ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපයට අයත් ගෝමරන්කඩවල කොට්ඨාසයේ පවතින අධ්‍යාපන ගැටලුවලට බලධාරීන්ගේ මැදිහත්වීමක් සිදු කරවා ගැනීමට මහා සංඝරත්නයේ සහාය ඉල්ලා ගෝමරන්කඩවල අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය රථ පෙළපාලියක් සංවිධානය කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙම කලාපයේ පාසල් 11ක පවතින ගුරු ගැටලු හා අනෙකුත් අධ්‍යාපන ගැටලුවලට විසඳුම් ඉල්ලා පසුගිය කාලයේ දේශපාලකයන් හා අධ්‍යාපන බලධාරීන් හමුවට ගියද මෙතෙක් එයට විසඳුම් නොලැබීම නිසා මෙම රථ පෙළපාලිය සංවිධානයේ කළ බව ගෝමරන්කඩවල අධ්‍යාපන සුරැකීමේ සංවිධානය සභාපති එච්.එම්. සුගත් රණවීර මහතා ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අධ්‍යාපනය වූ කලී සමාන අයිතිවාසිකමකි. එහෙත් අප රට තුළ නැත්තේද එම සමානකමමය. අප රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරම් පංති භේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. සමාන අයිතිවාසිකමක් වුවද එහි ඇති-නැති පරතරය විශාල වී තිබේ නම් එය බරපතළ බේදවාචකයකි. එම අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳීමට දරුවන් කොටසකට සිදු වී තිබේ නම් හා තම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මවුපියන්ට මහ  පාරට බැසීමට සිදුවී තිබේ නම් එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

රට යනු කොළඹ යැයි ඇතැමෙක් සිතති. කොළඹ දෙස බලා මුළු රටේම තත්ත්වය මැනීමට ඔවුහු පෙළඹෙති. එහෙත් එය එසේ නොවන බව මෙම ප්‍රවෘත්තියෙන්ද කියැවේ. ගෝමරන්කඩවල පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේය. එහෙයින්ම කොළඹට බොහෝ දුරය. එහෙයින්ම කොළඹ බලධාරීන්ගේ අවධානය යොමුවීම ඉතා මන්දගාමීය. නැතහොත් කොළඹ බලධාරීහු මෙබඳු දුෂ්කර ඈත පළාත් දෙස ඇහැක් ඇර නොබලති. එහෙයින් එම පළාත්වල ජනයාගේ ප්‍රශ්න දිනපතා ගොඩගැසේ. ඒවාට විසඳුම් නැත.

ගෝමරන්කඩවල අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය තම කලාපයේ පවතින අධ්‍යාපන ගැටලුවලට බලධාරීන්ගේ මැදිහත්වීමක් සිදු කරවා ගැනීමට මහා සංඝරත්නයේ සහාය ඉල්ලා තිබේ. ඒ ඔවුන්ට වෙනත් කිසිඳු පිළිසරණක් නොමැති නිසා විය හැකිය. ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයේ පාසල් 11ක පවතින ගුරු හිඟය හා වෙනත් අධ්‍යාපන ගැටලුවලට විසඳුම් ඉල්ලා දේශපාලකයන් හා අනෙකුත් බලධාරීන් හමු වුවද විසඳුම් නොමැති නිසා මෙම ක්‍රියා මාර්ගයට ඔවුන් එළැඹි බව එම සංවිධානයේ කැඳවුම්කරු අප පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

තම දරුවාට අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීම සෑම දෙමාපියකුගේම සිහිනයකි. එය එම දෙමාපියන් සලකන්නේ තමන්ගේ පරම වගකීමක් ලෙසය. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දිළිඳු දූ පුතුන්ට ඇති පරම ධනය අධ්‍යාපනය බව ඒ දෙමාපියෝ දනිති. කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයක් උදෙසා ගමන් කිරීමට නම් හොඳ අධ්‍යාපනයක් ඇවැසිය. එහෙත් අප රටේ දෙමාපියන්ගෙන් අඩක් ඒ සිහිනය දැක දැක මැරී මැරී ඉපදෙති. අවසානයේදී ඒ වෙනුවෙන් සටන් බිමට පිවිසීමට ඔවුහු තීරණය කරති. මේ මවුවරුන්ගේ කඳුළ සිනාවකටත්, පියවරුන්ගේ වේදනාව බලාපොරොත්තුවකටත් පරිවර්තනය කිරීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් අධ්‍යාපන බලධාරීන් ඉදිරිපිට වේ.

කොළඹ දරුවාත් ගෝමරන්කඩවල දරුවාත් වාඩිවන්නේ එකම පහේ ශිෂ්‍යත්ව විභාගයටය. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ගෝමරන්කඩවලට කියා වෙනස් වන්නේ නැත. කොළඹ දරුවාට ලැබුණු විභාග ප්‍රශ්න පත්‍රයටම ගෝරමන්කඩවල දරුවාද ලිවිය යුතුය. උසස් පෙළ විභාගයද එසේමය. එම දරුවන්ගේ ඉරණම ඉතාම පැහැදිලිය. කොළඹට කිරි අපට කැකිරි යනුවෙන් සටන් පාඨ හඬ ගා කියා වධකාගාරවල සීතල සිමෙන්ති පොළොව රුධිරයෙන් පොඟවමින් අකාලයේ දිවි මගට සමුදීමට පෙර පරම්පරාවලට සිදුවූයේ තම ඉරණම වෙනස් කර ගැනීමට වෙනත් මගක් නොවූ හෙයිනි.

අප ජීවත්වන්නේ 21 වැනි සියවසේය. සියවසකට පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ දරුවන්ට ‘‘ඔන් ලයින්’’ ඉගෙන ගන්නැයි බලධාරීහු කියති. එහෙත් ගෝමරන්කඩවල අම්මලා සහ තාත්තලා රථ පෙළපාලි යති. ඒ බලධාරීන්ගේ මැදිහත්වීමක් ඉල්ලලාය. මේ විසම තත්ත්වය තුරන් කළ යුතුය. සම අධ්‍යාපන අයිතිය, එයට හිමි නිසි අර්ථයෙන්ම ආරක්ෂා කළ යුතුය.


(***)