තරිඳු ජයවර්ධන

පරිසර ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් වූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර අනුමැතිය ලබා දී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ඊට අදාල පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය තවමත් සිදුකරමින් පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරිය මේ බව සඳහන් කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු සපයමිනි.

මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මූලික අදියර සඳහා මුල් ගල තැබුණේ පසුගි වසරේ අගෝස්තු මාසයේ දී ය.

පාරිසරික ඇගයීමක් සිදු කර පාරිසරික තක්සේරු වාර්තාවට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීමකින් තොරව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ නොහැකි බවත්, එය ජාතික පාරිසරික පනත උල්ලංඝණය කිරීමක් බවත් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. මෙම ව්‍යාපෘතිය නිසා විල්පත්තු ආශ්‍රිතව කැලෑ අක්කර 19,000ක් පමණ විනාශ වන බව ද ආචාර්ය කාරියවසම් මහතා පවසයි.

කුඹුරු අක්කර 40,000ක් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව රජය කියයි.

මීට පෙර කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවසීය. 

‘‘විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පසුගිය කාලයේ අක්කර 3,000ක් පමණ විනාශ කළා.  ජලාශයට සහ නැවත පදිංචිකිරීම් සඳහා කැපෙන කැළෑ ප්‍රමාණය අක්කර 19,000ක්. මෙය මහවැලි යෝජනාවක් ලෙසයි ආරම්භ වුණේ. නමුත් යුද්ධයත් සමඟ මෙය නැවතී තිබුණා. යුද්ධෙයෙන් පස්සේ නැවත චීන සමාගමකට දෙන්න යෝජනා වෙලා තිබුණා. රුපියල් බිලියන 13ක අයෝජනයකින් මේ විනාශය කරන්නයි හදන්නේ.

මේ ව්‍යාපෘතිය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරන කලාපයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. දෙවැනි එක තමයි මෙම වැවෙන් අක්කර 2,000ක වානිජ බෝග වගා කරන්න ජලය දෙන්නයි හදන්නේ.   යෝද වැවෙන්, මාන්නක්කට්ටිය, මහළ මල්වතු ඔය , කුඩා වැව් වලින් සහ එල්ලංගා පද්ධතියෙන් ඒ ප්‍රදේශවල කුඹුරු වගා කරන්න අවශ්‍ය ජලය ලැබෙනවා.  ජලශය නිර්මාණය කරලා අක්කර 2000කට ජලය දෙන්න අක්කර 19000ක් විනාශ කරන්නයි හදන්නේ. මෙය ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම පරිසර විනාශයක්.   මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. මීට ඉහත කළ පරීක්ෂණවලදී මේ ප්‍රදේශයෙන් ක්ෂරපායී විශේෂ 41ක් වගේ සොයාගෙන තිබෙනවා. පකෂි විශේෂ 29ක්, මැඩියන් හා ගෙම්බන් විශේෂ 17ක්, කුරුලු විශේෂ 119ක් විතර සොයාගෙන තිබෙනවා. 

විල්පත්තුව දෙසට ගලන පිටාර ජලය රඳවා ගන්නයි ව්‍යාපෘතිය කරන්නේ කියලා  කියනවා. හැබැයි පිටාර ජලයෙන් තමයි විලපත්තු ජාතික වනෝද්‍යානයේ සත්තුන්ට හා ශාඛ වලට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. විල්පත්තුව කියන්නේ විල්ලුවලින් හැදුණු ප්‍රදේශයක්. විල්ලු පිරෙන්නේ මල්වතු ඔයේ පිටාර ජලය ගැලුවාම. මේ පිටාර වතුර හරස් කරලා බැම්මක් බැන්දම වෙන්නේ ආපහු විල්පත්තුව ඇතුළට වතුර පිටාර ගලන්නේ නෑ. එයින් ජෛව විවිධත්වට විශාල හානියක් වෙනවා.

ඊළග කාරණය මේ ප්‍රදේශයේ තිබෙනවා පැරණි එල්ලංගා පද්ධතියක්. එල්ලංගා පද්ධතිය කියන්නේ පුරාණ වැව් පද්ධතියත් එක්ක එන විශ්මිත නිර්මාණයක්. එල්ලංගා පද්ධතිය පහුගිය කාලේ ලෝක උරුමයක් බවටත් පත් කළා. සර් එමර්සන්ට් වගේ එක් දහස් අටසිය ගණන් වල බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ අධ්‍යයන වාර්තා බැලුවාම එල්ලංගා පද්ධතියේ විශේෂත්වය ගැන දැනගන්න පුලුවන්. අක්කර 19,000ක් විනාශ කරලා අක්කර 2000කට වතුර දෙන්න රජයට තියෙන අයිතිය මොකක්ද? චීනයෙන් ණය අරගෙන රටේ වන සම්පත විනාශ කරන්න දෙන්න බෑ.‘‘ යැයි ද කාරියවසම් මහතා කීවේය.