(තිළිණි ද සිල්වා)

නේපාලයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා වසා දමා තිබෙන කත්මන්දු වෛද්‍ය පීඨයේ හා පොක්කාරා මනිපාල් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිළිබඳ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මෙනවිය නිරන්තරයෙන් සොය බලන බව විදේශ  කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.

එම වෛද්‍ය පීඨ වසා දැමුවද දැනටමත් එම ලාංකික සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාරයන් හි නවාතැන්  හා ආහාර පාන කටයුතු ලබා දීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදු  කෙරෙන බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

මෙම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන්ගේ පවුල් වල අයට අවශ්‍ය වුවද කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ සංචාරය කිරීමේ අවදානම ගැන ශ්‍රී ලංකා තානාපතිවරිය එම සිසුන්ට දැනුම දුන් බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

තත්ත්වය සමනය වූ වහා ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත් වීම් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදු කරනු ඇතැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවුසවාය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා  එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු  සහ කත්මන්දු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක්  දිවයිනට පැමිණීමට නොහැකිව  සිටින බව ලංකාදීප එසැණට ඉකුත් 24 වැනිදා වාර්තාවිණි.

වයිරසය පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක්  නොමැති වීමත් , කත්මන්දු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම්  බව මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා පැවසීය.

කත්මන්දු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.