
ගෙවී ගිය සතියේ යළිත් %ඉන්ධන’ මාතෘකාවක් බවට පත් වූයේ දිවයිනේ තැනින් තැන නිර්මාණය වූ තෙල් පෝලිම් නිසා ය. ඊට හේතු වී තිබුණේ මෙරට ඉන්ධන බෙදාහැරීම් සිදු කරනු ලබන විදේශීය සමාගම් ඉන්ධන නිකුත් කිරීම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කර තිබීම ය. ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය තෙල් මිල ගණන්වලට සාපේක්ෂව ලංකාවේ ද තෙල් මිල වැඩිකිරීම සඳහා අවසර දෙන ලෙස එම සමාගම් අවස්ථා කිහිපයකදී රජයෙන් ඉල්ලා සිටි අතර ඉකුත් දිනවල පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව රුපියල් 135 සිට 235 දක්වා විවිධ අගයන්ගෙන් යුතු මිල වැඩිකිරීම් එම සමාගම් විසින් ඉල්ලනු ලැබ තිබිණි.
ඒසා ඉහළ අගයකින් තෙල් මිල ඉහළ නැංවීම වෙනුවට රජය තීන්දු කළේ ඩීසල් ලීටරයක් සඳහා එම සමාගම්වලට රුපියල් 70 ක සහනාධාරයක් ලබා දීමටය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉකුත් 06 වැනි දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලින් බැහැරව එම තීරණය ගත් බව ය. ඉන්ධන, විදුලිය සහ ජලය යන සේවාවලට පිරිවැය ආවරණය වන මිල ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් ලබා දී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අතරවාරයේ මේ සහනාධාරය ලබා දුන්නේ ජනතාව මත බර පැටවීම වැළැක්වීම සඳහා බව ඔහු පැහැදිලි කළේ ය. බොහෝ අය සිතුවේ රජයේ මේ තෙල් සහනාධාර තීරණයත් සමග තෙල් සැපයුම සාමාන්‍ය පරිදි සිදු වනු ඇති බව ය. එහෙත් ඉකුත් 04 වැනිදා සිට මේ ලිපිය ලියන 08 වැනි දින දක්වා ම රටේ තැනින් තැන තෙල් පෝලිම් දැකිය හැකි වූ අතර ඛනිජ තෙල් බෙදා හරින්නන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ තවමත් අදාළ විදේශීය සමාගම් නිසි පරිදි තෙල් සැපයුම සිදුනොකරන බව ය. දැනගන්නට ලැබෙන ආකාරයට එම සමාගම් රජයේ රුපියල් 70 ක සහනාධාරය වෙනුවට ඊට වඩා තෙල් මිල වැඩිකිරීමක් අපේක්ෂා කරයි.
වසර විස්සක කාලයක් සඳහා ඉන්ධන වෙළෙඳපොළට පැමිණි චීන හා ඇමෙරිකානු සමාගම්
ලංකා ඉන්දියන් තෙල් සමාගම අපට නුහුරු නොවන්නේ එම සමාගම දසක දෙකකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ ඉන්ධන ගෙන්වීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සිදු කරනු ලබන නිසා ය. එහෙත් 2023 න් පසු අලුත් සමාගම් දෙකක් ද මෙරටේ ඉන්ධන වෙළෙඳපොළට ගිවිසුම්ගතව ඇතුළු විය. ඒ, චීනයේ සයිනොපෙක් හා ඇමෙරිකාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ආර්.එම්. පාර්ක් යන ආයතන දෙකයි. එම ආයතන දෙක සමග අත්සන් කරන ලද ගිවිසුම්වල පිටපත් විදුලිබල අමාත්‍යාංශය මගින් ලබාගැනීමට අප උත්සාහ කළ ද එය සාර්ථක නොවුණි. යට කී සමාගම් දෙක සමග ඇති කරගන්නා ලද ගිවිසුම්වලට අනුව, ශ්‍රී ලංකා රජය එම සමාගම් සඳහා වසර විස්සක කාලයකට ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දී තිබේ. ඒ අනුව ආර්.එම්. පාර්ක් සමාගම 2023 වසරේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක් වටිනා ගිවිසුමට අස්සන් තබන ලද අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින පිරවුම්හල් 150 ක මෙහෙයුම් කටයුතු කිරීමට ද විධිවිධාන සලසන ලදී.
මේ අතර එම වසරේදී ම චීනයේ සිනෝපෙක් සමාගම ද ශ්‍රී ලංකා රජය සමග මෙරටේ ඉන්ධන ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා වසර විස්සක කාලයක් සඳහා ගිවිසුම් ගත වූ අතර තෙල් සංස්ථාව යටතේ පවතින පිරවුම්හල් 150 ක මෙහෙයුම් කටයුතු කිරීමටත් විධිවිධාන සැලසිණි. මේ සමාගම් දෙකම ගිවිසුම් ප්‍රකාරව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් ඉදිකිරීමට ද බැඳීසිටියි.
සමාගම් තුනක් තිබුණත් වෙළෙඳපොළ තරගකාරිත්වයක් නොමැති වීම
ගිවිසුම් ප්‍රකාරව මෙම සමාගම්වලට ඔවුන්ගේ පිරවුම්හල්වලින් අලෙවි කරනු ලබන ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ හැකි ද නැතිනම් බලශක්ති අමාත්‍යාංශය විසින් නිර්ණය කරනු ලබන මිල ගණන් යටතේ තෙල් අලෙවි කළ යුතු ද එසේ ඉන්ධන අලෙවි කිරීමේදී එම සමාගම්වලට පාඩුවක් වුව හොත් එය පියවාගැනීමට ඇති විධිවිධාන කවරේ ද යනාදිය පිළිබඳ නිවැරදි තොරතුරු ගිවිසුම් පරීක්ෂාකිරීමට නොලැබුණෙන් ඉදිරිපත්කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අපි කනගාටුව පළ කරමු. කෙසේ වෙතත් පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ ගිවිසුම් ප්‍රකාරව සකසන ලද මිල සූත්‍රය අනුව පිරිවැය ආවරණය කරගැනීම සඳහා තෙල් මිල වැඩිකිරීමට මෙම පෞද්ගලික සමාගම්වලට හැකියාව පවතින බව ය.
එසේවුවත් මෙම සමාගම් ඔවුන් විසින් ම තෙල් මිල ගණන් සංශෝධනය කරනු ලැබීම වෙනුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකරන තෙල් මිල සංශෝධන අනුව යමින් ඉන්ධන මිල වෙනස් කිරීම සිදුකරනු ලබයි. ඛනිජ තෙල් වෙළෙඳපොළ සඳහා විදේශීය පෞද්ගලික ආයතනවලට ප්‍රවේශය ලබාදීමෙන් අපේක්ෂා කරන මූලික අරමුණු කිහිපයක් තිබේ. එකක් වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙළෙඳ ඒකාධිකාරය බිඳදැමීම යි. අනෙක තෙල් වෙළෙඳපොළේ ඉහළ තරගකාරිත්වයක් ඇති කිරීම යි. සිදුවීම් පෙළ ගැසෙන ආකාරය පරීක්ෂා කිරීමේදී පෙනෙන දෙය වන්නේ අපේක්ෂිත වෙළෙඳපොළ තරගකාරිත්වයක් ඇති නොවන බව ය. අමාත්‍යවරයා පවසන පරිදි ගිවිසුම් ප්‍රකාරව එම සමාගම්වලට ඔවුන්ගේ පිරිවැය ආවරණය කරගැනීම පිණිස ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ හැකිව තිබියදී තෙල් සංස්ථාවේ මිල ගණන් අනුගමනය කිරීම තරමක් අපැහැදිලි ය. මේ සමාගම් ඉල්ලා ඇත්තේ ද එසේ මෙසේ මිල වැඩිකිරීමක් නොවේ. ඉහතදී දැක්වූ පරිදි එය රුපියල් 230 දක්වා වන වැඩිවීමකි. තමන්ගේ තනි තීරණයක් අනුව මේ සමාගම්වලට මිල ගණන් වැඩිකිරීමට බාධාවක් නැත. එහෙත් එසේ වැඩි කළ හොත් අලෙවියට කුමක් වනු ඇත් ද යන්න ගැන ඔවුන් සිතනවා විය හැකි ය.
“ගිවිසුම් ප්‍රකාරව තෙල් සැපයුම සීමා කරන්න බෑ. අපේ ආයතනයට අදාළ පනත අනුව තෙල් සංස්ථාවේ මිල ගණන් ගැසට් කරනවා. මේ ආයතන තුන දිගටම කළේ තෙල් සංස්ථාවේ මිල සංශෝධනම ක්‍රියාත්මක කරපු එක. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් විතරක් ඔවුන්ට අවශ්‍ය මිල ගණන්වලට අලෙවි කළා” මේ ගැන කළ විමසීමක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩි.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ ය.
“කිසිම බාධාවකින් තොරව අපිට තෙල් සපයන්න පුළුවන්. ඩීසල් සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් නෑ. තෙල් හිඟ තිබුණු ප්‍රදේශවලට අපි වැඩිපුරත් ඉන්ධන නිකුත් කරලා තියෙනවා. ඒ ආයතන ඔවුන්ගේ පිරවුම්හල්වලට නිසි පරිදි තෙල් සැපයුම කළේ නැති නිසා අපි ඒවටත් තෙල් ලබා දුන්නා. ඒ ආයතනවල නියෝජිතයන් බලශක්ති අමාත්‍යාංශය වෙත ගෙන්වා කළ සාකච්ඡාවලදී පිරවුම්හල් ඇති ස්ථාන 62 ක් හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා උපදෙස් දුන්නා” ඔහු කීවේ ය.
මේ ආකාරයට ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වී සිටින පෞද්ගලික සමාගම්වලට සහනාධාර ලබාදීම මගින් වෙළෙඳපොළ තරගකාරිත්වයට බාධා නොපැමිණෙන්නේදැයි කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ ඒ ආයතන මේ දක්වා තරගකාරිත්වයක් ලබා දී නොමැති බවත් ඒ වෙනුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තරග කිරීමට සිදුව ඇති බවත් ය.
රුපියල් 70 සහනය ක්‍රියාත්මක වන ආකාරය
ඇමෙරිකා-ඉරාන යුද්ධය සහ රුසියා–යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අවස්ථා කිහිපයකදී ඉහළ ගියේය. විශේෂයෙන් ලෝක වෙළෙඳපොළේ පිරිපහදු කරන ලද ඩීසල් බැරලයක මිල ඩොලර් 80 සිට 170 දක්වා කැපීපෙෙනන ලෙස ඉහළ යෑම ඩීසල් වෙනුවෙන් මේ ආකාරයේ සහනාධාරයක් ලබාදීමට හේතු විය. රජය අනුමත කළ සහනාධාරයට අනුව එය ඔක්තෝබර්-දෙසැම්බර් කාර්තුව සඳහා අදාළ වන අතර පෙට්‍රල් සඳහා එවැනි සහනයක් හිමි නොවේ.
මේ සහනාධාරය වෙනුවෙන් මහ භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 41 ක මුදලක් වෙන් කරන ලද අතර එයින් රුපියල් බිලියන 15 ක් ඔක්තෝබර් මාසය සඳහාත් රුපියල් බිලියන 13.5 ක් නොවැම්බර් මාසය සඳහාත් රුපියල් බිලියන 12.15 ක් දෙසැම්බර් මාසය සඳහාත් වෙන් කරනු ලැබේ.
තෙල් සැපයුම අඩු කළොත් ගත හැකි පියවර ගැන ගිවිසුම්වල ප්‍රතිපාදන නෑ
![]() |
| බලශක්ති ඇමති |
මේ අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පසුගිය 06 සහ 07 යන දෙදිනේදීම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර 07 වැනි දින හෙතෙම අනතුරු ඇඟවීමක් කරමින් පැවසුවේ මේ සමාගම් තවදුරටත් ඉන්ධන සැපයුම සීමා කරන්නේ නම් ඒවාට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා ආරම්භ කරන බව ය.
“මේ සමාගම් විසින් ඉන්ධන පිරවුම් හල්වලට තෙල් සැපයුම සීමා කළොත් ගත හැකි පියවර ගැන ඔවුන් සමග අස්සන් කළ කිසිම ගිවිසුමක සඳහන් වෙන්නෙ නෑ. ඒ සමාගම් ලංකාවට ගෙනා යුතු අවම තෙල් තොග ප්‍රමාණයක් තියෙනවා. ඒක හරියට කෙරෙන්නෙ නැත්නම් අමාත්‍යාංශයට මැදිහත් වෙන්න පුළුවන්. පහුගිය කාලේ එක් සමාගමක් විතරක් අවම තෙල් තොග පවත්වාගෙන ගිහින් නෑ. ඒ නිසා අපි ඒ සමාගමට දැනුම් දීලා තියෙනවා තෙල් තොග පවත්වාගෙන යා යුතු බවට. ගිවිසුම්වලින් බලයක් ලැබිලා නැති වුණත් පොදුවේ වෙළෙඳපොළේ ඇති වෙලා තියෙන තෙල් හිඟය වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස අනිත් සමාගම් දෙකටත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් දැනුම් දීලා තියෙනවා.”
“ගිවිසුම්වල ප්‍රතිපාදන නැතත් මේ වගේ අවස්ථාවක අමාත්‍යාංශයට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව නීතිමය උපදෙස් ගන්න එක තමයි අපිට මීළඟට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ. අද (07) දවස ඇතුළත ඒ සමාගම්වල නියෝජිතයො ගෙන්නලා ඒ අයට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් මොනව ද කියන එක ගැන සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සමාගම් කියන්නෙ මෑතකදි සිදු කළ මිල වැඩිකිරීමත් ඩීසල් ලීටරයක් සඳහා ලබා දුන් සහනාධාරයත් මදි කියලා. අපිට මීට වඩා මිල වැඩි කරන්න බෑ. සහනාධාරයත් දිය හැකි සීමාවක් තියෙනවා. මේ වෙලාවෙ අලාභයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ අර්බුදයෙන් කොටසක් අපි රජය හැටියට මේ සහනාධාරය මගින් ගන්නවා. කොටසක් මිල වැඩිකිරීම හරහා ජනතාවටත් ලබා දී තියෙනවා. ඉතුරු කොටස මේ සමාගම් විසින් මේ කාලය ඇතුළත දරාගත යුතු යි. ඒක තමයි රජයේ ස්ථාවරය.”
“මේ අර්බුදය සමනය කිරීම සඳහා අපි රජය විදියට ගත් එක් ක්‍රියාමාර්ගයක් තමයි ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙළෙඳපොළට නිකුත් කරන ඩීසල් ප්‍රමාණය වැඩි කළ එක. අර්බුදය පටන් ගන්න කලින් ඩීසල් අවශ්‍යතාවෙන් සියයට 50 ත් 55 ත් අතර ප්‍රමාණයක් පමණ තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සැපයුවෙ. විදේශීය සමාගම් තෙල් සැපයුම සීමා කරලා තියෙන නිසා ඒ අගය දැන් සියයට 77 ත් 80 ත් දක්වා වැඩිකරලා තියෙනවා. තෙල් සංස්ථාවට කිසිම බාධාවකින් තොරව ඉදිරි දිනවල තෙල් සැපයුම සිදුකරන්න පුළුවන්. දින 20 කට 25 කට ප්‍රමාණවත් තෙල් තොග තියෙනවා. ඒ වගේම ඉදිරි කාලයට අවශ්‍ය තෙල් තොග ඇණවුම් කරලා තියෙන්නෙ”. අමාත්‍යවරයා “ඉරිදා ලංකාදීප”යට ප්‍රකාශ කළේ ය.
නැවත තෙල් මිල වැඩි වුණොත් මේ සහනාධාරය කොතැනින් ද නතර වෙන්නෙ?
![]() |
| මහාචාර්ය වසන්ත අතුකෝරාළ |
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ප්‍රකාශ කරන්නේ මෙම සහනාධාරය නිසා ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයට බාධා පැමිණෙන බව ය.
ඔහු වැදගත් නිරීක්ෂණයක් ප්‍රශ්නයක ස්වරූපයෙන් ඉදිරිපත් කරයි. එනම්, දැනට ලබා දෙන මෙම සහනාධාරය නතර වන්නේ කොතැනින් ද යන්න ය. ගෝලීය වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් නැවත ඉහළ ගිය හොත් මේ සහනාධාරය තවත් වැඩිකිරීමට සිදු වනු ඇති බව ඔහු කියයි.
“ලංකාවේ ඉන්ධන සැපයුමෙන් සියයට 70 ත් 75 ත් අතර ප්‍රතිශතයක් තවමත් සිදුකරන්නෙ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්. ඊට අමතරව තමයි සිනෝපෙක් එනර්ජි, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ආර්.එම්. පාර්ක් කියන විදේශීය සමාගම් සැපයුම් කරන්නෙ. මේ විදියට ලංකාවේ තෙල් සැපයුම සඳහා විදේශීය සමාගම්වලට අවසර දීමේ ප්‍රධාන අරමුණක් වෙන්නෙ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගාකාරිත්වයක් නිර්මාණය කිරීම. ඒ ඔස්සේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ ඒකාධිකාරිය නැතිකිරීම. ඒත් ලංකාවේ එහෙම දෙයක් වෙන බවක් පෙන්න නෑ. ඒ සමාගම් සඳහා සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහම එයින් විශාල පිරිවැයක් ජනනය වෙනවා. ඒ පිරිවැය කලින් තිබුණු තත්ත්වයටත් වඩා දරුණු වෙනවා. ඒකට හේතුව මේ සහනාධාරය විදේශීය සමාගම්වලට ලැබීම. ඒ සමාගම් සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 70 ක් දීම වෙනුවෙන් වර්ෂයකට රුපියල් බිලියන 60 ත් 70 ත් අතර මුදල් ප්‍රමාණයක් වැය වෙනවා. මේ මුදල නැවත වරක් දරන්නට සිද්ධ වෙන්නෙ ජනතාවගේ බදු මුදල්වලින්.”
“මේ බරත් ජනතාවගේ බදු මුදල් මත පැටවීමෙන් ආර්ථිකයේ ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. පළමු වැනි එක තමයි අයවැයේ පිරිවැයක් ඇති වීම. මොකද මේ විදියෙ සහනාධාරයක් ලබා දෙන විට ඒක අයවැයට බලපානවා. අනිත් එක තමයි මෙයින් විශාල ආවස්ථික පිරිවැයක් ජනනය වීම. ආයෝජනය කිරීමට තිබෙන මුදල් සහනාධාර විදියට දෙන නිසා ආවස්ථික පිරිවැයක් ජනනය වෙනවා. වැදගත්ම කාරණය තමයි මේ සහනාධාර ක්‍රියාවලිය කොතැනින් ද නතර වෙන්නෙ කියන එක. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් වැඩි වුණොත් මේ සහනාධාරය තවත් වැඩි කරන්න වෙනවා. සහනාධාරයක් දුන්නට පස්සෙ ඒක හකුළුවා ගන්න අමාරුයි. එහෙම වුණොත් තවදුරටත් ෆිස්කල් අවදානමක් ඇති වෙනවා.”
“වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය යම් ආකාරයකට අකාර්යක්ෂම වීමකුත් මෙයින් වෙනවා. ඉන්ධන ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී යම් අකාර්යක්ෂමතා ඇති වෙන්න පුළුවන්. ඉන්ධන ගබඩා කිරීම, ප්‍රවාහනය වැනි අංශවලදිත් අකාර්යක්ෂමතා මතු වෙන්න පුළුවන්. එයින් නොනැවතී අනෙක් ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන ආයෝජකයන් අතර ලංකාව කියන්නෙ අනවශ්‍ය අවදානමක් පවතින රටක් ය යන හැඟීම ඇති වෙන්න පුළුවන්. දිගුකාලීනව ගත්තම ඒක හොඳ දෙයක් නෙවෙයි. විදේශ විනිමය සම්බන්ධයෙනුත් ගැටලු මතු වෙන්න හැකියාව තියෙනවා. ඩීසල්වලින් ධාවනය වෙන වාහන වගේම පෙට්‍රල්වලින් ධාවනය වන වාහන තියෙනවා. ඊට අමතරව විදුලි බලයෙන් ධාවනය වෙන වාහනත් තියෙනවා. ඩීසල්වලට විතරක් සහනාධාරයක් දෙන කොට කෙනෙක්ට අහන්න පුළුවන් ඩීසල් වාහනවලට පමණක් සහනයක් දීමක් ද මේ කරන්නෙ කියලා. මේ සියලු කාරණා සැලකීමේදී කිව හැක්කේ මේ විදියෙ සහනාධාරයක් ලබාදීම ආර්ථිකයට කිසිසේත්ම යෝග්‍ය නැති බවයි”
මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
තරගකාරිත්වය ඇති කිරීමට කළ යුතු දේ
ඉන්ධන වෙළෙඳපොළේ තරගකාරිත්වය ඇති කිරීම සඳහා අනුගමනය කළ හැකි යෝජනා කිහිපයක් ද ඔහු ඉදිරිපත් කරයි.
“ඉන්දියාව, චීනය වගේ විශාල රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව කියන්නෙ කුඩා වෙළෙඳපොළක්. අපි දැනට ක්‍රියාත්මක කරන්න හදන්නෙ පිරිවැය ආවරණය වන මිල ක්‍රමයක්. මිල සූත්‍රයක් තියෙද්දි මේ විදේශීය සමාගම්වලට හැකියාව තියෙනවා අලුත් තාක්ෂණය පාවිච්චි කරලා ඔවුන්ගේ පිරිවැය අඩු කරගන්න. තරගකාරිත්වය ගොඩනැගෙන්නෙ ඒ ක්‍රමයට. වෙළෙඳපොළේ සාධාරණ මිලක් පවතින විට ඒ මිලට වඩා වැඩියෙන් ලාභ ඉපැයීමට අනුගමනය කළ හැකි විකල්ප දෙකක් තියෙනවා. එකක් රජයෙන් සහනාධාර ඉල්ලා සිටීම. අනිත් එක තමයි පිරිවැය අඩු කරගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම. පිරිවැය අඩු කරගැනීම මගින් ලාභ උපයන්න පුළුවන්. මෙයින් අපි ක්‍රියාත්මක කළ යුත්තෙ දෙවැනි ක්‍රමය. පිරිවැය අඩු කර ගැනීම මගින් තරගකාරිත්වය ඉහළ නංවාගැනීමට හැකියාව ලැබෙනවා. එහෙම නොකළොත් ඉදිරියටත් සහනාධාර ලබා දෙමින් මේක ගෙනියන්න වෙනවා”
උපුල් වික්‍රමසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd