( තිළිණි ද සිල්වා )
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද(01) සිට ඇරඹූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය
එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
උඩුගම්පළ කාර්යාලයේදී අද( 01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී කීවේය.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි මාස වල දී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණද විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙල නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මස මුලදී යැයිද කියා සිටියේය.
අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී අනිවාර්යෙන් ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් , රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදේශ රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද කීවේ ය.
මේ වන විට රටවල් 21 ක විදෙස්ගත ශ්‍රමිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් නිරෝධායනය සදහා යොමු කර ඇත. තවත් 20, 000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. ඔවුන්ව ද දිවයිනට ගෙන්වා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන බව ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු මාසේ වෙනකොට අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි ...
ඔය කියන රටවල් වලට සවුදි අරාබිය අයිති නැද්ද? එහෙ මිනිස්සු එවන්නේ රට සල්ලි නෙවේද ? මෙච්චර කල් මේ රටේ ඉන්න එක්කෙනෙක්වත් ගෙන්න ගත්තේ නෑ. මැරිලා ඉවර වෙනකන් ද බලන් ඉන්නේ?
මෙතන මේ ලෝකෙම ඉන්න ලාංකිකයින් ලංකාවට ගෙන්න ගන්න කියලා කෑ මොරදෙන අය බහුතරයක් විපක්ෂය නියෝජනය කරන පිරිස් බව පැහැදිලියි. නැතිනම් මොලයක් බුද්ධියක් තියෙන ඕනෑම අයෙක්ට වැටහෙනවා අපි වගේ කුඩා රටක් අවම පහසුකම් එක්ක පසුගිය මාස දෙකක් තිස්සේ මේ රටේ වාසය කරන අයටත්, පිටරටවලින් මෙරටට පැමිණි අපේම අයටත් මේ උවදුරෙන් මුදවාගන්න මොනවද නොකළේ කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට විදෙස්ගත හැමෝවම ගෙනැල්ලා මේක අස්සේ දාගන්න බැහැ, රටේ තත්වය ගැන කුහක නොවී ප්‍රායෝගිකව සිතිය යුතුයි.
රජින්ද මහත්මයා ලංකාවට එන්න ඕනේ කියලා ඉල්ලුම් කරලා තිබෙන පුරවැසියන් 40000ම කොරෝනා රෝගීන් නොවේ... සංචාරකයින් නොමැති නිසා වසා දමලා තිබෙන මධ්‍යම ප්‍රමාණයේ හෝටල් කාමර 10000-20000 දැනට ලංකාවේ තිබෙනවා.. මේවා තුළ වෙන්වෙන් වශයෙන් නිරෝධායන කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්... සාමාන්‍යයෙන් කෙනෙකු දවස් 7ක් පමණ වෙන්කරලා තියලා පීසීආර් පරීක්ෂණය කරලා කොරෝනා ආසාධිත නැතිනම් නිවෙසට වෙලා තව දින 14ක් නිරෝධායනය වෙන්න ලෙස උපදෙස් දීලා ගෙදර අරින්න පුළුවන්... මේ කටයුත්ත කරගන්න අවශ්‍ය පහසුකම් තියාගෙන අපේ පුරවැසියන් ජීවිතය පවා අවදානමේ දමාගෙන විදේශ රටවල අනාථ කඳවුරුවල දුක් විඳින්න දෙන්න හොඳ නැහැ. ඔබ, මම සහ මැදපෙරදිග ඉන්න අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන්... හදිසි අවස්ථාවක මව්රටට එන එක අපේ මූලික මිනිස් අයිතිවාසිකමක්... එවැනි මූලික අයිතිවාසිකමක්වත් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුවකින් සහ නිලධාරින්ගෙන් වැඩක් තිබේද?