා.”
“මුදල් ලබා ගැනීමේ අරමුණින් දරුවන් පොලඹවා ගැනීම් සහ විකෘති කළ ඡායාරූප විදේශ රටවලට අලෙවි කිරීම් වැනි බරපතළ සිදුවීම් පවා මේ වනවිට වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 18ට අඩු ළමයින් සමග අනවශ්‍ය සබඳතා ගොඩනඟා ගැනීම් ද මෙහිදී බහුලව දක්නට ලැබෙනවා. මේ නිසා දෙමාපියන් සද්භාවයෙන් හෝ සමාජ මාධ්‍යයට (Facebook, TikTok ආදියට) මුදාහරින ඡායාරූප හරහා තමන්ගේම දරුවා දැඩි අවදානමකට ලක්විය හැකි බව වැඩිහිටියන් අවබෝධ කරගත යුතුමයි."
“මෙලෙස සමාජ මාධ්‍ය තුළ අවභාවිත වන දරුවන්ගේ ඡායාරූප සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මේ වන විට ලැබී ඇති පැමිණිලි පිළිබඳව ද ඇය කරුණු අනාවරණය කළාය.
තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන්ගේ සුන්දර මතකයන්, ඡායාරූප හා වීඩියෝ ලෙස සමාජ මාධ්‍යයට එක් කිරීම අද සමාජයේ අතිශය සුලබ දසුනකි. එහෙත්, මෙම අන්තර්ගතයන් අනවසරයෙන් භාවිතවීම, පෞද්ගලික තොරතුරු හෙළිවීම සහ දරුවන් විවිධ සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
මේ වසරේ (2026) අගෝස්තු 31 වනදා වනවිට පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සයිබර් අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 167ක් ලැබී තිබෙනවා. මෙයින් බහුතරයක් වාර්තා වන්නේ යොවුන් වියේ පසුවන දරුවන්ගෙන්. විශේෂයෙන් වයස අවුරුදු 15ත් 18ත් අතර දරුවන් ප්‍රේම සම්බන්ධතා මත සයිබර් අපයෝජනයන්ට ලක්වීම ඉතා බහුල වී තිබෙනවා."
බොහෝ දෙමාපියන් දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට යොමු කරන අතර, ඉන් දරුවන්ට සිදුවිය හැකි දීර්ඝකාලීන මානසික සහ සමාජීය බලපෑම පිළිබඳව ශානිකා මලල්ගොඩ මෙසේ අවධාරණය කළාය.
“අද දෙමාපියන් සහ වැඩිහිටියන් පමණක් නොවෙයි, තරුණ දරුවන්ද තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා. බොහෝ වැඩිහිටියන් උත්සව අවස්ථා, පවුලේ සාද, විනෝද චාරිකා මෙන්ම දරුවන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන ඡායාරූප අන්තර්ජාලයට එක්කරනවා. නමුත් ඔවුන් නොදැනුවත්වම මේ කරන්නේ, කූට පුද්ගලයන්ට තම දරුවන්ව රිසි සේ අපයෝජනය කිරීම සඳහා මංපෙත් විවරකර දීමක්. හුදු සතුට වෙනුවෙන් හෝ දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. සංවිධානාත්මක පිරිස් මෙන්ම,ඇතැම්විට පාසලේම අයකු හෝ ආදර සබඳතාවක් පැවැත්වූ අයකු පවා මේවා වැරදි අරමුණු සඳහා භාවිත කළ හැකියි. ඔවුන් එම ඡායාරූප ඒ අයුරින්ම නොව, විකෘති කර හෝ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් වෙනස් කර අන්තර්ජාලයට එක්කළ හැකියි. මේ හරහා දරුවාට සිදුවන මානසික සහ සමාජීය බලපෑම කිසිවෙකුට වළක්වන්නට බැහැ."

එමෙන්ම කුඩා කල දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් අනාගතයේදී දරුවන්ට විය හැකි බලපෑම පිළිබඳවද ඇය මෙහිදී අදහස් දැක්වූවාය.
"ඇතැම් දෙමාපියන් කිසිදු පරීක්ෂාකාරී බවකින් තොරව, දරුවා සිටින ස්ථානය, ඇඳ සිටින ඇඳුම වැනි සියලු තොරතුරු සමඟ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහරිනවා. මෙවැනි ක්‍රියා හේතුවෙන් දරුවන්ගේ ආත්ම ගෞරවයට පමණක් නොව, ඔවුන්ගේ ජීවිතයට පවා තර්ජන එල්ල විය හැකියි. මෙය ඔවුන්ගේ අනාගතයට දැඩි ලෙස බලපානවා. දරුවකු අනාගතයේ ළඟා වන වෘත්තීය හෝ සමාජ තත්ත්වය අද අපට නිශ්චය කළ නොහැකියි. අනෙක් අතට, කුඩා කාලයේදී මේවාට කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවබෝධයක් දරුවන්ට නැහැ. එබැවින් තම දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමේදී දෙමාපියන් වඩාත් සංවේදීව සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි."
පෞද්ගලික අවස්ථාවලදී ලබාගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කරන්නේ නම්, දරුවාගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් එය සිදුකිරීම වැදගත් බව ඇය පෙන්වා දුන්නාය. එසේම සමාජ මාධ්‍ය භාවිතය තුළදී දරුවන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය බාහිර පාර්ශ්ව වෙත යොමුවීම වැළැක්වීමට දෙමාපියන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද ඇය කරුණු පැහැදිලි කළාය.
"අද සමාජ මාධ්‍ය හරහා දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවන්ගේ පෞද්ගලික තොරතුරු හුවමාරු කරනවා. පාසලේ හෝ අමතර පන්තිවල තොරතුරු, දෙමාපියන්ගේ සමාජ තත්ත්වය පෙන්වන ඡායාරූප, නිතර ගැවසෙන ස්ථාන හා ඥාතීන් කවුරුන්ද යන සියලු තොරතුරු බාහිර පුද්ගලයන් අතට පත්වෙනවා. දරුවන් පවා තමන් නොදන්නා WhatsApp හෝ Messenger කණ්ඩායම්වලට එකතු වෙනවා. මේ හරහා දරුවන් කායික, මානසික සහ ලිංගික අපයෝජනයන්ට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බැවින් දෙමාපියන් මීට වඩා දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි."
යම් හෙයකින් දරුවකුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඔවුන්ගේ අනන්‍යතාවට සහ ආත්මාභිමානයට හානිවන අයුරින් භාවිත කර ඇති බවට අනාවරණය වුවහොත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවය වෙත පැමිණිලි කළ හැකි බව ඇය සඳහන් කළාය. පීඩාවකට පත්වන දරුවෙකු කෙරෙහි නිසි අවධානය යොමු නොකළහොත්, එම දරුවා දැඩි මානසික පීඩනයට ලක් වී සියදිවි නසාගැනීම් වැනි බරපතළ තීරණවලට පවා එළඹිය හැකිය. එමෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් වීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹීම් ද සිදුවිය හැකි බව ඇය වැඩිදුරටත් විස්තර කළාය.
සයිබර් අපයෝජන වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වනවිට වැඩපිළිවෙළ රැසක් දියත් කර ඇත. 1929 දුරකථන සේවය පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වේ. ඊට අමතරව, දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම, පාසල් දරුවන් මුහුණපාන සයිබර් ගැටලු හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදීම සඳහා 'ශිෂ්‍ය තානාපති' වැඩසටහන ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.
සයිබර් අවකාශය තුළ දරුවන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් දෙමාපියන්ගේ කාර්යභාරය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම ජාතික, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් මඟින් අඛණ්ඩව සිදුකෙරෙන අතර, අවශ්‍යතාවක් ඇති දරුවන් සඳහා මනෝ සමාජීය මැදිහත්වීම් සහ උපදේශනය ලබාදීමට ද කටයුතු කරන බව ශානිකා මලල්ගොඩ අවධාරණය කළාය.
ඉමේෂි
මන්දිරා ජයරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd