ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ගොඩනැගිලිවල වහලවල් මේ වන විට ජාතික බලශක්ති ජනන සම්පතක් බවට පත්ව තිබේ. සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් තමන්ගේම මුදල් වැය කරමින් වහල මත සූර්ය බලශක්ති පද්ධති සවි කිරීමට කටයුතු කළ අතර, දේශීය සමාගම් ඒවා සැපයීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය තාක්ෂණික කුසලතා ගොඩනගා ගත්තේය. එමඟින් පාරිභෝගිකයන්ට තමන්ගේ විදුලි බිල කළමනාකරණය කරගන්නා අතරම ජාතික විදුලිබල පද්ධතියට ද බලශක්තිය එක් කළ හැකි සාර්ථක ක්‍රමවේදයක් නිර්මාණය විය.

නමුත් 2026 සැප්තැම්බර් 11 වන දින එම ක්‍රමවේදය එක රැයකින් වෙනස් විය. අලු‍තින් එක්වන වහල මත සවි කරන ලද සූර්ය බලශක්ති පද්ධති සහ ධාරිතාව පුළුල් කිරීම් සඳහා සාමාන්‍ය විදුලි පාරිභෝගික ගාස්තුවට ආසන්න වටිනාකමක් හිමි කර දුන් Net Metering  සහ Net Accounting  ක්‍රමවේදයන් අත්හිටුවීමට බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලි බෙදාහැරීමේ ආයතන වෙත නියෝග කරන ලදී. ඒ වෙනුවට වාසි ඉතා අඩු Net Plus  ක්‍රමය එකම විකල්පය බවට පත් කෙරිණි.

නව ගිවිසුම් කාලය වසර 12කට සීමා වන අතර, දුරස්ථව දත්ත කියවිය හැකි ස්මාර්ට් මීටර (Smart Meters ) සවිකිරීම ද අනිවාර්ය වේ. දැනට පවතින ගිවිසුම් පෙර පරිදිම පවතින නමුත්, මින් ඉදිරියට එක්වන සෑම නව පාරිභෝගිකයකුටම මෙතෙක් පැවති විකල්ප තුන වෙනුවට හිමිවන්නේ එකම එක විකල්පයක් පමණි. කිසිදු විවෘත මහජන සංවාදයකින් තොරව සිදු කළ මෙම වෙනස පිළිබඳව ජනතාව දැනගත්තේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ය.

ආයෝජනයේ ආකර්ෂණය නැති කළ Net Plus 

Net Plus  ක්‍රමවේදය යටතේ, ඔබ උත්පාදනය කරන විදුලිය සහ පරිභෝජනය කරන විදුලිය සැලකෙන්නේ වෙනස්ම ගනුදෙනු දෙකක් ලෙසයි. එහිදී ඔබ පරිභෝජනය කරන විදුලිය සඳහා පවතින ගාස්තු ක්‍රමවේදයට අනුව මුදල් ගෙවිය යුතු අතර, පද්ධතියට මුදාහරින විදුලිය සඳහා ඔබට හිමිවන්නේ ඉදිරි වසර 12 සඳහා අද දින ස්ථාවර කෙරුණු ගාස්තුවකි.

පැරණි ක්‍රමවේදයන් යටතේ, තමාම නිපදවාගන්නා සූර්ය බලශක්තිය පරිභෝජනය කිරීමෙන් පාරිභෝගික ගාස්තුවට ආසන්න වටිනාකමකින් විදුලි බිල අඩු කර ගැනීමට හැකියාව තිබුණි. එම වාසිය අහෝසි වූ පසු, වහල මත සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම සඳහා ආයෝජනය කිරීමේ මූල්‍යමය ආකර්ෂණීය බව සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී යයි.

එම තීරණය පිටුපස ඇති සැබෑ හේතුව කුමක් වුවත්, බලධාරීන් ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දෙයි. පළමුවැන්න නම්, ගෘහස්ථ පාරිභෝගිකයකු තමාම උත්පාදනය කර පරිභෝජනය කරන සෑම විදුලි ඒකකයක්ම, විදුලිබල මණ්ඩලයට විකිණීමට ඇති අවස්ථාව අහිමි වීමයි. දෙවැන්න ජාලයේ ස්ථාවරත්වයයි. සූර්ය බලශක්තිය ලැබෙන්නේ ඉර එළිය පවතින වේලාවට මිස විදුලි ජාලයට අවශ්‍ය මොහොතේදී නොවේ. එසේම, එක් දිශාවකට පමණක් විදුලිය ගලායාමට සකසා ඇති ජාලයකට පාලනයකින් තොරව මෙලෙස වැඩිපුර විදුලිය එක් කිරීම තාක්ෂණික ගැටලු‍වලට මඟපාදන බව නියාමක අධිකාරිය පෙන්වා දෙයි.

විසඳුම් වෙනුවට පද්ධතියම අක්‍රිය කිරීමක්

මෙවැනි අභියෝග ලෝකයේ කොතරම් පැවතියත් ඒ රටවල් එම අභියෝග ඉතාමත් සාර්ථක අන්දමින් ජයග්‍රහණය කර ඇත. මේ අවස්ථාවේදී අපේ රටට වඩාත් අවශ්‍ය වන්නේ වඩාත් සුදුසු විසඳුමක් සෙවීම හෝ පවතින ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමයි.

නමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ විසඳුම් සෙවීම වෙනුවට, පවතින ක්‍රමවේදය එක රැයකින් අහෝසි කර දැමීමයි. එය සැබැවින්ම ජල නළයක කාන්දුවක් තිබෙන අවස්ථාවක එය පිළිසකර කරගැනීම වෙනුවට මුළු ප්‍රධාන ජල සැපයුමම වසා දැමීම වැනි නිශ්ඵල ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ වහල මත දැනට ස්ථාපිත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 2,500ක් (2,500 MW) ලෙස ක්ෂේත්‍රයෙන් ලබාගෙන ඇති දත්තවල පෙන්වාදෙයි. හොඳින් ඉර එළිය ඇති දිනයකදී එයින් ගිගාවොට් පැය 10කට වඩා (10 GWh) වැඩි විදුලියක් නිපදවන අතර, එසේ වහලක් මත නිපදවෙන සෑම විදුලි ඒකකයක් නිසාම ජාතික පද්ධතියට විදුලිය නිපදවීමට යන සම්පූර්ණ පිරිවැය අඩුවේ. විශේෂයෙන්ම, ඒකකයකට රුපියල් 100කට වඩා වැඩි පිරිවැයක් යන පොසිල ඉන්ධන වෙනුවට මේ සූර්ය බලශක්තිය ආදේශ වන විට, රටට සිදුවන දෛනික වාසිය රුපියල් මිලියන 700ක් තරම් ඉහළ අගයකි.

දැවැන්ත පිරිවැයක් සහ රැකියා අහිමිවීමේ තර්ජනය

එබැවින් මතුවන ගැටලුව ඉතාමත් පැහැදිලිය. එම විදුලිය වෙනුවට වෙනත් මාර්ගවලින් විදුලිය ලබාගැනීමට ශ්‍රී ලංකාවට කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?

ඇස්තමේන්තු අනුව, වහල මත සූර්ය බලශක්තිය නොමැතිව එම විදුලිය ලබාගැනීමට නම් දිනකට පැය 15ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙගාවොට් 700ක (700 MW) පොසිල ඉන්ධන බලාගාර පද්ධතියක් සහ සම්ප්‍රේෂණ ජාලයක් අලු‍තින් අවශ්‍ය වන අතර, එම දැවැන්ත ප්‍රාග්ධන පිරිවැය අවසානයේදී එකතු වන්නේ පාරිභෝගිකයාගේ විදුලි බිලටයි. නමුත් අද වන විට සූර්ය බලශක්තිය දැනටමත් ස්ථාපිත කර ක්‍රියාත්මක වන බැවින් එම කිසිදු පිරිවැයක් දැරීමට සිදුවී නොමැත.

තවද, ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සමාගම් 600කට වඩා ක්‍රියාත්මක වන අතර, එමඟින් සෘජු හා වක්‍ර රැකියා 10,000ක් පමණ බලගන්වයි. අලු‍තින් කෙරෙන ආයෝජන ඇනහිටියහොත්, වෙළඳපොළ සමාගම් 50කට පමණ සීමා වී සෙසු සමාගම් වැසී යාමේ තර්ජනයට ලක්වනු ඇත. එසේම ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් සහ තාක්ෂණික හැකියාවන් තවදුරටත් රටට අහිමි වී යනු ඇත.

ඉදිකිරීමට නොහැකි වන සෑම සූර්ය බලශක්ති මෙගාවොට් එකක් වෙනුවෙන්ම ගල්අඟු‍රු, LNG  හෝ වෙනත් මාර්ගවලින් විදුලිය නිපදවීමට සිදුවන අතර, එමඟින් විදුලි ගාස්තු පහත හෙළීම වෙනුවට තවදුරටත් ඉහළ යනු ඇත. එසේම රට සතු විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වී යාම ද සිදු වේ.

පසුගිය අයක්‍රම සංශෝධනයේදී හඳුන්වා දුන් බැටරි පද්ධති මත අයකිරීම් ද වලංගු වන්නේ විශාල ප්‍රමාණයේ (250 kW ට වැඩි) පද්ධති සඳහා පමණි. කිලෝවොට් 250ට (250 kW) අඩු කුඩා පද්ධති පවතින්නේ වඩාත්ම දැඩි අර්බුදයකයි. දැනට පවතින ගාස්තු ක්‍රමවේදයන් නිසා, ඉහළ විදුලි බිලක් පවතින ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල අඩු කර ගැනීමට පැහැදිලි ක්‍රමවේදයක් නොමැත. අවම වශයෙන් බැටරි පද්ධති (Battery Storage) සහිතව හෝ සූර්ය බලශක්ති පද්ධති සවි කිරීමට එම පාරිභෝගිකයන්ට ප්‍රායෝගික ක්‍රමයක් නොමැත.

ලෝකයෙන් උගත හැකි ප්‍රායෝගික විසඳුම්

ජාතික විදුලිබල පද්ධතියට ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා වැඩි විදුලියක් එකතු කරන ලෙස කිසිවෙකුත් ඉල්ලා සිටින්නේ නැත. කළ යුත්තේ දැනටමත් පවතින ගෝලීයව ප්‍රචලිත හා ස්ථාවර තාක්ෂණය භාවිත කරමින් එහි සීමාවන් ඇතුළත වැඩකටයුතු කිරීමයි.

ඊට හොඳම ආරම්භය වන්නේ Zero-Export  වහල මත සවි කරන සූර්ය බල පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති භාවිත කිරීමයි. එහිදී නිවෙස් හිමියන් තමන් නිපදවාගන්නා විදුලිය තමන්ම පාවිච්චි කරන අතර, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල ජාලයට ලබා නොදී බැටරි පද්ධතියේ ගබඩා කරගනී. සූර්ය බලශක්ති උත්පාදනය මදි වන විට බැටරිය මඟින් සහාය දක්වන අතර, ඒ දෙකම ප්‍රමාණවත් නොවන විට පමණක් ජාතික විදුලිබල ජාලයෙන් විදුලිය ලබාගනී. ජාලයේ ධාරිතාව පවතින ස්ථානවලදී, ජාලයට යවන විදුලිය පාලනය කළ හැකි අතරම කලින් නිගමනය කළ හැකි ස්ථාවර මට්ටමකින් ලබාදීමට ද හැකියාව ඇත.

දැනට විදුලිබල පද්ධතියට පවතින ගැටලුව වන්නේ රාත්‍රී කාලයේ වැඩි පිරිවැයක් යටතේ විදුලිය නිපදවීමට සිදුවීමයි. ඊට විකල්පයක් වශයෙන් දහවල් කාලයේ සූර්ය බලශක්තිය මඟින් නිපදවන විදුලිය බැටරි පද්ධතිය තුළ ගබඩා කර, රාත්‍රී කාලයේ ඉහළ විදුලි පරිභෝජනයක් ඇති කාලයේදී ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීම පෙන්වා දිය හැක. එමඟින් රජයට මූලික පිරිවැයකින් තොරව ගෘහස්ථ පාරිභෝගිකයා විසින් ගොඩනඟන ලද බැටරි පද්ධති ජාතික පද්ධතියට දායක කරගත හැක. නමුත් ගැටලුව වන්නේ, මේ ක්‍රියාවලිය සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැති වීමයි.

Net Plus  ක්‍රමවේදය යටතේ, තම වහල මත නිපදවන විදුලිය වෙනමම ජාතික විදුලිබල ජාලයට විකුණන අතරතුරදී පවා, ගෘහස්ථ පාරිභෝගිකයන්ට තමන් පාවිච්චි කරන විදුලිය මුදල් ගෙවා මිලදී ගැනීමට සිදුවේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ මුල සිට අලු‍තින් විකල්ප ක්‍රමවේදයන්  නිර්මාණය කිරීමට අවශ්‍ය නැත.

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට ප්‍රථමයෙන් තමන්ගේ සූර්ය බලශක්තිය භාවිත කිරීමටත්, ජාතික ජාලයෙන් ලබාගන්නා විදුලිය සඳහා පමණක් මුදල් ගෙවීමටත්, අතිරික්තව ජාලයට ලබාදෙන විදුලිය සඳහා මුදල් ලබාගැනීමටත් හැකියාව ඇත. රට අනුව යම් යම් වෙනස්කම් තිබුණද, යුරෝපීය රෙගුලාසි මඟින් ද ස්වයං පරිභෝජනය  සහ අතිරික්ත විදුලිය සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. මෙය ශ්‍රී ලංකාවට ප්‍රායෝගික මැද මාවතේ විසඳුමක් ලබාදෙයි. එනම්, ජාලයට සපයන විදුලිය සඳහා වෙනමම ගෙවීම් කරන අතරතුර, ජනතාවට තමන්ගේම වහල මත නිපදවන විදුලියෙන් ප්‍රතිලාභ ලැබීමට ඉඩ සැලසීමයි.

ප්‍රතිසංස්කරණයේ අනුපිළිවෙළ නිවැරදි විය යුතුය

බැටරි තාක්ෂණය ද ජාතික උපපොළ මට්ටමින් පමණක් නොව සෑම මට්ටමකින්ම ක්‍රියාත්මක විය යුතුය. 2027 මාර්තු වන විට මෙගාවොට් 560ක BESS ධාරිතාවක් ස්ථාපිත කිරීමේ නියාමන ඉලක්කය සහ 2026 සැප්තැම්බර් 18 දින අනුරාධපුරයේදී මෙගාවොට් 10 / මෙගාවොට් පැය 40ක (10 MW /40 MWh ) බැටරි පද්ධතියක් ජාතික විදුලිබල ජාලයට සම්බන්ධ කිරීම මඟින් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරයි.

නමුත් උපපොළවල පවතින දැවැන්ත බැටරිවලට පමණක් වහල මත පවතින දහස් සංඛ්‍යාත කුඩා සූර්ය බල පද්ධති තනිව කළමනාකරණය කළ නොහැක. ශ්‍රී ලංකාවට බෙදාහැරීමේ ජාලයට ආසන්නව පිහිටි කුඩා බැටරි පද්ධති ද අවශ්‍ය වේ.

කිලෝවොට් 250 - 1000ත් අතර නව වහල මත සවි කරන ලද සූර්ය බල සහ බැටරි ගබඩා පද්ධති සඳහා මුල් වසර 15ක කාලයට (වැඩිම විදුලි ඉල්ලු‍මක් ඇති වේලාවන් වල), කිලෝවොට් පැයකට රුපියල් 45.53ක ගාස්තුවක් ලබාදීමට නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත. එසේම බැටරි ගබඩා පද්ධති ව්‍යාප්ත වීමත් සමඟ ගෘහස්ථ සූර්ය බලශක්ති සීමාවන් ලිහිල් කළ හැකි බවත්, නිවෙස්වල තමන්ගේම බැටරි පද්ධති සවි කරගැනීමට අවස්ථාව හිමිවන බවත් විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සිතුවිල්ල නිවැරදිය, නමුත් ප්‍රශ්නය ඇත්තේ ක්‍රියාත්මක කළ පිළිවෙලෙහි ය. නව ක්‍රමවේදය සකස් කිරීමටත් පෙර, පැරණි සාර්ථක ක්‍රමවේදය අහෝසි කර දැමීමෙන් සමස්ත ක්‍රියාවලියම ආපසු හැරී ඇත.

එබැවින් මෙම පරස්පර නියෝග වහා විසඳිය යුතුව ඇත. නව පාරිභෝගිකයන්ට ප්‍රායෝගික තේරීම් නැවත ලබාදිය යුතුය. Zero-export  සබඳතා ප්‍රායෝගික මට්ටමට ගෙන ආ යුතු අතර, බැටරි පද්ධති සහ පාලනය කළ හැකි විදුලි සැපයුම් හරහා වෙනස් වන ඉර එළියෙන් ස්ථාවර සහ ජාලයට විශ්වාසදායක විදුලියක් නිපදවීමට ඉඩ සැලසිය යුතුය.

ජනතාවට අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමට ඇති විශ්වාසනීය මාර්ග වසා දමමින් විදුලි බිල අඩු කිරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොහැක. දශකයක් පුරා වෙහෙස මහන්සි වී ගොඩනැඟූ වහල මත සවි කරන සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ එක රැයකින් සිදුකරන අහෝසි කිරීමක් නොව, ඉතාමත් සියුම් ලෙස සිතාමතා සිදුකරන පැහැදිලි ප්‍රතිසංස්කරණයක් පමණි.

- කේ.ආර්. විතානගේ