(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මාණික්කමඩු හි දිඝවාපි පරිවාර චෛත්‍යයේ නව ආවාස ගෙයක් හැදීමට මහා සංඝරත්නය කටයතු ආරම්භ කළ අතර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙයට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට එහි ඉදිකිරිම් කටයුතු දින 5කට පමණ කල් දමනු ලැබීය.
උතුරු නැගෙනහිර පිරිවෙන්  භාර නියෝජ්‍ය අධ්‍යාපන  අධ්‍යක්ෂක පුළුකුනාව රජමහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති  කිරිදිවැල සෝමරතන හිමියන්  ගේ ප‍්‍රධානත්වයෙන් මෙම ඉදිකිරිමි කටයුතු අද (21) ආරම්භ වූ අතර පසුව එහි පැමිණි පිරිසක් විරෝධය පෑම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු මෙම තත්වය පාලනය කිරිමට උත්සාහ ගත්හ.
තත්ත්වය උණුසුම් විමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට ගෙන්විමට පොලිසිය පියවර ගනු ලැබිය.
පසුව මෙම පිරිස අම්පාර සහකාර දිසාපති සමග සාකච්ඡාවකින් පසු මෙම මස 25 වැනිදා නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් කොමසාරිස්වරයා පැමිණ මෙයට විසඳුමක් දෙන බවට එකඟතාවයකට පැමිණියේය.
දින 05 ක් යනතුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව දිවාරාති‍්‍ර දෙකේම ලබාදීමටද අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා එකග විය.