
අමානුෂීක ලෙස හක්කාපටස් පලතුරු සමග මිශ්‍ර කිරීමෙන් අලි පැටවකුගේ හකු දරුණු ලෙස තුවාලව
විනාශකාරී, අතිශය අමානුෂික මෙන්ම නීති විරෝධී පුපුරන ද්‍රව්‍යයක් වන හක්කපටස්’ මේ වන විට වන අලින්ට මරු උගුලක් වී ඇති බව වනජීවී වෛද්‍යවරු පවසති.
වන සතුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමටත්, දඩයක්කරුවන් විසින් වල් ඌරන් මරා ගැනීමටත් යොදාගන්නා මෙම මාරාන්තික හක්කපටස්, අද වන විට වන අලින්ගේ ජීවිත වනසන ප්‍රධාන මාරයා බවට පත්ව තිබේ. හක්කපටස් නිසා අවාසනාවන්ත ලෙස මරු තුරුලට යන සතුන් අතර බහුලවම සිටින්නේ අලි පැටවුන් වීම තවත් ඛේදනීය තත්ත්වයකි.
ආරම්භයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය, නවගත්තේගම වැනි ප්‍රදේශවලින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ඇතුළු වනාන්තර ආසන්න ගම්මානවලින් මෙම සිදුවීම් වාර්තා විය. එහිදී වගාවන් ආරක්ෂා කරගැනීම සඳහා වට්ටක්කා, කැකිරි, කොමඩු වැනි එළවළු සහ පලතුරු තුළට මෙම පුපුරන ද්‍රව්‍ය ඔබ්බවා අලින්ට ආහාරයට ගැනීමට සැලැස්විණි. එහෙත් පසුව සුවඳ මතුවන සේ ත්‍රිපෝෂ වැනි දේ තවරා වන සතුන් හා අලි ඇතුන් උපක්‍රමශීලීව ගොදුරු කර ගැනීමට මොවුන් කටයුතු කර ඇත. වනජීවී නිලධාරීන් පවසන්නේ මේ වන විට රට පුරාම වනාන්තර ආශ්‍රිත ගම්මානවල ජීවත්වන ඇතැම් දඩයක්කරුවන් සහ වගාකරුවන් විසින්ම මෙම හක්කපටස් නිපදවන බවයි.
හක්කපටස් සෑදීම සඳහා අලි වෙඩි, වෙළෙඳපොළේ ඇති චීන පටස්, රතිඤ්ඤා, අහස්කූරු වැනි දේවල අඩංගු වෙඩි බෙහෙත් මෙන්ම ගල්වලවල් සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍යද යොදාගන්නා බව අනාවරණය වී ඇත.
වන සතුන් මෙම හක්කපටස් සපා කෑමත් සමඟම ඇතිවන පීඩනය හේතුවෙන් ඒවා මුඛය තුළදීම පුපුරා යයි. එහිදී උන්ගේ හකු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යන අතර, නැවත කිසිදු ආහාරයක් හෝ ජලය ලබාගැනීමට නොහැකිව අතිශය වේදනාකාරී ලෙස උන් මරණයට පත්වේ.

හක්කපටස් සොයා සිදුකල මෙහෙයුම අතර තුර
මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මෙසේ පැවසීය:
”මෙය ඉතාමත්ම වේදනාකාරී මරණයක්. හක්කපටස්වලට ගොදුරු වූ අලින්ට ප්‍රතිකාර කරද්දී ඒ වේදනාව අපට හොඳින් දැනෙනවා. නැවත කිසිසේත්ම ජීවත් කරවීමට නොහැකි ලෙස උන්ගේ මුඛයට හානි සිදු වෙනවා. එවිට සතුන්ට ආහාර ගැනීමට හැකියාවක් නැහැ. සේලයින් ලබා දුන්නත් එයින් අලියකුගේ ජීවිතය පවත්වාගෙන යාමට හැකි වන්නේ යම් තාක් දුරකට විතරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙලෙස හක්කපටස් හදන පිරිස් ගැන තොරතුරු දන්නේ නම් වහාම අප දැනුවත් කරන ලෙසයි. මෙය මහා ජාතික අපරාධයක්. එම නිසා මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීත්‍යනුකූලව දඬුවම් පැමිණවිය යුතුමයි.”
ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මෙම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය:
”වනජීවියකු හෝ වෙනත් යම් සතෙකු මරා දැමීමට පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව මෙය බරපතළ වරදක් වෙනවා. මෙවැනි දෙයක් වූ විට බොහොම දෙනෙක් බලන් ඉන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට දොස් පවරන්නයි. නමුත් දැනට සිටින වනජීවී නිලධාරීන් සංඛ්‍යාව මෙවැනි සියලු දේ සොයා බැලීමට ප්‍රමාණවත් නැහැ.
කළ යුත්තේ ජනතාව දැනුවත් කරමින් මෙවැනි හක්කපටස් සකසන පිරිස් නීතිය හමුවට පැමිණවීමයි. හක්කපටස් කියන්නේ කිසිසේත්ම භාවිත කළ නොහැකි, නීති විරෝධී පුපුරන ද්‍රව්‍යයක්. එම නිසා බිය නැතුව මෙවැනි අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට ජනතාව කටයුතු කිරීම වැදගත්.

හක්කපටස් බිලිගත් කුඩා අලි පැටවකු වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ පරික්ෂා කරන අයුරු
එමෙන්ම හක්කපටස් සෑදීමට වෙඩි බෙහෙත් ලැබෙන ආකාරය ගැන නිසි ලෙස සොයා බැලිය යුතුයි. ගල්වලවල් සඳහා නිකුත් කරන වෙඩි බෙහෙත් හොර පාරෙන් මෙවැනි නීති විරෝධී කටයුතුවලට යනවා වෙන්න පුළුවන්. ඒ නිසා දිවයින පුරා සිටින පුපුරන ද්‍රව්‍ය සහකාර කොමසාරිස්වරුන් ලවා මේ ගැන සොයා බැලිය යුතුයි. තමන් නිකුත් කරන පුපුරන ද්‍රව්‍ය වෙනත් අකටයුතුවලට යොදා ගන්නවාදැයි සොයා බැලීම එම සහකාර කොමසාරිස්වරුන්ගේ වගකීමක්.”
හක්කපටස් හේතුවෙන් ඛේදනීය ඉරණමකට මුහුණ දෙන වන සතුන් සහ වල් අලින් අවාසනාවන්ත ලෙස මියයාම වැළැක්වීම සැමගේම යුතුකමකි.
මේ තත්ත්වය හමුවේ පරිසර හා වනජීවී අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේගේ උපදෙස් පරිදි වනජීවී නිළධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය ඒකාබද්ධව ගල්ගමුව ආශ්‍රිතව දින දෙකක විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර තිබේ. වයඹ පළාත් වනජීවී ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ගල්ගමුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
එහිදී හක්කපටස් සකස් කළ ස්ථානයක් සමඟ බැඳින තුවක්කු සහ වන සතුන් සඳහා උගුල් අටවමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
වන සතුන් විනාශ කිරීම සඳහා අමානුෂික ලෙස හක්කපටස් යොදාගන්නා පුද්ගලයන්ට එරෙහිව පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ උපරිම නීතිමය දඬුවම් ලබා දිය යුතුය. මෙම මාරාන්තික තත්ත්වය යම් දුරකට හෝ පාලනය කරගත හැකි වන්නේ එවිටය.
පුත්තලම
හිරාන් ප්‍රියංකර ජයසිංහ

හක්කාපටස් එක් එක් අයුරීන් සකසා ඇති අයුරු

හක්කාපටස් සැකසිමට යොදා ගන්නා විවිධ පුපුරන ද්‍රව්‍ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd